බබාට පෙර පාසලක් තෝරගන්නකොට සැළකිලිමත් වෙන්න ඕන කාරණා

බබාලා ගැන අපි ඕනතරම් කතා කරල තියෙනවා. පුංචි බබෙක් ඉපදුන දවසේ ඉඳල බබා ටික ටික ලොකුවෙද්දී දැනගෙන ඉන්න ඕන හුඟක් කාරණා ඒ අතරේ තිබුණා. හැබැයි ඉතින් දරුවෙක් උස්මහත් කරනව කියන්නෙ දවසක දෙකක රාජකාරියක් නෙමෙයිනේ. ඒක අවුරුදු ගාණක ලොකු ප්‍රොජෙක්ට් එකක්. යන්තම් මව්කිරි උරල බොන්න විතරක් දන්න පුංචි පැටිය ටික ටික ලොකු වෙලා වයස අවුරුදු තුනක් හතරක් වෙනකොට දෙමව්පියන්ට මුහුණ දෙන්න වෙන ලොකුම අභියෝගයක් තමයි දරුවාගේ විධිමත් අධ්‍යාපනය ආරම්භ කරන එක. ඉතින් ඉස් ඉස්සෙල්ලාම කරන්න ඕන පෙර පාසල් අධ්‍යාපනයට දරුවව යොමුකරන එකනේ. ඒකත් බැලූ බැල්මට සරල කාරණාවක් වගේ පෙනුනට ඒ තරම්ම සරල කාරණාවක්නම් නෙමෙයි.  පෙර පාසලක් තොරගන්නකොටත් විවිධ කාරණා සළකා බලල හොඳම පෙරපාසල තෝරාගන්න ඕනනේ දරුවගේම අනාගතය ගැන හිතලා. ඉතින් එන්න ඒ වැඩේට පුංචි උදව්වක් වෙන්න අපි හිතුවා පෙර පාසලක් තෝරගන්නකොට සලකා බලන්න ඕන කාරණා ගැන කතා කරන්න.

 

 

1. පිහිටා ඇති ස්ථානය

මේක වැදගත්ම කාරණාවක්. පෙර පාසල කොයි තරම් හොඳ උණත් ඒ අවට පරිසරය දරුවෙකුට රැඳෙන්න සුදුසු පරිසරයක් නෙමෙයිනම් මුල්ම කාරණාවෙන්ම මේ ලිස්ට් එකෙන් කපල අයින් කරන්න පුළුවන්. පරිසරය සුදුසුයි කියන එකෙන් අදහස් කරන්නෙ මේකයි. ඒ අවට කර්මාන්තශාලා, වැඩබිම් එහෙම තියෙනවනම් ඒවගෙන් නිකුත් වෙන ශබ්ද වගේ හුඟක් කාරණා ගැන සළකා බලන්න ඕන. සාමාන්‍යයෙන් පෙර පාසලක් බාහිර පරිසරයේ අනවශ්‍ය ශබ්ද, මිනිසුන්ගේ ඇඟිලි ගැසීම් වලින් නිදහස් පරිසරයක තියෙනවනම් තමයි සුදුසු. ඒ වගේම අවට ජීවත්වෙන මිනිස්සුන්ගේ චර්යාවන්ගෙන් බබාගේ ආරක්ෂාවට පුංචිම හරි තර්ජනයක් එල්ලවෙනවද කියලත් හිතල බලන්න ඕන.

ඒ වගේම තමා ගෙදර ඉඳල පෙරපාසලට තියෙන දුර. බබා හුඟක් පුංචි නිසා වැඩි දුරක් යන්න නැති, ළඟ පාතක තියෙන පෙර පාසලක් වෙනවනම් වඩා  සුදුසුයි. නැත්තම් පෙර පාසලට යන්න කලින් පාරෙදිම බබා හෙම්බත් වෙලා.

 

 

2. පෙර පාසල ඇතුළත පරිසරය

පිටත පරිසරය වගේම තමයි ඇතුළත පරිසරයත්. පෙර පාසලේ ඇතුළ බබාට ප්‍රිය උපදවන පරිසරයක් තියෙනවද, ප්‍රමාණවත් ආලෝකයක්, වාතාශ්‍රයක් ලැබෙනවද, බබාට පුංචිම හරි අනතුරක් සිදුවෙන්න පුළුවන් අවදානම් ස්ථාන පෙර පාසල් පරිශ්‍රය ඇතුළේ තියෙනවද කියන දේවල් ඇතුළේ වට දෙක තුනක් ඇවිදල හොයල බලන්න ඕන. අනාරක්ෂිත ළිං, වලවල්, මඩ වගුරු, අලංකාරයට හදපු පොකුණු, අලංකාරයට වවන කටු සහිත, විෂ සහිත ගස්කොළන්, අබලන් තාප්ප, බිත්ති වගේ දේවල් දරුවාගේ ආරක්ෂාවට තර්ජනයක්. 

 

 

3. ගුරුතුමියගේ සුදුසුකම්

මේකත් ඔක්කොටම ඉහළින් සලකා බලන්න ඕන කාරණාවක්. දැන් කාලේ පඳුරක් පඳුරක් ගාණෙ පුංචි පුංචි මොන්ටිසෝරි කඩවල් හැමතැනම දකින්න තිබුණට පෙර පාසල් එහෙමත් නැත්තම් හරියටම කිව්වොත් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් කියල කියන්නෙ ඒ විෂයේ සුදුසුකම් ඇති ගුරුවරියක් විසින් විතරක්ම පවත්වාගෙන යන්න ඕන ආයතනයක්. මොකද ළමා මනස කියල කියන්නෙ අපි හිතනවට වඩා හරි සංකීර්ණ දෙයක්. මේ ලැබෙන මුල්ම පාසල් අත්දැකීම දරුවාගේ මුළු අනාගතයම තීරණය කරන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පෙර පාසලේ ප්‍රධාන පාලිකාවගේ සුදුසුකම ගැන හරියට අහලා දැනගන්න.

 

 

4. විෂය නිර්දේශය

ඊළඟ කාරණාව තමයි දරුවාට උගන්වන විෂය නිර්දේශය. සාමාන්‍ය පෙර පාසල් අධ්‍යාපනය වසර දෙකක් වගේ කාලයක් පුරාවට සිදුකෙරෙනවා. පුංචිම කාලයේ play group එකක ඉඳලා ආරම්භ කළොත් ඊටත් වැඩි කාලයක්. හැබැයි කාලය කොච්චර උනත් මේ මුළු කාලය පුරාවටම කෙරෙන්න ඕන බබාගේ හසුරු කුසලතා සංවර්ධනයම පමණයි. ඒ කිව්වේ ඔය කොළ කපන්න, අලවන්න, චිත්‍ර අඳින්න, මැටි අනන්න වගේ ක්‍රියාකාරකම් විතරයි. කිසිම විදිහකින් බබාට අකුරු ඉගැන්වීම ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්‍රියාවලිය යටතේ අනුමත කෙරෙන්නෙ නැහැ. හැබැයි සමහර අම්මලාගේ උවමනාවට තරඟෙට වගේ බලෙන් අකුරු උගන්වන පෙර පාසල් ඕන තරම් දකින්න තියෙනවා. ඒ නිසා උගන්වන විෂය නිර්දේශය මොකක්ද කියල කලින් අහගන්න එකත් වැදගත්. 

 

 

5. දරුවාට ලැබෙන අවධානය

පෙර පාසලක දරුවෝ ගොඩක් ඉන්න පුළුවන් උනාට ඒ හැම බබෙක්ම වගේ අම්මලාගේ තුරුළේ ඉඳල හාහාපුරා කියල වෙනස් පරිසරයකට එන අයනේ. ඒ නිසා එයාලට අවධානය ගොඩක් අවශ්‍යයි. ඒක නිසා බබාලා ගොඩක් ඉන්න පෙර පාසලක් තෝරාගන්න එකත් නුවණට හුරු නැහැ. ළමයි ගොඩක් ඉන්නවනම් ඒ අය කණ්ඩායම් වලට බෙදල ගුරුවරියන් කිහිප දෙනෙකුත් ඉන්නම ඕන. එතකොටනේ හැම දරුවෙකුටම තනිව අවධානය යොමු කරන්න පුළුවන්.

 

 

6. ගුරුවරුන්ගේ කාරුණිකබව

ඒ වගේම තමා ප්‍රධාන පාලිකාව ඇතුළු ඉන්න අනික් ගුරුවරියන්, ඒ වගේම අනෙක් වැඩපළට ඉන්න සහායිකාවන් කියන හැම දෙනාම උපරිමයෙන් කරුණාවන්ත වෙන්න ඕන. දරුවන්ට ආදරය කරන අය වෙන්න ඕන. අම්මල ළඟ ඉඳල ආදරේ විඳල පෙර පාසලට එන පුංචි පැටවුන්ට රැවුම් ගෙරවුම්, බැනුම් හුරු නැහැනේ. ඒ නිසා දරුවන්ගේ දඟ වැඩ ඉවසන්න පුළුවන්, දරුවන්ට ආදරයෙන් කතා කරන කාර්යය මණ්ඩලයක් ඉන්නවද කියලත් අනිවාර්යයෙන්ම හොයල බලන්නම වෙනවා පුංචි බබෙක්ව බාරදෙන්න කලින්.

 

 

7. අනිත් දෙමව්පියන්ගේ අදහස්

 

මේකත් හරිම වැදගත් කාරණාවක්. ඔය උඩ කියපු ඔක්කොම කාරණා ගැන මේ වැඩෙන් වැඩිදුර තොරතුරු දැනගන්නත් පුළුවන්. දැනට මේ පෙර පාසලට බබාල යවන අම්මලා වගේම කලින් බබාල යවපු අම්මල කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන පෙර පාසල ගැන විස්තර අහල බලන්න. එයාලගේ අදහස්, අත්දැකීම් ලොකු උදව්වක් වෙයි තෝරාගැනීම කරන්න. 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *