ලංකාවේ දේශපාලනය කැළැඹූ විදේශිකයෝ

ලංකාව කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම විදේශ රටවල බලපෑම්වලට විවිධ අයුරින් ලක් වෙන්න සිද්ධ වෙච්ච රටක්. අපේ රටේ ප්‍රධාන ආගම් සියල්ලම පාහේ අපට ලැබෙන්නේ විදේශ රටවලින්. සමහරු කියන විදිහට නම් ඒ තමයි අපේ රටට විදේශවලින් ලැබිච්ච එකම හොඳම දේ. ප්‍රධාන වශයෙන්ම දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික කියන ක්ෂේත්‍ර තුනටම විදේශ රටවල බලපෑම් සිද්ධ වෙලා තියෙනවා. Lifie මේ සටහනින් අපි කතා කරන්නේ අපේ රටේ දේශපාලන ක්ෂේත්‍රයට සැලකිය යුතු මට්ටමේ බලපෑම් එල්ල කරන්න සමත් වුණු විදේශිකයෝ ගැන.

 

1. ජේ.එන් ඩික්සිත්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරුන් අතරින් ලංකාවට වැඩිම බලපෑම කළ සහ ලංකාව තුළින් වැඩිම විරෝධයක් එල්ල වුණු මහකොමසාරිස්වරයා විදිහට ජේ.එන් ඩික්සිත්ව හඳුන්වන්න පුළුවන්. ඔහු ලංකාවට පැමිණෙද්දි ඉන්දීය රජය ඔහුට උපදෙස් ලබා දෙන්නේ ශ්‍රී ලංකා රජය සහ උතුරේ අවිගත් කණ්ඩායම් අතර ඇති වෙලා තියෙන ගැටළුවට සාමකාමී විසඳුමක් ලබා දෙන්න ඔහු මූලිකත්වය ගත යුතුයි කියලා. ඔහු සාර්ථක වෙනවා. නමුත් ඒ  ලංකාවේ ස්වෛරීභාවයට දැඩි අභියෝගයක් එල්ල කරමින්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දහතුන් වෙනි සංශෝධනය එකතු කරන්න මුල්වුණු ඉන්දු ලංකා ගිවිසුම පිටිපස්සේ හිටපු ප්‍රධානම චරිතයක් වෙන්නේ ජේ.එන් ඩික්සිත්. මේ නිසාම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විදිහට පත් වුණාම ඉන්දීය සාම සාධක හමුදාවට යන්න වෙනව වගේම ඩික්සිත්ටත් පල නොකියා පලා බෙදනවා.

 

2. රජීව් ගාන්ධි 

ලංකාවේ ස්වෛරීභාවයට අභියෝග කරලා අවසානයේදී ඔහුම කිරි පෙව්ව කොටි පැටවුන් අතින් මියයන්න රජිව් ගාන්ධිට සිද්ධ වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව මගින් එල්.ටී.ටී.ඊ සංවිධානය අතු ගා දැමීමට ඔන්න මෙන්න තිබියදී ශ්‍රී ලංකා ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ලංකාවට පරිප්පු දැමීමේ ක්‍රියාවලියට අනුමැති දෙන්නේ රජිව් ගාන්ධි. ඒ වගේම ඔහු ඉතාමත් කෛරාටික විදිහට ජේ.ආර් ජයවර්ධනට දහතුන්වැනි සංශෝධනය සඳහා තම අනුමැතිය ලබාදීම හැර වෙනත් යමක් ඉතිරිව නැති බවට ඒත්තු ගන්වනවා. මෙය ඔහුගේ සීයා වුණු ජවහර්ලාල් නේරු සහ මව වුණු ඉන්දිරා ගාන්ධි ලංකාව සමඟ ගෙන ගිය සමීප සම්බන්ධතාවය උඩු යටිකුරු කිරීමක්. ඒ සඳහා ඔහු නිදහසට කරුණ විදිහට දක්වන්නේ ජේ.ආර් ජයවර්ධන රජය ඇමරිකා එක්සත් ජනපදය සමඟ සමීප සබඳතා ගොඩ නගා ගැනීම.

 

3. එරික් සෝල්හයිම් 

මේ නම සාම ගිවිසුම සමයේ වගේම යුද සමයේත් ඇහුන් නැති දවසක් ඇත්තෙම නෑ වගේ. නෝවීජියානු පාර්ලිමේන්තුවේ ජනප්‍රිය මන්ත්‍රීවරයෙකු වූ එරික් සෝල්හයිම් ලංකාව තුළ සිංහල සමාජයට අප්‍රිය ජනක පුද්ගලයෙකුත් එල්ටීටීඊ සංවිධානයට ඉතා ප්‍රියජනක පුද්ගලයෙකුත් බවට පත් වුණා. ඔහු දිගින් දිගටම ශ්‍රී ලංකා රජය සටන් විරාම ගිවිසුමට ගරු කළ යුතු බවට පැවසීමට උත්සාහ කළත් එල්.ටී.ටී.ඊ සංවිධානය එසේ කරන බවට සහතිකයක් ලබා ගැනීමට උත්සාහ කළේ නැහැ. ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව ඔහු කීප වතාවක්ම ප්‍රකාශ කොට ඇත්තේ යුද්ධයකින් ජයග්‍රහණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවේ යුද හමුදාවට නොමැති බවත්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් යනු සංග්‍රාමෝපක්‍රමයන්හි කෙළ පැමිණි පුද්ගලයෙකු බවත්. නමුත් ඔහුගේ පුරෝකථන සියල්ලම බොරු වුණු අතර ඉන් පසුව ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කිරීමේ ක්‍රියාවලියේ පිටුපස සිටි ප්‍රධාන චරිතයක් බවට පත්වුණේත් සෝල්හයිම්මයි.

 

4. රොබට් ඕ. බ්ලේක්

යුද සමයේ දී ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා විදිහට කටයුතු කරපු රොබට් ඕ. බ්ලේක් මධ්‍යස්ථව සැලකුවාම ලංකාවේ මිතුරෙක්ද සතුරෙක්ද යන්න හරියටම හිතාගන්න බැරි ජාතියේ පුද්ගලයෙක්. යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේදී “යුධ මුක්ත කලාපයක්” නම් කිරීම කෙරෙහි ඔහු සුවිශාල මැදිහත්වීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම සංවේදී යුද තොරතුරු ලබාදීම සම්බන්ධයෙන්ද ඔහු මැදිහත් වීමක් සිදුකළ බව කියවෙනවා. නමුත් ඔහුටත් එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතෛෂී  ස්ථාවරයක් අනුගමනය කිරීම පිළිබඳව චෝදනා එල්ල වෙනවා. යුධ ජයග්‍රහණයෙන් පසුව දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය තුළ ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට එරෙහිවීමට බලපෑවේ රොබට්.ඕ බ්ලේක්ගේ වාර්තා බවත් සඳහන් වෙනවා.

 

5. යසුෂි අකාෂී 

ශ්‍රී ලංකාවේ යුද සමයේදී එම ක්‍රියාවලියට මැදිහත් වූ විදේශිකයන් අතරින් අඩුම විරෝධතා වලට ලක්වූ පුද්ගලයා විදිහට ජපාන සාම නියෝජිත යසුෂි අකාෂි හඳුන්වන්න පුළුවන්. බොහෝ අවස්ථාවල බටහිර සාම නියෝජිතයන් ශ්‍රී ලංකා රජය කෙරෙහි කිසිසේත් අනුමත කළ නොහැකි ආකාරයේ දැඩි ස්ථාවරයක හිටියත් යසුෂි අකාෂී බොහෝ දුරට මධ්‍යස්ථ ස්ථාවරයක සිටියා. සමහර විට ශ්‍රී ලංකාව සහ ජපානය අතර වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන සමීප සබඳතා ඊට එක හේතුවක් වෙන්න ඇති. මේ නිසාම 2019 වර්ෂයේදී විදේශිකයෙකු වෙත ශ්‍රී ලංකා රජය මගින් පිරිනැමිය හැකි උසස්තම  සම්මානය වන “ශ්‍රී ලංකා රත්න” සම්මානයෙන් ඔහු පිදුම් ලැබුවා.

 

6. නවී පිල්ලේ 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානියා විදිහට කටයුතු කරපු නවී පිල්ලේගේ ධුර කාලයේ තරම් ශ්‍රී ලංකාව සහ එම කවුන්සිලය අතර සම්බන්ධතා තව අර්බුදයට ලක් වුණු වෙනත් කාලයක් නැති තරම්. ශ්‍රී ලංකා හමුදාව විසින් යුද අපරාධ සිදු කළ බවට පූර්ව නිගමනයක නවීපිල්ලේ ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් සිටීම මීට එක හේතුවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඇයගේ ශ්‍රී ලංකා සංචාරය තුළදී තවත් මේ ගැටුම් උග්‍ර අතට හැරුණා. ප්‍රභාකරන් මියගිය නන්දිකඩාල් කලපුව ප්‍රදේශයේදී පුෂ්පෝපහාර දැක්වීමට ඇය උත්සාහ කරන්නේ යන සැකය මත රජයද නිල වශයෙන් තම විරෝධතාවය ඇයට ප්‍රකාශ කළා. ඒ වගේම අමාත්‍ය මර්වින් සිල්වා විසින් ඇයට විවාහ යෝජනාවක් ඉදිරිපත් කිරීම ජාත්‍යන්තරවත් කතාබහට ලක් වුණා.

 

7. ඉන්දිරා ගාන්ධි 

අපි රජීව් ගාන්ධි ගැන සඳහන් කරද්දී  ඉන්දිරා ගාන්ධි ගැන කිව්වේ ලංකාව කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් ඇය අනුගමනය කළා කියලා. ඇත්ත වශයෙන්ම ඇය බොහෝ අවස්ථා වල ශ්‍රී ලංකාවේ හොඳ මිතුරියක් විදිහට කටයුතු කළා. මේකට එක හේතුවක් විදිහට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමග ඇගේ පැවති පෞද්ගලික මිතුදම එක හේතුවක්. ලංකාවට කච්චතිව් දූපත ලැබෙන්නෙත් ඒ මිතුදමේ ප්‍රතිඵලයක් විදිහට. කොහොම වුනත් ඇයට එල්ටීටීඊ සංවිධානය ඇතුළු අවි දැරූ කණ්ඩායම්  පෝෂණය කිරීම පිළිබඳ චෝදනාත් එල්ල වෙනවා. නමුත් ඇතැම් අය නම් කියන්නේ ජේ. ආර් ජයවර්ධන රජය මෙල්ල කිරීමේ එක තුරුම්පුවක් විදිහට එසේ කළත් ශ්‍රී ලංකාවෙහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය අභියෝගයට ලක් කිරීමේ බලාපොරොත්තුවක් ඇය තුළ තිබ්බෙ නැහැයි කියලා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *