ඕනම ජාතියක නැන්දම්මෙක් එක්ක ඉහ ගහල ඉන්න ටිප්ස්

නැන්දම්මා කිව්වම ඉතින් කාගෙ කාගෙත් ඔලුවට එන්නේ අර දුම්මල වරම අතට ගත්තු සයිස් එකෙන් ඉන්න අම්මෙක් නේද? ඒ කාලෙ ඉඳලම නැන්දම්මලාගෙ කෙරුවාවල් නිසා තමයි ඔන්න ඔහොම රූපයක් අපේ හිතේ මැවිලා තියෙන්නෙ. හැබැයි අද කාලෙනම් ඔය කියන විදිහේ දුෂ්ට නැන්දම්මලා ඉන්නෙ හරිම අඩුවෙන්. හැබැයි කොයි නැන්දම්මත් අඩු වැඩි විදිහට පුතාලගේ දුවලගේ පවුල් වලට ඇඟිලි ගහන එකනම් කොයි ගෙදරටත් පොදු කාරණාවක්. විශේෂයෙන්ම පුතෙක් බන්දලා දුන්නම අලුත එන ලේලිත් එක්ක පොඩි දේකට හරි කෙහෙවලු පටලගන්න තමයි නැන්දම්මලාගේ ට්‍රයි එක. ගෑණු ගෑණු නේ ඉතින්. නැද්ද? ඕන්න ඔය විදිහේ කචල් නැන්දම්මලා විතරක් නෙමෙයි හොඳ නැන්දම්මෙක් උනත් නරක් කර නොගෙන ​ෂේප් එකේ තියාගන්න වැදගත් ටිප්ස් ටිකක් තමයි මේ.

 

 

1. පුතාගෙ අයිතිය

අම්ම කෙනෙක් පුතෙක්ව කසාද බන්දලා දුන්නයි කියමුකෝ ඉතින් හරි කල වයස ලැබුවට පස්සේ ඔන්න. ඔතනදි තමයි අම්මට පුතාගෙ අයිතිය අත අරින්න බැරුව ගැටුම් ඇතිවෙන්න පටන් ගන්නෙ. අපි කොච්චර කොහොම කිව්වත් අර දහ දුක් විඳලා හදපු දරුවව එක පාරටම හිතින් අත ඇරලා දාන්න කාටද පුළුවන්. ඔන්න ඔය කාරණේ මො​ළේට දාගත්තනම් අලුත් ලේලි පොඩ්ඩට නැන්දම්මත් එක්ක ගනුදෙනුව නතින් තමයි. තමන්ගේ ස්වාමි පුරුෂයා උනාට අම්මගෙත් පුතා කියල හිතල අම්මට ඒ අයිතිය විඳින්න දුන්නම හරි. ඕනවට වඩානම් නෙමෙයි. එහෙම ඕවර් යන වෙලාවට පොඩි කන්ට්‍රෝල් එකකුත් ලේලි පොඩ්ඩ අතේ තියෙන්නම ඕනෙ. හැබැයි පරණ විදිහට අම්මටයි පුතාටයි ඉන්න ඇරලා දුරින් බලන් ඉන්න එක කෝකටත් ඇඟට ගුණයි. 

 

 

2. ගෙදර තීරණ

පවුලක් පන්සලක් උනාම ඉතින් ඉස්සරහට කරන කියන දේවල් ගැන එහෙම දෙන්න දෙමහල්ලෝ එක්කාසු වෙලා කතා බහ කරලා තීරණ ගන්න කොයි ජෝඩුවත් කැමතියිනේ. හැබැයි මෙච්චරකල් පුත්‍ර රත්නය අම්මගෙන් අහලා බලලා කරපු කියපු දේවල් හිටි ගමන්ම අලුත් නෝනගෙන් අහල කරනකොට ඔන්න අම්මට අවුල් යන්න පුළුවන්. මෙතැනදී දෙන්නම කපටි වෙන්න ඕන. නෝනගෙන් අහල තීරණේ ගත්තටනම් කමක් නෑ. එත් පරණ පුරුදු විදිහටම අම්මගෙනුත් අදහස් විමසලා ​ෂේප් එකේ තමන්ගේ මතේට අම්මව හරවගන්න පුතා දක්ෂ වෙන්න ඕන. මගෙනුත් අහලා අම්මගෙනුත් අහනවා කියල පරල නොවී ඉන්න ලේලිත් දැනගන්න ඕන.  

 

 

3. සින්නක්කර ලියාගත්තු වැඩ

ඔය ගෙවල් වල තියෙනවනේ අම්මලා පුතාලට කරල දෙන්න හරිම සතුටින් බාරගත්තු වැඩ. ඒ කිව්වේ ගෙදර සින්නක්කරේටම තමන්ටම ලියාගත්ත වැඩ. උදේට තේ හදන එක, පුතා ආසම කෑම ජාති හදන එක වගේ. ඔන්න ඔය වැඩ නිතරම නැතත් ඉඳලා හිටලා අම්මගේ කරපිට දාල පොඩි ක්‍රෙඩිට් එකක් දෙන්න ඕන. “අම්ම අද තේ හදන්නකෝ.. මම කොච්චර හැදුවත් මෙයාට අම්මගේ තේ එක වගේ නෑනේ” වගේ චාටු වචනයක් දැම්මම ඒ ඇති ඉතින් නැන්දම්මට තව මාසෙකට දෙකකට.

 

 

4. නැසූ කන්ව සිටීම

තමන්ගේ දුවගේ වැරදි අඩුපාඩු නොපෙනෙන අම්මලාට අලුත කැන්දන් ආපු ලේලිගේ අඩුපාඩු පේන එකනම් බොහෝම සාමාන්‍ය සිදුවීමක් ඉතින් කොයි ගෙදරත්. රුසියාවට වැඩිය ලොකුයි ඉරිසියාව කියන්නේ නිකම් නෙමෙයිනේ. අනිත් එක ඔතන ලොකු තරඟයක් ඉබේම ඇති වෙනවනේ. ඉතින් කොයිතරම් හොඳ නැන්දම්මෙක් උනත් ඉඳලා හිටලා ලේලිගේ නැති අඩු පාඩු පෙන්නලා අවලාද කියන්න පුළුවන්. මහා ලොකුවට ගණන් ගන්න ඕන කාරණයක් නෙමෙයිනම් හොඳම දේ තමයි ඇහුනේ නැති ගා​ණට සද්ද නැතුව ඉන්න එක. ඕවට උත්තර බැ​ඳලා නිකන් රණ්ඩු සරුවල් අවුල ගන්න ඕන නෑනේ. ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියන්නේ නිකන්ද?

 

 

5. ශේප් මෙතඩ්

ඔය ශේප් මෙතඩ් එක කියන්නේ සැහෙන්න කාරණා වලදී වැදගත් වෙන මෙතඩ් එකක්. මෙතනදීත් ඒක එසේම තමයි. හැමතිස්සෙම නැන්දම්මව ශේප් එකේ තියාගන්න එක තමයි ලොකුම ජයග්‍රහණය. මේක ඉතින් බැඳලා ගෙදරට ආපු පලවෙනි දවසේ ඉඳන්ම කරන්න ඕන වැඩක්. එයා කැමති දේවල් හොයල බලලා ඒව ටිකක් වැඩියෙන් නැන්දම්මා එක්ක කතා කරන එක, ඉඳලා හිටලා නැන්දම්මාගේ ඇඳුමක් දෙකක් හෝදලා දෙන එක, නැන්දම්මගේ යාලුවෝ එක්ක හොඳින් කතා බහ කරලා හිත දිනාගන්න එක වගේ සෑහෙන්න වැඩ කොටසක් මේ ශේප් මෙතඩ් එකට ඇතුලත් කරන්න පුළුවන්. 

 

 

6. ගුණ වැයීම

මේක තමයි ඔක්කොටම වඩා වැදගත්. හස්බන්ඩ්ගේ, තමන්ගේ යාලුවන්ගේ, නැන්දම්මගේ යාළුවොන්ගේ, ගෙදර නෑදෑයෝන්ගේ ඉස්සරහ එයාගේ ගුණ වර්ණනා කිරීම තරම් දෙයක් නැන්දම්මෙක්ට තවත් නැහැ ඉතින්. ලකුණු 100න් 80ක් විතරම දාගන්න පුළුවන් මේ ගුණ වර්ණනා කිරීමෙන්. අනිත් එක බලන් ඉන්න අයට උනත් හිතෙනවනෙ අනේ මේ නැන්දම්මයි ලේලියි නම් කිරි පැණි වගේ ලස්සනට ඉන්නවා කියලා. කාටද ඉතින් ආඩම්බර?

 

 

7. පොඩි පොඩි සන්තෝසම්

​ෂේප් කරගන්න විතරක්ම නෙමෙයි, යුතුකමක් හැටියටත් කරන්න ඕන බොහොම වටිනා වැඩක් තමයි මේක. දරුමල්ලෝ කොච්චර ලොකු උනත් කොයි අම්ම තාත්තත් ආසයිනේ තමන්ගේ දරුවොන්ගෙ අතින් තෝරපු තෑග්ගක් තමන්ට ලැබෙනවානම්. තෑගි කිව්වම කව්ද ඉතින් අකමැති. හැබැයි ඔය දුවල හරි දක්ෂ උනාට තෑගි දෙන්නයි තෑගි තෝරන්නයි පුතාලටනම් ඕව මහා කරදර වැඩ වගේ තමයි පේන්නේ. ඉතින් අලුත් ලේලි පොඩ්ඩට පුළුවන් අම්මගේ උපන්දිනේට එහෙම ආස කරන තෑග්ගක් අරන් පුතත් එක්ක හවුල් වෙලා අම්මට තෑගි දෙන්න.  උපන්දිනේම වෙන්න ඕනත් නෑ. වෙන වෙන විශේෂ අවස්ථා, ඒ මොකක්වත්ම නැතත් ඉඳලා හිටලා ටවුන් එකට ගිහින් එනකොට නැන්දම්මට පොඩි කොන්ඩ කටුවක් වගේ පුංචි දෙයක් හරි ගෙනත් දීල බලන්නකෝ ඒ මූනෙ හිනාව. නැන්දම්ම ලේලිට ආදරේ වෙයි පැලෙන්න. ලොකු මහන්සියක් නැතත් නැන්දම්මා ​ෂේප්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *