ලෝකෙට හාල් මුලින්ම ආවේ චීනෙන් කියලා තමයි විශ්වාස කරන්නේ. චීනයේ ගංගා පිටාර ගැලූ බිම් වල මිනිස්සු කෙමෙන් කෙමෙන් සහල් වගාකරන්නට හුරු වුනා. තිරිඟු වලට වඩා හාල් වගාවේදි අක්කරයකින් ගන්න පුළුවන් අස්වනු ප්‍රමාණය වැඩියි. ඒ වගේම සහල් වගා කරන්න පුළුවන් භූමිභාගත් ආසියාව පුරා විසිරිලා තියෙනවා. ඒනිසා ආසියානු ජනතාව බොහෝ පිරිසක් බත් අහාරයට ගන්නට හුරු වුනා. බත් කියලා ආහාරයට ගත්තාට විවිධ ආකාරයෙන් හදාපු බත් වර්ග මහා ගොඩක් මේ එක එක ආසියානු රටවල ජනතාව ආහාරයට ගන්නවා. ලෝකයේ සන්නිවේදනය සහ ප්‍රවාහනය දියුණු වීමත් එක්ක දැන් බටහිර රටවලට, ඇමරිකාවට, ඔස්ට්‍රේලියාවට, නවසීලන්තෙටත් බත් කෑම පැතිරිලා ගිහින් තියෙනවා.
1. ලංකාවෙ බත් කෑම
ලංකාවෙ බත් කන විදිහ කියන දේ පළාතින් පළාතට වෙනස් වෙනවා. රතු හාල් බත් වලට සිම්පල් කරි දෙක තුනක් එකතු කරගෙන මාළු හෝ මස් එක්ක කන්න මාතර බත් කඩ වලින් බත් කන උදවිය ආසයි. ෆ්‍රයිඩ් රයිස්, නාසි ගුරාන්, බුරියානි වගේ වෙනත් ආහාර සංස්කෘතීන් හරහා මෙහෙට ගොඩ බැස්ස බත් වර්ගත් ලංකාවේ සෑහෙන ප්‍රසිද්ධයි. කොහොම වුනත් ලංකාවේ ගොඩක් පළාත් වල වේල් තුනෙන් දෙකක්වත් මිනිස්සු බත් කනවා. බොහෝවිට ලංකාව වටේ ඇවිදින කෙනෙක්ට බත් වල රසය මිස කෑම පිළිගැන්වීම, කෑම සැකසීම වගේ දේවල් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. ලංකාවේ පොල්සම්බෝල, අච්චාරු, හොදි මාළුපිනි එක්ක එන බත් කෑම විදේශිකයනුත් දැන් දැන් කැමති දෙයක් වෙලා තියෙනවා.
මේ තියෙන්නේ ලංකාවේ ධීවරයෝ වගයක් බෝට්ටුවක යන ගමන් කන ආකාරය.
2. කල්කටා
කල්කටා කියන්නේ ලංකාවට සමාන ඉන්දියාවේ පළාතක්. ලංකාවට මිනිස්සු ආවේ කල්කටා දිහායින් කියලා විශ්වාසයකුත් තියෙනවා. විජය කුමාරයා ගේ පැමිණීම සිද්ධ වෙන්නෙත් කල්කටා දිහාවේ වරායකින්. ඉතින් කල්කටා උදවියත් බත් කන ආකාරය බොහෝ දුරට ලංකාවේ අපිට සමානයි. හොදි, මාලුපිනි බත් එකට දමාගෙන රට ළූණු සම්බෝල, බැදුම් ආදියත් එක්ක දිගැටි හාල් කන්න තමයි කල්කටාවේ මිනිස්සුත් ආස. කල්කටාවලත් මිරිස් රසට බත් කන මිනිස්සු වැඩියි. සුද්දන්ට එහෙම කල්කටා ගියාම මිරිස් රස හෙන ප්‍රශ්නයක් වෙනවා.
3. ඇඟිලිවලින් කෑම, අතින් කෑම සහ කෝටු වලින් කෑම
කන්නේ බත් වුනත් රසය වගේම කන ආකාරයත් රටින් රටට, දේශයෙන් දේශයට වෙනස්. ලංකාව ඉන්දියාව ඇතුළු දකුණු ආසියාකරයේ මිනිස්සු බොහෝවිට බත් අතින්ම ආහාරයට ගන්නවා. එයිනුත් ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාවට බත් කනකොට ඇඟිලි පුරුක් දෙකකට වඩා බත් ගෑවෙන්නේ නැතිවෙන්න කන්න උත්සාහ කරනවා. ඒත් දකුණු ඉන්දියාව, කේරළේ උදවිය නම් මුළු අතම පාවිච්චි කරලා, බත් විසාල ගුලි කරලා කෙලින්ම ඒවා කටට බස්සා ගන්නවා. චීනේ, ජපානේ වගේ රටවල බත් අතින් කනවාට වඩා ඒ අය කෝටු වලින් බත් කන්න ආසයි. චොප්ස්ටික් කියල හඳුන්වන කෝටු වලින් බත් කෑම ඒකට හුරු නැති කෙනෙක්ට නම් විකාරයක් වගේ. චීනේ, ජපානේ වගේ රටවල කෝටුවලින් කන අය දකුණු ආසියාවේ අපි වගේ බත් පිඟන් ගණන් එකපාර ගිලින්නේ නැහැ. එයාල බත් ස්වල්පයක් තමයි ආහාරයට එකතු කරගන්නේ. ඒ අතර වර්තමානයේ නම් ෆ්‍රයිඩ් රයිස්, බිරියානි වගේ දේවල් හැඳි ගෑරප්පු වලිනුත් ආහාරයට ගන්නවා.
මේ ප්‍රකට කෑම යූටියුබර් කෙනෙක් වන මාක් වින්ස් ලංකාවේ බත් කන්න උත්සාහ කරන හැටි.
4. දකුණු ඉන්දියානුවන් බත් කන හැටි
ලංකාවේ වුනත් දෙමළ අය බත් කන ස්ටයිල් එක වෙනස්. හොඳ දෙමළ කඩේකට ගියොත් එක එක ව්‍යංජන චූටි චූටි කෝප්ප වගේ ඒවයේ තියලා කෙහෙල් කොළේක තමයි බත් පිළිගන්වන්නේ. දකුණු ඉන්දියාවේ කේරළයේ උදවියත් මේ ආකාරයට තමයි බත් කන්නේ. අපේ රාජසිංහ රජතුමා බත් කාල තියෙන්නේත් පොත් වල තියෙන විදිහට එක අවස්ථාවකට එක ව්‍යංජනයක් විතරක් අරගෙන, ඒක බත් එක්ක අනලා. ආන්න ඒ ඉන්දීය සම්භවයක් තියෙන රාජසිංහ රජු කාපු විදිහටම ඉන්දියානුවොත් ව්‍යංජන ගොඩක් වට කරගෙන නමුත් වරකට එක ව්‍යංජනයක් විතරක් බත් එකට එකතු කරගෙන ඉන් පස්සේ ඒ බත් අහුරු අහුරු අරන් කටට දාගන්නවා. ඒ වගේම ඉන්දියාවේ උදවිය මුදවාපු කිරිත් බත් එකටම දාගෙන කනවා. මේ කන විදිහ බලන් ඉන්න එක අපිට නම් ටිකක් අවුල් වගේ. ඒත් ඉන්දියාවේ අය නම් මේ කන විදිහ බලන එක මාර විනෝදෙන් කරන වැඩක් කියලා යූටියුබ් එකේ කෑම කන වීඩියෝ වලට තියෙන හිට්ස් වලින් පේනවා.
5. තායි ක්‍රමයට බත් කෑම
බෞද්ධ ආගම වගේම තායි රටේ ලංකාව එක්ක සමාන තවත් දෙයක් තමයි බත් කෑම. තායි උදවිය බත් වගේම නූඩ්ල්ස් සහ සලාද ආදියත් හරි හරියට කෑමට එකතු කරගන්නවා. ඇත්තටම තායි රටේ කෑම කියන විෂයේදී විවිධ දේවල් ගොඩක් මිනිස්සුන්ට කෑමට තියෙනවා.තායිලන්තේ පාරේ කැම විකුණන තැනකට ගියත් විවිධ ආකාරයේ කෑම ජාති සීයක් විතර එයාල පිළිගන්වන්න ලෑස්ති වෙලා ඉන්නවා. තායි උදවිය නූඩ්ල්ස් වලට චොප්ස්ටික් පාවිච්චි කළාට බත් කද්දි අපි වගේම අත තමයි පාවිච්චි කරන්නේ. ලංකාවේ තියෙන වියළි ආකාරයෙන් ඇට වෙන්වෙන රයිස් වගේම ස්ටිකී රයිස් එහෙම නැතිනම් එකට ඇලිලා තියෙන රයිසුත් තායි ජනයා කෑමට ගන්නවා. දිවා ආහාරය වගේ ලොකු ආහාර වේලකට තායි ජනයා ගොඩක් වෙලාවට දැන්නම් හැඳි ගෑරප්පු පාවිච්චි කරනවා. ඒකෙදි ඌරුමස්, ගවමස් ආදියෙන් රසවත් වූ තායි කරි සමග තායි ජනයා බත් මුසු කරගෙන ආහාරයට ගන්නවා.
6. පිලිපීනය
පිලිපීනයෙ උදවියත් ලංකාවේ, ඉන්දියාවේ අය වගේ බත් මහ ගොඩක් එක වේලකට කන්න ආසයි. බැදුම් ජාති, හොදි මාළුපිනි එක්ක කන පිලිපීන කෑම පෙනුමෙන් ටිකක් සමාන වුනත් රසෙන් නම් වෙනස්. පිලිපීනයෙත් කලාතුරකින් දුඹුරු හාල් කන අය ඉන්නවා. ඒත් වැඩිදෙනෙක් කැමති සුදු හාල් කන්න. අපේ අය ෆ්‍රයිඩ් රයිස් හදනකොට සෝස් සහ අවශ්‍ය රසකාරක දානවා. පිලිපීනයේ දී නම් නිකම් බත් කනකොටත් සෝයා සෝස් සහ වෙනත් රසකාරක යොදාගනිමින් තමයි එයාල බත් කන්නේ. ඔවුනුත් හැඳි ගෑරප්පු වලට වඩා අතින් බත් කන්න ආසයි.
7. තජිකිස්ථානය
මධ්‍යම ආසියානු රටවලත් බත් එදිනෙදා ආහාරයක් විදිහට පාවිච්චි වෙනවා. ලංකාවෙත් මොංගෝලියන් රයිස් කියලා තැන් තැන් වල කෑම විකුණන්න තියෙනවා. මේ තජිකිස්ථානය, උසබෙකිස්ථානය, මොංගෝලියාව ආදි රටවල බත් වගේම ආහාරයට මස් එකතු කරගැනීමත් බොහෝවිට සාමාන්‍ය දෙයක්. මස් සහ බත් එකට මිශ්‍ර කරලා කෑම වගේම විවිධ ආකාරයේ රයිස් මැදින් තියලා හදන ඩිෂ් විදිහට ආහාරයට ගැනීමත් මේ රටවලදි සිද්ද වෙනවා. මධ්‍යම ආසියානු රටවල නම් අපේ උදවිය වගේ කොත ගහලා බත් කන සිරිතක් නැහැ. මස් සහ අනෙකුත් කෑම වර්ග එක්ක සුළු වශයෙන් බතුත් ඔවුන් ආහාරයට ගන්නවා.
එක් එක් රටවල් ගත්තාම සමහර රටවල් විශාල නිසා ඒ රටවල දෙකෙළවර ගත්තත් බත් කන විදිහ වෙනස්. උදාහරණ විදිහට ඉන්දුනීසියාව ගත්තොත් මෙහා කෙළවරේ සුමාත්‍රාවේ ජනප්‍රියම බත් කන ආකාරයට නෙමෙයි ඉන්දුනීසියාවෙම අනෙක් කෙළවර වන පැපුවා දිවයිනේ ජනතාව බත් කන්නේ. ඔවුන් පාවිච්චි කරන හාල, උයන පිහින විදිහ වගේම බත් කන්න පාවිච්චි කරන ව්‍යංජන, මාළුපිනි සහ අනෙකුත් දේත් වෙනස් වෙනවා. ඒ වගේම ඉන්දියාවේ ගත්තා වුනත් බිරියානි වර්ගම ගණනාවක් තියෙනවා. බත් කන එක හෝ අතින් බත් කන එක කියන්නේ අපි විතරක් කරන අමුතු දෙයක් නම් නෙමෙයි. ලෝකෙන් සම්පූර්ණයෙන් බාගෙකට ආසන්න මිනිස්සු පිරිසක් සහල් වලින් උයාගන්න බත් කියන දේ ආහාරයට ගන්නවා.
Leave a Reply