අවාසනාවන්ත විදිහට අපිට අහිමි වුණු වටිනා උරුමයන් 7ක්

උරුමය කියන වචනය නිර්වචනය කරන්න කිව්වොත් ඔබේ උත්තරේ මොන වගේ වෙයිද? අකුරු හතරක වචනයක් වුණාට නිර්වචනය කරන්න අමාරුයි නේද?  උරුමය කියන දේ අපිට අපේ දෙම්වපියන්ගෙන්,පවුලෙන්, ඥාතීන්ගෙන්, උපන් ගමෙන්, පළාතෙන්, පාසලෙන්, රටෙන්, ජාතියෙන් අපිට ලැබෙන්න පුළුවන්. මේ වගේ ලැබෙන උරුමය විවිධ නිර්ණායක මත පදනම් වෙලා බෙදෙනවා. උදාහරණයක් විදිහට අපේ ජන ගී ගත්තොත් අස්පර්ශනීය උරුමයක්. උරුමයන් ආරක්ෂා කරගැනීම රටක වගේම පුද්ගලයෙකුගෙ වුණත් අනන්‍යතාවය සම්බන්ධයෙන් ඉතා වැදගත් කාරණයක්. අපි අපේ උරුමය මතු පරපුරට ආරක්ෂා කර දෙන්න මඟ අරිනවා කියන්නේ අපේ අනාගත පරපුර අක්මුල් නැති ගැති පිරිසක් බවට පත් කරනවා කියන එක. මේ නිසා අපි හිතුවා විවිධ හේතුන් නිසා අපිට අහිමි වෙලා ගිය උරුමයන් කිහිපයක් ගැන කතා කරන්න.

 

1. තාරා දෙවඟනගේ පිළිමය

Image Source – lakdiva.org

බෝරා යස වියන මහරු සිරිලක්‌ මැඳුර වෙසෙසී

තෝරා හැර දුසිරි සුසිරි ලකරි ලකළ එක සී

වාරා නෝව රුසිරු ඉසුරු දෙන සුරබිදෙන් දසි සී

තාරා බිසවුන් ද නැමද යාගන් එයින් නොලැසී

තිසර සංදේශ කතුවරයා මේ විදිහට වර්ණනා කරන්නේ තාරා දෙවඟනව. මහායාන බෝධිසත්වවරියක් වුණු තාරා වන්දනාව කෝට්ටේ යුගය තුළ ඉතා ජනප්‍රියත්වයට පත් වුණා. ලංකාවේ හමුවුණු විවිධ තාරා පිළිම අතරින් විශිෂ්ටතම තාරා පිළිමය නම් අද ලංකාවට අහිමි වෙලා තියෙන්නේ. ත්‍රිකුණාමලය අසලින් සොයා ගත්ත මේ ස්වර්ණාලේපිත තාරා ප්‍රතිමාව අද වෙනකොට තියෙන්නේ බිතාන්‍ය කෞතුකාගාරයේ. මේ ප්‍රතිමාව මේ කෞතුකාගාරය වෙත ලබා දෙන්නේ රොබර්ට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා. කොළඹ කෞතුකාගාරයේ මේ ප්‍රතිමාවේ අනුරුවක් තියලා සෑහීමකට පත් වෙන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. මේ ප්‍රතිමාව උඩුකය නිරුවත්ව නිරූපණය කරලා තියෙන නිසා වික්ටෝරියානු සදාචාරය ඉහළින් සලකපු කාලේ මේ ප්‍රතිමාව ගබඩාවකට සීමා කරන්න බ්‍රිතාන්‍ය කෞතුකාගාර බලධාරීන් කටයුතු කරලා තියෙනවා.

 

2. සිරිවර්ධන බෝධිය

Image Source – thebodhitreefoundation.org

දෙවෙනිපෑතිස් රජු විසින් විසින් රෝපණය කරන ලද දෙතිස් ඵල රුහ බෝධීන්වහන්සේලා අතරින් එක නමක් වැඩ සිටියේ මූතූර් ප්‍රදේශයට අයත් කිලිවඩ්ඩිය ගමෙයි. මෙම බෝධීන්වහන්සේ “සිරිවර්ධන බෝධිය” ලෙස වන්දනාමානයට ලක් වුණා. බෝධින්වහන්සේ වටා බෝධිඝරයක නටබුන් ඇතුළු විවිධ ගල් කණු, සඳකඩපහන් ද තිබුණා. 1976 දී ෆෙඩරල් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ තංගදොරෙයිගේ අනුදැනුම මත වසර දහස් ගණනක් නිරුපද්‍රිතව තිබූ බෝධින්වහන්සේ කපා හෙළා ඉවත් කර දැමීමට ඒ අවට විසූ දෙමළ අන්තවාදීන් කටයුතු කර තිබුණා. ඊට දින කීපයකට පෙර ඒ ගම විසූ පාරම්පරික සිංහලයන්ට පහර දී එලවා දමා තිබුණා. අද වන විට සිරිවර්ධන බෝධීන්වහන්සේ වැඩ විසුව බිම අසල ඇති කෝවිලේම කොටසක් බවට පත් වී තිබෙනවා.

 

3. දෙවෙනි රාජසිංහ රජුගේ ඔටුන්න

Image Source – flickr.com

දොඩම්වෙල නාථ දේවාලය, උඩරැටියන් අතරේ හාස්කම් සහිත දේවාලයක් විදිහට ප්‍රසිද්ධයි. මේ දේවාල බිම කොල්ලකන්න ආපු පෘතුගීසී, ලන්දේසි සහ ඉංග්‍රීසි හමුදාවන් බඹර ප්‍රහාර මගින් පලවා හැරියේ නාථ දෙවියොයි කියලා ගැමියෝ විශ්වාස කළා. දෙවෙනි රාජසිංහ රජතුමා ගෞරව නොකර මේ දේවාලය අසලින් යද්දි දෝලාව කැඩී ගිහින් තියෙනවා. මේ නිසා මේ දේවාලයට පැමිණිලා වන්දනාමාන කරලා රජතුමා බාරයක් වෙලා තියෙනවා තමන්ට ගන්නෝරුව සටනින් ජයගන්න ලැබුණොත් ඔටුන්න ඇතුළු සියලුම ආභරණ දේවාලයට පූජා කරනවා කියලා. පස්සේ ඒ බාරය රජතුමා ඒ විදිහටම ඉෂ්ට කරනවා. මේ ඔටුන්න අවුරුදු හාරසීයක වගේ කාලයක් දේවාලය ඇතුළේ ආරක්ෂා වෙනවා. පස්සේ රාජ්‍ය නිලධාරීන් දේවාලයේ ආරක්ෂාව මදි බව කියලා ඔටුන්න තමන්ගේ බාරයට අරගෙන මහනුවර කෞතුකාගාරයේ තැන්පත් කරනවා. මහනුවර කෞතුකාගාරයෙන් ඔටුන්න හොරකම් කෙරෙනවා. හොරු අල්ලගන්න පුළුවන් වුණත් ඒ වෙද්දි ඔටුන්න උණු කරලා විකුණලත් ඉවරයි. ඒ නිසා අපිට දැන් ඊට පස්සේ හදපු ඔටුන්නේ අනුරුවක් දැකලා සෑහීමකට පත් වෙන්න වෙලා තියෙනවා.

 

4. හියු නෙවිල් කලෙක්ෂන්

Image Source – discourse.suttacentral.net

බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙක් විදිහට ලංකාවට එන හියු නෙවිල් 1864 ඉඳන් 1897 දක්වා ලංකාවේ විවිධ පළාත්වල විවිධ තනතුරු දරමින් සේවය කරනවා. ලංකාවේ ජනතාව සහ ඉතිහාසය ගැන අතිශය උනන්දුවක් දක්වන නෙවිල් විවිධ පැරණි දේ එකතු කරන්න පෙළඹෙනවා. ඒ අතරින් පුස්කොළ පොත් විශේෂයි. නැවත ඔහු තමන්ගෙ මවු රටට යන්නේ පුස්කොළ පොත් දෙදහස් පන්සීයකට ආසන්න ගණනක් එක්ක. ඔහුගේ මරණයෙන් පස්සේ මේ පුස්කොළ පොත්වල අයිතිය බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ලබා ගන්නවා. “හියු නෙවිල් එකතුව” විදිහට හැඳින්වෙන්නේ මේ පුස්කොළ පොත් එකතුව. ලංකාවෙන් හොයා ගන්න බැරි විවිධ විෂයන් ගැන කියවෙන පුස්කොළ පොත් රැසක් මීට අඩංගු වෙනවා.

 

5. ඇත් දළ කැටයම්

Image Source – theukhornshop.com

විදේශිකයන් ලංකාවට එනවිට ලංකාව විශිෂ්ට ඇත්දළ කැටයම් නිර්මාණය කරන ශිල්පීන් ඉන්න රටක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබ්බා. මේ නිසා ඔවුන් ලංකාවෙන් කොල්ල කෑ දේවල් අතරට ඇත්දළවලින් කළ පෙට්ටගම්, පිළිම සහ වෙනත් නිර්මාණත් ඇතුළත්. මේ නිසා බ්‍රිතාන්‍යය, ජර්මනිය, ඔස්ට්‍රියාව සහ පෘතුගාලය යන රටවල කෞතුකාගාරවල ඇත්දළින් කළ අපේ රටේ නිර්මාණ මුණ ගැහෙනවා. උදාහරණයක් විදිහට ලංකාවට පෘතුගීසින් පැමිණීමේ 500 වැනි සංවත්සරය වෙනුවෙන් පෘතුගාලය මුද්දර තුනක් නිකුත් කළා. ඒ මුද්දර වලින් එකක් පෘතුගීසින් නිර්මාණය කළ ලංකාවේ සිතියමක් වූ අතර අනෙක් මුද්දර දෙකෙන්ම නිරූපණය වූයේ ඇත්දළ කැටයම් දෙකක්

 

6. පැරණි සිංහල චිත්‍රපටි

Image Source – vodtv.vhx.tv

1983 කළු ජූලියෙන් ලංකාවේ චිත්‍රපටි කර්මාන්තයට දරුණු ප්‍රහාරයක් එල්ල වුණා. එවකට සිනමාපට නිෂ්පාදනයේ යෙදුණු ද්‍රවිඩ ජාතිකයන්ට පාඩමක් උගන්වන්න හිතපු මැර පිරිස් රට පුරා චිත්‍රපටිශාලා ගිනි තියන්න කටයුතු කළා. සිනමාව වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වූ කේ. ගුණරත්නම් මහතාට අයත් වූ තිබූ විජය චිත්‍රාගාරයත් ජාතිවාදී ගිනි දළුවලට අසුවුණා. ඒ නිසා සූර චෞරයා, වීර විජය වගේ චිත්‍රපටි රැසක් අපිට සදහටම අහිමි වුණා.

 

7. යාපනය පුස්තකාලය

Image Source – timeout.com

දකුණු ආසියාවේ විශාලතම පුස්තකාලය වුණු යාපනය පුස්තකාලයට ගිනි තබපු මැරයෝ ගිනි තිබ්බේ දෙමළ ජනතාවගේ හදවත්වලට විතරක්ම නෙමෙයි. අපේ සියවස් ගණනක උරුමයටයි ඔවුන් ගිණි තිබ්බේ. බොහෝ දෙනා නොදන්නවා වුණාට මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ කෘති එකතුව එතුමාගේ මරණයෙන් පස්සේ වෙන්දේසියේ විකුණනා. ඒ වෙන්දේසියෙන් කෘති එකතුව මිලට ගත්ත ද්‍රවිඩ ජාතික මහත්මයෙක් එය යාපනය පුස්තකාලයට පරිත්‍යාග කළා. ඊට අමතරව යාපනය පුස්තකාලය සතුව විශාල පුස්කොළපොත් එකතුවක් පැවතුණා. ඒ පොත් ගබඩා කිරීමට ඔවුන් භාවිතා කළේ සඳුන් ලීයෙන් සෑදූ පෙට්ටගම්.

ඔබත් දන්න මේ වගේ අපිට අහිමි වුණු උරුමය ගැන කතා කරන්න වෙනදා වගේම කමෙන්ට් සෙක්ෂන් එක ඔබ වෙත විවෘතයි.

Leave a Reply

Your email address will not be published.