උදේට ඇහැරෙන්න කම්මැලි බබාලාව ඇහැරවන ක්‍රම 7ක්

මේ බබාලා කිව්වේ ඔෆිස් යන්න කම්මැලිකමේ ඉන්න අලි බබාලා නම් නෙවේ, ඇත්ත ම ඇත්ත පාසල් යන වයසේ බබාලා ගැනයි. උදේට නැගිටිනවා කියන එක ඇත්තටම පුදුමාකාර විදියට එපා කරපු දෙයක් නේ. ඉතින් පොඩි උන්ව ඇහැරවන්න හෙන ගේමක් දෙන්න ඕනි. ඒකට අපෙන් පොඩි උපදෙස් කීපයක්. මේ දේවල් හරි ගියේ නැත්තන් නියම ලාංකික අම්මා මොඩල් එකට බහින එකේ කිසිම ප්‍රශ්නයක් නැත.



1. ඉර එළිය


බබාව ඇහැරවන්න විනාඩි 15කට කලින් කාමරේ ජනේලේ හොඳට ඇරලා ඉර එළියට කාමරේ ඇතුළට එන්න දෙන්න. මේකෙන් මොළයේ ඇති සෙරටෝනින් ප්‍රතිග්‍රාහක උත්තේජනය කරනවා. සෙරටෝනින් පිටවෙනකොට ස්වාභාවිකවම අවදි වීමේ ක්‍රියාවලියට ඒක සහයක් වෙනවා. ඉතින් ඔක්කොටම කලින් ඉර එළියට බබාව අවදි කරන්න පුළුවන් ද බලන්න.

 


2. සංගීතය


ලෙඩ රෝග පවා සුව කරන සංගීතයට බබෙක්ව ඇඳෙන් ඇහැරවන්න බැරි වෙනවා කියන්නේ සංගීතෙටත් ලැජ්ජාවක්. මල අප්පිරිය එලාම් එකක් වෙනුවට බබා අහන්න ආස සින්දුවක් දෙකක් දාලා තියලා බලන්න. උදේට ඇහැරෙනකොට ඒ තියන මූඩ් එක බලපානවනේ. නින්දකින් ඇහැරෙනවා කියන්නේ යම යුද්ධයක්. ඉතින් ආසම සින්දුවකට මූඩ් එකත් ෆික්ස් කරගෙන ඇහැරෙන්න පුළුවන්.



3. පවුලේ සුරතලා


සුරතල් සතෙකු විදියට බල්ලෙක් පූසෙක් ඉන්න ගෙදරක් නම් එයාව පාවිච්චි කරලා බබාව ඇහැරවන්න පුළුවන්. බබා අම්මා එක්ක යකා නැටුවත් තරහා ගත්තත් කවදාවත් බල්ලා පූසා එක්ක තරහා ගන්නේ නෑ. ඉතින් ඇහැරවන්න ඕනි වුණාම එයාලාව ඇඳ ගාවට එක්කගෙන යන්න. ඊට පස්සේ උන් කෑ ගහන්න පටන් ගත්තම බබා ඇහැරෙයි. හැබැයි ඉතින් මේ දේවල් කරන්න ඕනි මේ සත්තු අතිශය පිරිසිදුවට තියාගන්නවා නම් සහ බබාට ශ්වසන ආබාධ නැත්නම් විතරයි.



4. ඇහැරෙන සෙල්ලම


තරහ ගිහින් ඇහැරුණාම බබාටයි බබාගෙ අම්මටයි දෙන්නටම අවුල්. දවසම සාටර් වෙනවා. ඉතින් එහෙම වෙන්න ඕනි නෑනේ. ඒ වෙනුවට බබා එක්ක සෙල්ලමක් කරන්න පුළුවන්. උදෑසන එක එක වෙලාවක් බෙදාගෙන මේ වෙලාවට ඇහැරුණොත් අරක මේක අරන් දෙනවා, ආස ම කෑම හදා දෙනවා, පාර්ක් එක්කන් යනවා වගේ සෙල්ලමක් කරන්න පුළුවන්. ඒක ඇහැරවන්න තියන ස්ට්‍රෙස් එක නැති හොඳ උපායක්. කොහොමත් බබාලා වෙනුවෙන් කරන්න හිතන් ඉන්න ඒවා ඇහැරවන ඇමක් විදියට භාවිත කරාම එක ගලයි කුරුල්ලෝ දෙන්නයි.



5. ජංගම දුරකතන භාවිතය


දැන් උදේට ගාණට මිම්මට නැගිටින්න නම් කලින් දවසෙ හොඳ නින්දක් ගිහින් තියෙන්න එපැයි. ඒ නින්ද නැති කරවන සාධක අයින් කරාම උදේට ඇහැරවන්න අමුතු මහන්සියක් ගන්න ඕනි නෑ.  ඒ නින්ද නැති කරවන එපාම කරපු සාධකේ තමයි ෆෝන් එක භාවිත කරන එක. ඔයාගේ ඉස්කෝලේ යන වයසේ ඉන්න බබා මොන යම් හේතුවක් නිසා හරි ස්මාර්ට්ෆෝන් එකක අයිතිකාරයෙක් නම් එයා නිදාගන්න කලින් ෆෝන් එක භාවිත කරන එක අවම කරන්න ඕනි. මේකට හේතුව ෆෝන් එකේ තියෙන නිල් එළිය. 



6. පරක්කු වෙන්න ඉඩ දෙන්න


මේක හැමදාම කරන්න හොඳ දෙයක් නම් නෙවෙයි. හැබැයි මේ ප්‍රමාදයේ තියෙන විපාක බබාට දැනෙනකන් පරක්කු වෙන්න ඉඩ දෙන්න. මොකද කියනවා නම් මේ ඇහැරවන සිද්ධිය එක්ක බබාලා හිතන්නේ අම්මා මොකක් හරි තරහක් පිරිමහගන්න මේක කරනවයි කියලා. ඒත් මේ නැගිටින්න කියන්නෙ තමන්ගෙම හොඳට. සමහර වෙලාවට මොනවා කරත් ඒක එයාම අවබෝධ කරගන්න ඕනි.



7. සිරි ලංකන් ස්ටයිල්


මේ මොකක් කරත් හරියන්නැති බබ්බු ඉන්නවනේ. එයාලා ඇහැරෙන්නේ අම්මගේ කටේ සද්දෙට. ඒක මොනම හේතුවකටවත් වෙනස් වෙන්නේ නැති දෙයක්. ඒ සද්දේ ප්‍රමාණය ඒ ඒ බබාට ඒ ඒ විදියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *