ඉන්දීය නිදහස් සටනේ වීරයෝ

ඉන්දියාවේ නිදහස් සටන දිහා බැලුවම අපේ රටේ නිදහස් සටන වුණේ නෑ කියලත් ඇතැම් විද්වතුන් මත පළ කරනවා. නිදහස වෙනුවෙන් ඉන්දියානුවන්ට අති දැවැන්ත අරගලයක් වගේම ජීවිත පරිත්‍යාගයක් කරන්න සිද්ධ වුණා. මහත්මා ගාන්ධිතුමාගේ ආධ්‍යාත්මික නායකත්වය යටතේ පෙළ ගැසුණු ඉන්දියානුවන් එවකට ලෝකයේ  බලගතුම හිරු නොබසින අධිරාජ්‍යය අවිහිංසාවාදයෙන් දණ ගස්වන්න සමත්වුණා. මහත්මා ගාන්ධිතුමාගේ යෝධ සෙවණැල්ල නිසාම නිදහස් සටනේ විශිෂ්ට කාර්යභාරයක් කරපු බොහෝ වීරයන් ගැන ලංකාවේ අපි දන්නේ අඩුවෙන්. බොහෝ වෙලාවට අපි දන්නේ නේරු-ගාන්ධි සුසංයෝගය ගැන විතරයි. මේ නිසා අපි හිතුවා ඉන්දීය නිදහස් සටනේ වීරයෝ කීපදෙනෙක් ගැන කෙටි ලිපියක් ඔබ වෙත ගෙන එන්න.

 

1. සුභාෂ් චන්ද්‍ර බෝස්

නේතාජී යන ආදරණීය නමින් ඉන්දියානුවන් විසින් හඳුන්වන ලද සුභාෂ් චන්ද්‍ර බෝස්, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්. සිය රටට පැමිණීමෙන් අනතුරුව සිවිල් සේවයට එක් වී සියළු තනතුරු නිදහස් අරගලය වෙනුවෙන් ඔහු අත්හරිනවා. මුල් කාලයේ ඉන්දීය කොංග්‍රසයේ සක්‍රීය සාමාජිකයෙකු වන සුභාෂ්, සන්නද්ධ අරගලයකින් ඉන්දියාවට නිදහස ලබා ගත යුතු යැයි විශ්වාස කරනවා. මේ නිසාම මහත්මා ගාන්ධි සමග ඔහු ගැටෙනවා. දෙවැනි ලෝක යුද්ධයේදී  ජර්මනිය සහ ජපානය වැනි රටවල් සමග සමීපව කටයුතු කරමින් ඉන්දියාව නිදහස් කරගැනීමට ඔහු උත්සාහයක් දරනවා. කෙසේ වෙතත් අභිරහස් ගුවන් යානා අනතුරකින් ඔහු අතුරුදහන් වෙනවා. ඇතැම් ඉන්දියානුවන් සුභාෂ් චන්ද්‍ර බෝස් අදටත් ජීවත්වන බවට විශ්වාස කරනවා.

 

2. භගත් සිං

සීක් පවුලක උපත ලද භගත් සිංගේ රුධිරය තුළම නිදහස් අරගලය කියන දේ තිබුණා. භාරත් මාතා නමින් රහසිගත සංවිධානයක් අති කිරීමට මූලික වන භගත් සිං, මුළු මහත් ඉන්දියාව පුරාම නිදහස් අරගලයේ ගිනි පුපුරු නංවන්නට සමත් වෙනවා. විප්ලවයක් තුළින් ඉන්දියාව නිදහස් කර ගැනීම මෙන්ම සමාජවාදී ඉන්දියාවක් ඇති කිරීම භගත් සිංගේ උත්සාහය වෙනවා. කෙසේවෙතත් අධිරාජ්‍යවාදීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව භගත් සිං සහ ඔහුගේ කණ්ඩායමේ ප්‍රබලයින් එල්ලා මරා දැමෙනවා.

 

3. ආචාර්ය රාජේන්ද්‍ර පටේල් 

නිදහස් ඉන්දියාවේ පළමු ජනාධිපතිවරයා බවට පත්වූ ආචාර්ය රාජේන්ද්‍ර පටේල්, ඉන්දීය ව්‍යවස්ථාව සකස් කිරීම සඳහාත් සිය දායකත්වය ලබා දුන්නා. මහත්මා ගාන්ධිගේ ආභාෂය නිසා බටහිර අධ්‍යාපන ක්‍රමය පිළිබඳව කණගාටු වූ ඔහු තම පුත්‍රයාව ස්වදේශීය අධ්‍යාපනය සඳහා යොමු කරනු ලැබුවා. බිහාරයට මහත් දැවැන්ත විනාශයක් අත් කර දුන්  භූමිකම්පාවකින් පසුව එම ප්‍රාන්තය යළි නගාසිටුවීමට අරමුදලක් එක්රැස් කිරීම ඔහු විසින් ආරම්භ කරනු ලැබුවා. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කරන ලද්දේ ඔහු සිරගත වී සිටියදීයි. 

 

4. ලාල් බහදූර් ශාස්ත්‍රී

ජවහර්ලාල් නේරු ගෙන් පසුව නිදහස් ඉන්දියාවේ දෙවැනි අග්‍රාමාත්‍යවරයා බවට පත්වූ ශාස්ත්‍රී, මහත්මා ගාන්ධි සමග උරෙනුර ගැටෙමින් නිදහස් අරගලය මෙහෙය වීමේ වරදට වසර 9ක සිර දඬුවම් පවා විඳි අයෙක්. නිදහස් ඉන්දියාව තුළ හරිත විප්ලවය දියත් කරමින් කුසගින්නට සහ සාගතයට එරෙහිව විශාල අරගලයක් ඔහු විසින් දියත් කරනු ලැබුවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අවංක සහ සරල පුද්ගලයකු වූ ඔහුව ඉන්දියානුවන්ගේ අතිශය ගෞරවාදරයට පත්වූ ජාතික නායකයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්.

 

5. චන්ද්‍රශේඛර් ​ආසාද්

භගත් සිංග්ගේ මාර්ගෝපදේශකයා විදිහට සැලකෙන ​ආසාද්, ආරම්භයේ දී මහත්මා ගාන්ධිගේ අවිහිංසාවාදී ව්‍යාපාරය සමඟ එක් වූ අයෙක්. නමුත් එම ව්‍යාපාරය හරහා ඉන්දියාවට නිදහස ලබාගැනීමට නොහැකි වනු ඇතැයි ඔහු සැක පළ කරනු ලැබුවා. මේ නිසා ඔහු මර්දනකාරී වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කළා. උර්දු බසින් නිදහස යන අර්ථය ලබාදෙන ‘​ආසාද්’ යන කොටස ඔහු විසින් පසු කලෙක තම නමට ඈඳා ගනු ලැබුවේ නිදහස් අරගලය වෙනුවෙන් තමන්ට ඇති කැපවීම නිරූපණය කිරීමටයි. තම සගයෙකු විසින් පාවා දීමෙන් අනතුරුව අධිරාජ්‍යවාදීන් අතින් මියගිය ​ආසාද්, සිය අවසන් සුසුම දක්වා අරගලය අත් හැරියේ නැහැ.

 

6. සර්දාර් වල්ලාභායි පටේල්

 

මේ වන විට ලෝකයේ උසම ප්‍රතිමාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ. එම ප්‍රතිමාව මගින් නිරූපණය වන්නේ  මෙතුමාවයි. නිදහස් ඉන්දියාව තනි රටක් බවට පත්කර ගැනීමේ ප්‍රධානම ගෞරවය හිමිවන්නේ ඔහුටයි. මහා රජවරුන්ගේ පාලනය යටතේ පැවති ඇතැම් ඉන්දීය රාජ්‍ය තනි තනිව ස්වාධීන වීමට උත්සාහ කළත් පටේල්ගේ දුරදක්නා නුවණ නිසා එය වැළකුණා. අද දක්වා ඉන්දියාවේ ගෞරවයට හේතුව පවතින ඉන්දීය සිවිල් සේවය සුරක්ෂා කිරීමේ පුරෝගාමියා විදිහටත් පටේල්ව සැලකෙනවා. 

 

7. බාල් ගංගාධාර් තිලක්

සාමාන්‍ය ඉන්දියානුවන් විසින් ගංගාධාර් තිලක් වෙත ලෝකමාන්‍ය යන ගෞරව නාමය පිරිනමනු ලැබුවා. පාසල් අධ්‍යාපනය ලැබීමට සමත් වුණ පළමු ඉන්දීය පරපුරට අයත් වූ ඔහු පසුව එම අධ්‍යාපන ක්‍රමය විවේචනය කළා. හින්දු බස ඉන්දියාවේ රාජ්‍ය භාෂාව ලෙස නම් කළ යුතු බවට මුලින්ම අදහස් පළ කරන ලද්දේද මොහු විසින්මයි. ආරම්භයේදී ඉන්දියාවේ ආධ්‍යාත්මික නායකයා ලෙස සලකන ලද්දේ ගංගාධාර් තිලක්වයි. මහත්මා ගාන්ධි විසින් පුරවන ලද්දේ 1920 දී තිලක් මිය යාමෙන් පසුව ඇතිවුණු රික්තකයයි. ගාන්ධි විසින් නවීන ඉන්දියාවේ නිර්මාපකයා ලෙස ද වර්තමාන ඉන්දියානුවන් විසින් හින්දු ජාතිකවාදයේ පියා ලෙසද ගංගාධාර් තිලක් හට සිය ගෞරවාදරය ලබාදී තිබෙනවා. 

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක් ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *