ලංකාවේ සමහර අය වාහනයක් ගන්න කලින් දෙතුන් පාරක් හිතන්න හේතු

ලංකාවේ අපිට පුංචි කාර් එකක් කියන්නේ ඉතින් ලයිෆ් ගෝල්ස් වලම එක අංගයක් නේ. පුංචි නෙමේ ලොකු පොඩි කොයි කාර් එකත් හුඟ දෙනෙකුගේ සිහින ලැයිස්තුවෙන් එකක්. හැබැයි ඔය අතරෙම ඉන්නවා විවිධ හේතු නිසා පුළුවන්කමක් තිබ්බත් වාහනයක් ගන්න අදිමදි කරන පිරිසකුත්. හුඟක්ම ඉතින් ඩ්‍රයිව් කරන්න කම්මැලිකම, වාහනේ මේන්ටේනන්ස් වලට වෙලාව මදිකම වගේ හේතු නිසා එහෙම හිතුවට අපිට තියෙනවා වාහන ගන්න එක එපා කරවන ලංකාවටම ආවේණික හේතු සෙට් එකක්ම. 

 

1. අධික ට්‍රැෆික් එක 

මේක තමයි ඉතින් වාහන විතරක් නෙමේ මුළු සංසාරෙම එපා කරවන ලොකුම හේතුව. ගමනක් යන්න අඩුම පැය දෙකකටවත් කලින් පාරට බැහැල රස්තියාදු වෙන්න සිද්ධ වෙන රටක පූරුවේ පිනකටම ඉපදිලා ඉන්න නිසා අපරාදෙ කියන්න බැහැ වෙලාවට ගමනක් බිමනක් යන එකනම් අපිට සදා හීනයක් තමයි. ඉතින් ඔය ට්‍රැෆික් එකේ ගමන පරක්කු වෙන එකට හිතින් බැන බැන යනවා මදිවට වාහනෙත් ඩ්‍රයිව් කරගෙන යන්න ගියහම හිතන්නකෝ. ඊට හපන් ඉන්ධන කොස්ට් එක. ට්‍රැෆික් එකටම පිච්චිලා ඉවරයි පෙට්‍රල්, ඩීසල්. ඉතින් වැරදි නැහැනේ කැබ් එකක් අරන් යන එක කෝකටත් ලේසී කියල හිතෙන එක.

 

2. ඩ්‍රයිවින් ස්ට්රෙස් එක 

අනිත් එක තමයි ඔය ට්‍රැෆික් එක අස්සේ එහෙන් මෙහෙන් රිංග රිංග එන ත්‍රීවීල්, බයික් මල්ලිලායි, ඊටත් හපන් මහා ලොකු වාහන තිබ්බට මොලේ පොඩි අයියලායි එක්ක ඩ්‍රයිව් කරන්න ගියහම තියෙන ස්ට්‍රෙස් එක. මාර්ග විනය අතින් ආයෙත් නැහැ ඉහලින්ම වැජ​ඹෙන මේ සිරි ලංකාවේ ට්‍රැෆික් එක අස්සේ වාහනෙයි ඔලු ගෙඩියයි දෙකම පරිස්සම් කරගෙන ගමනක් ගිහින් එනව කියන්නේ හරියට adventure tour එකක් ගියා වගේ තමයි. ඉතින් ඔය අනවශ්‍ය ස්ට්‍රෙස් එක ඔලුවට දාගන්න හුඟ දෙනෙක් අකමැතියි. ඊට වඩා කැබ් එකක වාඩිවෙලා හෙඩ් සෙට් එක ගහගෙන සින්දුවක් දෙකක් අහගෙන ගමන යන එක පොකට් එකට කෙසේ වෙතත් හිතටයි ගතටයි දෙකටම සනීපයි. 

 

3. අනවශ්‍ය ඇක්සිඩන්ට්ස් 

ඊළඟට ඔය අස්සෙන් අස්සෙන් දාගෙන ෂෝට් කට්ස් ගහන ඩ්‍රයිවර් උන්දලාගේ හොඳ කමටම වෙන ඕන නැති ඇක්සිඩන්ට්. මහා ලොකු මාරාන්තික ඇක්සිඩන්ට්ස් නම් නෙමෙයි. අස්සෙන් ඇවිත් ගාවගෙන ගිහින්, පිටිපස්සෙන් ඇවිල්ල හප්පලා, හප්පලා නවත්තන්නෙම නැතුව ගිහිල්ලා, වැරදි පැත්තෙන් ඕවර්ටේක් කරන්න ගිහින් හැප්පිලා වගේ මෙලෝ රහක් නැති කුණු ඇක්සිඩන්ට්ස් තමයි ලංකාවේ ඉන්ෂුවරන්ස් කම්පැනි වලට දවසට වැඩි හරියක් එන්නේ. කොච්චර උනත් අසාවෙන් ගත්ත වාහනේ ඔය වගේ ඕන නැති ඇක්සිඩන්ට්ස් වලින් හානි කරගන්න කව්ද කැමති. මොකද අපි කොච්චර පරිස්සම් වෙලා ඩ්‍රයිව් ක​ළත් පාරෙ යන අනිත් උන්දැලා ෂුවර් නැති නිසා ලංකාවේ පාරවල් වල වාහනේ පරිස්සම 100%ක් සහතික වෙන්න කාටවත්ම බැහැ.

 

4. ඉන්ෂුවරන්ස් ක්ලේම්ස් 

දැන් අර කලින් කියපු විදිහට එහෙන් මෙහෙන් හප්පන් ගිහින් ඉන්ෂුවරන්ස් ක්ලේම්ස් ගන්න ගියා කියමුකෝ. ඔන්න ඊළඟ යුද්ධෙ තමයි ඒක. එක්කො පාරේ රස්තියාදු වෙන්න වෙනවා වාහනේ බලන්න එනකම්, අනිත් වාහනේ නැත්තම් පොලිස් රිපෝට් ගන්න ඕන, ඊළඟට ගැරේජ් ගා​ණෙයි පාර්ට්ස් කඩවල් ගා​ණෙයි දවස් ගා​ණක් රස්තියාදුව තමයි. මොකද කොයි ඉන්ෂුවරන්ස් එකෙත් වැඩ කරන සිස්ටම් එකක් තියෙනවනේ. ඉතින් ඔය ලොකුවට ඇඩ්  දැම්මට හැප්පුන ගමන් සල්ලි කුට්ටියක් ඇවිල්ල දෙන්නෙ නැහැ. අන්තිමේ පදින්න වාහනෙත් නැතුව දවස් ගා​ණක් ඉන්න වෙනව කොහෙවත් යන කෙනෙකුගෙ වැරැද්දක් නිසා. ඉතින් හිතේ නිදහසත් නැහැ, වාහනෙත් නැහැ ඒ දවස්වලට. ලීසිනුත් ගෙවල කැබ් වලටත් ගෙවල ගමන් යෑමක් තමයි තියෙන්නේ. 

 

5. අධික බදු 

මේක තමයි ඉතින් කොයි කවුරුත් දන්න ප්‍රසිද්ධම කාරණාව. ඉන්න හිතෙන රටක ඉපදිලා ඉන්න අපිට වාසනාවටම මදියි නොකියන්න බදු ගහන ආණ්ඩු එදා ඉඳන් අද වෙනකන්ම හම්බවෙලා තියෙනවනේ. ඉතින් වාහනයක් ගෙන්නනව කියන්නේ බදු කන්දක් ගෙවන එකටම කියන වෙන වචනයක් තමයි. වාහන වල කැටගරි එක අනුව පොඩි පොඩි වෙනස්කම් තිබුනත් 200%ත් පන්නල සාමාන්‍ය බදු ප්‍රමාණයක් ගෙවල තමයි ලංකාවේ අපි වාහන ගන්නෙ. කොටින්ම වාහනේ හදන ඔරිජිනල් කම්පැනි එකෙන්වත් ඒ වාහනෙන් ලංකාවේ ආණ්ඩුව ගන්න තරම් ලාභයක් ගන්නෙ නැහැ. ඒ මදිවට සුඛෝපබෝගී වාහනයක් ගන්නවානම් වෙනම ලක්ශරි ටැක්ස් එකකුත් ගෙවන්න ඕන. එතකොට ඉතින් කීප පාරක් හිතන්න වෙනවා ටැක්ස් ගෙවලම මැරිලා යනවද නැත්තම් ඔන්න ඔහේ යන්න එන්න වෙන විදිහක් හොයා ගන්නවද කියලා.

 

6. පොලිස් රාළහාමිලා 

ඔන්න මේව ලියනව කියල අපිවත් කුදලන් ගිහින් කූඩුවෙ දායිද දන්නෙ නැහැ. ඊළඟ කාරණේ තමයි මේක. සාමාන්‍යයෙන් පොලීසියක රාජකාරිය වෙන්න ඕන මාර්ග නීති ආරක්ෂා කරන්න රියදුරන් යොමු කරවීම, එහෙම නොකරන ​අයට දඬුවම් කිරීම උණාට ලංකාවේ පොලිසිය නම් දඩකොල හුඟක්ම ලියන්නේ දවසේ ගතමනාව සරි කරගන්න. වැරදි කරන නොකරන කාටත් පොදුවේ දඩ ගහන සිස්ටම් එකක් තමයි තියෙන්නේ. මොකද දැන්නම් පාරවල් පුරා CCTV කැමරා තියෙන නිසා මිසක් හරි වැරැද්ද ඔප්පු කරන්න පුළුවන් වෙන සාධාරණ ක්‍රමයක් නැහැනේ ඉතින්. එයාල කිව්වොත් කිව්ව තමයි. නඩු කියන්න තියෙන අකමැත්තට ඊට වඩා දඩේ සැපයි කියල ගෙවල නිකං ඉන්නව කවුරුත්. 

 

7. පාර්කින් ප්‍රශ්න   

අර ඔක්කොම ප්‍රශ්න අමතක ක​ළත් ඊළඟට එනවා මෙන්න මේ ප්‍රශ්නේ. කොහොමින් හරි පැදගෙන ඇවිල්ලා අවශ්‍ය වැඩක් කරගන්න ආවට ඊළඟට වාහනේ පරිස්සමට නවත්තල යන්න තැනක් නැහැ. රජයෙන් හදපු හරි හමන් පාර්කින් සිස්ටම් එකක් නැහැ කොයි නගරෙකවත්. තිබ්බත් එක්කෝ ටවුන් එකෙන් සෑහෙන්න ඈත. එතන ඉඳන් ආයෙත් බස් එකක් දාන්න ඕන අවශ්‍ය තැනට යන්න. කඩ සාප්පු වලින් පාර්කින් හදල තිබ්බත් ඒවගෙත් ඉඩ බොහොම සීමිතයි. පාරෙ අයිනෙ නවත්තල ගියොත් දඩ. ඉතින් හිතන්න දේවල් කෝටියයි. ඊට වඩා සනීපයි වාහනේ ගෙදරම නවත්තලා එන එක කියලා හිතෙන එක වැරදි නැහැනෙ ඉතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *