ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ’ කියලා ක්ලැරන්ස් විජේවර්ධන ගායනා කරපු එකේ ඇත්ත නැත්ත තේරෙන්නේ දැනුයි. මිනිස්සුන්ගේ බාහිර ඔපේට වඩා අභ්‍යන්තරේ තමයි වටින්නේ කිව්වට ආගන්තුකයෙක්ට අපිව දැක්ක ගමන් අපේ අභ්‍යන්තරයක් පේන එකක්යැ. ඒ නිසා දුටු පමණින් හිතන එකක් හිතාගන්න ලස්සනට ඉන්න ඕනි. ඒකට විලාසිතා කරන්න ඕනි. හැබැයි ඒ කරන්න ගිහින් රා කල හතක් බීගත්තු නාලාගිරි වගේ වෙන්න ගියාම අක්කලා නංගිලා ගිහින් හොම්බෙන් නවතින්නේ.
1. හතර අතින් කුප්ප කතන්දර අහන්න ලැබීම
ඕනෑවට වඩා ෆැෂන් කරන්න ගියාම කොල්ලෝ කුරුට්ටගේ ඉඳලා ලොකු ලොකු පුටුවලට එනකන් කට්ටිය එක එක කතන්දර කියන්න ගන්නවා. පද හදනවා කියන්නෙත් මේක නොවැ. සමහරවිට ඇත්ත ජීවිතේ කොයිතරම් හොඳ කෙනෙක් වුණත් මේ ඕනෑවට වඩා වැඩි ෆැෂන් කෙරුවාව නිසා හිතාගන්න ඕනි හොඳම එකෙන් හිතන්න තරම් අනික් අයට පාර කපනවා. අපිට අනික් අය හිතන විදිය වෙනස් කරන්න බෑ. ඒ නිසා අවකැපෙන කතන්දර නාහා ඉන්න අපි සැලකිලිමත් වෙන්න ඕනි.
2. සමාජයේ විහිළුවට ලක් වීම
ඕනෑවට වඩා ෆැෂන් කරන්න ගියාම මේ හිටපු මනුස්සයා නෙවේ තව ටිකකින් ඉන්නේ. සම්පූර්ණයෙන්ම රූපේ වෙනස් වෙනවා. මේකප් එකෙන් වගේම අඳින ඇඳුම් පැළඳුම්වලිනුත්. ලස්සන වෙන්න කියලා හිතාන කරපු වැඩෙන් අනික් මිනිස්සුන්ට ආතල් එකක් සපයන තැනට වැඩ සිද්ධ වෙනවා.
3. සෝෂල් මීඩියාවල මාතෘකාවක් වීම
මොකක්ම හරි සාමාන්‍ය නැහැ වගේ හිතෙන දෙයක් සෝෂල් මීඩියාවලට යන එක තමයි අද කාලේ ට්‍රෙන්ඩ් එක. ඒක එහෙම වෙනකන් ආප්ප කෑල්ලක් වැටෙනකන් බලන් ඉන්න කාක්කෝ වගේ තමයි අපේ රටේ කොයි කවුරුත් ඉන්නේ. අමුතු අමුතු විලාසිතා කරන්න ගිහින් මුළු රටටම බයිට් එකක් වෙන්න සෝෂල් මීඩියා කෙරුවාවත් එක්ක ඉඩ තියනවා.
4. අසාත්මිකතා ඇති විය හැකියි
අපි කන සමහර කෑම හරහට හිටලා වෙලාවකට බඩේ රුදාවල් හැදෙනවනේ. ඒ වගේම ඇඟට ඕනිවට වඩා මේකප් දාන එකෙන් හමේ එක එක අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. දැන් වෙළඳපොළේ තියන ගොඩක් ආලේපන පමණට වඩා නෙවෙයි, පොඩ්ඩක් ගෑවත් හොඳ නෑ. ඒ නිසා පිළිගත් සෞඛ්‍යාරක්ෂිත ඇති ආලේපන භාවිත කරන්න ඕනි. අනික් කාරණය තමයි මේකප් බඩු දාන බෑග් එක බැක්ටීරියාවන්ට වසන්න තිප්පොළක් වගේ තියෙනවා නම් ඒත් වැඩේ නරකයි.
5. සබකෝලය ඇතිවීම
මේක මේ පරීක්ෂණයකින් හොයාගත්ත එකක්. සෑහෙන මේකප් දාලා විච්චූරණ වුණ උදවියට වඩා එහෙම නැති අය ආත්ම විශ්වාසයෙන් වැඩි, ඕනම දේකට බය නැතුව ඉදිරිපත්වෙන අය කියලා කියනවා. මේකප් අනංමනංවලට ඕනිවට වඩා ඇබ්බැහි වුණාම ඒවා නැතුව ගෙවල් ළඟ කඩේකටවත් යන්න හිතෙන් නැහැ. කොටින්ම කියනවා නම් මේකප් තට්ටුව නැත්නම් මාත් නෑ වගේ පසුගාමී දේවල් හිතෙන්න තියෙන ඉඩ වැඩී.
6. ආර්ථික දුෂ්කරතා ඇතිවීම
ඕඩිකොලොන් බෝතලයක් ගන්න සල්ලි වලිනුත් තුන්වේලක් කන්න පුළුවනි. ඉතින් විලාසිතා ලෝකේ අඩුම කුඩුමවල ගණන් ඒ අනුව හිතාගන්නකෝ. ඇඳුමක් ගන්න ගියත් දාස් ගණන්වලින් තට්ටු වෙන්නේ. මේකප් කරන්න ගන්න ආලේපන එහෙම වහෙන් ඔරෝ නැතුව කෙළින්ම පොකැට්ටුවට තට්ටු කරන්නේ. ඉතින් ඕනෑවට වඩා මේවාට ඇබ්බැහි වෙන්න ගියාම බට කැලේ ගිනිගත්තා වගේ අන්තිම සතේට හිඳෙනකන් දන්නේ නැහැ.
7. කාලය කළමනාකරණය කරගැනීමේ අවුල
උදේට ඔපීසි යන්න, වෙඩින්ග් එකකට නැත්නම් මොකක් හරි එකකට ලෑස්ති වෙන්න ගිහිල්ලා මේකප්වල කරවටක් ගිලෙන්න ගියාම ඔරලෝසු කටු කැරකෙනවද නැද්ද කියලා මෙලෝ දැනීමක් නැහැ. කොච්චර කාලය නාස්ති කරලා හැඩවුණත් නිරපරාදේ ගතවුණ විනාඩි කීපයෙන් ප්‍රයෝජනයක් ගන්න තිබ්බා. සමහර ගෑණු උදවිය මගුල් ගෙවල්වල යන්න ලෑස්ති වෙනවා මනාලිට වඩා. හැබැයි මගුල් ගෙදරට යනකොට මගුල් පෙරහැර ගිහිල්ලත් ඉවරයි.
මේකප් පාවිච්චි කරන එකේ වගේම විලාසිතා කරන එකෙත් කිසිම වැරැද්දක් නෑ. ගෑණු ළමයෙක් ඕවා නොකළොත් තමයි පුදුමේ. ඒත් තරම නොදැන කරන්න ගිහිල්ලා වෙන්න පුළුවන් නස්පැත්ති නම් එමටයි.
Cover Image Source – vicemode.com
Leave a Reply