පුංචි කාලෙ අපේ මල් වගේ හිත් තැළුණු අවස්ථා හතක්

මෙවුව ඉතිං මතක් වුනාම දැන් ඇඬුම් එන විදියෙ හිත් රිදීම් නෙමෙයි. අවංකවම හද පතුලෙන්ම එන හිනාවක් පත්තු කරවන්න මේ වගේ මතකයන්ට පුළුවන්. හැබැයි මේවා ඒ කාලෙනම් අපේ හිත්වල ලොකුවටම පැලපදියම් වෙලා තිබුනු අවුල් සහගත සිද්ධි. ඒ නිසා අපි මේවා සුළුවෙන් තකන්නේ නැහැ. ඔයාලටත් මේ හා සමානම හද රිදවන දේ තියෙනවානම් අපිට කියන්න. මේ සිද්ධි අපි ගොඩක් දෙනෙකුට පොදු සිද්ධි නිසා ඔයාලගේ මේ ව​ගේම කතාවල වර්ෂන්ස් කියන්නත් අමතක කරන්න එපා. මොකද දැන් කාලෙ සුදු අයිෆෝන් එකක් නැතුව කළු එකක් දුන්නා කියලා අඬන බබාලට අපි දුක් වුනේ මොනවටද කියල දැනෙන්න ඕන. ඒ ගැන වග බලාගන්න.

 

1. සිහි​න

පුංචි කාලෙ අපි ආසම දෙයක් තමයි බිස්කට්. අම්මලා අපි කනවට අකමැතිත් බිස්කට්. බිස්කට් ලොට් පිටින් කාලා බඩ පුරවගෙන අම්ම උයන බත් නොකන නිසා තමයි අම්මලා අපි බිස්කට් කනවට අකමැති. කොහොම වුනත් ඉතිං බිස්කට් හම්බුනොත් අපි අම්මලගෙ කැමැත්ත අකමැත්ත මොකක් වුනත් නොකා ඉන්නෙත් නෑ. කොහොමින් හරි ඔය විදියට යන අස්සෙ අපි දකිනව අලුත් බිස්කට් පෙට්ටියක්. ගෙදර කට්ටිය තව ටිකකින් ගෙදරින් එළියට යනව. මම විතරයි ගෙදර තනියම. ඒ මදිවට ඒක පිටරටක බිස්කට් එකක්. ලස්සන රවුම් නිල් පාට පෙට්ටියක්. දෙයියනේ. එච්චර ලස්සන බිස්කට් පෙට්ටියක් දැක්කෙත් පළවෙනි පාරට. ​කොහොමහරි ගෙදර කට්ටිය යනකං පුදුම ඉවසීමකින් බලාගෙන ​ඉඳලා පුදුම ආසාවකින් ඇරලා බලනව ඒ පෙට්ටිය. බලද්දි තමයි දකින්නෙ. ලස්සනට පාටිෂන් කරපු පෙට්ටියක් ඇතුළෙ කවදාවත් නොදැකපු බිස්කට් බලන්න පෙරුම්පුරපු මම දකින්නෙ අම්මගෙ මැහුම් බඩු දාපු පෙට්ටිය.

 

2. අවිශ්වාසය

බිස්කට් නිසා සිද්ධ වෙච්ච අනිත් දේ තමයි අවිශ්වාසය. ඒක වෙන්නෙත් කලින් කියන විදියටම තමයි. අපේ ගෙදරට කෑමක් ගෙනාවොත් මුලින්ම දකින්නෙ අපිනෙ. ආයෙ වෙන කවුද? ඒ වගේම ඒ කෑම එක මුලින්ම විවෘත කරලා, රස බලලා, ගොඩක් රසයිනං ඉවරම කරලා දාන්නෙත් අපිනෙ. පුංචි කාලෙ ඉඳන් කවිය කියෙවුවට නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතියි කියල අපි කවදාවත් හිතුවෙ නැහැනෙ. අපේ අම්මලා ගැන අපි තියපු විශ්වාසය තමයි මේ සුන්වෙන්න යන්නෙ. මෙන්න බොලේ නෑයො එනව ගෙදර. නෑයොන්ට කෑමට අල්ලන බන්දේසියෙ තියෙන දේවල් අතරෙ අපි කවදාවත් නොදැකපු කෑම තියෙනවා. අම්ම ඒ දේවල් කොහෙද හංගලා තිබුනෙ? ඇයි අම්මා ඒවා හංගලා තිබුනෙ? කියන හැඟීම ඒ කාලෙ පුංචි හිතකට දරාගන්න අපහසු හැඟීමක්.

 

3. බලාපොරොත්තු

අපි හැමදාම බලාපොරොත්තු තියාගෙන ඉන්න එක දෙයක් තියෙනවා. ඒ දේ වෙනුවෙන් තමයි අපි හිතේ බලාපොරොත්තු තියාගෙන හවසට ගෙදර එන්නෙ. ඒ දේ වෙනුවෙන් තමයි හවස් වෙන්න කලින් අපි ගෙදර වැඩ ඉවර කරන්නෙ. පුළුවන් නං ඉස්කෝලෙන්ම ගෙදර වැඩ කරගෙන එන්නෙ. ඒ දේ ගැන තමයි අපි හැමෝම පහුවදාට ඉස්කෝලෙ ගිහින් කතා වෙන්නෙ. පුංචි අපේ එකම බලාපොරොත්තුව හවස කාටූන් ටික. අනේ පුරුදු විදියටම ඇවිත් ඉක්මනට ගෙදර පුටුවෙන් වාඩි වෙන්නෙ කාටූන් ටික බලන්න. ඒ වුනත් කාටූන් පටන්ගන්නෙ නෑ. ඒ වෙනුවට යන්නෙ ඒ චැනල් එකෙන් අනුග්‍රහය දක්වන ලයිවු ඉවෙන්ට් එකක්. දැන් ඉවර වෙයි දැන් ඉවර වෙයි කියල බලං හිටියට ඒක ඉවර වෙන්නෙත් නෑ. කාටූන් පටන් ගන්නෙත් නෑ. දැන් ඉතිං පහුවදාට මුළු පන්තියෙම මාතෘකාව වෙන්නෙ කාටූන් නැති වුන එක.

 

4. නපුරු ආච්චි

කාටූන් ඉවර වෙච්ච ගමන් පාරට පනින්නෙ ක්‍රිකට් ගහන්න. කාටූන් නිසා මගහැරිච්ච වෙලාවත් අල්ලලා බිං කළුවර වැටෙන්න කලින් මැච් තුන හතරක්වත් ගහගන්න එක තමයි කට්ටියගෙ අරමුණ. මේ නිසා කාටූන් නැති දවස්වලට ගහන මැච්වලට වඩා ටීටුවෙන්ටි ලයින් එකෙන් තමයි මැච් එක සෙල්ලං කරන්නෙ. මෙහෙම සෙල්ලං කරද්දි නීති කිහිපයක් තියෙනවා. ගස් කැච් ඔට්ටු නෑ, වතු අවුට්, ලාස්ට් මෑන්ට චාන්ස් හෑවු වගේ නීති. ඔය අස්සෙ තියෙනවා විවිධාකාරයේ වතු. සමහර වතුවලට බෝලෙ ගියාම ඒ වත්තෙ උදවිය බෝලෙ දානව. සමහරු ගේට්ටුව ඇරලා දෙනවා බෝලෙ හොයාගන්න කියල. සමහරු බෝලෙ දෙන ගමන් ගෙදර තියෙන දෙයක් කොල්ලොන්ට බෙදාගෙන කන්නත් දෙනවා. ඔය අතරෙ සමහර ගෙවල් තියනව බෝලෙ වැටුනොත් කිසිදා නොදෙන. අනේ ටීටුවෙන්ටි සීන් එකෙන් සෙල්ලං කරන එකෙක් ගහනව මුල් ඕවරේම අර වත්තට. ඉතිං කොල්ලො ටික ඊටපස්සෙ රෑ වෙනකං පාරට වෙලා ඒ වත්ත දිහා බලාගෙන ඕපාදූප කියවපු එක තමයි කළේ.

 

5. සීයෙට විස්ස

මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙයි කියන එක අපි පුංචි කාලෙම ප්‍රගුණ කරන්නෙ අලුත් අවුරුදු කාලෙට. එන එන නෑදෑයොන්ට වැඳලා අපි බලාපොරොත්තු වෙන්නෙ සල්ලි. සමහරුනං වැන්දට දෙන්නෙ තෙරුවන් සරණ විතරයි. අපිට ඒක මදියි. දෙවියන්ගෙ මල්ලිගෙ සරණත් අපිට ඕන. ඒ නිසා අපි හැම අලුත් අවුරුද්දකම බලාපොරොත්තු දල්වාගෙන බලං ඉන්නෙ මේ නෑදෑයො එනකං. ඔන්න කොහොම හරි නෑදෑයො එනව. අයිය මුලින්ම ගිහින් වැඳලා. අයියට හම්බෙලා සීයක්. අයිය මගේ මූණ ඉස්සරහ සීයෙ කොලේ වනනව. ඒ කාලෙ සීයක් කියන්නෙ ​හොඳට කන්න පුළුවන් ගාණක්. මාත් සියළු පැතුම් පොදි හිතේ හිර කරගෙන ගිහින් වඳිනවා. හම්බෙන්නෙ නැතිවෙයිද කියලත් හිතට බයයි. දෙයියනේ, බුලත් කොලේක ඔතලා සල්ලියක් හම්බෙනවා මට. ආසාවෙ බෑ, ඉක්මනට කාමරේට දුවන්නෙ මේක ඇරලා බලන්න. තිබුනෙ කීයෙ කොලයක්ද කියල මේකෙ හෙඩිම බැලුවම තේරුණා නේද?

 

6. නෑදෑයෝ

මේ ලියන්න යන්නෙ නෑදෑයො නිසා ඇති වෙන තවත් විස්සෝපයක් ගැන. මේ වගේ විස්සෝප ඇති නොවුනොත් තමයි පුදුමෙ. ඇත්තටම පොඩි කාලෙ අපි කොයි වෙලෙත් බලාගෙන ඉන්නෙ සෙල්ලං කරන්න. සෙල්ලං කරන්න හවස් වෙනකං ඉන්න වුනත් උදේ කාලෙ කවුරුහරි ගෙදර ආවොත් ඒ පොඩිවුන් එක්ක හරි සෙල්ලං කරලා මිසක් නවතින්නෙ නෑ. මේ නිසා ගෙදරට නෑදෑයෝ එනවා කියපු ගමන්ම මුලින්ම ප්ලෑන් කරන්නෙ එන පොඩි එවුන් එක්ක සෙල්ලං කරන්න. හප්පා ඔන්න නෑදෑයො එනකං බලාගෙන ඉන්නව. වාහනේ එනව. ඉතිං බැට් බෝල ටික මිදුලෙ තියාගෙන බලං ඉන්නෙ. ඒ ඉද්දි ඔන්න එනව වාහනේ. වාහනේ පුරවලා සෙනග. හැබැයි පොඩි උන් නෑ. අන්න එහෙමයි අපේ පුංචි හිත් රිදුනෙ.

 

7. ගෙදර වැඩ

ඉස්කෝලෙන් හැමදාම ගෙදර වැඩ දුන්නට අපි හැමදාම ගෙදර වැඩ කරගෙන යන ජාතියෙ නෙමෙයිනෙ.ඒත් ඔහොම ඉඳලා ගෙදර වැඩ කරගෙන යනව කියල හිතල කරද්දි මෙන්න බොලේ ටීචර් නෑ. දැන් ගෙදරට ගෙනිහින් පෙන්නන්නද? අපරාදෙ මහන්සිය. ඊට වඩා අද පාඩම වෙනිං ටීච කෙනෙක් කරපු නිසා හෙට ගෙදර වැඩ බලන එකකුත් නැහැලු. මේ නිසා අපි ඒ වැය කරපු කාලය සහ මහන්සිය ගැන පුදුම දුකකින් හිටියෙ. ඒ හිතේ අමාරු ලේසියෙන් හොඳ කරන්න බෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *