තඩි නපුරු වෘකයෙක්ගෙන් පොත් ගන්න යන්න ලැහැස්තිද? ඊට කලින් මේ ටිප්ස් 7 කියවලා ඉන්න!

big bad wolf tips

දැන් කාලේ ඉන්න ගෑණු මිනිස්සු පොත් කියවන්නේ නැහැ කියලා ගොඩක් වෙලාවට ගොඩක් අය කියනවා. හැබැයි ඒක එහෙමම නෙවෙයි. පොත් කියවන විශාල පිරිසකුත් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඒකට එක්කෝ පොත් කියවන ෆේස්බුක් ගෘප් එකකට ගිහින් බලන්න ඕනෑ. එහෙම නැතිනම් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් දවසකට එන සෙනඟ කන්දරාව දිහා බලන්න ඕනෑ. කොහොම කොහොම හරි මේ පොත් ලෝලීන්ගේ කැලැන්ඩරේට එකතුවුණු නවතම ජාත්‍යන්තර දිනයක් තියෙනවා. ඒ තමයි තඩි නපුරු වෘකයාගේ පොත් සල්පිල. එහෙමත් නැතිනම් බිග් බෑඩ් වුල්ෆ් බුක් ෆෙයාර්!

මේ අවුරුද්දේ ජූනි මාසේ 28 වෙනිදා පටන් ගන්න නියමිතව තියෙන්නේ බිග් බෑඩ් වුල්ෆ් ශ්‍රී ලංකාවේ පවත්වන දෙවෙනි පොත් ප්‍රදර්ශනය. එක දිගට දවස් එකොළහක්, පැය 255 ක් පුරාවට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය පැවැත්වෙනවා. කොහොම වුනත් අත් වන වනා ප්‍රදර්ශනයට නොයා තඩි නපුරු වෘකයා ගැන දැනගෙන යන එක වඩාත් හොඳයි. ඒ නිසා මේ උපදෙස් හිතට ගන්න එක හොඳයි.

 

1. කවදටද යන්නේ?

big bad wolf tips

Source – yamu.lk

ආන්න වැදගත් ප්‍රශ්නයක්! යන්නේ කවදටද වෘකයා දකින්නට! ඒක එක එක්කෙනාගේ අවශ්‍යතාවයේ හැටියට තමයි. අපි කියමු කෙනෙක්ට වුවමනාව තියෙන්නේ ළමා පොත්, කුකරි පොත්, උද්‍යාන අලංකරණය පිළිබඳ පොත් එහෙම ගන්නයි කියලා. එහෙම පොත් සාමාන්‍යයෙන් මේ ප්‍රදර්ශනයේ මුල් දවස් හත අට පුරාම තියෙනවා. එතකොට ඔය ළමයින්ට තියෙන ක්‍රියාකාරකම් පොත් එහෙම ප්‍රදර්ශනය අන්තිම දවස වෙනකලුත් තියෙනවා. හැබැයි ප්‍රදර්ශනය අන්තිම වෙනකොට ඉතුරු වෙන්නේත් එච්චර තමයි. ඒ නිසා ඔය ක්ලැසික් පොත්, අලුත් නවල්ස් එහෙම හොයාගෙන යන්න අන්තිම මොහොත වෙනකල් ඉන්න එපා. පළවෙනි සහ දෙවෙනි උපරිම තුන්වෙනි දවස් වෙනකොට හොඳ පොත් ටික ඉවර වෙන්න තියෙන ඉඩ වැඩියි.

වාහනයකින් එහෙම එනවා නම් රාත්තිරිය අල්ලලා එන එක හොඳයි. එතකොට සාපේක්ෂව සෙනඟ අඩුයිනේ. උදේ පාන්දරින් කුකුලව අතින් අරගෙන ආවත් කමක් නෑ.

තව දෙයක්. වාසනාවන්තයෝ යම් ප්‍රමාණයකට මේ අය ප්‍රීවීව් පාස් කියලා එකක් දෙනවා. ඒ කියන්නේ පොත් ප්‍රදර්ශනය පටන් ගන්න කලින් දවසේ, ඒ කියන්නේ ජූනි 27 වෙනිදා උදේ 9 ඉඳන් රාත්‍රී 11 වෙනකල් පොත් ගන්න චාන්ස් එකක්! අපි අත්දැකීමෙන් කියන්නේ, බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනේට ගිහිල්ලා පොකැට් එකට රිදෙන්න පොත් ගන්න බලාගෙන ඉන්න පිංවතුන්ට මේක නත්තල් ආවා වගේ තමයි. බලන්න බිග් බෑඩ් වුල්ෆ් වෙබ්සයිට් එකට ගිහින් ලියාපදිංචි වෙලා ප්‍රීවීව් පාස් එකක් ගන්න හැකිද කියලා!

 

2. කොයි විදියටද ලෑස්ති වෙන්න ඕනෑ?

big bad wolf tips

Source – mrsmommyholic.blogspot.com

කරුණාකරලා බාප්පගේ දුවගේ වෙඩිමට එනවා වගේ නම් එන්න එපා. ඒක කරදරයි. පුලුවන් තරම් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන එන්න. මෙතන විශේෂ ඩ්‍රෙස් කෝඩ් එකක් නැහැ. ඒ නිසා ෂෝටක් ගහගෙන ආවත් ගැටළුවක් නැහැ. වැදගත් විදියට, තවත් කෙනෙක්ට කරදරයක් නොවෙන විදියේ ඇඳුමකින් සැරසිලා ආවා නම් එච්චරයි. හැබැයි එකක්, පුලුවන් නම් ඔය බැක් පැක්, එහේ මෙහේ පැටලෙන හෑන්ඩ් බෑග් වගේ දේවල් වාහනේක තියලා එන එක සුදුසුයි. මොකද ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ කොයි තරම් ඉඩ කඩ තිබුණත්, බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයේ තියෙන පොත් ප්‍රමාණයේ හැටියට මුල් දින කීපයේදී දෙන්නෙක්ට පොත් මේස දෙකක් අතර මාරු වෙන්න හැකි වෙන්නේ අසීරුවෙන්. ඒ තරම් ප‍ටු ඉඩක් තමයි එහා මෙහා යන්න තියෙන්නේ. අනික කොයි තරම් සෙනඟක් එනවද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැනේ.

ඇතුළුවෙන තැනින් තමන්ගේ මනාපයේ විදියට ඇදගෙන යන ට්‍රොලි කූඩයක් හෝ අතේ එල්ලගෙන යන කූඩයක් ගන්න පුලුවන්. හැබැයි පොත් කියවලා බලලා නිස්කාන්සුවේ ගන්න නම් ගැලපෙන්නේ අර ට්‍රොලි කූඩයක් තමයි. ඒක අනික් අයගේ කකුල් වල හැප්පෙන විදියට යන පාර මැද පාක් කරලා නොතියන එක තමන්ගේ වගකීම.

සාමාන්‍යයෙන් වතුර බෝතල්, බත් මුල් වගේ කෑමට බීමට දේවල් නම් මෙතනට ගේන්න අවශ්‍ය වෙන්නෙ නෑ. කොහොමටත් පුලුවන් තරම් අනවශ්‍ය බඩුබාහිරාදිය ගේන්නේ නැතුව එන එක උචිතයි. අනික ගේන බඩු තියලා යන්න බඩු ‍රැඳවුම් රාක්කත් මෙතන ප්‍රවේශයේ නැහැයි කියන එක මතක තියාගන්න.

 

3. පොත් ‍තෝරාගන්නේ කොහොමද?

big bad wolf tips

Source – maintainingmotherhood.com

ඒකට ඉතින් ක්‍රම කීපයක් තියෙනවා. බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයේ තියෙන්නේ ඉංග්‍රීසි පොත් පත් විතරයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මෙතන මුල් දින කීපය ඇතුළතදී ඔය ක්ලැසික් පොත් වගේම අලුත් පොතුත් සෑහෙන්න තියෙනවා. ක්ලැසික් පොත් වලින් තමන් හොඳයි කියලා අහලා තියෙන පොත් ‍තෝරාගන්න පුලුවන්. එහෙම නැතිනම් පොත් ගැන දන්න කෙනෙක් එක්ක ප්‍රදර්ශනේට යන එක හෝ එහෙම කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න එක හොඳයි. හැබැයි ඒ කෙනාට කලින් කියලා තියන්න ඕන තමන් කැමති මොන වර්ගේ පොත් වලටද කියලා.

පොත් ‍තෝරාගන්න තවත් සාර්ථක ක්‍රමයක් තමයි Goodread මොබයිල් ඇප් එක පාවිච්චි කරන එක. ඒකෙන් පුලුවන් පොතේ බාර් කෝඩ් එක ස්කෑන් කරන්න. එතකොට පොත ගැන Goodread අඩවියේ තියෙන විස්තර, රේටින්ග්ස්, රිවීව්ස් දකින්න ලැබෙනවා. ඒවා කියවලා පොත ගන්නවද නැද්ද කියලා හිතන්න පුලුවන්.

කලින් පොත් ලැයිස්තු හදාගෙන ගිහින් බිග් බෑඩ් වුල්ෆ් එකෙන් පොත් ගන්න එක නම් වෙන්නේ නැති වැඩක්. මොකද එතන තියෙන පොත් කන්දරාවේ හැටියට ලැයිස්තුවක තියෙන පොත් හොයන එක සෑහෙන්න අමාරුයි. අනික එතන වැඩ කරන, සහාය වෙන අයගෙන් වුනත් මේ පොත තියෙන්නේ කොතනද වගේ ප්‍රශ්න ඇහුවට වැඩක් නෑ. ඒ අය දන්නෙ නෑ.

 

4. පොත් තියලා තියෙන්නේ කොහොමද?

big bad wolf tips

Source – educationtoday.lk

බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනය සහ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එක සමාන නෑ. උදාහරණයක් විදියට මෙතන ප්‍රකාශකයෝ ගණනාවක් නෑ. බිග් බෑඩ් වුල්ෆ් කියන්නේම එක දැවැන්ත වෙළෙඳ කුටියක් වගේ. මෙතන පොත් වර්ග කරලා තියෙන්නේ පොත් වල ස්වභාවය අනුව. ඒ කියන්නේ Fiction එක මේසෙක. Comics තව මේසෙක.. කුඩා දරුවන්ගේ පොත් මේස දහයක විතර. Non-fiction පොත් වුනත් Architecture & Design, Art & Photography, Baking, Beauty & Fashion, Biographies & Memoirs, Business & Economics, Cook Books, Cookery, Crafts & Hobbies, Family & Relationships, Graphic Design, Health & Wellness, History, Humour, Language, Music & Movies, Pets & Nature, Puzzles & Games, Reference, Religion, Science & Technology, Self-Help, Sports, Transportation, Travel වගේ කාණ්ඩ ගණනාවකට බෙදලා පැහැදිලිව වෙන් කරලා තියෙන නිසා, තමන්ට ‍තෝරාගන්න වුවමනා පොත් කාණ්ඩය මොකක්ද කියලා දන්නවා නම් බොහොම ලේසියෙන් ඒ වර්ගේ පොත් එක තැනකින් හොයාගන්න පුලුවන්.

big bad wolf tips

Source – sundaytimes.lk

යම් පොත් කාණ්ඩයක් හොයාගන්න බැරි නම් එතන ඉන්න පාරිභෝගික සේවා නිලධාරීන්/නිලධාරිනියන්ගෙන් අහන්න පුලුවන් මේ ජාතියේ පොත් කොහේද තියෙන්නේ කියලා.

 

5. කීයක් වියදම් වෙයිද?

big bad wolf tips

Source – dev2.maiglobetravels.com

මෙන්න පොත් ප්‍රදර්ශනේකට එන ඕනෑම පොත් ලෝලියෙක්ට තියෙන යුගයේ ගැටළුව. කීයක් වියදම් වෙයිද? ඒක ඉතින් තම තමන්ගේ ආර්ථික මට්ටම අනුව තමයි. හොඳම දේ තමයි කලින්ම තමන්ට වියදම් කරන්න පුලුවන් මුදල තීරණය කරන එක. කෑෂ් අරගෙන යනවා නම් කරුණාකරලා මග වියදම් වලට මුදලක් කලින්ම වෙන් කරලා තියාගන්න. කාඩ් එකකින් ගෙවන්න හිතනවා නම් තත්වය ටිකක් භයානකයි. මොකද දහදාහක පොත් ගන්නවා කියලා හිතාගෙන ගිහින් තිස්දාහක් කුඩු වෙන්න පුලුවන්. ආන්න ඒ නිසා හිත පාලනය කරගන්න ඕන.

තමන්ගේ බජට් එකට හරියන්න බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයෙන් පොත් ගන්න හොඳ විදියක් තියෙනවා. මුලින් තමන්ට වුවමනායි කියලා හිතෙන පොත් ට්‍රොලියට එකතු කරගන්න. දැන් පොත් අරගෙන ඉවර වෙලා කැෂියර් කවුන්ටර් එක ගාවට දුවන්න කලින් පොඩ්ඩක් නිදහස් තැනකට යන්න. ප්‍රදර්ශන භූමිය ඇතුළේ එහෙම ගිමන් අරින්න, පොත් ‍තෝරන්න වගේ වැඩවලට නිදහස් තැන් තියෙනවා. දැන් ඒ තැනක ඉඳන් ට්‍රොලියේ තියෙන පොත් ගණන් හදලා බලන්න. තමන්ගේ බජට් එකට වඩා වැඩි නම් එතනින් ඉවත් කරන්න පුලුවන් පොත් ඉවත් කරන්න. අන්තිමට එහෙම කිරලා මැනලා ‍තෝරගත්ත පොත් ටික විතරක් කැෂියර් එකට අරගෙන යන්න.

 

6. තව අයට ඇණ නොවෙන්නේ කොහොමද?

big bad wolf tips

Source – dailymirror.lk

මේවා නම් ඉතින් පෝස්ට් ලියලා උගන්නන්න වුවමනා දේවල් නෙවෙයි. බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනය දිවා රෑ නැතුව පැවැත්වෙනවා කියලා අපි කිවුවනේ. මෙතනට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ඇදිලා එනවා. සාමාන්‍යයෙන් පොත් ප්‍රදර්ශනයේ නවවෙනි දවස වත් වෙනකල් ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානය ඇඟිල්ලක් වත් ගහන්න බැරි තරමට පිරෙනවා. අන්න ඒ නිසා තමන් අතින් තවත් කෙනෙක්ට කරදරයක් නොවෙන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග ගන්න ඕන.

ගොඩක්ම පොඩි, යමක් කමක් නොතේරෙන වයසේ දරුවන්ව මෙතනට එක්ක ගෙන එන්න එපා. මොකද එතන දරුවෝ පාලනය කරන්නයි පොත් ගන්නයි බැහැ. දරුවෝ අතේ තියාගෙන පොත් ‍තෝරන්නත් අමාරුයි. දරුවෝ අඬන්න ගත්තහමත් එතන වටේ ඉන්න අයට කරදරයි. මේක දරදඬු කතාවක් වගේ පෙනුණට, ප්‍රායෝගික තත්වය ඕකයි.
අනෙක් කාරණාව තමයි පොත් ‍තෝරනකොට තවත් කෙනෙක්ට ඉඩ දීම, ආචාර ශීලී වීම, ඉවසීම වගේ කාරණා. සමහරු කෙනෙක් පොත් ‍තෝර ‍තෝරා ඉන්නකොට එතනින් මැද්දෙන් පැනලා, වැලමිටෙන් ඇනලා පොත් ‍තෝරන කෙනාව පැත්තකට කරලා තමන්ගේ වැඩේ කරගන්නවා. තව සමහරු මිනිස්සු යන්න එන්න තියෙන පාර මැද්දේ ගල් පිළිම වගේ ඉඳන් පොත් කියවනවා. තව සමහරු තමන්ගේ ට්‍රොලි පාර මැද්දෑවේ පාක් කරලා එලෝ සිහියක් නැතුව පොත් හොයනවා. ඔය ඔක්කොම අනෙක් මිනිස්සුන්ට කරදරකාරී වැඩ. ඒ නිසා එහෙම තඩි නපුරු වෘකයාගේ පොත් ප්‍රදර්ශනේට ඇවිත් ඒ වගේ කරදරකාරයෙක් වෙන්න එපා.

හැබැයි මිනිස්සුත් එක්ක හිනාවෙන්න, සුහදව අවශ්‍ය වුනොත් කතා කරන්න. පොත් ගැන අදහසක් දෙකක් හුවමාරු කරගන්න අවස්ථාවක් ආවොත් පැකිළෙන්න එපා.

 

7. ඩිස්කවුන්ට් එහෙම කොහොමද?

big bad wolf tips

Source – bigbadwolfbooks.com

සාමාන්‍යයෙන් කඩේ රුපියල් එක්දාස් පන්සීයක්, දෙදහක් විතර වෙන අලුත්ම කිරි කිරි පොතක් රුපියල් පන්සීයට හයසීයට දෙන එකට වඩා තව මොනවද ඕන ඩිස්කවුන්ට්?? හැබැයි ඇත්තටම ‍තෝරාගත්තු පොත් වලට තඩි නපුරු වෘකයා තවත් ඩිස්කවුන්ට් දෙනවා. හැබැයි ඒකට වෘක ‍රැළේ සාමාජිකත්වය අරගෙන තියෙන්න ඕනෑ. ඕන නම් ප්‍රදර්ශනයේදීත් සාමාජිකත්වය ලබාගන්න පුලුවන්. වැඩි වෙලාවක් යන වැඩක් නෙවෙයි. ඒ සාමාජිකත්වයට ලැබෙන අමතර ඩිස්කවුන්ට් පොත් මොනවද කියන එක නම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. පාරිභෝගික සේවා නිලධාරියෙකුගෙන්, නිලධාරිනියකගෙන් ඇහුවොත් ඒ අය උදවු කරයි. මීට අමතරව පොත් යම් ප්‍රමාණයක් ‍තෝරාගත්තු තොගයකින් ගත්තොත් නොමිලේ ලැබෙන සඟරා එහෙමත් තියෙනවා. ඒවත් පොඩ්ඩක් ඉතින් හොයලා බලන්න වුවමනායි.

එහෙමනම් හැමෝටම ප්‍රීතිමත් පොත් දඩයමක්!

Cover Image Source – educationtoday.lk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *