බුක්ෆෙයා නිම වෙලා කලක් ගත වෙලා. තාමත් ෆේස්බුක් එකට ෆොටෝ එක දාද්දි පිලිවෙලට ගොඩගහපු විදියටම පොත් ටික එහෙම්මම මේසයක් උඩ තියෙනවද? එහෙම තියෙන පොත් ටික කියවන්න ආසාවක් තියෙනවද? රට තොට ගැන දැනගන්න, ඉන්ටර්නෙට් එකෙත් නැති ඉතිහාසය දැනගන්න, ඉන්ටනෙට් එකෙන් වැඩිදුර හොයාගන්න ඕන මාතෘකා හිතාගන්න, රහක් ඇතුව කියවන්න, කරන්ට් නැති වෙලාවටත් කියවන්න, ටීවී/ ඉන්ටනෙට්වලින් හෙම්බත්වෙච්ච ඇස්වලට විවේකයක් දෙන්න, රෙදිවලට, මේකප්වලට, සපත්තුවලට, අනවශ්‍ය ගැජට්වලට, මත්ද්‍රව්‍යයන්ට වෙන් කරන සල්ලි මතු අනාගතේටත් තවත් පරම්පරාවකටත් ප්‍රයෝජනවත් දේකට වෙන්කරන්න ආසාවක් තියෙනවද? පොත් කියවන්න පටන්ගන්න ඕන විදිය අපි කලින්ම කිවුව. මේ පොත් කියවිල්ල පුරුද්දක් කරගන්නේ කොහොමද සහ ඕක දිගටම කරගෙන යන්නෙ කොහොමද කියන එක ලේසි කරවන්න ලයිෆි අපෙන් ටිප්ස් ටිකක්.
1. තඩි ඉලක්ක
පොත් කියවිල්ල ගැන මහා ලොකු බලාපොරොත්තු තියාගන්න එපා. අද රෑට ‘ගිල්ට්’ කියවල ඉවර කරනවා. හෙට ‘සෙංකොට්ටං’. අනිද්ද සෙනසුරාදා නිසා එදාට ඩෑන් බ්රවුන්ගෙ පොත් තුනක් කියෝනවා වගේ ලොකු ලොකු ගෝල්ස් තියාගන්න එපා. එහෙම වුනාම පළවෙනි දවසෙම ගිල්ට් කියවගන්න බැරි වුනාම මනසින් වැටෙන තරම වැඩියි. පොත් කියවිල්ල නිදහසේ ෆ්ලෝ වෙන්න දෙන්න.
2. හැමතිස්සෙම පොතක්
පොතක් අතේ තියාගන්න. ඕක කියවන්න පුළුවන් මොහොත මොකක් වෙයිද කියන්න බෑ. බස් එකේ යද්දි, කම්මැලිකමට වාඩි වෙලා ඉද්දි, ෆෝන් එකේ ෆේස්බුක් ඇතුළෙ රස්තියාදු ගහනවට වඩා පොත කියවන එකෙත් අමුතු ආතල් එකක් තියේවි. ඒක පොත කියවන්න හුරුවක් වගේම පොඩි ඇබ්බැහියකුත් හදාවි.
3. මාරු
පොත් දෙක තුනක් එක පාර මාරුවෙන් මාරුවට කියවන්න ගන්න එකත් වටිනවා. උදාහරණෙකට එකම විදියේ නොවන වෙනස් රසයන්ගෙ පොත් දෙක තුනක් එකම වතාවෙ කියවද්දි ඔලුවටත් පොඩි චේන්ජ් එකක් තියෙනවා. මේක හොඳටම දැනෙන්නනම් ප්‍රමාණයෙන් ටිකක් ලොකු පොත් කියවන එක වාසියක්. එතකොට වෙනිං කතාවක් කියවලා ඇවිත් මුල් කතාවෙ ට්‍රැක් එකට ආයෙ වැටෙන එකේ අමුතු ලල් එක හිතට දැනේවි.
4. ආසාව
තමුන් කියවන්න ආසාකරන්නෙ මොන වගේ පොත්ද කියන එක හිතන්න. මිනීමරාගන්න පොත්, ලවු පොත්, රහස් පරීක්ෂක, ඉතිහාස කතා, අද්භූත කතා, විද්‍යා ප්‍රබන්ධ, පැරණි සාහිත්‍ය කෘති අතරේ තියෙන අමුතු පොත් එක්ක හිතලා තමුන්ගෙ කැමැත්ත හිතාගන්න. ඊටපස්සෙ කැමැත්ත සංතෘප්ත කරන පොත් අරගන්න. ඒකෙන්ම පොත් කියවීමේ ඇබ්බැහිය හදාගන්න පුළුවන්.
5. අඩුකරන්න
සාමාන්‍යයෙන් මේ දවස්වල මිනිස්සුන්ගේ ජීවිතය අනවශ්‍ය කාර්යබහුලත්වයකට පත් කරන්නෙ තාක්ෂණයෙන්මයි. හැම මොහොතෙම ෆෝන් එකට හෝ කම්පියුටරේට ඔලුව ඔබාගෙන, තවත් මිනිහෙකුගේ ගොසිප්වලින් ඔලුව පුරවා ගැනීමත්, විවිධ වූ ඩීල්වලට පක්ෂව පාලනය වෙන මාධ්‍ය ආයතන දිහා බලාගෙන සිටීමත් ඒ අතරින් ප්‍රධානයි. අන්න ඒ නිසාම ඒ අනවශ්‍ය ඇබ්බැහිය අඩු කළාම ඉතිරිවෙන කාලය පහසුවෙන්ම පොතකට යොමු කරන්න පුළුවන්.
6. අඩු මිලට
පොත් ආසාවෙන් කියවගෙන යන එකේ ටිකක් දැනෙන අවුලක් තමයි මිල කියන දේ. ඔවු ඉතිං ප්රකාශකයොන්ට බැන බැන ඉඳල වැඩක් නෑ. පොත් දැන් ගණං තමයි. ඒකට අපි ගණං අඩුවට පොත් ගන්න ඕන. හැම තිස්සෙම සේල් හොයන්න. ඩිස්කවුන්ට් දෙන කඩ හොයන්න. ඩිස්කවුන්ට් හොයන්නෙ නැතුව කලින් කෙනෙක් කියවපු සෙකන්ඩ් හෑන්ඩ් පොත් අරගන්න. ඩීන් ද බුක්මන්, වර්ණසූරිය, සරත් පොත්, ගාමිණී හෝල් එක ළඟ පොත් කඩ පේළිය, ගල්කිස්සෙ චින්තක බුක්ෂොප් වගේම වැල්ලවත්තෙනුත් සෙකන්ඩ් හෑන්ඩ් පොත් කඩ හොයාගන්න පුළුවන්.
7. කියවපු පොතක් ගැන
කියවල ඉවර කරපු පොතක් ගැන ලියන එකත් තරමක වාසියක්. නිකමට මෙහෙම හිතමුකො. පොතක් කියවලා ඉවරවෙලා ඒකේ අන්තර්ගතය ගැන අනික් අයට ස්පොයිල් නොකර ඒක ගැන විචාරයක් ලියන්න පුළුවන්නම් ඒක ඒ පොත ගන්න ඉන්න කෙනෙකුට වටිනවා වගේම කියවපු මනුස්සයටත් කියවීම ගැන තෘප්තියක් ඇතිකරවන්න හේතුවක් වෙනවා. අන්න ඒ නිසා බ්ලොග් එකක් හරි, ෆේස්බුක් ගෲප් එකක හරි ඒ වැඩේ කරගෙන යන්න පුරුදු වෙන එක පොත් කියවීමේ රස දිගටම තියාගන්න හේතුවක්.
8. සමාන රහක් ඇති උන්
මේක තමයි පොත් කියවන්න තියෙන හොඳම උත්තේජනය. තමුන් දන්න හඳුනන මිනිස්සු අතරේ තමුන් කියවන්න කැමති විදියේ පොත් කියවන අය හොයාගන්න. ඒ අය එක්ක කතා කරාම ඔබට තවත් බොහෝ රස ඔත්තු ලැබේවි. එහෙමත් නැත්නම් අපි මුලින් කියපු විදියට අන්තර්ජාලයේ පොත් ගැන සටහන් තබන අය සොයාගන්න. ඔවුන් අතරේ සමාන රහක් ඇති අය සොයාගෙන ඔවුන් කියවීමත් පොත් කියවීමේ රුචිය වැඩිකිරීමට හේතුවක් වේවි.
9. වෙලාවක්
පොත් කියවන්න අනිවාර්ය වෙලාවක් තියාගන්න. ඒ අතරින් පතරත් ඉඩක් ලැබුනොත් අනිවාර්යෙන් පොතක් කියවන්න. උදාහරණයකට පැය එකහමාරක බස් ගමනේ අජිත් මහත්තයාගෙ සින්දු වලට කන පිරුනත්, ඔලුව පිරෙන්න නොදී ඒ ඉඩ පොතකින් පුරවගන්න එක කොයිතරම් හොඳද? ඒ වගේම නින්දට කලිනුත් පොතක් කියවන එක නියම සතුටක් දෙන වැඩක්.
10. ගෲප් හෝ ලයිබ්රි
අපි මේ කියන්නෙ තවත් ආසා විදියෙ පොත් හොයාගන්න ටිප් එකක්. මහජන පුස්තකාලය ඒකට හොඳ ඉඩක්. එහි ඇති පොත් අතරේ කියවන්න කැමති විදියේ පොත් පෙරලලා බලන්න පුළුවන්. සමහර පොත් කඩවල සේවකයො වගේ ඔරවලා බලන්නෙත් නෑ. අනික නිදහසේ පෙරල පෙරල ඉන්න පුළුවන්. ඒ වෙනුවෙන් දවසක්ම වෙන් කළත් පාඩු නෑ, එතකොට කැමති පොත් එතන ඉඳන් කියවන්න, සාමාජිකයෙක් වෙලා පොත් ගෙදර අරගෙන එන්න වගේම, අතිශය කැමති පොතක් පස්සෙ කඩේකින් මිලදී ගන්නත් පුළුවන්නෙ. පොත් කියවන්න හදාගත්තු ගෲප්වල කට්ටිය දාන ෆොටෝවලිනුත් අමතකව ගිය පොත් වගේම ආසා විදියෙ පොත් හොයාගන්න පුළුවන්.
11. ඉංග්‍රීසියත්
ඉංග්‍රීසි භාෂාවත් කියවන්න පුරුදු වීම විශේෂ වාසියක් වේවි. ඕනමනං ෆෝන් එකේ ඩික්ෂනරි ඇප් එකක් තියාගත්තත්, ලොකුවට ඩික්ෂනරි පුරවගෙන කියවන්නෙ නැතුව නිකමට කියවගෙන යන්න පුරුදුවෙන්න. දළ අදහස අරගන්න. ඉංග්‍රීසි භාෂා ඥානය දියුණු කරගැනීමටත් කියවීමෙන් ලැබෙන්නෙ ලොකු සහයක්. ප්‍රවීණ ජාත්‍යන්තර ලේඛකයෙක් අලුත් පොතක් එළියට දානකං කට ඇරගෙන, කෙල හලාගෙන බලං ඉන්න “බුක්ෆෙයා පරිවර්තකයෙක්” අතින් ඒ දේ හරියටම සිද්ධ වෙයි කියල කියන්න බෑ. වියංගොඩ, චූලානන්ද පන්නයේ සාර්ථක පරිවර්තකයෙක් අතින් වුනත් සියයට සියයක්ම මුල් රචකයා අදහස් කළ දේම ලියැවෙයිද කියලා කියන්න අමාරුයි. අන්න ඒ නිසාම මුල් පොත කියවන්න පුළුවන් වීම වාසියක්. ආරම්භයක් විදියට හිත ඇදිලා ගිය පරිවර්තනයක මුල් ඉංග්‍රීසි පොත කියවන්නට උත්සාහයක් ගැනීමත් සාර්ථකයි. ඒ වගේම මුල් භාෂාව ස්පාඤ්ඤ නම් එයින් ඉංග්‍රීසියට පෙරලෙද්දි යම් මූලික අදහස් ටිකක් හැලිලා, ඒක සිංහලට එද්දි තවත් ටිකක් හැලීමේ “තුන්වරක් පෙරීමේ හානිය” අවම කරගන්නත් මේ නිසා පුළුවන්කම ලැබෙනවා.
Cover Image Source – lynda.com/ rd.com/ uk.businessinsider.com
Leave a Reply