කොවිඩ් 19 පැතිරුණ මුල් කාලයට වඩා 2020 අවසානයට ළඟා වන මේ කාලයේදී එයට ඇති බිය ලොව පුරා සීඝ්‍රයෙන් අඩු වෙනවා. යුරෝපයේ, ඇමරිකාවේ කොරෝනා තහනම බොහෝ රටවලදි හුදෙක් නීති රිති වලට පමණක් සීමා වෙලා. මිනිස්සු රජයෙන් ඉඩ ලැබෙන හැම වෙලාවකම පෙර පරිදි හැසිරෙන්නට පටන් ගන්නවා. කොරෝනා වලට බේතක් හොයාගන්න එක ටිකෙන් ටික ඈතට යනවා. මුලින් නිවුස් මවාගෙන ආපු බේත් පවා හරිහැටි සාර්ථක බවක් පේන්නට නැහැ. ඒ එක්ක මුල් කාලේ ඉඳලා කොරෝනා වලට වැඩියම බිය නොවූ රටක් තමයි ස්වීඩනය. ස්වීඩනය තුළ මිනිස්සුන්ට මුහුණු වැසුම් අනිවාර්ය නැහැ. ආපන ශාලා, පබ්ස්, රෙස්ටෝරන්ට් වගේ ගොඩක් තැන් විවෘත වෙලා තියෙනවා. ඉතින් මේ ස්වීඩනයේ වැඩපිළිවෙළ සහ එහි බලපෑම මොකද්ද කියා අපි බලමු.
1. ස්වීඩනයේ දත්ත
සැප්තැම්බර් දෙවැනි සතිය වනවිට ස්වීඩනයේ කොරෝනා මරණ ප්‍රමාණය හයදහසේ සීමාවට ළඟා වෙනවා. කොරෝනා රෝගීන් ප්‍රමාණය මේ වනවිට ලක්ෂයත් ඉක්මවලා තියෙනවා. ස්වීඩනයේ වැඩිපුරම කොරෝනා රෝගීන් වාර්තා වෙලා තිබුණේ වැඩිහිටි ප්‍රජාව අතර. මරණයට පත් වූ අය අතරින් බහුතරයක් වයස 70ට වැඩි අය. ස්වීඩනයේ තිබෙන වැඩිහිටි නිවාස වැනි එල්ඩර්ස් හෝම් වලට කොරෝනාව දරුණුවට බලපෑවා. ඒ නිවාස වලට යන එන අය සීමා කළත් නිවාස වල සිටි වයසක උදවිය ගොඩක් මේ රෝගයට ගොදුරු වුණා.
2. පාලනය සහ ආකල්ප
ස්වීඩනයේ පාලකයින් අණ ලබාදෙනවාට වඩා තත්ත්වය පිළිබඳව ජනතාවගේ සහාය බලාපොරොත්තු වුණා. ඔවුන් 50කට වඩා එක්රැස් වෙන ස්ථාන වලින් වැළකෙන්නට උපදෙස් දුන්නා. ඒ වගේම දුරස්ථභාවය තියාගන්නත් උපදෙස් දුන්නා. ස්වීඩනයේ වැඩිම කෝවිඩ් ආසාධිතයන් වාර්තා වුණු එල්ඩර්ස් හෝම් වලට යන්න එපා කියලා ජනතාවට කිව්වා. ජනතාවත් ඒ දේවල් වලට අවනත වුණා. ඒත් වැඩිහිටියන් මේ තත්ත්වය නිසා මරණයට පත් වුණා. ස්වීඩනයේ ජනතාවත් නීති රීති එන්නට කලියෙන්ම මේ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කරන්නට උනන්දු වුණා.
3. හර්ඩ් ඉමියුනිටි
මේ ව්‍යාපෘතියේ අරමුණ හර්ඩ් ඉමියුනිටි, එහෙම නැතිනම් සමූහ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමද කියලා ස්වීඩනයේ බෝවන රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂකගෙන් ප්‍රශ්න කරන විට ඔහු එයට කෙළින්ම පිළිතුරු දෙන්නේ නැහැ. ඔහුගේ අදහස වෙන්නේ “මෙය ස්වීඩනයේ පිළිවෙත, එය වෙනත් රටක් සමග සන්සන්දනය කිරීම තේරුමක් නැහැ” යන්නයි. එසේම ස්වීඩනයේ බලධාරීන්වත් පාලකයින්වත් කිසිම විටක ඔවුන්ගේ ක්‍රමය හොඳම එකයැයි උදම් අනන්නට ඉක්මන් වුණේ නැහැ. ඔවුන් කියන්නේ මෙය අපේ ක්‍රමය කියා පමණයි.
4. විදෙස් රටවලින් චෝදනා
2020 මාර්තු මසදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ම ස්වීඩනය වෙත කියා සිටියා මාස්ක් පැළඳීම සහ සෞඛ්‍ය නීති රීති දැඩි කිරීමේ වැදගත්කම. ඒත් ස්වීඩනය ඒ ගැන වැඩි අවධානයක් දුන්නේ නැහැ. කොරෝනා පැතිරෙන විට එක්සත් රාජධානිය ඇතුළු අනෙක් රටවල උසස් නිලවලිනුත් ස්වීඩනයේ ලිහිල් ප්‍රතිපත්තිය විවේචනය වුණා. ඒත් ස්වීඩනය ජනතාව බලෙන් පාලනය කරන්නට යෑමට සහ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් වන ආකාරයෙන් ලොක් ඩවුන් එකකට යන්නට මැලිවුනා.
5. සීමා කිරීම්
ලොව පුරා මිලියන ගණනක් සිසුන් නිවෙස් වලට වී සිටියදී ස්වීඩනයේ ප්‍රාථමික පන්තිවල සිසුන් පාසැල් ගියා. ඒත් දෙවැනි පෙළ සහ උසස් අධ්‍යාපන ආයතන වසා දමන්නට එරට කටයුතු කළා. එසේම සිය ගණන් එක්රැස්වෙන විනෝදාස්වාද, සැණකෙළි ආදියත් නවත්වන්නට කටයුතු කළා. ඒත් කඩසාප්පු වසා දමා සියලු වැඩ අත්හරින පිළිවෙතකට ස්වීඩනය ගියේ නැහැ. ගෙදර සිට වැඩ කරන්නට පුළුවන් නම් හොඳ බව කියා සිටියත්, ඒ ගැන දැඩි නීති රීති පනවන්නට ස්වීඩනය ක්‍රියා කළේ නැහැ.
6. එම රටවලට ඇති වාසි
දකුණු ආසියානු රටවල් එක්ක ගත්තම ස්වීඩනය කියන්නේ පහසුකම් අතින් වැඩි රටක්. ඒ වගේම ආකල්පමය අතිනුත් ස්වීඩන් රට වැනි යුරෝපීය රටවල මිනිසුන් තවත් අයෙකු ළඟින් ඇඟේ ගෑවෙනවාට ආස නැහැ. ඔවුන් ස්වභාවිකවම සෝෂල් ඩිස්ටන්ස් තියාගන්න උත්සාහ ගන්නවා. පොදු ප්‍රවාහනය, කඩ සාප්පු, වෙළඳ පොලවල් ආදී තැන් වල වුණත් ජන ඝනත්වය අඩු නිසා මිනිස්සු එකිනෙකා ගැටෙන අවස්ථා අඩුයි. ස්වීඩනය පෙර පටන්ම මේ වසංගත පැතිරීම් තත්ත්වයන් ගැන පෙර සූදානමකින් සිටිය එකත් මේ තත්ත්වයට එන්න වාසිදායක වුණා.
7. රෝහල් පහසුකම් වැඩිදියුණු කිරීම
ස්වීඩනය දියුණු රටක් වුණත් ඔවුන් සතුව මුල් කාලේ තිබුණේ දැඩි සත්කාර ඇඳන් 500ක පමණ ප්‍රමාණයක් විතරයි. ඒත් පසුකාලීනව කොරෝනා වලට සූදානම් වන්නට, ඒ පහසුකම් වැඩිකරන්න ස්වීඩනය කටයුතු කළා. මාර්තු අප්‍රේල් කාලය වන විටත් ස්වීඩනයේ රෝහල් කාර්ය මණ්ඩල වලටවත් මාස්ක් පාවිච්චියත් තිබුණේ නැහැ. ඒත් එයින් රෝහල් කාර්යමණ්ඩල රෝගීවීම් වැඩි වුණා. ඉන් පස්සේ ඔවුන්ට මාස්ක් සහ ආරක්ෂිත උපකරණ පැළඳීම අනිවාර්ය කෙරුණා.
දැනට රටවල් ගණනාවක් කොරෝනා නිසා හතර අතින්ම බැට කාලා. ඒ අතර දැඩි ආර්ථික ප්‍රශ්නත් ඇවිත්. ලංකාව ගත්තොත් දැන් ලාංකික විදෙස් ශ්‍රමිකයින්ගෙන් 65කට වඩා කෝවිඩ් 19 නිසා මෙලොව හැර ගිහින්. ඔවුන් සහ ඔවුන්ගේ මෙරට සිටින දහස් ගාණක් වන යැපෙන්නන් අසරණ වෙලා. ඇනවුම් නොලැබීම හරහා ගාමන්ට් සහ අනෙක් රැකියා ක්ෂේත්‍ර වලත් යම් හිස්තැනක් ඇතිවෙලා තියෙනවා. ලෝකෙම එක පැත්තකට ලොක් කරගෙන යද්දි ඒකේ අනික් පැත්තට යන්න ස්වීඩනය ක්‍රියා කළා. ඒ නිසා ස්වීඩනයට මුල් කාලේ ලොකු මරණ ගාණකට, ආසාධිතයන් ගාණකට මූණ දෙන්නත් වුණා.
විද්‍යාවේ නව මානයන් සොයා යන දියුණු රටවල් ගොන්න අතර ස්වීඩනයත් ඉදිරියෙන් සිටින රටක්. ඔවුන් හුදෙක් දේශපාලන දැක්ම මත පමණක් මේ තීන්දු තීරණ ගන්නේ නැහැ. ඔවුන්ගේ වැඩ පිළිවෙළ ගැන විවේචන තිබුණත් තීරණ හැමවිටම දත්ත මත පදනම්ව විද්‍යාත්මක විදිහට ක්‍රියාත්මක කරන්න ඔවුන් වග බලාගන්නවා. එළඹෙන සීත කාලය එක්ක ස්වීඩන් රටේ තත්ත්වයත් නරක් වෙන්න ඉඩ තියෙනවා. ඒත් වෙනස් විදිහකට වසංගතයට මුහුණ දීමේ ක්‍රමවේදයක් ස්වීඩනය අත්හදා බලනවා.
Leave a Reply