අපි තමයි හොඳටම කළේ – කොරෝනා හොඳටම පාලනය කළ රටවල් මෙන්න!

හැමතැනම කතා කරන්නෙ කොරෝනා ගැන. හැබැයි හැමෝම කතා කරන්න වැඩිපුරම අකමැතිත් කොරෝනා ගැන. ඒ තරමටම මේ කොරෝනා එහෙමත් නැත්තම් කොවිඩ් 19 වසංගතය සාමාන්‍ය ජන ජීවිත වලට බලපෑම් ඇතිකරලා. හැමෝම බලන් ඉන්නෙ කොරෝනා නැති දවසක ආයේ පරණ විදිහට ජීවිතේ ගත කරන්න. මාස්ක් එක ගලවලා ලස්සනට හැමෝම එක්ක හිනාවෙන්න. ඇත්තටම මේ කොරෝනා පරද්දන්න අපිට බැරිද? අපොයි පුළුවන්. හැබැයි වගකීම තියෙන්නෙ තම තමන්ගේ අතේම තමයි. ඉතින් ඔන්න කියවන අයට හොඳ මෝටිවේෂන් එකක් වෙන්නයි තම තමන්ගේ වගකීම, කාර්යභාරය මතක් වෙන්නයි අපි හිතුවා වගකීම අකුරටම ඉටු කරලා කොරෝනා සටන හොඳින්ම සටන් කරමින් ඉන්න රටවල් කීපයක් ගැන කියන්න. පිළිවෙල එහෙමෙහෙ වෙන්න පුළුවන් උනත් කොරෝනා පාලනයේදී ඉදිරියෙන්ම ඉන්න රටවල් තමයි මේ. ඔන්න මම තමයි හරියටම ඉන්නේ කියල අධි තක්සේරුවෙන් නොඉඳ මේ රටවල් ගැන විස්තර කියවල බලන්න. 

 

1. නවසීලන්තය

නවසීලන්තය කියල කියන්නේ ඉතින් ලංකාවේ අපි හුඟ දෙනෙක් ආස කරන රටක්නේ. ජනගහණය පැත්තෙන් බැලුවොත්නම් නවසීලන්තයේ ඉන්නේ මිලියන පහකට ආසන්න ජනතාවක්. නමුත් හුඟක් සංක්‍රමණිකයින් ජීවත්වෙන රටක් නිසා ඔවුන් මේ කොරෝනා උවදුරට හරිම ඉක්මනින් ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක උනා. නවසීලන්තයෙන් පළමු කොරෝනා රෝගියා හමුවෙන්නෙ 2020 පෙබරවාරි මාසයේ අග හරියේදී. මාර්තු මුල් වෙනකොට රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යන වාතාවරණයක් නවසීලන්ත රජය දකිනවා. ඉක්මනින් ක්‍රියාත්මක වෙලා රට වසාදමන්න ඔවුන් කටයුතු කරනවා. ඒ නිසාම අද වෙනකොට මුළු රටේම රෝගීන් 29 දෙනෙක්ගේ මට්ටමින් පාලනය කරගන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. 2020 පෙබරවාරි අන්තිම ඉඳලා මේ වෙනකන්ම ඒ රටේ කොරෝනා රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ 2702. ඒකෙනුත් මරණ සිදුවෙලා තියෙන්නෙ 26යි.

 

2. සිංගප්පූරුව

සිංගප්පූරුව කියන්නෙත් කොරෝනා හොඳින්ම පාලනය කරපු රටක්. රටේ ජනගහණය මිලියන 5ක් වගේ පොඩි සංඛ්‍යාවක්. හැබැයි සෑහෙන්න සංචාරක ආකර්ෂණය දිනාගත්ත රටක් විදිහට අවදානමේ ඉහළින්ම හිටපු රටක්. රට ඇතුළේ වෛරසය පැතිරීම ආරම්භ වුණා කියල සැළකෙන්නේ 2020 පෙබරවාරි මාසයේ ඉඳලා. හැබැයි ඒ කාලයේ ඉඳලා 2021 මැයි වෙනකන්ම වාර්තා වෙලා තියෙන්නෙ රෝගීන් 62,245 අතරින් මරණ 34ක් විතරයි. හැබැයි පහුගිය සති කිහිපය ඇතුළේ සිංගප්පූරුවේ රෝගීන්ගේ සීග්‍ර වැඩිවීමක් නැවත දකින්න තිබුණා. ඒ තත්ත්වයත් මේ වෙද්දී ඔවුන් ඉතා හොඳින් පාලනය කරමින් ඉන්නවා. 

 

3. වියට්නාමය

වියට්නාමය කියන්නෙ ලංකාවට සාපේක්ෂව ලොකු ජනගහණයක් ඉන්න රටක්. හරියටම කිව්වොත් මිලියන 96.46ක්. ලංකාව වගේ කිහිප ගුණයක්. මේ රටේ මුල්ම කොරෝනා රෝගියා වාර්තා වෙන්නේ 2020 ජනවාරි 17. ඒ ව්‍යාපාර කටයුත්තකට චීනයේ වූහාන් නගරයට ගිහින් එන කාන්තාවක්. ඒ මුල්ම රෝගියාගේ ඉඳලා අද වෙනකන්ම වියට්නාමයේ රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ 10,048ක්. එයිනුත් මරණ සිදුවෙලා තියෙන්නෙ 57යි. හැබැයි සිංගප්පූරුවේ වගේම පහුගිය සති කිහිපයේ රෝගීන්ගේ වැඩිවීමක් වියට්නාමයේත් දකින්න පුළුවන්. 

 

4. මොරිෂස් රාජ්‍යය

මොරිෂස් රාජ්‍යය කියන්නෙ නැගෙනහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයක්. ජනගහණය මිලියන 1.2ක්. පළමු කොරෝනා රෝගියා හමුවෙන්නේ 2020 මාර්තු 18 වෙනිදා. පහුවදාම රටේ සියළුම සීමාවන් වසාදමන්න ඒ රටේ රජය තීරණය කරනවා. ඊටත් පහුවදා මුළු රටටම ඇඳිරිනීතිය පනවනවා. එක රෝගියෙක් නිසා මේ තරම් ලොකු ක්‍රියාදාමයකට ගිය නිසාම ඔවුන්ට පුළුවන් වෙනවා අද වෙද්දී රෝගීන් 1,564 දෙනෙකුගෙනුත් මරණ 18කිනුත් මේ රෝගය පාලනය කරගන්න. 

 

5. දකුණු කොරියාව

දකුණු කොරියාව කියල කියන්නෙ මිලියන 51ක ජනතාවක් ජීවත්වෙන විශාල රාජ්‍යයක්. ඔවුන්ගේ රටේ මුල්ම කොරෝනා රෝගියා වාර්තා වෙන්නෙ 2020 ජනවාරි මාසේ. හැබැයි විශේෂම කතාන්දරය ඒක නෙමෙයි, 2020 පෙබරවාරි 18 වෙනිදා වාර්තා වෙන “Patient 31” ලෙස නම් කෙරුණු 61 හැවිරිදි කාන්තාවක් නිසා දකුණු කොරියාවේ කොරෝනා කතාන්දරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඇය සහභාගී වුණු දේව මෙහෙයක් නිසා රටේ රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යනවා. රෝගීන් පිළිබඳ වාර්තා J වක්‍රයක් විදිහට පෙන්වනවා. හැබැයි මේ හැම අවස්ථාවකදීම ගතයුතු ක්‍රියාමාර්ග නිසි වෙලාවට ගත්ත නිසා දකුණු කොරියාවට පුළුවන් වෙනවා අද වෙද්දී රෝගීන් ගණන 147,000ක මට්ටමටත් මරණ 1,982 ක මට්ටමටත් පවත්වා ගන්න. මුලදී සිදුවුණ පැතිරීම සහ කොරියාවේ ජනගහණය එක්ක සළකා බලනකොට මේක ඉතා හොඳ පාලනය කිරීමක්. 

 

6. තායිවානය

තයිවානයත් කොරෝනා සටනේ ඉදිරියෙන්ම ඉන්න රටක්. තායිවානයේ ජනගහණය මිලියන 23ක් වෙනවා. ලංකාවට බොහෝ ආසන්න අගයක්. මේ රටේ පළමු කොරෝනා රෝගියා වාර්තා වෙන්නෙ 2020 ජනවාරි 21 වෙනිදා. ඒ චීනයේ වූහාන් නගරයේ ඉඳලා පැමිණි 55 හැවිරිදි කාන්තාවක්. අද වෙද්දී රටේ ඉන්න මුළු රෝගීන් ගණන 12,500ක්. ,මරණ සිදුවෙලා තියෙන්නෙ 385ක් විතරයි. 

 

7. ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 25කට වැඩි සංඛ්‍යාවක්. ඕස්ට්‍රේලියාවේ මුල්ම කොරෝනා රෝගියා වාර්තා වෙන්නේ 2020 ජනවාරි මාසයේ 25 වෙනිදා. ඒ වූහාන් නගරයේ ඉඳලා ආපු පිරිමි කෙනෙක්. සියළු සීමාවන් වසා දැමීම, ඇඳිරිනීතිය සහ එන්නත්කරණය මඟින් අද වෙද්දී ඔවුන් මේ වසංගතය හොඳින් පාලනය කරමින් ඉන්නවා. සම්පූර්ණ ජනගහණයෙන්ම අද වෙද්දී වාර්තා වෙලා තියෙන රෝගීන් ප්‍රමාණය 30,327ක්. ඒ වගේම මරණ සිදුවෙලා තියෙන්නෙ 910ක්. 

මේ කියපු රටවල් විතරක් නෙමෙයි ලෝකයේ අනිත් හැම රටකටම ඉක්මනින්ම මේ නපුරු වසංගතයෙන් ගැලවෙන්න හැකියාව ලැබෙන්න කියල ලයිෆි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *