මේ දේවල් ගැන කෙල්ලො වද වුනාට කොල්ලො කනකට ගන්නෑ බ්රෝ!

මේ කතාව දුක හිතෙන කතාවක්. ඇත්තටම මේකෙ මුල්ම දුක ඇතිවෙන්නෙ පෙම්වතියන්ගෙ පාර්ශවේට. දෙවැනි දුක ඇතිවෙන්නෙ ඉතිං පෙම්වතාට. මොකෝ ඉතිං පෙම්වතිය දුකෙන් ඉද්දි පෙම්වතාට සතුටෙන් ඉන්න බැහැනෙ. හැබැයි ඉතිං එහෙමයි කියල පෙම්වතිය හිතන පතන, වාත වෙන දේවල් ගැනම හිත හිතා ඉන්නත් බෑ. කොල්ලොන්ටත් දේවල් දරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා නෙව. ඒ කොහොමවුනත් පෙම්වතියො තමුන් පතන දේ වෙනස් කරගන්නෙ නෑ වගේම පෙම්වතුන් තමන් හිතන විදිය වෙනස් කරගන්නෙත් නැති නිසා අපි එයාලගෙ හිතිල්ලෙයි පැතිල්ලෙයි තියෙන නොගැලපීම ගැන ලියන්නං.

 

1. ලිස්නර් මැරිලා

what girlfriend cares

Image Source – boundless.com

ලිස්නර් කෙනෙක් කියන්නෙ ගෑණු පතන ජාතියෙ පිරිමියෙක්. එහෙම පිරිමි ලෝකෙ නැති තරං. කසාද බැන්දම අඩුම තරමෙ තමුන් ලිස්නර් කියල රඟපාගන්න තරම්වත් දැනුමක් පිරිමින්ට ලැබුනට, පෙම්වතා කාලෙ එහෙම කිසිම අලබෝලයක් තේරෙන්නෙ නෑ. ඉතිං අනුකලණය පන්තියෙ වාඩි කරෝපු ටීචර්ගෙ පුංචි පුතා වගේ තොරතෝංචියක් නැතුව ගෑණු ළමය කියෝන දේවල් දිහා කට ඇරං බලන් ඉන්න එක තමයි පොර කරන්නෙ. හැබැයි පෙම්වතියො ආසම නැත්තෙත් ඒකට. එයාලා කියන දේ සාවධානව අහගෙන, ඒවට උත්තර දීලා, ඒවයින් පෙරලා ප්‍රශ්න අහන පෙම්වතෙකුට තමයි එයාලා කැමති.

 

2. අපිළිවෙල

what girlfriend cares

Image Source – bustle.com

ගෑණු ළමයින් ලොකුවටම අවුල් යන්නෙ තමුන්ගෙ පෙම්වතාගෙ අපිළිවෙලට. ඇයි ඉතිං එයාලා එක්ක පාරෙ යද්දි බෝනික්කියොයි කපුටොයි වගේ ඉන්න බැහැනෙ. කොණ්ඩෙ පීරන්නෙ නෑ. දවසක් මහන්සි වෙලා කපුටු කූඩුව පීරලා යැවුවත් හෙට එන්නෙ ආයෙත් ඒ විදිහටමයි. රැවුල කපන්නෙ නෑ. රැවුල් කොට අස්සෙ ගිය අවුරුද්දෙ කාපු පපඩං කෑලිත් තියෙනව. ඇඳුම පිළිවෙල නෑ. එක අතක් උඩටම නවලා අනික දිගෑරලා. ඒ මදිවට මේ කොල්ලො කැමති නෑ කෙල්ලො පිළිවෙලට යනවටත්. ඉතිං බෝනික්කියොන්ටත් රස්තියාදු ටයිප් වෙන්න සිද්ධ වෙනව.

 

3. යන තාලෙ

what girlfriend cares

Image Source – giphy.com

ඇඳුම විතරක් නෙමෙයි ගමනත් රස්තියාදුයි. ඉතිං කෙල්ලොන්ට කේන්ති යනවනෙ. ඔන්න දවසක් එද්දි බුලත් කකා එනව. ඒකට බැන්නට පස්සෙ ෂර්ට් කොලර් එක පිටිපස්සට දාලා අත් දෙක උඩටම නවලා චණ්ඩියෙක් වගේ ඇවිදින්නෙ. ඒ මදිවට කවදාවත් කිවුවට අතින් අල්ලන් යන්නෙ නෑ. ඒ මදිවට කරට අත දාගෙන යනව. අතින් අල්ලන්නෙ නැතුව යන එක තව හොඳයි. ඇයි දෙයියනේ යාළුවෙකුට මගදි හම්බුනත් මේ තමයි මගේ කොල්ල කියලා මුණගස්සන්නෙ කොහොමද? ලැජ්ජයිනෙ අනේ.

 

4. කාගෙන කාගෙන

what girlfriend cares

Image Source – giphy.com

ඇත්තටම පෙම්වතියක් තමුන්ගෙ පෙම්වතා එක්ක අවන්හලකට යන්නෙ ඇයි? ගිලගෙන ගිලගෙන යන්නද? නැහැනෙ මහත්තයො. ටිකක් වෙලා අතේ දැවටි දැවටි ඉඳලා, අනිත් ටේබල්වල අයට නොපෙනෙන්න කිස් එකක් දීලා, කන කෑමකින් කටක් කවාගෙන, හුරතල් වෙලා, පැය ගණන් කතා කර කර ඉඳලා එන්න හිතාගෙනනෙ යන්නෙ. හැබැයි කොල්ලො එහෙම නෑ. ගිය ගමන් හිනාවක්, කතාවක් නෑ කාගෙන කාගෙන යනව. ඔලුව උස්සන්නෙ නෑ, තමුන්ගෙ කෙල්ල දිහා බලන්නෙවත් නෑ. ඉතිං පවුල් අවුල්.

 

5. යාළුවො තමයි ජීවිතේ

what girlfriend cares

Image Source – giphy.com

දැන් ඉතිං ගෑණු ළමයා හිතන්නෙ තමුන් මේ කොල්ලගෙ ජීවිතේට ආවට පස්සෙ, කොල්ලගෙ මුළු ජීවිතේ තමුන් වේවි, එයා කියන දේවල් කරාවි, එයා කියන විදියට ඉඳීවි, අරක්කු සිගරට් අතාරීවි, තමුන්ගෙන් අහලා යාළුවො ආශ්‍රය කරාවි කියල. හැබැයි ඔන්න දවස් දෙකක් කොල්ල ෆෝන් ඕෆ් කරලා තියලා, මොකද කළේ කියල ඇහුවම ලැබෙන උත්තරේ තමයි යාළුවෙකුගෙ ගෙදර කොල්ලො සෙට් එකම සෙට් වුනා කියන එක. ඉතිං පෙම්වතියට කේන්ති යන එක අහන්නත් දෙයක්ද?

 

6. කෝ මෙසේජ්?

what girlfriend cares

Image Source – giphy.com

ඔන්න ලවු එක නැගලම යන කාලෙක කෙල්ල දානව නීති ටිකක්. උදේට ඇහැරුනාම ගුඩ් මෝනිං මෙසේජ් එකක්, අම්මලට හොරෙන් කෝල් එකක්, උදේට කද්දි මෙසේජ් එකක්, කාලා ඉවර වෙලා මිස්ඩ් කෝල් දෙකක්, දවල්ට කද්දි මෙසේජ් එකක්, කාලා ඉවර වෙලා මිස්ඩ් කෝල් දෙකක්, හවස ක්ලාස් පටන් ගන්න කලින් කෝල් එකක්, ක්ලාස් ඉවර වෙලා කෝල් එකක්, රෑට අම්මල ඉන්න නිසා කද්දි මෙසේජ් එකක්, නිදියද්දි පැය බාගෙක කෝල් එකක්, නින්ද යන්න ටිකකට කලින් දිග උම්මා එකක් එක්ක මෙසේජ් එකක් කියල තමයි නීති රීති මාලාව ඉදිරිපත් කරන්නෙ. කොල්ලත් ඉතිං ඉස්සර කාර්වල ඩෑෂ් බෝඩ් එකේ අලෝපු බෙල්ල හොලෝන බල්ල වගේ ඔලුව වනල යනව. ගියා ගියාමයි බඩගිනි නං කෑවා, නිදිමතනං නිදාගත්තා. ඉතිං කේන්ති යන්නැද්ද කියනවකො ගෑණු ළමයට.

 

7. දිග ප්‍රශ්නවලට කොට උත්තර

what girlfriend cares

Image Source – justjaredjr.com

ඔන්න ගෑණු ළමය අහනව දිග ප්‍රශ්න. “ඔයාට මතකද අර එදා අපි දෙන්න යද්දි අපේ ක්ලාස් එකේ ළමයි වගයක් ඉස්සරහට ආවා. එතනින් ඩෙනිම් ජැකට් එකක් දාලා හිටියෙ මගේ හොඳම යාළුවගෙ කසින් නංගි. එයාලගෙ පූසා මියෑවු කියද්දි හරි අමුතු සද්දයක් අනේ එන්නෙ, මාර හුරතල්. එයා එදා වීඩියෝ එකකුත් ගෙනල්ල තිබුනා. මං ඔයාට එදා අර පූසගෙ වීඩියෝ එකක් එවුවෙ, අන්න ඒක. කෝ ඉතිං එදා වීඩියෝ එක එවුවට මට කතාව කියන්න බැරි වුනානෙ. ඔයාට ඒ පූසා හුරතල් නැද්ද?” කියල තමයි එයා ප්‍රශ්නෙ අහන්නෙ. අනේ ඉතිං පෙම්වතාගෙ උත්තරේ එන්නෙත් ප්‍රශ්නෙකින්මයි. “මොන පූසද?”

Cover Image Source – blog.politicsmeanspolitics.com / boundless.org

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *