මහා දේශපාලන කුණාටුවකින් රෙදි ඉල්ලේ වෙන සෙට් එක

අපේ රටේ දේශපාලනයේ විශාල පෙරළියක් පසුගිය දවස්වල සිද්ධ වුනා. ලංකාවෙ මේ දේශපාලන පෙරළිය විදෙස් මාධ්‍යවලද හරි හරියට කතා උනා. නව අගමැතිවරුන් පත්කිරීම්, ඔවුන්ට බහුතරය නැති වීම්, අරලියගහ මන්දිර කලබල, ඒ ඒ පක්ෂවල රැස්වීම් සහ රැළි, රූපවාහිනී සහ මීඩියා නාටක, පාර්ලිමේන්තු කලබල, පැනීම් වලින් මේ දේශපාලන නාටකය සමන්විත වුනා. මේ ඔක්කෝම ඒ උතුමන්ලා කරන්නේ අපේ රටේ, ජාතියේ, අපේ අනාගතය ගැන හිතලාය කියලා මතක් වෙද්දි ඇත්තටම අපේ පපුව හෝස් ගාල යන එක නවත්වගන්න අමාරුයි. ඔවුන් පාර්ලිමේන්තුවේ පිහි අරන් ආවෙත්, මිරිස් කුඩු ගැහුවෙත්, ඒ පැත්ත මේ පැත්ත පැන්නෙත් මොකද? ඒ ඔක්කොම මේ අපිට ආදරේට එතුමන්ලා කරපු දේවල්. මේ වගේ ක්‍රියාදාමයකින් රෙදි ගැලවෙන කාණ්ඩය කවුරුන්ද? අපි ටිකක් ඒ ගැන බලමු.

 

1. මාධ්‍යකරුවන්

Image Source – slcj.lk

රජය පොඩි කාලෙකින් වෙනස් වෙද්දි මාධ්‍යවලටත් ඉක්මනින්ම වෙනස් වෙන්නට වෙනවා. විශේෂයෙන් රජයේ මාධ්‍යවලදී එකම නිවේදිකාවට, නිවේදකයාට පෙර බලයේ සිටි අය ඉවත් වීමත් එක්ක වෙනස්ම කතා කියන්නට වෙනවා. එතෙක් බලේ සිටි අයගේ හැම දෙයක්ම හොඳයි කියපු අයට ඉන් පස්සේ එයාල කරන කියන හැමදේම නරකයි, රටට අහිතකරයි කියන්න වෙනවා. පුද්ගලික මාධ්‍ය වුනත් රජය මාරු වෙද්දි එයාලගේ ලොක්කා මාරුවුනොත් ඒත් පැත්ත මාරු වෙනවා. මාසෙකට කලින් ඒ ටීවී චැනල් එකෙයි පත්තරේයි තිබ්බ දේවල් සහ දැන් තියෙන දේවල් දිහා බැලුවාම මාධ්‍යකරුවන් කියන අය කොච්චර ඉක්මනින් පාට වෙනස් කරගෙනද කියලා අපිට බලාගන්න හැකියි.

 

2. අනාවැකිකරුවන්

Image Source – globalpressjournal.com

කේන්දර බලලා දේශපාලන අනාවැකි කීම මැතිවරණ වලදී හෙම ටිකක් ජනප්‍රිය අංගයක්. ඒත් මේ පසුගිය දේශපාලන සංක්‍රාන්තිය ඇතුළේ දේශපාලනය ගැන වැඩිමනක් අනාවැකි කියන්න ජනප්‍රිය කේන්දර සෙට් එක බැස්සේ නැහැ. සමහර අය කියලා තිබුන විදියට මේ වෙනස් වෙන ඉක්මනට සාස්තරේ කියාගන්න අමාරුයිලු. සමහර විට එයාල කේන්දර බලද්දි මේ දවස්වල දේශපාලකයින්ගේ ග්‍රහයින් ෆාස්ට් ෆෝවඩ් ක්‍රමේට බොහොම වේගයෙන් යන නිසා අනාවැකි කියන්නත් අමාරු ඇති. රූපවාහිනී චැනල් එකකට වෙලා දුර ඈත ගමක ඉන්න මනුස්සයෙක් කෝල් කළාම කටින්ම අල්ලගෙන උන්දැට රෙදි අන්දන්න මේ කේන්දර සාස්තර කණ්ඩායම සමත්. මේ රටේ මෙච්චර ලොකු වෙනසක් ඔවුන්ට කලින් පෙනුන් නැති එක හරිම පුදුමයි නේද?

 

3. මැදහත් දේශපාලන විචාරකයින්

Image Source – politicalcritique.org

මැදහත් දේශපාලන විචාරකයින් කියල කණ්ඩායමක් ඇතැම් විට අපිට දකින්නට ලැබෙනවා. එයාල පත්තර වල තීරු ලිපි හරහා, රූපවාහිනී වැඩසටහන් හරහා මෙන්ම වර්තමානයේ යූ ටියුබ් හරහාත් අපිට පේනවා. එයාල පිටරට දේශපාලන විස්තර, ඒ රටවල දියුණුව, අපේ රටේ තියෙන අවුල් ආදිය කියා අපිව දැනුවත් කරනවා. මේ ලොකු දේශපාලන කුණාටුව යද්දි ඒ බොහෝ දෙනෙක්ගේ රෙදි, ඉගිල්ලෙන වවුලෙකුගේ තටු වගේ උඩ ගිහින් අපිට ඇතුළ පේන්නට ගන්නවා. ඒ කියන්නේ මැදහත්ය, නිර්පාක්ෂිකය, වෘත්තීයවේදින්ය, ආචාර්යය, මහාචාර්යය කියලා ඉන්න අය මොන පක්ෂයටද, මොන ප්‍රවාහයටද කෙලින්ම කඩේ යන්නෙ කියලා මේ වගේ දේශපාලන කුණාටුුවකදී පලකරන අදහස් වලින් අපිට හොඳට පේන්න ගන්නවා.

 

4. ආගමික නායකයින්

Image Source – peaceforafrica.org

ආගමික නායකයින් ඉස්සර නම් කළාය කියලා පොත පතේ සඳහන් වෙන්නේ කලහකාරී පිරිස් සමගි කිරීම. ඒත් දැන් නම් අපිට පේන්නේ ආගමික නායකයින් කලහකාරී අයට ඉන්ධන සැපයීම ආදියත් සිද්ධ කරන ආකාරයක්. පාර්ලිමේන්තුවේ මයික් ගලවන්න ගිහින් අත තුවාල කරගත්තාම ඒකට පිරිත් නූල් බඳින්නත් ආගමික නායකයින් ඉන්නවා. ඒ වගේම රටේ ඉහළ පුටුවල කට්ටිය තමුන්ගෙන් උපදෙස් ගන්න එද්දි “මට එයාව හමුවෙන්න නම් බැහැ” කියන මොන්ටිසෝරි ගති තියෙන ආගමික නායකයොත් ඉන්නවා. මිනිසුන් සමනය කළ යුතුයැයි සඳහන් කරන ඇතැම් ආගමික නායකයින්, දේශපාලන වේදිකා වලට පවා නැගලා ජනතාව කුප්පන කතා කියද්දි ඇත්තටම ඒ ලෝගුවල, සිවුරුවල විශේෂ වටිනාකමක් තියේද කියලා සාමාන්‍ය ජනතාවට හිතෙනවා. ඒ අස්සේ සමහර ආගමික නිකායන් පත්වෙන අලුත් නායකයින්ගේ සිත දිනාගන්න ආගමික උත්සව, කෑම වේල් ආදියට ආරාධනා කිරීම් එහෙමත් කරනවා. දේශනා වලදි නම් රටට ජනතාවට සෙත සලසන්න බොහෝම කැපවුණු මේ ආගමික නායකයින් රටේ මහා දේශපාලන කුණාටුවෙදි මොකද කළේ? පොඩ්ඩක් හිතලා බලන්නකො ඒ ගැන.

 

5. එතුමාගේ කැම්පේන්කරුවන්

Image Source – herald.dawn.com

හැම ලොකු දේශපාලකයාටම කැම්පේන් එක කරන්න කිහිප දෙනෙක් ඉන්නවා. ඒ අතර ෆේස්බුක් එකේ කැම්පේන් කරන්නත් පිරිසක් ඉන්නවා. මේ අයට පැවරෙන රාජකාරිය සුළුපටු නැහැ. පාර්ලිමේන්තුවේ එහෙම ගැටුමක් ගියාම ඒකේ තමුන්ගේ පාර්ශවය සුද්ද කිරීමත්, විරුද්ධ පක්ෂයේ සුළු වැරැද්ද ලොකුවට ගෙන එය හුවාදැක්වීමත් මේ කැම්පේන්කරුවන්ට බාර වෙනවා. ඒ වගේම මහා දේශපාලන ප්‍රවාහයට අදාළ නැති මේ කැම්පේන්කරුවන්, ඉදිරිය ගැන සාස්තර කියන්න ගිහින් ඇනගන්න තැනුත් ගොඩයි. මෙච්චර බහුතරයක් ඉන්නවා, මෙයාල අපි එක්ක ඉන්නවා කියලා ටෝක්ස් දුන්නට මෙන්න හෙට උදේ වෙද්දි ඒවා වෙනස් වෙලා. සමහර ෆේස්බුක් කැම්පේන්කරුවන් තමුන්ගේ ලොක්කන්ගේ හදිසි වෙනස්වීම් නිසා ගොඩක් අසරණ වෙලා තිබුනා. ලොක්කා දවල් හිටිය රැස්වීමේ පින්තුර ටික ෆේස්බුක් එකට රෑ දානකොට රෑ ඒ වෙද්දි ලොක්ක පැනලා කැම්පේන්කාරයටත් නොකියාම. පව් නැද්ද දෙයියනේ ඉතින් එයාල?

 

6. අපේ දේශපාලකතුමා

Image Source – commons.wikimedia.org

අපි ඡන්දයෙන් පත්කරපු දේශපාලකයෝ මේමයි මේමයි කියලා අපි අහලා තියෙනවා. ඒ වගේම දේශපාලකයින්ගේ ක්‍රියාකලාපය ගැන ලියපු පොත පත, චිත්‍රපට වගේම විහිළු ජවනිකාත් අපි දැකලා තියෙනවා. ඒත් මේ දේශපාලන අර්බුදය නිසා අපිට එතුමන්ලාගේ සැබෑව දැකගන්නට හැකිවුනා. දේශයට මිනිසුන්ට ආදරේය කියන මිනිස්සු, මේ තනතුර ලොකු නැහැය කියන මිනිස්සු ඒවා දාල නොයා ඒවයෙ එල්ලිලා ඉන්න ලස්සන. ඇත්තටම මේ තත්ත්වය ජාත්‍යන්තරයට ගියත් අපේ දේශපාලකයින්ට ලැජ්ජාවක් ඇති බවක් පෙනුනේ නැහැ. සමහර පාර්ලිමේන්තු දර්ශන පාසැලක තියෙන ගැටුම් වලටත් වඩා අන්ත විදියට ජනතාවට දකින්නට ලැබුනා. මේ තුළින් නාටක චිත්‍රපට වලින් දැක්වෙන දේශපාලකයින්ට වඩා ඇත්ත බුවාල අන්තයි කියලා මිනිස්සුන්ට බලාගන්න පුලුවන් වුනා.

 

7. මහ ජනතාව

Image Source – groundviews.org

මේ දේශපාලන කුණාටුවෙන් ඉහත කී පිරිස් වගේම ලංකා දූපතේ මේ වෙලාවෙ ඉන්න ශ්‍රී ලාංකිකයින් හැමෝම පීඩාවට පත් වෙනවා. අපි ලෝකෙට ඩොලර් බිලියන 345ක් ණයයි කියල හිතමු. එහෙමනම් ඩොලර් එකට සාපේක්ෂව රුපියල එක් රුපියලකින් පහළ යද්දි අපි වැඩිපුර රුපිියල් බිලියන 345ක් ඒ වෙනුවන් ගෙවන්නට ඕනා. ඒ දැක්වුනේ ඩොලර් එක ඉහළ යෑම නිසා රටට වෙන හානිය. සංචාරකයින්ට ලස්සන රටක් වෙන ලංකාවට දේශපාලන වලි සමයකදි සංචාරකයින් එන්න කැමති වෙයිද? 2019දි අපිට පිටරටට ණය විදියට ගෙවන්න තිියෙන මහා සල්ලි තොගය ගෙවන්න පාලකයින්ට ප්ලෑන් එකක් තියේද? මේ රටේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට හෙටක් හදනවාය කියලා බලයට ඇවිත් ඇති හැකි මිනිස්සුන්ටත් පාරට බහින්න වෙන තත්ත්වයක් ඉදිරියේ ඇතිකරන්න මේ දේශපාලක නඩයේ බල ලෝබ නාටක සීරිස් එක හේතු වෙලා තියෙනවා.

 

දේශපාලන ස්ථාවරත්වය කියන්නේ ලංකාවෙ ඉන්න අය වගේම ලංකාවේ ඉඳන් රට ගිය අයටත් බොහොම වැදගත් දෙයක්. ජාත්‍යන්තර නිවුස් වල ලංකාවේ පාාර්ලිමේන්තුව කිියලා යන දර්ශන එක්ක විදෙස් ගතවෙලා ඉන්න ලාංකිකයෙක්ටත් අද පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. රටට ගොඩාක් ආදරේ කරලා නුවමනා වෙලාවල් වලදි වෙනස්කම් කරන්න ගිහින් ඇනගන්නේ නැති නායකයින් පත්කරගන්න ජනතාව ඊළඟ වතාවෙවත් බුද්ධිමත් වෙයිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *