එකම ඇඳුම හැමදාම අඳින එකේ මේ වාසි දන්නවද?

“අපෝ මේ මොන හිරිකිත වැඩක්ද?” කියලා හෙඩිම දැක්ක ගමන් හිතෙන්න ඇති නේද? ඇත්තටම අපි මේ ලිපියෙන් කියන්නේ එකම ඇඳුම හැමදාම පට්ට ගහන එක ගැන නෙමෙයි, එකම වර්ණයේ, එකම විලාසිතාවේ ඇඳුම් කීපයක් පාවිච්චි කර කර එකම විදිහේ පෙනුමකින් හැමදාම සැරසෙන එක ගැනයි. මේකට අපිට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ෆේස්බුක් මහ තැන වෙන මාර්ක් සකර්බර්ග්. මතක ඇතිනේ එයා හැමදාම අඳින්නේ අළු පාටට හුරු කමිසයක් සහ ජීන්ස් කියලා. හරි, අපි එහෙනම් බලමු මේ විදිහට අඳින එකේ වාසි මොනවද කියලා.

 

1. වැඩිය හිතන්න ඕන නැති වීම

එක එක විලාසිතාවේ, එක එක වර්ණයෙන් එන ඇඳුම් ගොඩක් තියෙන මනුස්සයෙක්ට තමන්ට එදිනෙදා අඳින ඇඳුම තෝරගන්න එක වෙලාවකට හරි කරදරයක්. “අද මොකක්ද අඳින්නේ? මේ ඩෙනිමට මේ ටොප් එක යයි නේද? මේ ඇඳුම් ළඟදිත් පාරක් ඇන්දද?” ව​ගේ ගොඩක් දේවල් කල්පනා කරලා තීරණවලට එළඹෙන්න වෙනවා. නමුත් එකම විදිහේ ඇඳුම් අඳින කෙනෙක්ට ඒ ප්‍රශ්න නැහැ. කෙලින්ම අල්මාරිය ඇරලා හැමදාම අඳින විදිහේ ඇඳුම අරගෙන ඇඳගෙන යන්න තියෙන්නේ. මොකක් අඳිනවද වගේ සරළ දෙයක් තීරණය කරන්න ඔලුව ගැටගහගන්නවට වඩා අපේ තීරණ ගැනී​මේ ශක්තිය වෙනත් වැදගත් දේවල් වෙනුවෙන් වැ​ය කරවන්න මේ වැඩෙන් පුළුවන්.

 

2. වියදම් අවම වීම

අපි එක එක දවස්වලට වෙනස් වෙනස් ඇඳුම් අඳින්න පෙළඹෙනවා. එකම ඇඳුම ආයෙ ටික කාලයක් යනකන් අඳින්නේ නැතිව වෙනස් වෙනස් ඇඳුම් මාරු කරගෙන අඳිනවා. එහෙම කරන්න නම් අපිට ඇඳුම් ගොඩක් ගන්න වෙනවා. හැබැයි එකම විලාසිතාවේ ඇඳුමම අපි අඳිනවනම් මහ ගොඩක් ඇඳුම් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දවසින් දවස මාරු කර කර අඳින්න ඇඳුම් කීපයක් විතරයි ඕන වෙන්නේ. ඒ නිසා ඇඳුම්වලට යන අනවශ්‍ය වියදම් අඩු වෙලා යනවා.

 

3. ඇඳුම් කළමනාකරණය කරන්නත් පහසුයි

සමහරුන්ට තියන ඇඳුම් දාන්න අල්මාරියෙත් ඉඩ මදි. සමහර ඇඳුම් හෝදලා අල්මාරියෙ එබුවම හදිස්සියකට ආයෙ හොයාගන්න නම් හම්බවෙන්නේ නැහැ. හම්බුනත් වෙන ඇඳුම්වලට යටවෙලා, පොඩිවෙලා ගිහින් අයන් කරන්න වෙනවා. හෝදද්දිත් එක එක පාටවල, එක එක වර්ගවල ඇඳුම් වෙන් කරලා හෝදන්න වෙන්නේ. හැබැයි එකම ඇඳුම් අඳිද්දි මේ කරදර මොකුත් නෑ. තියෙන්නෙත් ඇඳුම් ටික නිසා අල්මාරියේ පිළිවෙල පවත්වගෙන යන්න පුළුවන්. එකපාර ඇඳුම් අයන් කරන්න සහ ඉක්මනට ඇඳුම් වෙන් කරලා හෝදලා වේලගන්න පුළුවන්.

 

4. ඇඳුම් ගැන ඇතිවෙන කළකිරීම අවමයි

සමහර වෙලාවට ඇඳුම් කඩේකට ගිහින් ෆිටෝන් එකේදි ලස්සනට දැකලා අරන් ආවට මොකද, ඇඳුම් ගමනක් යන්න, ඔෆිස් යන්න පළවෙනි පාරට ඇන්දම එදා තිබ්බ ලුක් එක අහලකින්වත් නෑ. එක්කෝ හිර වැඩියි, නැත්නම් පෙනුමට අවුල්. ඉතින් ඇඳුම ඇඳන් යන්නේ සල්ලි වියදම් කරපු නිසා අයින් කරන්න බැරි ලෝබකමට. හැබැයි අපි අපිට හොඳටම ගැලපෙන වර්ණයේ සහ විලාසිතාවෙන් ඇඳුම් කීපයක් ගත්තම මේ කළකිරීම් නැහැ. අපි දන්නවා අපි තෝරගෙන තියෙන්නේ අපේ ශරීරයට සහ පෙනුමට හොඳටම ගැලපෙන ඇඳුමක්ය කියලා. ඒක පාරට බැහැලා අපේ දවස කන්ෆිඩන්ස් ඇතු​ව ගෙවන්න ලොකු හයියක්.

 

5. කාලය ඉතුරුවීම

කාලෙන් කාලෙට නිතර ඇඳුම් ගන්න, ඒවා හෝදන්න, මදින්න, නවලා ගබඩා කරන්න, අඳින්න ඇඳුම් හොයන්න, මැච් කරන්න වගේ වැඩ කන්දරාවක් සෙට් වෙනවා ඇඳුම් ගොඩක් තියන කෙනෙක්ට. ඒවාට කාලෙත් සෑහෙන වැය වෙනවා. හැබැයි එකම ඇඳුම අඳින කෙනෙක්ට ඒ කරදර මොකුත් නෑ. ගමන හෝ ඔෆිස් යන්න කලින් හැමදාම පුරුදු ස්ටයිල් එකේ ඇඳුම ඇන්දා, ගියා. ලේසියෙන් ඇඳුම් හෝදලා, වේලලා, අයන් කරලා අල්මාරියේ දැම්මා. අරකට මේක, මේකට අරක තිය තිය මැච් කරන්න දෙයක් නෑ. අනිවාර්යෙන්ම මැචින්. ඉතින් කාලේ කොච්චර ඉතුරුද? කම්මැලි පොරකට වුණත් කියාපු ක්‍රමයක් තමයි මේ විදිහට ඇඳුම් ඇඳීම.

 

6. අයිකනික් පෙනුමක්

සමහරු කොච්චර මිලාධික ඇඳුම් අරන් දවස ගාණේ ඇන්දත් ඒකෙන් පෞරුෂය හෝ පෙනුම කැපී පෙනිලා අවධානයට ලක් වෙන්නේ නැහැ. හැබැයි එකම විලාසිතාව ස්මාට් විදිහට හැමදාම ඇන්දොත් ඒ පුද්ගලයාව දිනපතා හෝ නිතර දකින කෙනාට ඒ පුද්ගලයා ගැන සුවිශේෂී බවක් දැනෙනවා. දැන් නිකමට ඔයා ඇස් දෙක පියාගෙන මාර්ක් සකර්බර්ග්ව මතක් කරලා බලන්න. ඔයාට එයාගෙ රූපෙ මැවෙන්නේ අර අළු පාට ටී ෂර්ට් එකත් එක්ක නේද? අන්න ඒ ගැනයි අපි මේ කිවුවෙ.

 

7. අතුරුදන් වුණොත්?

මේක විහිළුවක් වගේ පෙනුනත් වැදගත් කාරණයක් වෙන්න පුළුවන්. හිතන්න අපි පත්තර, ෆේස්බුක් වල කොච්චර නම් දකිනවද අතුරුදන් වෙච්ච පුද්ගලයෝ ගැන. මේ අයව හොයල දෙන්න කියලා පින්තූරයක් එක්ක විස්තරයක් දානවා. ඉතින් එකම ඇඳුම ඇඳන් ඉන්න කෙනෙක් මිසින් වෙලා හොයාගන්න හෝ අතරමං වෙලා හොයාගන්න ඕන වුණොත් කෙලින්ම පින්තූරයක් දාන්න හෝ එනවුස්මන්ට් එකක් දාන්​න පුළුවන් (කවදත් අඳින) මෙන්න මේ ඇඳුම තමයි අන්තිම පාර​ට ඇඳන් හිටි​යේ කියලා. විහිළුවක් වගේ පෙනුනට ජීවිතේ අපිට වෙන ඇබැද්දි එක්ක ගත්තම ඒ පහසුවත් සුළු පටු නෑ කියලා ඔබට හිතේවි.

 

මේ විදිහේ එකම විදිහේ ඇඳුම් අඳින එකට කියනවා Capsule Wardrobe ක්‍රමය කියලා. ඒ ගැන සවිස්තරාත්මක ලිපියක් අපි ගෙන එන්නම් ඔබට ඉදිරි දිනවලදී.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *