මේ දේවල් කරනවනම් ඔබ ඔබ ගැනම ලැජ්ජා විය යුතුයි

රටක ජීවත් වෙන අපි ඒ රටේ සමස්ත පද්ධතියටම තනි තනිව උනත් බලපෑම් ඇතිකරන්න පුළුවන් පුද්ගලයෝ. එච්චර බර වචනෙන් නැතුව සරලවම තේරෙන සිංහලෙන් කිව්වොත් අපි සමාජයේ ඉන්න තනි මිනිස්සු උනාට අපි කරන කියන දේවල් වලින් පුංචිම හරි බලපෑමක් ඒ සමාජයට ඇතිවෙන්න පුළුවන් කියන එකයි. අපි එදිනෙදා ජීවත් වෙද්දී හිතල බලල වගේම එක පාරටම වැඩිය දුර දිග නොහිතා උනත් එක එක ක්‍රියාකාරකම් කරනවනේ. එහෙම සමහර දෙනා කරන, හැබැයි සමාජයට බොහොම නරක ප්‍රතික්‍රියාවන් ඇතිවෙන දේවල් ඕන තරම් තියෙනවා. ඒ අතරින් කීපයක් ගැන තමයි මේ කතා කරන්නේ. මෙන්න මේ දේවල් වැඩිපුර නොහිත උනත් ඔයාගේ අතින් සිද්ධ වෙනවනම් ඒවා මනුස්සයෙක් හැටියට කරන්න එච්චරම හොඳ වැඩනම් නෙමෙයි. ඒ කිව්වේ කෙනෙක්ට කරන්න ලැජ්ජා බය ඇතිවෙන්න ඕන තරම් නරක වැඩ තමයි මේවා.  

 

 

1. වටේ පිටේ ඕපාදූප

 අදකාලේ ගැහැණු පිරිමි කියල වෙනසක් නැතුව අනුන්ගෙ ඕපාදූප හොයන අය සමාජයේ ඕන තරම්. අපි අර කතාවට කියන්නෙ චීත්ත කියලා. කොයිහැටි වෙතත් ගැහැණු, පිරිමි කවුරු කළත් මේ ඕපාදූප හෙවිල්ල කියන්නෙනම් අන්තිම කැත පුරුද්දක්. තම තමන්ගෙ ජීවිත වල නිදහස අපි අගය කරනව වගේම තමයි කොයි මනුස්සයත්. ඒ නිසා අනුන්ගෙ දේවල් හොයනවා කියන එකනම් ඕනෙම නැති වැඩක්. හැබැයි කෙනෙකුට දුකක් කරදරයක් වුණ වෙලාවක හොයලා බලල උදව්වක් කරන එකනම් මේ කතාවට අදාළ වෙන්නෙ නැහැ. ඒක අපි කා අතිනුත් වෙන්න ඕන යුතුකමක්නෙ. හැබැයි එහෙම උදව් කරන මුවාවෙන් ගිහිල්ලා ඕපාදූප හොයන උන්දැලත් නැතුවම නෙවෙයි හොඳේ.  

 

 

2. කට කතා පැතිරීම 

මේකත් ඔය කලින් කියපු එකටම සම්බන්ධයි. ඕපාදූප හොයල ඒවා තනියම රසවිඳල නිකන් ඉන්නෙ නැහැ සමහර කට්ටිය. ඒක ගිහින් එක දෙක කරල “අන්න අහවලාට මෙහෙමයිලු… අරහෙමයිලු…” කියල තව කෙනෙකුගෙ කණේ තියනකන් නින්ද යන්නේ නැහැ ඒ ජාතියේ කට්ටියට. මේකත් හරිම කැත වැඩක්. තමන් හරියට නොදන්න කාරණාවක් ගැන තව කෙනෙකුගෙන් ඇහුන පලියට කතා කරන එක කොච්චර වැරදිද? ඒ නැතත් හොඳින්ම දන්න, තහවුරු කරගත්ත කාරණාවක් උනත් වෙන කෙනෙකුගේ ජීවිතේට සම්බන්ධ දෙයක්නම් ඔහේ තැන තැන කියවන්නෙ නැතුව ඉන්න එක තමයි හොඳම. අපි නොහිතා පතුරන කතාවක් නිසා කෙනෙකුගෙ ජීවිතයට නොහිතන තරම් ලොකු බලපෑමක් වෙන්න පුළුවන් බව විතරක් මතක තියාගන්න. කටකතා පතුරවන්න බය වෙන්න.

 

 

3. අනවශ්‍ය සමාජ තරඟය

මේ තරඟය ඇතිවෙන්නෙ හුඟක්ම වැරදි අවබෝධය නිසා. අනිත් කෙනා තමන්ට ඉරිසියයි, තමන්ට තියෙන දේවල් වලට ඉරිසියයි, එයාට මට වඩා ගොඩගහගන්න ඕන වගේ වැරදි අදහසක් ඔලුවට දාගත්තම තමයි එයාට වඩා ඉහළට යන්න ඕන කියන හැඟීම එන්නේ. මේ තරඟය ඉතින් ගොඩක්ම දකින්න තියෙන්නෙ කාන්තාවන් අතරෙ තමයි. අල්ලපු ගෙදරට වඩා ලොකු TV එකක්, ලොකු කාර් එකක්, ලස්සන වත්තක් වගේ ඒව විතරක්නම් බැරියෑ. අල්ලපු ගෙදර කොල්ලට වඩා උඹ ලකුණු වැඩියෙන් ගනින් කියල ළමයින්වත් තරඟෙට දක්කන්නෙ අම්මල තමයි. පාසල් ඇතුලෙ ළමයි අතරේ අධ්‍යාපන තරඟයක් ඇතිවෙන එකනම් හොඳයි තමයි. එත් ඔය කියපු විදිහට අනික් මිනිහට රිද්දන්න කරන තරඟය නම් ඉතින් හරිම කැතයි. නිකමට අපි කියනවට උත්සහ කරල බලන්නකෝ. තරඟය අමතක කරපු දවසට ජීවිතේ හරිම ලේසියි.

 

 

4. පරිසර දූෂණය

මේ ගැනනම් උදේ හවස TV, රේඩියෝ වල පවා එපා වෙනකන්ම අහන්න දකින්න තියෙනවා. පරිසරය රැකීමේ වැදගත්කම කියල දෙන්න හුඟක් දෙනෙක් උත්සහ කරනවා නිතරම. ඒත් ඒ දේවල් කණකටවත් නොගන්න පිරිසක් හැමදාමත් ඉන්නව මේ රටේ. තමන් සමාජයේ කොච්චර ලොකු තැනක හිටියත් වැඩක් නැහැ පරිසරයට තමන්ගෙන් තියෙන දායකත්වය හානිදායක එකක්නම්. ලොකු ලොකු වාහන වලින් ඇවිල්ල පාරට කුණු දාල යන නෝනා මහත්තුරු අපි කොච්චර දකිනවද දිනපතා. අන්න ඒ වගේ හුස්ම ටික දෙන පරිසය අනාගත පරපුරට ඉතිරි නොකර විනාස කරන්න දායක වෙන කෙනෙක්නම් ඔන්න ඔබ ගැනම ලැජ්ජා වෙන්න තවත් හේතුවක්. 

 

 

5. මිනිසුන්ව ගසා කෑම

මේක ඉතින් අදාළ වෙන්නෙ කොයිම විදිහක හරි ව්‍යාපාර කරන අයට. තමන් කරන ව්‍යාපාරය සාධාරණව කරන්න ඕන කියන එකයි සරලම අදහස. අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් මිනිස්සුන්ව ගසා කනවනම්, සාධාරණ මිලකට තමන්ගේ භාණ්ඩ සේවා අලෙවි කරන්නෙ නැත්තම් ඒකත් ඉහළින්ම ලැජ්ජා වෙන්න හේතුවක් කියල ඔන්න මතක තියාගන්න. සාධාරණව උපයන දේවල් තමයි දවසක තමන්ටත් යහපත උදාකරන්නෙ.

 

 

6. සත්ව හිංසනය

සත්තු ගැන අද කාලෙ හුඟක් සංවිධාන වලින් කතා කරනව. සත්තුන්ට උදව් කරනව. ඒ කොච්චර කලත් අහිංසක සත්තුන්ට හිතාමතාම හිරිහැර කරන සිදුවීම් අපිට දිනපතාම කොච්චර අහන්න දකින්න ලැබෙනවද. උදව්වක් කරන්න බැරිනම් අඩුමගානෙ හිරිහැරයක්වත් නොකර ඉන්න පුරුදු වෙන්න ඕනනෙ මනුස්සයෙක් වුණාම. ඒ නැත්තම් අපි මේ ලබල තියෙන මනුස්ස ජීවිතෙනුත් වැඩක් නැහැ ඉතින්. බුදු බණේ උනත් කියල තියෙන්නෙ තමන් උපමා කරගෙන අන් අයට හිංසා පීඩා නොකරන්න කියලනේ.   

 

 

7. අනුන් හෙලා දැකීම

අපිට සමාජයේ දකින්න තියෙන්න තවත් නරකම නරක පුරුද්දක් තමයි මේක. තමන්ට වඩා මොනම තත්ත්වයකින් හරි පහත් කියල හිතන අයට නරක විදිහට කතා කරන, නරක විදිහට සලකන මිනිස්සු අපිට කොච්චර දකින්න ලැබෙනවද. හැබැයි වෘත්තීය, සමාජ මට්ටම, අධ්‍යාපනය හරි නැත්තම් වෙන පෞද්ගලික කාරණාවක් හරි ඕනෑම දෙයක් නිසා තව කෙනෙක්ට කරන අපහාසයන්, හිත් රිදවීම් එයාලට කොහොම දැනෙනවා ඇතිද කියල කවදාවත් හිතල බැලුවෙ නැහැ නේද? ඒ නිසා හිතට ගන්න. කවුරුත් කවදාවත් කිසිම හේතුවකට තමන්ට වඩා පහත් කරල කතා කීරීම හොඳ මනුස්සයෙක් හැටියට අපි කරන්න සුදුසු දෙයක්නම් නෙමෙයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *