ලංකාවේ පොතකට එරෙහිව ලියැවුණු තවත් පොත්

 

අපි අද කතා කරන්න යන්නේ ටිකක් වෙනස් විදිහෙ මාතෘකාවක්. ඒ තමයි අපේ රටේ තවත් පොතක් විවේචනය කරමින් පිළිතුරක් විදිහට ලියවුණු පොත් කීපයක් පිළිබඳව. සමහර පොත්වලින් නම් විවේචනය වෙලා තියෙන්නේ පොතේ සංයුතියට වඩා පොතේ කතුවරයාව. ඒ ගැන ඉතිං පුදුම වෙන්න දේකුත් නෑ ඉතින්, මොකද පොත් ලියන්නෙත් අපි වගේම පෘතග්ජන මිනිස්සුනේ.

 

1. ගිරා සංදේශයට එරෙහිව ලියැවුණු හංස සංදේශය

කෝට්ටේ යුගය කියන්නේ අපේ රටේ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය විදිහට සලකන්න පුළුවන් යුගය. ඒ කාලෙදී හයවැනි පරාක්‍රමබාහු රජතුමා රට එක්සේසත් කරා විතරක් නෙමෙයි, රටේ විශාල සාහිත්‍ය ප්‍රබෝධයක් ඇති කරන්නත් දායක වුණා. එතුමාගේ අනුග්‍රහය ලබපු විශාල ගිහි පැවිදි උගතුන් පිරිසක් රටේ සාහිත්‍යයට අගනා ග්‍රන්ථ රැසක් දායාද කළා. මේ කාලේ ගැන කතා කරද්දි, අපිට අමතක කරන්නම බැරි චරිතයක් තමයි තොටගමුවේ රාහුල ස්වාමීන් වහන්සේ.

හයවැනි පරාක්‍රමබාහු රජතුමාගේ පුත් තනතුරේ හැදිලා වැඩිලා පැවිදි දිවියට ඇතුළු වුණු උන්වහන්සේ පසු කාලෙකදී සංඝරාජ ධූරයෙන් පවා පිදුම් ලැබුවා. නමුත් උන් වහන්සේ නියෝජනය කළේ ග්‍රාමවාසී භික්ෂූන් පාර්ශවය. ග්‍රාමවාසී භික්ෂු පාර්ශ්වය සහ ආරණ්‍යවාසී භික්ෂු පාර්ශ්වය අතර කෝට්ටේ යුගය තුළ විශාල තරගයක් පැවැත්වුණා. මේ කාලෙදි ලියවුණු ගිරා සන්දේශයෙන් තොටගමුවේ රාහුල හාමුදුරුවන් සහ උන්වහන්සේගේ පාණ්ඩිත්වය වර්ණනා කෙරෙනවා.බොහෝ උගතුන් විශ්වාස කරන්නේ මේ ගිරා සංදේශය ලිව්වෙ තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ ගෝලයෙක් කියලා. ගිරා සංදේශය කියවපු ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමක් හංස සන්දේශය ලියනවා. හංස සන්දේශයෙන් වර්ණනා කෙරෙන්නේ කෑරගල වනරතන සංඝරාජ හාමුදුරුවන්ව. හැබැයි විශේෂත්වය වෙන්නේ තොටගමුවෙ රාහුල හාමුදුරුවන්ව වර්ණනා කරන්න ගිරා සන්දේශයේ භාවිතා කරපු කරුණු විවේචනය කරමින් හංස සන්දේශයේ කවි ලියලා තියෙන එක.

 

2. දීපවංශයට සහ මහාවංශයට ඌණ පූර්ණ එක්වීම

අපේ රටේ ප්‍රධාන වංශ කථා දෙකක් තියෙනවා. පරණම වංශ කතාව වෙන්නේ දීපවංශය. ඊට පස්සේ මහා වංශය. නමුත් අඛණ්ඩව ලියැවුණු වංශ කතාව විදිහට හැම දෙනාගේම සම්භාවනාවට ලක් වෙන්නේ මහා වංශය. මහනුවර යුගයෙන් පස්සේ  මහා වංශයේ ඉතුරු කොටස සම්පූර්ණ කරන්න උත්සාහයක් අර ගත්තෙ, “යගිරල පඤ්ඤානන්ද” ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ විසින් මහනුවර යුගයේ අවසාන සමයේ ඉඳන් උන්වහන්සේ ජීවත් වුණු කොළඹ යුගය දක්වා මහා වංශය සම්පූර්ණ කළා. මේ සිදුවීම එදා ලාංකික ජනතාවගේ විශාල අවධානයක් ලබා ගැනීමටත් සමත් වුණු සිද්ධියක් වුණා. මේ කාලේ නිකාය භේදය සහ කුලභේද ඉතාමත් දරුණුවට පැවතුණු කාලයක්. මේ නිසා මහාවංශය සම්පූර්ණ කිරීමට සමගාමීව අහුන්ගල්ලේ විමලතිස්ස නායක හාමුදුරුවෝ දීපවංශයේ ඉතුරු කොටස සම්පූර්ණ කළා. තරගයක ස්වභාවය ගත්තත් මේ නිසා මහාවංශයට සහ දීපවංශයට අලුත් ආලෝකයක් එකතු වුණා .

 

3. කව්මිණි කඩොල සහ කව්මිණි මල්දම

මේ කවි පොත් දෙක ලියන්නෙ හොඳම යාළුවෝ දෙන්නෙක්.  කව්මිණි කඩල රචනා කරන්නේ පත්තායමේ ලේකම් කවියා. එතකොට කව්මිණි මල්දම රචනා කරන්නේ කටුවානේ දිසානායක කවියා. විශේෂත්වය වෙන්නේ මේ කවි පොත් දෙකේම කවි ගාණ සමානයි. කවි 724 බැගින් කවි පොත් දෙකේ ඇතුළත් වෙනවා. එතකොට මේ කවි පොත් දෙක රචනා කරන්න පටන් ගන්නේ 1771, ඉවර වෙන්නෙ  1773දී. මේ කවි පොත් දෙක රචනා කරන්න ඔවුන්ට ආරාධනා කරන්නේ එවකට මාතර දිසාව පාලනය කරපු ඉලංගකෝන් කියන ප්‍රභූවරයා. ඔහු කියනවා විශිෂ්ටතම කවියාට තමන් තෑගි ලබා දෙනවා කියලා. පත්තායමේ ලේකම් මෙම ආරාධනාව පිළිබඳව තමන්ගේ පොතේ සඳහන් කළත් කටුවානේ දිසානායක කවියා ඒ පිළිබඳව තමන්ගේ පොතේ සඳහන් කරන්නේ නෑ. මේ නිසා කෝපයට පත්වෙන ඉලංගකෝන් ප්‍රභූවරයා පත්තායමේ ලේකම් ට පමණක් ත්යාගය ලබා දෙනවා .

 

4. උපන් දා සිට වික්‍රමය

මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ “උපන්දා සිට” කෘතිය සැලකෙන්නේ අපේ රටෙන් බිහිවෙච්ච විශිෂ්ටතම ස්වයං ලිඛිත චරිතාපදානවලින් එකක් විදිහට. නමුත් සමකාලීන පුවත් පත් ලෝකෙ වික්‍රමසිංහයන්ගේ හිතවතුන්ගෙන් නම්  වික්‍රමසිංහගේ පොත්වලට හිමි වුණේ කුඩම්මාගේ සැලකිලි. මේ නිසාමදෝ කේ. බී  සුගතදාස මහත්මයා පොතක් ලියනවා, උපන්දා සිට වික්‍රමය කියලා. මේ කෘතිය තුළින් උපන් දා සිට පොතේ තියෙන්නෙ බොරු වැලක් කියලා ප්‍රසිද්ධියේ ඔහු පවසනවා. නමුත් මේ කෘති දෙක විමසිල්ලෙන් බලපු මැදිහත් පාඨකයෝ නම් කියන්නේ කේ. බී සුගතදාස මහතා ද්වේෂ සහගතව ඒ පොත රචනා කරා කියලා.

