ණය ගන්න, ණය දෙන්න කලින් ණය ගනුදෙනු වල හොඳ පුරුදු ඉගෙනගමු

ණය ගනුදෙනු කියන්නේ ඉතින් අපිට නුහුරු නුපුරුදු දේවල් නෙවෙයිනේ. ආයෙ රටක් වශයෙන් ගත්‍තත් අපි ණය ගන්න එක්ස්පර්ට්ලා. මේ දවස් වල ණය ගෙවන්නේ කොහොමද කියලා දහ අතේ හිත හිතා ඉන්න එක වෙනම වැඩක්. කොහොම නමුත් ණය කියන්නේ අපිට නුපුරුදු දෙයක් නෙවෙයි. ඒ වගේම ණය කියන්නේ ලැජ්ජා වෙන්න දේකුත් නෙවෙයි. ඇයි අපි එහෙම කියන්නේ? නිකමට හිතන්න. අපි ක්‍රෙඩිට් කාඩ් කියලා ගන්නේ ණයක්. එතකොට ලීසින් කියලා ගන්නේ ණයක්. බැංකු ලෝන් ගැන එහෙම අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එතකොට ණය කියන්නේ ඇත්තටම ආර්ථික පද්ධතියේම කොටසක්.

 

හැබැයි මේ අපි කතා කරන්න යන්නේ බැංකු හෝ වෙනත් ආර්ථික මධ්‍යස්ථාන එක්ක කරන ණය ගනුදෙනු ගැන නෙවෙයි. අපි මේ කතා කරන්න යන්නේ තනි තනි පුද්ගලයින් එක්ක අපි පුද්ගලික මට්ටමෙන් කරන ණය ගනුදෙනු ගැන. හරියටම කියනවා නම්, ණය ගනුදෙනු වලදී තියෙන්න ඕන හොඳ පුරුදු සහ යහපත් ආකල්ප ගැන. මේ දේවල් හරියට ඔළුවේ තියාගෙන ණය ගනුදෙනු කරනවා නම්, ණය දෙන්නවත් ණය ගන්නවත් බය වෙන්න ඕන නැහැ.

 

1. හැමදේම කතා කරගන්න

මේක ආයෙ ණය ගැනීමේ සහ දීමේ ගෝල්ඩන් රූල් එකක් වෙන්න ඕන. අපි ණය ගන්නේ පොලී පදනමකින්ද, නැද්ද, ණය ආයෙ ගෙවන්න පුළුවන් දිනය මොකද්ද, ණය අපිට ආපිට අවශ්‍ය වෙන දිනය මොකද්ද, ඇපයක් අවශ්‍යද, නැද්ද වගේ ණයට අදාළ සියළු කරුණු කාරණා හරියටම කතා කරගන්න එක වැදගත්. සාමාන්‍යයෙන් ඉතින් ඔය වගේ පුද්ගලික ණය ලබාගන්නේත්, ණය ලබාදෙන්නේ කට වචනෙටනේ. ඒක ගැටළුවක් නෑ. හැබැයි ඉතින් ලොකුවටම හිතවත්කමක්, විශ්වාසය කියලා පුදුමාකාර බැඳීමක් නැති කෙනෙක් එක්ක ණය ගනුදෙනුවක් නම්, සාමාන්‍යයෙන් ලොකු මුදලක් නම් ලිඛිතව හැමදේම සඳහන් කරලා, දෙන්නම අත්සන් කරලා ණය ගනුදෙනුව කරන එක ඇඟටත් ගුණයි, හිතටත් හොඳයි, හිතවත්කමටත් හොඳයි.

 

2. හිතවත් කමටනේ?

ඔව්, දැන් ඔය හිතවත්කම තියෙනවනේ. ඒක ඉතින් ටිකක් අමුතු දෙයක්. අපි සාමාන්‍යයෙන් පුද්ගලික ණයක් දෙන්නේ හිතවත් මනුස්සයෙක්ට කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි කොහොමද ඔය හිතවත්කම අපි මැනලා බලන්නේ? පවුලේ කෙනෙක්ට දීපු ණයක් වුණත් අපිට නොලැබී යන අවස්ථාවන් නැද්ද? අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා, ණය දෙන අය මේ ගැන හිතලා බලන්න ඕන. මුලින්ම, තමන්ට මේ ණය ලබාදෙන්න හැකියාවක් තියෙනවද කියලා හිතලා බලන්න ඕන. ඊට පස්සේ, අම්මා අප්පා නෙවෙයි නං, ලොකු මුදලක ණය ගනුදෙනුවක් නම්, කොච්චර හිතවත් කම් තිබුණත් අර ලිඛිත ලියවිල්ලක් ඔස්සේ වැඩේ සීල් කරගන්න එක හොඳයි.

 

3. කිසිවෙක් අපිට ණය දෙන්න බැඳී නැත

මෙන්න මේක ඔය ණය ඉල්ලන අයගේ ආකල්ප ගැන තියෙන ප්‍රශ්නයක්. ඔය ණය ඉල්ලන සමහරුන්ගේ හිතේ තියෙන්නේ, “මුන් අපිට වඩා ධනපතියෝ, ඒ නිසා මුන් අපිට ණය දිය යුතුයි” වගේ ආකල්ප. එහෙම ආකල්ප නිසා තමයි ණය ඉල්ලලා නැහැයි කිවුවොත් තරහ වෙන්නේ, තැන තැන කතා කියන්නේ. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ වෙන්නේ, හැමෝටම ප්‍රශ්න, අමාරුකම් තියෙනවාය කියන එක. අපි ණය ඉල්ලපු පලියට අපිට ණය දෙන්න මිනිස්සු බැඳිලත් නෑ, අපිට ණය නොදීපු පලියට මනුස්සයෙක් දුෂ්ටයෙක් වෙන්නෙත් නෑ. ආන්න ඒක මතක තියාගන්න ඕන.

 

4. අපෙන් ණය ඉල්ලන කිසිම අයෙක් පුලන්නෙක් නොවේ

මේක ණය දෙන අයගේ ආකල්ප ගැන තියෙන ප්‍රශ්නයක්. ණය දෙන කෙනෙක් හොඳට මතක තියාගන්න ඕන හැමෝම මිනිස්සු කියන එක. කෙනෙක් අපෙන් ණයක් ඉල්ලනේ ඒ මොහොතේ එයාට තියෙන මුදල් අවශ්‍යතාවයක් පරිපූරණය කරගන්න විශ්වාසවන්ත ක්‍රමයක් විදියට අපිව දකින නිසා. එතකොට කෙනෙක් එහෙම අපෙන් ණයක් ඉල්ලුවා කියලා ඒ කෙනා දිහා දණිහෙන් පහළට බලන එක, පුලන්නෙක් ගාණට දාලා කතා කරන එක අතිශයින්ම වැරදි ආකල්පයක්. හැම මනුස්සයෙක්ටම ආත්ම ගරුත්වයක් තියෙනවා. අන්න ඒ ආත්ම ගරුත්වයට හානියක් නොවෙන්න ඕන. තමන්ට ණය දෙන්න බැරි නම් බැහැ කියන එක වෙනම කාරණාවක්. හැබැයි ණයක් ඉල්ලන්න එන එක ලැජ්ජාවක් විදියට ණය ඉල්ලන කෙනාට දැනෙන්න දෙන එක වැරදියි. ඇත්තටම අවශ්‍යතාවයකට ණයක් ඉල්ලන එක ලැජ්ජ වෙන්න ඕන දෙයක් නෙවෙයි. 

 

5. පොලී

සාමාන්‍යයෙන් ඉතින් ඔය හදිසි ණය, ඒ කියන්නේ අතමාරු ලෙවල් එකේ ණය ගනුදෙනු වලදී පොලී එකතු කරන්නෙ එහෙම නැහැනේ. ඒක ගැටළුවක් නෑ. හැබැයි ටිකක් ලොකු ගණන් වල ණය ගනුදෙනු වලදී ඔය පොලී කියන කතන්දරේ එනවා. ආන්න එතකොට, ණය ගන්න කලින්ම හරියට කතාබස් කරගන්න ඕනේ මොන විදියටද පොලී හැදෙන්නේ කියලා. එහෙම කියන හේතුව මේකයි. සමහරු වැල් පොලී පදනමට පොලිය හදනවා. සමහරු හිතන හිතන විදියට පොලී හදනවා. ආන්න එහෙම ගැටළු ඇතිවෙන නිසා, හරියටම පොලී පදනමත්, පොලී අනුපාතයත් කතාබහ කරගන්න ඕන.

 

ඒ වගේම, තමන්ට ෂුවර් නැතිනම් කරුණාකරලා කොහේ හරි ලියලා ගණන් හදාගන්න. කොටස් වශයෙන් ගෙවන ණයක් නම්, ගෙවන ගණන්, පොලී ගණන් හැමදේම පොතක ලියාගන්න.

 

6. කන්ෆර්මේෂන්

මේක සාමාන්‍යයෙන් මිනිස්සු පුරුදු පුහුණු වෙන්න ඕන හොඳ ගුණාංගයක්. ඒ කියන්නේ ෆලෝ අප් කියන එක. ඔන්න දැන් අපෙන් කෙනෙක් ණය ඉල්ලනවා. දැන් කාලේ ගොඩක්ම බැංකු ගනුදෙනු එහෙමනේ සිද්ධ වෙන්නේ. අන්න එතකොට අපි ඒ කෙනාගේ එකවුන්ට් එකට අවශ්‍ය මුදල දාලා, ඒ පේමන්ට් ස්ලිප් එක සුරක්ෂිතව තියාගන්නවා. ඊට පස්සේ ණය ඉල්ලපු කෙනාට දැනුම්දෙනවා ඉල්ලපු මුදල දැම්මා කියලා. අවශ්‍ය නම් පේමන්ට් ස්ලිප් එකේ ෆොටෝ එකක් එහෙම යැවුවත් කමක් නෑ.

 

ඒ වගේම, ණය ඉල්ලපු කෙනාත් තමන්ගේ ගිණුම පරීක්ෂා කරලා, ඉල්ලපු මුදල ආවට පස්සේ ණය ලබාදීපු කෙනාට කතා කරලා තහවුරු කරන්න ඕන තමන්ට ඒ මුදල ආවා කියලා. ආන්න ඒ හොඳ පුරුදු වලින් හැමෝටම පහසුයි.

 

7. එක්ස්ටෙන්ෂන්

ඔව්. අපි ඔක්කොම මිනිස්සුනේ. ඉතින් ණයක් යම් කිසි දවසකට ආයෙමත් පියවන්න පොරොන්දු වුණත්, ඒ පොරොන්දුව කඩ වෙන අවස්ථාවන් තියෙනවා. අපි නොහිතන ගැටළු ඇතිවෙන්න පුළුවනිනේ. හැබැයි ඒක එතකොට හරි විදියට විසඳාගන්නත් පුළුවන් වෙන්න ඕන. පළමුවෙන්ම ණය ගෙවන්න ඕන දිනය ලංවෙනකොට අපි යථාකාරීව හිතලා බලන්න ඕන අපිට හරියටම මේ ණය පියවන්න පුළුවන් කවදටද කියලා. ඒකට ක්‍රම සහ විධි එහෙමත් හදාගන්න ඕන. ඊට පස්සේ ණය ගෙවන්න තියෙන දිනේට කලින් ණය හිමියාට කතා කරලා තත්ත්වය පැහැදිළි කරන්න ඕන. තමන් ඉන්න තැනත්, තමන් ආපිට ණය ගෙවන්න තියෙන සැලසුමත් පැහැදිළිව කියන්න ඕන.

 

එහෙම නැතුව ෆෝන් ආන්සර් කරන්නෙ නැතුව, ගෙවල් වලින් හැංගිලා ඉන්න එක නෙවෙයි නියම විදිය.

 

8. කෙලින් කතා

දැන් ඔය සමහරු ණය ඉල්ලන්න කලින් කියන්න පටන් ගන්න වැල්වටාරම් තියෙනවා. ආයෙ මුත්තාගේ ඉඳන් කාස රෝගේ හැදිලා මෙහෙමයි හිටියේ, මේ දවස් වල රස්සාවත් නැතිවෙලා කන්නේ අලකොලය, ළමයි ටීවී බලන්නේ අල්ලපු ගෙදර ඉඳන්ය කියලා පටන් අරගෙන ආයෙ ඉතින් ජාතක කතා වස්තුවල ඉඳලා අඳෝනාව කියලා තමයි අන්තිමට ණය ඉල්ලන්නේ. එතකොට ණය දෙන සමහර එවුවෝ? උනුන් මුන්ට දෙවනි නෑ. ආයෙ නැති බණේ කියන්න පටන් ගන්නේ පරම්පරා හතකට කලින් ඉඳලා. ඉතින් ඔය නැති බණේ කියල කියල කියලා, ණය ඉල්ලන්න ආපු එකාට එපා කරවලා තමයි ණය දෙන්නේ.

 

ඔය දෙකම මෙලෝ රහක් නැති වැඩ. ඇයි බැරි කෙලින්, කොටින් කතා කරලා ණය ඉල්ලන්න සහ ණය දෙන්න? දෙන්නගෙම කාලෙත් ඉතුරුයි. කාටවත් ගිල්ටි ෆීලින්ග්ස් ඇතිවෙන්නෙත් නෑ. කෙලින් ණය ඉල්ලුවා. දෙන්න බැරි නම් “බොහොම කණගාටුයි, මේ වෙලාවේ අතේ සල්ලි නෑ” කියලා කිව්වා, එච්චරයි. දෙන්න පුළුවන් නම් වැල්වටාරම් නැතුව දුන්නා, එච්චරයි.

 

එතකොට අන්තිමටම කියන්න ඕන වැදගත්ම කාරණාව, ඒ කියන්නේ ණය ගනුදෙනු වල වැදගත්ම දේ මොකද්ද? ඒක ඇත්තටම අදාළ වෙන්නේ ණය ගන්න පුද්ගලයාට. ඒ තමයි, ණය දීපු එකාව හාවා නොකර ණය පියවන එක. එහෙම නැතුව ආයෙ පොලිසි ගානේ, සමථ මණ්ඩල ගානේ රස්තියාදු වෙලා, ණය දීපු එකාවත් රස්තියාදු කරවලා ණය අයකරගන්න හෝ ණය කපාහරින්න වෙන තැනට මිනිස්සුන්ව පත් කරන එක අන්තිම කැතයි. ණය ගනුදෙනු හින්දා මනුස්ස සම්බන්ධකම් අවසන් වෙන තැනට පත් කරන එකත් ඒ වගේම කණගාටුවට කාරණාවක්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *