හෙඩින් එක දැක්ක ගමන් බැලුවද ඇයි අද ලයිෆි එක ඇවිත් කුණුහරුප කියන්නේ කියලා? හැබැයි ඇත්තටම අපි කුණුහරුප කියලා නෑ. අභිසාරිකාව නැතිනම් පොදුවේ හඳුන්වන විදියට ලිංගික ශ්‍රමික කාන්තාවක් හඳුන්වන්න භාවිතා වුණු පදයක් තමයි වෛශ්‍යාව කියන්නේ. සංස්කෘත වචනයක් වුණු වෛශ්‍යා කියන පදය සිංහලට වර නැගෙන්නේ ‘වේස’, ‘වෙසඟන’ විදියට. හැබැයි මේ වචනේ කුණුහරුපයක් නොවුණට බොහොම අපහාසාත්මක, අවමන් කිරීමට පාවිච්චි කරන වචනයක්. පොදුවේ කිවුවොත් වෙසඟන හෝ වෛශ්‍යාව කියන වචන වලට වඩා බොහොම පහත් අර්ථයකින් තමයි ‘වේසි’ කියන වචනය යෙදෙන්නේ.
හරි, මේක සිංහල පාඩමක් නෙවෙයි. හැබැයි මේක සමාජ විද්‍යාවට අයිති දෙයක්. ඇයි ඇත්තටම මිනිස්සු ගැහැණුන්ව වේසියෝ විදියට හඳුන්වන්නේ? විශේෂයෙන්ම වෛශ්‍යා වෘත්තියේ යෙදෙනවා කියලා කිසිම සාක්ෂියක් නැති කාන්තාවකට පවා ගරහන්න මිනිස්සු වේස පදය යොදාගන්නේ ඇයි? ආන්න ඒ ගැන තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ!
1. මොන වගේ කෙල්ලන්ටද මෙහෙම කියන්නේ?
හොඳ ප්‍රශ්නයක්. මොන වගේ කෙල්ලන්ටද මෙහෙම නොකියන්නේ? ටැටූ ගහන කෙල්ලෝ බඩු, කොටට අඳින කෙල්ලෝ වේසියෝ, ක්ලබ් පාටි එකකට ගිහින් ඩාන්ස් කරන කෙල්ලෝ බඩු, ඩ්‍රින්ක් එකක් ගන්න කෙල්ලෝ වේසියෝ. සිගරට් එකක් බොන කෙල්ලෝ බඩු, බඳින්න කලින් වෙන බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හෝ දෙන්නෙක් හිටපු කෙල්ලෝ වේසියෝ, යාලු ෆිට් කොල්ලෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන කෙල්ලෝ බඩු, රෑ බෝ වෙලත් ගමන් බිමන් යන කෙල්ලෝ ගොඩක් වෙලාවට වේසියෝ! මේ විදියට එක එක විදියේ ස්ටීරියෝටයිප් නිමක් නෑ. පොදුවේ ගත්තොත් එහෙම තමන් කෙල්ලෝ කියලා හිතන ස්ටීරියෝටයිප් එකට පිටින් යන ඕනෑම කෙල්ලෙක්ට මේ විදියට වේසියක් නැතිනම් බඩුවක් කියලා අපහාස කරන්න එහෙම කරන කොල්ලෝ සහ කෙල්ලෝ පැකිලෙන්නේ නෑ.
2. එතකොට මේ අය කියන විදියට බඩුවක් හෝ වේසියක් නොවෙන කෙල්ලෙක් කොයි වගේද?
අර සාම්ප්‍රදායික කාන්තාව කියලා මිනිස්සුන්ගේ ඔලුවේ තියෙනවනේ ප්‍රතිරූපයක්. මුළු ඇඟම වැහෙන්න අඳින, ගෙදරට වෙලා ළමයි බලාගෙන ඉන්න, පිරිමි කරන කිසිම දෙයක් කරන්න නොයන, පිරිමි වගේ ෆෝවර්ඩ් නොවෙන, කොටින්ම කිවුවොත් පිරිමින්ගේ ඔලුවේ තියෙන සාම්ප්‍රදායික ගැහැණිය කියන චරිතයෙන් පිට නොයන කෙනෙක් තමයි කවදාවත් පිරිමියෙක්ගෙන් වේස පදේ අහගන්නේ නැත්තේ. හැබැයි ඉතින් එහෙම ගෑණියෙක් වුනත් සාම්ප්‍රදායික පවුලෙන් තමන්ට එල්ල වෙන පීඩනය, පිරිමියාගෙන් තමන්ට සිද්ධ වෙන අසාධාරණකම් ඉවසා ගෙන ඉඳලා ඉඳලා එක දවසක පුපුරලා ගියොත් එහෙම අන්න එදාට ඈට වුනත් ‘වේසියෙක්’ කියන ගරු නාමය ලැබෙනවා. එහෙම දේවල් අපිට ඕනෑ තරම් සමාජේ ඇහෙනවනේ.
3. එතකොට උඩ කියලා තියෙන විදියේ දේවල් ගෑණු කළාට කමක් නැද්ද? මාතෘත්වයට මොකද එතකොට වෙන්නේ?
මේක තමයි ඊළඟට එන ජනප්‍රිය තර්කය. මාතෘත්වය! මාතෘත්වය කියන්නේ අතිශයින්ම උතුම් පදවියක් නිසා ගැහැණු ඉන්න ඕන අම්මා කෙනෙක්ට උචිත විදියට. ඒ කියන්නේ රහ මෙර පානය අම්මා කෙනෙක්ට උචිත නෑ. කොටට අඳින එක හෝ ටැටූ එකක් ගහන එක අම්මා කෙනෙක්ට උචිත නෑ. පාටියකට ගිහින් ඩාන්ස් කරන එක අම්මා කෙනෙක්ට උචිත නෑ!
හරි එහෙමයි කියමුකෝ. එතකොට තාත්තලා? තාත්තා කියන්නේ අතිශයින්ම උතුම් පදවියක් නෙවෙයිද? තාත්තලා උතුම් නොවෙන නිසා ඔය ඔක්කොම තාත්තලා කළාට අවුලක් නැද්ද?
ඇත්ත කතාව මේකයි. උඩ කියපු හැම දෙයක්ම පුද්ගලානුබද්ධ දේවල්. කෙනෙක් වැරදියි කියලා දකින දේ කෙනෙක්ට හරි වෙන්න පුලුවන්. හරි වැරදි මොන දේ වුනත් කෙනෙක් දෙයක් කරන්න ඕන සුදුසු තැනදී සුදුසු විදියට. උදාහරණයක් විදියට ගත්තොත් තමන්ගේ දරුවගේ ඉස්කෝලේ පංති රැස්වීමට අම්මා වුනත්, තාත්තා වුනත් ෂෝටක් ගහලා එන එක පොදුවේ සංවරයි කියලා තාමත් පිළිගැනෙන්නේ නෑ. කුණු වෙන්න බීලා වැටිලා ඉන්න එක තාත්තා කළත්, අම්මා කළත් වැරදි නම් වැරදියි. එහෙම නැතුව දෙයක් තාත්තා කළහම ෂේප්, අම්මා කළහම වේසි වෙන්නෙ නෑ!
4. කවුද ඇත්තටම වේසියෝ කියන්නේ?
වේසියෝ කියන පදය බොහොම අවමන් සහගත වචනයක් කියලා අපි කලිනුත් කිවුවනේ. හැබැයි මේ වචනය එක්ක සමාජයේ මුල් බැහැගෙන තියෙන අවමන් සහගත බව අයින් කරලා, වචනාර්ථය ගත්තොත් හැඟවෙන්නේ ලිංගික ශ්‍රමිකයෙක් කියන එක. ඒ කියන්නේ මුදලට හෝ වෙනත් ලාබයක් හෝ වරදාන, වරප්‍රසාද හෝ වෙනුවෙන් තමන්ගේ ශරීරය භාවිතා කරලා ලිංගික තෘප්තියක් වෙනත් කෙනෙක්ට ලබාදෙන කෙනෙක්. ඒක වැරදිද? ඒක හරිද වැරදිද කියන එක වෙනම සාකච්ඡා කරන්න ඕන දෙයක්. හැබැයි ශිෂ්ටාචාරයන් ආරම්භයේ ඉඳලම වගේ පවතින ලිංගික ශ්‍රමික කියන වෘත්තිය හෝ භූමිකාව වහල් කරගෙන ‘වේසි’ කියන වචනය අපහාසාත්මකව පාවිච්චි කිරීම වැරදියි කියන එක තමයි මේ කියන්නේ.
5. එතකොට එහෙම කියන එක වැරදියි?
අපිට කියන්න බෑ වේසි කියන අපහාසාත්මක වචනය පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි කියලා. මොකද මේ වගේ දේවල් සමාජගත වෙන්නේ යම් යම් පසුබිම් කරුණු කාරණා එක්ක. හැබැයි අපි වැරදියි කියන්නේ තමන්ගේ ‘සාම්ප්‍රදායික රාමුවට’ දාගන්න බැරි ඕනෑම ගැහැණියක් හඳුන්වන්න වේසියක් කියන පදය භාවිතා කිරීම සම්බන්ධයෙනුයි. ඇත්තටම ඒකෙන් වෙන්නේ කාන්තා පුරුෂ බව සලකලා කාන්තාවට වෙනස් විදියට සැලකීමක්. උදාහරණයක් විදියට ගත්තොත්, විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වන ගැහැණියකට වේසි කියලා කියන සමාජය, විවාහයට පෙර ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමියෙක්ට ‘වේසාවා’ කියන්නේ නෑ! කොහොමද එහෙම වෙන්නේ? අපි අහන්නේ ඒකයි.
සමහර වෙලාවට තමන්ගේ ශරීරය සහ ලිංගිකත්වය පාවිච්චි කරලා අනවශ්‍ය වරදාන ලබාගන්න, ඒ ඔස්සේ තව කෙනෙක්ට හෝ තව සමාජ කොටසකට අසාධාරණයක් හෝ අකටයුත්තක් කරන්න යන ගැහැණුත් කොතෙක් ඉන්නවා. කෙනෙක් කියන්න පුලුවන් ඒ වගේ අයට වේසි කියලා ආමන්ත්‍රණය කළාට කමක් නෑ කියලා. හරි, කමක් නෑ. හැබැයි තනි අතෙන් අප්පුඩි ගහන්න බැහැනේ. ඒකට සම්බන්ධ වෙන පිරිමියාටත් එහෙමනම් ඒ විදියටම අපහාසාත්මක ආමන්ත්‍රණයක් ලැබිය යුතුයි.
6. ලිංගික ඊර්ෂියාව!
මේක අති සුලභ කාරණයක්. අද සමාජ ජාල වල තියෙන ඔය පේජ් වල එහෙම පොඩ්ඩක් සැරිසරන කොට අපිට පේන දෙයක් තමයි, සමහර වෙලාවට කොල්ලෙක් යම් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ට්‍රයි එකක් දීලා ප්‍රතික්ෂේප වුණු ගමන් ඒ කෙල්ලට වේස පදේ පටබඳින්න පැකිළෙන්නේ නැති බව. මෙතනදී ගොඩක් වෙලාවට වෙන්නේ තමන්ගේ අපේක්ෂා භංගත්වයත්, තමන් කැමති කෙල්ල තමන්ට කැමති නැහැය යන හීනමානයත් එක්ක මේ කොල්ලා උපකල්පනය කරනවා මේ කෙල්ල සල්ලි වලට නැවෙන නිසා හරි පෙනුමට නැවෙන නිසා හරි තමන්ට කැමති නෑ කියලා. ආන්න එතකොට කෙලින්ම වේසියක් කියන ගෞරව නාමය ඈට පුද කරන්න කොල්ලා දෙපාරක් හිතන්නේ නෑ. ඒ වගේම තමන්ට ළං වෙන්නවත් බැරි දුරක ඉන්න කෙල්ලෙක්ට – උදාහරණ විදියට නිරූපිකාවකට, සිනමා නිළියකට එහෙමත්- වේස පදයෙන් ආමන්ත්‍රණය කරන්න සමහර පිරිමි කටයුතු කරනවා. මේ පිටුපස්සේ තියෙන්නේ ඇත්තටම ලිංගික ඊර්ෂියාවය කියන එක අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ. කාන්තාවෝ උඩ කිවුව විදියේ තවත් කාන්තාවකට වේස පදයෙන් ආමන්ත්‍රණය කරනවා නම් එතන තියෙන්නේ එක්කෝ ඊර්ෂියාව, නැතිනම් තමන්ගේ අගය වැඩි කොට දැක්වීමේ වුවමනාව වෙන්න පුළුවන්.
7. ඇයි අපි මේක ලියන්නේ?
අපි මේ කතාව ලියපු හේතුව සරලයි. අපි විශ්වාස කරනවා ගැහැණු කම හෝ පිරිමි කම හේතුවක් කරගෙන කිසිම කෙනෙක්ට වෙනස් විදියකට සැලකීමක්, පහත් කොට සැලකීමක්, කොන් කිරීමක්, අපහාස කිරීමක් සමාජයේ සිදු නොවිය යුතුයි කියලා. වැරැද්දක් නම් ගැහැණියක් කළත් පිරිමියෙක් කළත් වැරැද්ද වැරැද්දමයි. ගැහැණුන් කරන වැරැද්දක් පිරිමියෙක් කරන එම වැරැද්දටම වඩා බරපතළ කමින් වැඩියි කියලා සලකන සම්ප්‍රදායට අපි විරුද්ධයි. ඒ වගේම ලස්සනට ඇඳලා ඉන්න ගැහැණියකට, තමන්ගේ නිදහසට කැමති ගැහැණියකට, සාම්ප්‍රදායික සමාජය කියන විදියට ජීවත් නොවෙන ගැහැණියකට ‘වේසි’ කියන කැත පුරුද්දටත් අපි විරුද්ධයි. එච්චරයි!
සැලකිය යුතුයි: මෙහෙම කාන්තාවන්ට වේස පදයෙන් අපහාසාත්මකව ආමන්ත්‍රණය කරන්නේ හැම පිරිමියෙක්ම හෝ හැම ගැහැණියක්ම නොවෙන බවත් අපි දන්නවා. ගැහැණුන්ට ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන කිසිම පහත් විදියකින්, අපහාසාත්මකව නොසලකන පිරිමි සහ ගැහැණු කොතෙකුත් මේ සමාජයේ ඉන්නවා. අපි කතා කරන්නේ අන්න ඒ “නියම පිරිමි” හෝ “නියම ගැහැණු” සම්බන්ධයෙන් නොවෙන බවත් අවධාරණය කළ යුතුමයි!
Leave a Reply