එක එක සත්තුන්ගේ වෙනස් ගර්භණී කාල

ගර්භණීභාවය ගැන විවිධ කාරණා අපි මීට කලින් කතා කරල තියෙනවා. හැබැයි මේක වෙනස්ම කතාවක්. මේ කියන්න යන්නෙ සත්තුන්ගේ ගර්භණී කාලයන් ගැන. අපි අවට නිතර දකින්න ඉන්න සත්තු වගේම සත්ව ලෝකයේ අපිට නිතර ඇහැට දකින්න නොලැබෙන සත්තුන්ගේ පවා ගර්භණී කාලයන් එකිනෙකට වෙනස්, අපූරු කතන්දර. සමහර සතුන් දීර්ඝ ගර්භණී කාලයන් ගතකරද්දී සමහර සතුන් ඉතාම කෙටි ගර්භණී කාලයන් ගත කරනවා. ඒ වගේම තමා වරකට බිහිකරන පැටවුන් සංඛ්‍යාව වගේම, පැටවුන් බිහිකරන වාරගණන් පවා එකිනෙකට වෙනස්. ඉතින් කියවලම බලමුකෝ මේ එක එක සත්තුන්ගේ ගර්භණී කාලයන්ගේ වෙනස්කම් ගැන. 

 

1. අලියා

ඔන්න ලෝකයේ ජීවත් වෙන විවිධ සත්තු අතරින් ගොඩබිම ජීවත් වෙන දිගම ගර්භණී කාලය ගතකරන සත්වයා හැටියට සැලකෙන්නෙ අලියා. සාමාන්‍යයෙන් කෙනෙරක් ඒ කිව්වෙ අලියෙකුගේ ගැහැණු සතෙක් දවස් වලින් කිව්වොත් ආසන්න වශයෙන් 660ක්, සති 95ක් වගේ කාලයක් පැටවෙක් බිහිකරන්න කලින් ගර්භණී කාලය විදිහට ගත කරනවා. ඒ කියන්නෙ අවුරුදු දෙකකට පොඩ්ඩක් අඩු කාලයක්. සාපේක්ෂව කාන්තාවකගේ ගර්භණී කාලයට වඩා දෙගුණයකටත් වැඩි කාලයක්. අලියා කියන සතා ප්‍රමාණයෙන්  විශාල නිසා ගර්භාෂය ඇතුළේ සතා වැඩෙන්න වැඩි කාලයක් ගතවීමත්, ඒ වගේම අලියා කියන්නෙ හුඟක් බුද්ධිමත් සතෙක් නිසා ඒ සතාගේ කළලයේ මොළය වර්ධනය වෙන්න වැඩි කාලයක් ගතවීමත් තමයි මෙහෙම දීර්ඝ ගර්භණී කාලයක් පවතින්න හේතු. කොහොම වුණත් අලියා කියන්නෙත් මිනිසා වගේම වරකට එක පැටවෙක් පමණක් බිහිකරන සත්වයෙක්. කලාතුරකින් නිවුන් අලි පැටවුන් ඉපදුණ අවස්ථාත් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් කෙනෙරක් වසර 4-5කට වරක් තමයි පැටවෙක් බිහිකරන්නෙ. ඒ වගේම වසර 60 -70 වගේ වෙන ඔවුන්ගේ සම්පූර්ණ ජීවිත කාලය ඇතුළත කෙනෙරක් පැටවුන් 4-5ත් අතර ප්‍රමාණයකට ජීවය ලබාදෙනවා. 

 

2. Frilled Shark

මේ ෆ්‍රිල්ඩ් ශාර්ක් නමින් හැඳින්වෙන මෝරු වර්ගය තමයි ලෝකයේ දිගම ගර්භණී කාලය ගතකරන ජීවියා විදිහට සැලකෙන්නේ. අඩි 390 – 4000 අතර ගැඹුරු මුහුදේ ජීවත්වෙන මේ මෝරා සාමාන්‍යයෙන් වසර 3.5ක විතර ගර්භණී කාලයක් ගතකරනවා. හැබැයි මිනිසා හෝ කලින් කියපු අලියාගේ වගේ වැදෑමහක් සමඟ මවට සම්බන්ධ වුණ ගර්භයක් නෙමෙයි මේ Frilled Shatk කියන සත්වයාට තියෙන්නෙ. මේ සතාගේ ඇඟ ඇතුළේ තැන්පත් වුණ බිත්තර තමයි අවුරුදු 3.5ක් තිස්සේ වර්ධනය වෙලා සජීවී පැටවුන් විදිහට මව් කුසයෙන් එළියට එන්නෙ. 

 

3. Virginian Opposum

මේ ඇමරිකාව ආශ්‍රිතව දකින්න ලැබෙන මීයෙකුගේ හැඩරුවට සමාන, හැබැයි මීයෙකුට වඩා ටිකක් ලොකු ඒ කිව්වෙ සාමාන්‍ය පූසෙක් තරම් විතර ලොකු සත්වයෙක්. මේ Opposum කියන සතා තමයි ලෝකයේ අඩුම ගර්භණී කාලයක් ගතකරන සත්වයා විදිහට සැලකෙන්නෙ. හරියටම කිව්වොත් දවස් 13ක් වගේ. මාසෙකින් බාගයක් තරම්වත් නැති පොඩි කාලයක්. මේ සත්වයාගේ සම්පූර්ණ ආයුකාලය වෙන්නෙත් උපරිම අවුරුදු 2ක් වගේ නිසා මේක ඒ තරම්ම පුදුම වෙන්න කාරණයකුත් නෙමෙයි. මේ සත්වයින් වසරකට දෙවතාවක් විතර පැටවුන් බිහිකරනවා. සංසර්ග ක්‍රියාවලියෙන් පස්සෙ පිරිමි සතා නැවත එන්නෙ නැහැ. දවස් 13ක වගේ ගර්භණී කාලයක් ගතකරන ගැහැණු සත්වයා වරකට පැටවුන් 20ක් විතර බිහිකරනවා. නමුත් එයින් බාගයකටත් අඩු ප්‍රමාණයක් තමයි දිගුකාලයක් ජීවත් වෙන්නෙ. 

 

4. මුහුදු අශ්වයා

ලෝකයේ සියළුම ජීවීන් අතරින් ගර්භණී කාලයක් ගතකරන සහ පැටවුන් බිහිකරන එකම පිරිමි ජීවියා වෙන්නෙ මේ මුහුදු අශ්වයා. ගැහැණු සත්වයා ඇඟේ බීජ පිරිමි සතාගේ බඩේ තියෙන පැසක් ඇතුළේ තැන්පත් කළාට පස්සෙ පිරිමි සතා විසින් ඒ බීජ ඔහුගේ බීජත් එක්ක සංසේචනය කරලා දවස් 10ත් 25ත්  අතරේ කාලයක් ආරක්ෂා කරනව. ඊට පස්සෙ වරකට පැටවුන් 2000ක් විතර ප්‍රමාණයක් බිහි කරනවා. සෑම වසරකම පෙබරවාරි සහ ඔක්තෝම්බර් කියන කාලය ඇතුළත ඔවුන් මේ විදිහට මාසයකට දෙවතාවක් විතර පැටවුන් බිහි කරනවා. 

 

5. ජිරාෆ්

ජිරාෆ් කියල කියන්නෙත් අපිට වඩා දිග කාලයක් ගර්භණී කාලය ගතකරන සත්වයෙක්. සාමාන්‍යයෙන් ජිරාෆ් කෙනෙකුගේ ගර්භණී කාලය සති 57 – 65ත් අතර කාලයක් කියල තමයි කියන්නෙ. ඒ කියන්නෙ මාස 15ක් වගේ කාලයක්. අවට පරිසරයේ තනියම ජීවත් වෙන්නත්, ඉපදුණ ගමන්ම නැගිටලා ඇවිදගෙන යන්නත් පුළුවන් ප්‍රමාණයට ඔවුන් වැඩෙන්න ඕන නිසයි මේ තරම් කාලයක් මව්කුසේ වැඩෙන්නෙ. ජිරාෆ් මවක් තමන්ගේ පැටියට උපත දෙන්නෙ හිටගෙන. ඒ අඩි 6ක් උස පැටියා බිමට වැටෙනකොට දිග බෙල්ලට හානි නොවෙන්නයි. ජිරාෆ් ගැහැණු සතෙක් වසර දෙකකට පමණ වතාවක් පැටවුන් බිහිකරනවා. 

 

6. පූසා

අපිට ලඟින්ම ඉන්න සත්තු ගැනත් නොලියාම බැහැනෙ. පූසා කියල කියන්නෙත් හරිම කෙටි ගර්භණී කාලයක් ගතකරන සතෙක්. ඒ වගේම මාස 4ක් වගේ කුඩා කාලයේ ඉඳලම ගර්භණී වෙන්න් පුළුවන් සතෙක්. පූසෙකුගේ සාමාන්‍ය ගර්භණී කාලය දවස් 60 – 65 වගේ කාලයක්. ඒ කියන්නෙ මාස දෙකකට පොඩ්ඩක් වැඩි කාලයක්. පූසියක් සාමාන්‍යයෙන් වරකට පැටවුන් 4ත් 12ත් අතර ප්‍රමාණයක් බිහිකරනවා. ඒ වගේම වසරකට 3 – 5ත් අතරේ වාර ප්‍රමාණයක් පැටවුන් බිහිකරනවා. 

 

7. එළදෙන

හරකා, එළදෙන කියල කියන්නෙත් අපේ ජීවිත වලට බොහොම සමීප සත්වයෙක්. එළදෙනකගේ සාමාන්‍ය ගර්භණී කාලයත් කාන්තාවකගේ ගර්භණී කාලයට සමානයි. ඒ කියන්නෙ මාස 9ක් වගේ. නිවුන් පැටවුන් නෙමෙයිනම් වරකට එක පැටියයි බිහිකරන්නෙ. ඒ වගේම සාමාන්‍යයෙන් එළදෙනක් වසරකට වතාවක් පැටියෙක් බිහිකරනවා. සාමාන්‍ය ජීවිත කාලය ඇතුලතදී එළදෙනක් පැටවුන් 8 දෙනෙක් පමණ බිහිකරනවා. 

 

 

Leave a Reply

Your email address will not be published.