අපේ අපේ ඉතිහාසය ගැන ඉගෙන ගනිද්දි රටේ එවකට පැවති අගනුවර අනුව අපි කොටස්වලට බෙදා ගන්නවා. උදාහරණයක් විදිහට අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය ආදී වශයෙන්. හැබැයි ලංකාවේ අගනුවර කොළඹට, එහෙමත් නැත්නම් හරියටම කියනවා නම් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට මාරු වුණු මේ කාලේ ගැන කතා කරද්දි අපි කොළඹ යුගය හෝ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ දෙවැනි යුගය කියලා සඳහන් කිරීමක් කරන්නේ නැහැ.
හැබැයි සාහිත්‍යය ඉතිහාසය ඉගෙන ගනිද්දි අපි කොළඹ යුගය ගැන කතා කරනවා. මෙහෙම කොළඹ යුගය කියලා සාහිත්‍යය ඉතිහාසයේ දී මේ යුගය විශේෂ කරන්න එක හේතුවක් තියෙනවා. ඒ තමයි එතෙක් කල් සම්භාව්‍ය සාහිත්‍යය හැදෑරීමට පමණක් සීමා වෙලා තිබ්බ අපේ අධ්‍යාපන රටාව බටහිර අධ්‍යාපනයේ ආභාෂය ලබමින් වෙනස් වීම නිසා අලුත් සාහිත්‍යයක් අපේ රටේ ගොඩනැගීම.
මේ නිසා එච්චර කල් ජාතක කතා, බුදු ගුණ ආදිය පමණක් විස්තර කිරීමට තිබූ කවිය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මේ නිසා කොළඹ යුගයේ කවිය නමින් විශේෂයෙන් මේ කවි සම්ප්‍රදායය හඳුන්වනවා. ඇතැම් අය මේ කොළඹ යුගයේ කවියන්ව කොළඹ යුගයේ පළමු පරපුර, කොළඹ යුගයේ දෙවැනි පරපුර ආදි වශයෙන් පරම්පරාවලටත් බෙදා වෙන්කරනවා. අපි අද මේ ලියන සටහනේ අරමුණ නම් ඒ වගේ දීර්ඝ විස්තරයක් නෙමේ, අපි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ කොළඹ යුගයේ කවීන් කීප දෙනෙක් ගැන මතකය ඔබට ගෙන එන්න.
1. විමලරත්න කුමාරගම
අවුරුදු 43ක කෙටි ආයු කාලයක් ගත කරපු විමලරත්න කුමාරගම අපේ සාහිත්‍ය ලෝකයේ අමරණීය චරිතයක්. කොළඹ යුගයේ දෙවැනි පරපුරේ කවියෙක් විදිහට සලකන්න පුළුවන් ඔහු ඉපදුණේ උඩරට වංශවත් පවුලක. නමුත් රාජ්‍ය සේවයට බැඳිලා ඩී. ආර්. ඕ කෙනෙක් විදිහට ඔහු අනුරාධපුරය, මහියංගනය වගේ දුෂ්කර පළාත්වල සේවයට ගියා. එහිදී ඔහු ආශ්‍රය කළේ නූගත්කමින්, නිලධාරීවාදයෙන්, අඩු පහසුකම්වලින් වගේම ස්වභාවධර්මයෙනුත් පහර පිට පහර කමින් ජීවිතය ගැටගහගන්න උත්සාහ කරපු ගැමියන්ව. මේ නිසා ඒ ගැමියන් පිළිබඳ ඔහුගේ අත්දැකීම් ඔහු කවියට නැගුවා. කුමාරගමගේ “හේරත් හාමි”, “අයියනායක” වගේ කවි පන්ති අපේ පාසල් පෙළ පොත් වලට පොත්වලට ඇතුළත් වීම නිසා ඔහුව වඩාත් අපේ පරම්පරා වලට සමීප වුණා.
2. මීමන ප්‍රේමතිලක
ලංකාවේ තමන්ගේ ගම තමන්ගේ නමට ඈඳ ගන්න පිරිස් දෙවර්ගයක් ඉන්නවා. එක වර්ගයක් තමයි ස්වාමීන් වහන්සේලා, අනිත් වර්ගය තමයි කොළඹ යුගයේ මුල්කාලීන කවියෝ. මීමන ප්‍රේමතිලක නිසා හොරණ මීමන ගම ලංකාවේම ප්‍රසිද්ධ වුණා. එක්තරා ලිපි රචකයෙක් මී බඳු මනසක් ඇති බැවින් මීමන කියලත් මීමන ගේ නම ගැන විස්තර කරලා තියෙනවා, ඒ මීමන ප්‍රේමතිලකගේ ස්වභාවය නිසා. එවකට සිළුමිණ ප්‍රධාන කර්තෘවරයා වෙලා හිටපු මාර්ටින් වික්‍රමසිංහ, මීමනව සිළුමිණට හඳුන්වා දුන්නා. සිළුමිණේ පත්තර රස්සාව නිසා මීමනගේ දක්ෂතා තවත් ඔපමට්ටම් වුණා. විශේෂයෙන් විදේශීය කවියන්ගේ කෘති ඇසුරු කරමින් සොහොන් බිම, කිරිහාමි වගේ කවි පොත් රාශියක් රචනා කරන්න ඔහු සමත් වුණා. ඒ අතරින් පාළුගම ඔහුගේ විශිෂ්ටතම කෘතිය විදිහට බොහෝ දෙනෙක් සලකනවා. මීමනත් කුමාරගම වගේම අවුරුදු 50 පිරෙන්න කලින්, ඒ කියන්නේ අවුරුදු හතළිස් හතේදී තමන්ගේ ජීවිතයට සමු දුන්නා.
3. සාගර පලන්සූරිය
සුදෝසුදු සහ සාගර පලන්සූරිය කියන නම එකිනෙකාගෙන් වෙන් කරන්න බැරි තරමට සමීපයි. දිළිඳු පවුලක උපත ලබපු මේ කවියගේ උප්පැන්නෙ තිබ්බ නම වුණේ ඩිංගිරි බණ්ඩා. පවුලේ ඇතිවුණු අඟහිඟකම් නිසා ඔහු මහණ දම් පුරන්න පටන් ගන්නේ හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමේ අරමුණින්. ඉන්පසුව ශාන්ති නිකේතනයට යන ඔහු නැවතත් ලංකාවට ඇවිල්ලා නැවත වතාවක් මහණ වෙනවා, නැවතත් උපැවිදි වෙනවා.
දේශපාලනයට පිවිසෙන ඔහු 1956 දී හොරණ මන්ත්‍රීවරයා බවටත් පත්වෙන්න වාසනාව ලබනවා. නමුත් උගුරේ ඇති වන ආබාධයක් හේතුවෙන් මැදි වයසේ දී ඔහු ජීවිතයෙන් සමු ගන්නවා. නමුත් අපි කලින් කිව්වා වගේම සුදෝසුදු, විසිවුණු තරු, මල්හාමි වගේ කවි පොත් නිසා සාගර පලන්සූරිය තවමත් අපි අතර ජීවත් වෙනවා.
4. ආනන්ද රාජකරුණා
රෝස මලේ නටුවෙ කටු
වන බඹරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පැණි උරමි
මේ අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් කියවපු, තාමත් කට පාඩම් තියෙන කවියක්. මේ කවිය අපි හැමෝම දන්නවා වුණාට මේ කවියේ රචකයා ගැන නම් දන්නේ නෑ. මේ කවියේ රචකයා තමයි ආනන්ද රාජකරුණා මහත්මයා. ‘හඳ’, ‘ගඟ’, ‘තාරකා’, ‘ගේ කුරුල්ලෝ’ වගේ පද්‍ය පන්ති හරහා ආනන්ද රාජකරුණා මහත්මයා කුඩා ළමයින්ට ඉතා සමීප වුණා. ගැමි වහරෙන් උකහා ගත්ත රසවත් බව එතුමාගේ කවිවලින් ගලා ගියා. ඇතැම් අවස්ථාවලදී නම් එතුමා තමන්ගේ කවිය බටහිර ගැති සිංහලයන්ව උපහාසයට ලක් කරන්නත් යොදා ගත්තා .
5. එච්. එම් කුඩලිගම
පී. බී ෂෙලී ලෝක ප්‍රකට ඉංග්‍රීසි ජාතික කවියෙක්. ඔහු තමන්ගේ කාව්‍ය රචනා වලට ප්‍රධාන වශයෙන් වස්තු විෂය කරගත්තේ ස්වභාවික සෞන්දර්යය. කොළඹ යුගයේ ස්වභාවික සෞන්දර්යය වර්ණනා කරමින් කවි ලියූ විශිෂ්ටතම කවියා විදිහට අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ කුඩලිගමව. මේ නිසා එච්. එම් කුඩලිගමව ඇතැම් අය සිංහල ෂෙලී විදිහටත් හඳුන්වනු ලබනවා. ‘ඈ’, ‘කුණාටුව’, ‘එකමත් එක රටක’ වගේ කවි පොත් කීපයක් රචනා කරපු කුඩලිගම එවකට ජනප්‍රියව පැවැති කවි සඟරා වෙනුවෙනුත් කවි රචනා කළා. ඇතැම් අවස්ථාවල සාමාන්‍ය පුවත්පත්වල තමන්ට ලැබුණු තීරු ලිපි පවා ඔහු රචනා කළේ කවියෙන්.
6. පී බී අල්විස් පෙරේරා
පී. බී අල්විස් පෙරේරා ගේ කවි කියවන ගොඩක් දෙනෙක් හිතන්නේ එතුමා චමත්කාරජනක ගැමි පරිසරයක උපත ලබපු කෙනෙක් කියලා. නමුත් කොළඹ කොල්ලුපිටියේ දිළිඳු පැල්පතක උපත ලැබීමෙන් දිළිඳුකම නිසාම එතුමාට පාසල් අධ්‍යාපනය නිම කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් එතුමා ස්වෝත්සාහයෙන් පොතපත කියවලා ඉගෙනගන්නවා. ඒ වගේම එතුමාට පියදාස සිරිසේන මහත්මයාගේ ලේඛන වැඩි වශයෙන් බලපානවා. ‘උක් දඬු දුන්න’, ‘මිණි පාන’, ‘අන්ධ කවියා’ වගේ කවි පොත් ගණනාවක් එතුමා අතින් රචනා වෙනවා. එතුමාත් කොළඹ යුගයේ බොහෝ කවීන් ගිය මගම යමින් වයස අවුරුදු පනහ එන්නත් කලින් නෙත් පියා ගන්නවා.
7. ජී. එච් පෙරේරා
බොරලැස්ගමුවේ ජී. එච් පෙරේරා කවියා දේශාභිමානය ,බුදුගුණ, උපහාසය වගේ ඕනම අනුභූතියක් භාවිතා කරලා කවි ලියන්න සමත්කම් දක්වපු කෙනෙක්. ඒ අතරින් එතුමාගේ උපහාස කවි මී පැණි තැවරුණු කසපහර වගේ. ගල්හේනේ හෙන්ද්‍රික් පෙරේරා කියන නම ටිකක් රළු වැඩියි කියලා හිතුන නිසාද මන්දා එතුමා මුළු ජීවිත කාලේම භාවිතා කරේ බොරලැස්ගමුවේ ජී. එච් පෙරේරා කියන නම. වෘත්තියෙන් ගුරුවරයෙකු වූ එතුමා සටන්කාමීත්වය නිසාම ගුරු වෘත්තීය සංගම්වල නායකත්වයට පවා පත් වුණා. ‘බුද්ධ ස්ත්‍රෝත්‍ර’, ‘වරක මදුල’, ‘සිංහල මංගල සූත්‍ර’ එතුමා අතින් ලියැවුණු කවි පොත් අතරින් කීපයක්.ඒ වගේම එතුමා ඒ කාලේ හිටිවන කවි මඩුවලට නැතුවම බැරි හිටිවන කවියෙක් බවටත් පත්වෙලා තිබුණා. එතුමාත් වයස අවුරුදු පනස් දෙකේදී තමන්ගේ ජීවිතයෙන් සමුගත්තා.
මේ ලිපිය ඔබ සාවධානව කියෙව්වනම් ඔයාට එක දෙයක් මේ වෙනකොට තේරෙයි. ඒ තමයි මේ ලිපියෙදි අපි මේ කවීන්ගේ කවි ලිපිය තුළ සදහන් කළේ නෑ (එක ළමා කවියක් ඇරුණම). ඒ අවස්ථාව අපි ඔබට ලබා දෙනවා. ඔබට පුළුවන් කමෙන්ටුවකින් ඔබ මේ කවීන්ගේ රසවිඳි කවි ගැන කතා කරන්න. ඔබ සමග සංවාදයේ යෙදෙන්න Lifie අපි කැමතියි. ඉතිං ඒ අදහස් කමෙන්ට්වල පළකරන ගමන් මේ ආටිකල් එක share කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply