සාමාන්‍යයෙන් ඔය රැකියාවක් එහෙම කරන මනුස්සයෙක්ට අද කාලේ මල්ටිටාස්කින් කියන කතන්දරේ කොහෙන් හරි ඇහිලා තියෙන්න ඕන. ඇත්තටම මිනිස්සු සම්බන්ධයෙන් විතරක් නෙවෙයි, යන්ත්‍ර, කොම්පියුටර සම්බන්ධයෙන් වුනත් ඔය මල්ටිටාස්කින් නැතිනම් බහුකාර්ය වීම කියන කතන්දරේ අදාළ වෙනවා. එතකොට මොකද්ද මේකේ තේරුම? සරලවම ගත්තොත් බහුකාර්ය හැකියාවන් කියන්නේ, එක මොහොතක වැඩ කීපයක් වුනත් කරන්න තියෙන හැකියාව කියලා තමයි ගොඩක් දෙනෙක් අර්ථ දක්වන්නේ. ඒ මොන කුණුහරුපයක්ද ඕයි? ඒ කියන්නේ එකම මොහොතේ එක අතකින් ටයිප් කරන ගමන්, අනික් අතින් තේ එකක් බොන ගමන්, ෆෝන් එකෙන් කතා කරන ගමන්, කකුලෙනුත් තව මොකක් හරි කරන එකද? ඇයි එහෙම නැතුව කොහොමද මිනිස්සු විදියට අපි එක පාර වැඩ කීපයක් කරන්නේ? ඒක බොහොම හොඳ ප්‍රශ්නයක්!
ඇත්තටම මල්ටිටාස්කින් කියන්නේ එක පාර වැඩ කීපයක් කරන එක කියනවට වඩා, වැඩ කීපයක් එක පාර කළමනාකරණය කරන එක කියලා ගන්න පුළුවන්. හරි, උදාහරණයක් ගමු. අපිට රිපෝට් එකක් ලියන්න තියෙනවා. ඒ අතරේ ටීම් එකට පවරපු වැඩක් අධීක්ෂණය කරලා ගොඩ දම්මවන්නත් තියෙනවා. ඒ අතරේ ලොක්කා ඇවිත් තව ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් දීලා, ඒකේ තියෙන අවුල් මාක් කරන්න කියනවා. දැන් ඔය දේවල් සාමාන්‍ය මනුස්සයෙක් කරන්නේ කොහොමද? මුලින් රිපෝට් එක ලියලා ඉවර කරනවා. ඊට පස්සේ ටීම් එකට දීපු වැඩේ බලනවා. ඊටත් පස්සේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක කියවලා වැරදි මාක් කරනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඔය වැඩ ඔක්කොම දවල් දොළහ වෙනකොට ඉවර කරන්නත් ඕන. අන්න එතකොට මොකද කරන්නේ? ආන්න ඒ වෙලාවට තමයි මල්ටිටාස්කින් හැකියාව වුවමනා වෙන්නේ. අපි රිපෝට් එක ලියන ගමන් ටීම් එකේ වැඩේත් ඇහැ ගහගෙන ඉන්නවා. ටීම් එකේ කාටහරි ප්‍රශ්නයක් මතුවුනොත් පටස් ගාලා රිපෝට් එක පොඩ්ඩක් නවත්තලා ඒක විසඳනවා. රිපෝට් එකේ පළවෙනි ඩ්‍රාෆ්ට් එක ගැහුවට පස්සේ ඒක තව කෙනෙක් කියවන කල්, අර ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක කියෝනවා. හෙන සරලයි වගේ නේද?
ඇත්තටම සරල නෑ. මොකද, අපිට එක වැඩකින් තත්පරෙන් අනික් වැඩේට මොළේ යොමු කරන්න බැරි නම් මල්ටිටාස්කින් ෆේල්. අන්න ඒ නිසා අපි මල්ටිටාස්කින් හැකියාවන් වැඩිදියුණු කරගන්න ටිප්ස් කීපයක් ඉගෙන ගමු.
1. කරන්න පුළුවන් ප්‍රමාණේ බදාගන්න
මල්ටිටාස්කින් කරන්න කලින් කරන්න ඕන ප්‍රමුඛතම දෙයක් තියෙනවා. ඒ තමයි තමන් කතරගම දෙයියෝ හරි වෙන දෙවි කෙනෙක් හරි නෙවෙයි කියන එක තේරුම් ගන්න එක. තමන්ට තියෙන්නේ අත් දෙකයි, එක මොළයයි. ඒ වලින් වුනත් එක දිගට වැඩ කරන්න ගියොත් කාර්යක්ෂමතාවය බහිනවා. තමන්ට දවසකට තියෙන්නේ පැය විසිහතරයි. ඒකෙනුත් කන්න බොන්න නාන්න නිදාගන්න සහ අනෙකුත් දේවලට වෙලාව අයින් කරන්න වෙනවා. ආන්න එතකොට අපිට වැඩ කරන්න පැය අටක් හෝ එහෙම ගාණක් ඉතුරු වෙනවනේ. ඒ වෙලාවේ කරන්න ඕන වැඩ ප්‍රමාණය තමයි දවසකට තියාගන්න ඕන. එහෙම නැතුව ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතාගෙන පටන් ගන්න තැනින්ම වැඩේ ෆේල්.
ඒ නිසා, තමන්ට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය විතරක් දවසකට කරන්න වෙන් කරගන්න. මේක මල්ටිටාස්කින් වලටත් අදාළයි. ඒ කියන්නේ මල්ටිටාස්කින් කියන්නේ එක පාර වැඩ දහයකට පහළොවකට අවධානය දෙන එක නෙවෙයි. ඒක ප්‍රායෝගික නෑ. තමන්ට එක පාර අවධානය දෙන්න පුළුවන් වැඩ දෙකකට නම්, ඒ දෙක කරන්න. හෙමිහිට තමන්ගේ බහුකාර්ය හැකියාවන් වර්ධනය කරගන්න.
2. කලින් ප්ලෑන් කරන්න
මේ ප්ලෑනින් කියන එක මල්ටිටාස්කින් වලට අත්‍යාවශ්‍ය දෙයක්. ඒ කියන්නේ හදිසියේ, නොහිතූ විදියට තමන්ගේ කරපිටට කඩාගෙන වැටෙන්න පුළුවන් වැඩ ගැන පවා කලින් අපේක්ෂා කරලා ප්ලෑන ගහන එක. මෙතනදී දවසේ වැඩ කටයුතු ලිස්ට් එකක් හදන එක සාර්ථක ක්‍රමයක්. හැබැයි ඒ ලිස්ට් එකේ හදිසියේ එන්න පුළුවන් වැඩ වලටත් ඉඩක් තියෙන්න ඕන. ඒ ලිස්ට් එක හදනකොට පළවෙනියට කියපු කරුණ ගැනත් අවධානය යොමු කරන්න ඕන.
ගොඩක් වෙලාවට අපි කාලයක් වැඩ කරනකොට තේරෙන්න පටන් ගන්නවා, අපි දිනපතා රූටීන් එකකට කරන වැඩ ප්‍රමාණයකුත් තියෙන බව. එහෙම රිපීට් වෙන වැඩ කාලයත් එක්ක වඩාත් පහසුවෙන් කරන්න පුළුවන් වෙනවා. මේවා තේරුම් ගන්න තරමට, එක වැඩකින් තව වැඩකට මාරු වෙන්න ලේසියි.
3. වැඩ පිළිවෙලක් හදාගන්න
වැඩ කීපයක් තමන්ගේ ලිස්ට් එකේ තියෙනකොට සමහරු කරන්නේ, අමාරුම වැඩේ අල්ලගෙන දවසම නටනවා. හරි, අමාරුම වැඩේ නම් ප්‍රමුඛතාවයේ ඉහළින්ම තියෙන්නේ, ඒක ඉක්මනට කරන්න වෙනවා. හැබැයි තමන්ගේ වැඩ ලිස්ට් එකේ විනාඩි පහේ දහයේ වැඩ තියෙනවා නම්, ඒවා කලින් කරලා ඉන්න පුරුදු වෙන්න. ඒ වගේම එකිනෙකට අදාළ වෙන, එකිනෙකට සම්බන්ධ වෙන, එකම විෂයක යන වැඩ ලිස්ට් එකේ තියෙනවා නම්, ඒවා එකට කරන්නත් උත්සාහ කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, කරුණු සෙට් දෙකක් ගැන කතා කරන්න ඉන්නේ එකම කට්ටියක් නම්, ඒ කරුණු සෙට් දෙකට මීටින් දෙකක් ගන්න එක අපරාදේ. එක මීටිමෙන් වැඩේ ඉවර කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට වැඩ කරන විදිය ගැනත් වැඩපිළිවෙලක් හදාගන්න එක මල්ටිටාස්කින් වලට වාසියි. හැබැයි ඉතින් මේවා ප්‍රමුඛතාවයන් අනුව වෙනස් වෙන්න පුළුවන්.
4. ප්‍රමුඛතාවයන් ලබාදෙන්න
අර අපි උඩින් කියලා තියෙන්නේ වැඩ ලැයිස්තුවක් හදාගන්න කියලා. ඊට පස්සේ කියලා තියෙන්නේ වැඩ ලැයිස්තුවේ වැඩ පිළිවෙලක් හදාගන්න කියලා. ආන්න ඒකෙදී සැලකිල්ලට ගන්න ඕන තව කාරණයක් තමයි ප්‍රමුඛතාවයන් කියන්නේ.
සාමාන්‍යයෙන් අපි වෘත්තිය ජීවිතයේදී කරන කිසිම වැඩක් අනවශ්‍ය වෙන්නෙ නැහැනේ. ඒ වගේම නොවැදගත් වැඩක් වෙන්නෙත් නෑ. හැබැයි අනිවාර්යයෙන්ම “හදිසි” වැඩ සහ “වැදගත්” වැඩ ඔය වැඩ අතරේ තියෙනවා. මෙන්න මේවා හරියට වටහාගැනීම වැදගත්. ඒ කියන්නේ තමන්ට තියෙන ඩෙඩ්ලයින්ස්, ඒ කියන්නේ වැඩ භාරදෙන්න ඕන වෙලාව තේරුම් ගැනීම සහ ඒවා පිළිපැදීම අතිශයින්ම වැදගත්. අන්න එතකොට අපිට පුළුවන් ඒ අනුව ප්‍රමුඛතාවයන් හදාගන්න.
5. වැඩ බෙදාහරින්න
ඔය ඕන වැඩක් තමන්ම කරන්න ඕනය කියලා හිතන, වෙන කෙනෙක්ට වැඩේ දුන්නත් සැරින් සැරේ ගිහින් ඇඟිලි ගහන හාදයෝ ඉන්නවා නේද? මළාට මල්ටිටාස්කින් බෑ. ඕකට කියන්නේ මයික්‍රෝ මැනේජ් කරන්න යනවා කියලා. අන්න ඒ නිසා වැඩ හරි විදියට බෙදලා දෙන සාස්තරෙත් ඉගෙන ගන්න වෙනවා, තමන්ට මල්ටිටාස්කින් කරන්න නම්. උදාහරණයක් විදියට, එක් එක් වැඩේට අදාළ පුද්ගලයින්ව හඳුනාගෙන ඒ ඒ පුද්ගලයාට ඒ ඒ වැඩේ භාරදෙන්න ඕන. ඉන්පස්සේ ඉතාම පැහැදිලිව උපදෙස් දෙන්න ඕන වැඩේ වෙන්න ඕන විදිය ගැන. ලිඛිත උපදෙස් නම් වඩාත් හොඳයි. ඊට පස්සේ වැඩේ කරන්න දීලා, අධීක්ෂණය විතරක් කරන්න ඕන. ඒ කියන්නේ වැඩේ කරන කෙනාට ඒ ගැන ප්‍රශ්නයක් ආවොත් විසඳන එක, වැඩේ කරලා ගෙනාවට පස්සේ පරීක්ෂා කරලා ඒකට ෆීඩ්බැක් දෙන එක, අන්තිමට ෆයිනල් ප්‍රොඩක්ට් එක අනුමත කරන එක තමයි වෙන්න ඕන. ආන්න එහෙම කරනකොට තමන්ට තව වැඩ කරන්න කාලය ඉතුරුයි.
6. වෙන වෙන දේවල් වලින් අවධානය එහෙ මෙහෙ දුවන්න ඉඩ නොදෙන්න
මේක දැන් කාලේ ගොඩක් දෙනෙක්ට මල්ටිටාස්කින් තියා සිංගල් ටාස්කින් වත් කරන්න අමාරු ප්‍රශ්නයක්. ඒ තමයි අවධානය එහේ මෙහේ දුවන එක. දැන් මෙහෙමයි. මල්ටිටාස්කින් කරනකොට එක පාර වැඩ කීපයක් ගැන හිතන්න වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ එක වැඩකට හරි අඩු අවධානයක් දෙන එක නෙවෙයි. එක වැඩක් ගැන හරි නොකල්පනාවෙන් වැඩ කරලා වැඩේ අල වෙන එක නෙවෙයි. මේකට ක්‍රම සහ විධි එහෙමත් වුවමනා වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත්, ටීම් එකේ කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් වට්ස්ඇප් මෙසේජ් එකක් එවන්න පුළුවන්. එතකොට අපි වට්ස්ඇප් බලන්නේ මෙසේජ් එකක් එනවා ඇහුණොත් විතරයි. එහෙම නැතුව ලියන රිපෝට් එකට අඩු අවධානයක් දීලා වට්ස්ඇප් මෙසේජ් එනවද කියලා හිත හිතා ඉන්න එක මල්ටිටාස්කින් නෙවෙයි.
ඒ වගේම මේ කාලේ අවධානය එහෙ මෙහේ දුවන ලොකු හේතුවක් තමයි සමාජ මාධ්‍ය. ඒ කියන්නේ ෆේස්බුක් යන්න හිතෙනවා. යූටියුබ් ගිහින් වීඩියෝස් බලන්න හිතෙනවා. ආන්න ඒක හොඳ දෙයක් නෙවෙයි,. මේ විදියේ අවධානය එහෙ මෙහෙ දුවන්න සිද්ධ වෙන කාරණා පාලනය කරගන්න, ස්වයං වැඩ විනයක් තියාගන්න මල්ටිටාස්කර් කෙනෙක්ට පුළුවන් වෙන්න ඕන.
7. වැඩේට ෆෝකස් වෙන්න ට්‍රික්ස් පාවිච්චි කරන්න
ඇත්තටම මල්ටි ටාස්කින් කරන්න නම් තියෙන්න ඕන ලොකුම දේ තමයි වැඩකට අවධානය යොමු කරන්න තියෙන හැකියාව. ඒ කියන්නේ එක වැඩක් කරනකොට ඒකට සම්පූර්ණ අවධානය දීම. ඒ වැඩේ අතරමගදී තවත් වැඩකට ස්විච් වෙන්න, මාරු වෙන්න වුනොත්, ඒ වැඩේට ඒ මොහොතේදී සම්පූර්ණ අවධානය දීම. හැබැයි මල්ටිටාස්කින් සුපිරියට කරන අයට තව දෙයක් පුළුවන්. ඒ තමයි එක මොහොතක කරන එක වැඩකට සම්පූර්ණ අවධානය දීලා වැඩේ කරන අතරේම, අනික් වැඩ වලටත් ඇහැ ගහගෙන, මතක තියාගෙන ඉන්න එක.
දැඩි අවධානයෙන් වැඩ කරන්න ඇත්තටම අර විල් පවර් කියන එක, එහෙම නැතිනම් අධිෂ්ඨානය කියන දේ ඕන වෙනවා. විශේෂයෙන්ම හරි හමන් ඩෙඩ්ලයින් එකක් නැතුවහම මෙලෝ වැඩක් නොකර පිස්සු කෙල කෙල ඉන්නේ, ඩෙඩ්ලයින් ලං වෙනකල් අත ගගා ඉන්නේ අර අධිෂ්ඨානය නැති හාදයෝ. අන්න ඒ නිසා වැඩ අතපහු නොකර, කරන්න ගත්තොත් කරලා ඉවර කරන්න, වටේ යන්නෙ නැතුව වැඩක් කරන්න පටන් ගන්න අධිෂ්ඨාන ශක්තිය ඕන.
8. ටේක් නෝට්ස්
මේකත් මල්ටිටාස්කින් සුපිරියටම කරන අයගේ හොඳ පුරුද්දක්. ඒ තමයි නෝට්පොත් පාවිච්චි කරන එක. මේ ජාතියේ අයට සුපිරි මතක ශක්තියක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ අය කවදාවත් මතක ශක්තිය මත විතරක් යැපෙන්නේ නෑ. ඒ වෙනුවට තමන්ට කරන්න තියෙන දේවල්, මීටිමකදී ගත්තු තීරණ, තමන්ට වැඩ සම්බන්ධයෙන් හිතට එන අදහස් වගේ හැමදෙයක්ම ලියනවා. ඒ නෝට්පොත් ලස්සනට කළමනාකරණය කරලා තියෙනවා. අන්න එතකොට, අවශ්‍ය තොරතුර, අවශ්‍ය මොහොතට පටස් ගාලා නෝට් පොතෙන් එලියට ගන්න පුළුවන්. ඒකට මතකය අවුස්ස අවුස්ස, කාගෙන්වත් අහමින් ඉන්න දෙයක් නෑ!
9. වෙලාවට බ්‍රේක් ගහන්න
මෙන්න මේක ඉතාම වැදගත් දෙයක්. ඒ තමයි යකා බැඳගත්තා වගේ වැඩ කරනවා වගේම, ගාණට වෙලාවට බ්‍රේක් එකකුත් ගන්න එක. අපි කලිනුත් කීප පාර හඳුන්වලා දීලා තියෙන වැඩ කරන ක්‍රමවේදයක් තමයි පොමොදෝරෝ ටෙක්නික් කියන්නේ. මෙන්න මේක මල්ටිටාස්කින් කරන අයටත් ඉතාම වටිනවා. ඒ කියන්නේ විනාඩි විසිපහක් වැඩ කරනා විනාඩි පහක බ්‍රේක් එකක් ගන්න එක. මෙහෙම වාර හතරක් ගියාට පස්සේ ලොකු බ්‍රේක් එකක් ගන්න ඕන. ඒ වගේම වැඩ කරනවා කියන්නේ හවස හයට දවල්ට කන්න නැගිටින එක නෙවෙයි. ඇත්තටම හරියට මල්ටිටාස්කින් කරන මනුස්සයෙක් පිස්සුවෙන් වගේ නොකා නොබී නොනිදා වැඩ කරන්නෙ නෑ. මොකද, තෙල් දාන්නේ නැතුව මැෂින් එකක්වත් හරියට වැඩ කරන්නෙ නෑනේ. හරි නින්දක්, වෙලාවට කෑම, වෙලාවට බීම, වෙලාවට විවේකය ගත්තහම උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න පුළුවන්.
Leave a Reply