 

5. ක්‍රිස්තියානි ප්‍රඥප්තිය සහ ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක්

19වන සියවස සැලකෙන්නේ අපේ රටේ ඉතිහාසයේ තීරණාත්මක අවධියක් විදිහට. අලුත් සිංහල වෙළඳ පන්තියක් නැගී ඒමත් එක්ක එතෙක් කල් බෞද්ධ ආගමට හිමිවුණු අඩු සැලකිලි වලට විරුද්ධව ඔවුන් සටන් කරමින් හිටියා. ඊට අමතරව බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉංග්‍රීසි වගේ අපරදිග භාෂා ඉගෙනගනිමින් බයිබලය සහ ක්‍රිස්තියානි ආගම පිළිබඳව හැදෑරීම් කරමින් හිටියා

මේ කාලය අතරතුර දී ජෝන් ගොගර්ලි නම් වෙස්ලියානු පූජකවරයෙක් ලංකාවට ඇවිත් පාලි සහ බුදුදහම හැදෑරීමෙන් පස්සේ ක්‍රිස්තියානි ප්‍රඥප්තිය කියලා පොතක් පළ කළා. මේ පොත මෙරට බෞද්ධ සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිකළා. මීට පිළිතුරක් විදිහට බෙන්තර අත්ථදස්සි  ස්වාමීන්වහන්සේ “ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක්” නමින් කෘතියක් පළ කරා. අත්ථදස්සි හාමුදුරුවන්ගේ මේ පොත ක්‍රිස්තියානි ආගමිකයන් බුද්ධාගමට එරෙහිව පදනම් විරහිත චෝදනා වලට එරෙහිව සටන් වදින්න බෞද්ධයන් පෙළඹුණු ප්‍රථම අවස්ථාව විදිහට සලකන්න පුළුවන්. මේ ආරම්භය කෙළවර වුණේ පානදුරා වාදයෙන්.

 

6. බවතරණය

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ගේ බවතරණය පොත එය පළ වූ කාලයේ  බෞද්ධ ජනතාව තුළ විශාල කැළඹීමක් ඇති කිරීමට සමත් වුණා. බුදු හාමුදුරුවන්ගේ චරිතය නවකතා ස්වරූපයට නැගීමට උත්සාහ කිරීමෙන් බුද්ධ චරිතය විකෘති වීමකට ලක් ව ඇති බව බොහෝ බෞද්ධයන් ප්‍රකාශ කිරීමට පටන් ගත්තා. නමුත් ඊට විරුද්ධ වුණු නිදහස් මත දරන ලංකාවේ උගත් සමාජයේ මතය වුණේ බුද්ධ චරිතය ඉන් තාත්විකව නිරූපණය වී ඇති බවක්. මේ අවස්ථාවේ දී යක්කඩුවේ ප්‍රඥාරාම ස්වාමීන් වහන්සේ තමන්ගේ බුද්ධිමය මැදිහත් වීම සිදුකරනවා. උන්වහන්සේ “බවතරණ මග සහ බුද්ධ චරිතය” නමින් කෘති දෙකක් රචනා කරනවා. මේ කෘති හරහා මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියා ඇත්තේ නවකතාවකට වඩා බුද්ධ චරිතය විකෘති කිරීමක් බව උන්වහන්සේ ඔප්පු කරනවා.

 

7. සාලිය කුලරත්නට එරෙහිව ලියනගේ අමරකීර්ති

මේ පොත් ගැන කියනවා නම් මේවා පොත්වලට වඩා කැලෑ පත්තර කියලා හැඳින්වුවොත් නිවැරදියි කියලා හිතනවා. මේ ගැටුම පටන් ගන්නේ මහාචාර්ය සාලිය කුලරත්න “සත් පත්මා” නම් කෙටිකතා සංග්‍රහය නිකුත් කිරීමත් සමඟ. මේ කෙටිකතා සංග්‍රහයට පාදක වන සියලුම කතා වල ප්‍රධාන චරිත මහාචාර්යවරු. ඔවුන්ගේ ජුගුප්සාජනක ලිංගික ජීවිතය මේ කෙටිකතාවලට පාදක වෙනවා. ඊට වසරකට හෝ දෙකකට පමණ පසුව ලියනගේ අමරකීර්ති මහතා “අර මිහිරි සීනු නාදය” නමින් තවත් කෙටිකතා සංග්‍රහයක් නිකුත් කරනවා. ඒ කෙටිකතා සංග්‍රහයේ “රතුවන් රත්නවල්ලි” නම් කතාවක් අඩංගු වෙනවා. බොහෝ අය කියන්නේ සාලිය කුලරත්න මහතාට පිළිතුරක් විදියට තමයි ලියනගේ අමරකීර්ති මහත්තයා ඒ කෙටි කතාව ලිව්වේ කියලා.

 

එහෙනම් වෙනදා වගේම මේ  ආටිකල් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා .

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *