ඔය දැන් කාලේ ගොඩක් ඔෆිස් වල ලොකු ලොක්කෝ කියන කථාවක් තමයි හාර්ඩ්වර්කින් මදි, ස්මාට් වර්කින්ග් තමයි තියෙන්න ඕන කියන එක. ඒ වගේම ගොඩක් පරණ තාලේ සේවකයෝ ගොඩක් වෙලාවට කොච්චර මහන්සි වෙලා, ජොබ් එකට බොක්කෙන්ම ලව් කරගෙන වැඩ කළත් උඩට යන්න බැරි වෙන්න හේතුවත් මේ ස්මාට් වර්කින්ග් නැති කම. එහෙම කිව්වහම දැන් හිතන්න එපා ස්මාට් වර්කින්ග් කියන්නේ වැඩේට වඩා කයිය ගහන එක කියලා. ස්මාට් වර්කින්ග් කියන්නේ අලුත් ලෝකේ ප්‍රොෆෙෂනල්ස්ලා ඉගෙන ගන්න ඕන සංකල්පයක්. ඒකෙන් රස්සාවේ වැඩ ටික ගොඩ දාලා ඉහළට යන්න ඉඩ ලැබෙනවා විතරක් නෙවෙයි, රස්සාව තමන්ගේ ජීවිතේ කරගන්නෙ නැතුව, ජොබ් එක කරන වෙලාවට ජොබ් එක කරලා තමන්ගේ පුද්ගලික ජීවිතේ ආතල් එකේ ගත කරන්නත් ඉඩ කඩ ලැබෙනවා. එහෙමනම්, පටන් ගැන්මට අපි ස්මාට් වර්කින්ග් ගැන ටිප්ස් ටිකක් දෙන්නං!
1. පිස්සු හැදෙන ටු-ඩූ-ලිස්ට්!
සාමාන්‍යයෙන් අපිට ඔය තදබල වැඩ තොගයක් හිරවෙලා තියෙනකොට ඔන්න අපි ඒ ටික ඉවර කරන්න ප්ලෑන් කරනවා. ටු-ඩූ-ලිස්ට් එකකුත් හදනවා. ඔය ටු-ඩූ-ලිස්ට් එක ෂොපින් ලිස්ට් එකටත් වඩා දිගයි ඉතින්. ඇයි අපේ ඔළුවේ තියෙන්නේ ඔක්කොම වැඩ ටික සට සට ගාලා ඉවර කරන්න ඕන කියන එකනේ. ආන්න ඒක ප්‍රශ්නයක්. මොකද අපිට කොයි තරම් වැඩ කන්දරාවක් තිබුණත්, හිතන විදියට හැමදේම දවසක් ඇතුළත ඉවර කරන්න බෑ. අපිට තියෙන්නෙත් පැය විසිහතරයි. අපි රොබෝලත් නෙවෙයි. අන්න ඒ නිසා ප්‍රධාන වශයෙන්ම තමන්ට දවසක් ඇතුළතදී ඉවර කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය ගැන හොඳ තක්සේරුවකට එන එක අවශ්‍යයි.
2. ප්‍රමුඛතාවය අනුව වැඩ
දැන් ආයෙමත් ටු-ඩූ-ලිස්ට් එක හදමු. මෙතනදිත් අපි බොහොම් ඥාණවන්ත වෙන්න ඕන. අපේ මිනිස් හැකියාවන්ට කොයි විදියේ සීමාවන් තිබුණත්, වැඩ තොගයක් කරන්න තියෙනවා කියන එක තේරුම් ගන්න වෙනවා. හැබැයි ඒ ඔක්කොම දවසෙන් කරන්නත් බෑ. ඒ නිසා මුලින්ම ප්‍රමුඛතාවය අනුව අත්‍යාවශ්‍යම වැඩ ටික මුලින් ටු-ඩූ-ලිස්ට් එකට දාමු. හැබැයි ඔය විනාඩි දෙකේ තුනේ වැඩ තියෙනවා නම් එව්වා කල් දාන්න එපා. ඒවා කළා කියලා දවස ගෙවෙන්නෙ නෑ. ඒ ඇරෙන්න බරසාර වැඩවලින් දවසේ කරන්න පුළුවන් කොටස කරන්න. ඒ කොටසට වැඩිම ප්‍රමුඛතාවය තියෙන, හදිසිම වැඩ කොටස ඇතුළත් කරගන්න.
3. නොකා නොබී නොනිදා වැඩ!
සාමාන්‍යයෙන් අපිට කන පැලෙන්න වැඩ තියෙනකොට ඒ ටික ඉවර කරගන්න කල් කන්න බොන්න තියා නිදාගන්නවත් හිතෙන්නේ නෑ. හැබැයි එහෙම නොකා නොබී නොනිදා වැඩ කළා කියලා වැඩේ කොලිටියට සිද්ධ වෙන්නෙ නෑ. ඒ වෙනුවට වෙන්නේ ඉක්මනින්ම අපේ වැඩකරන කාර්‍යක්ෂමතාවය පහළ බහින එකයි. සරලම උදාහරණයක් කිවුවොත්, අපි වැඩක් ඩෙඩ්ලයින් එකට දෙන්න තියෙන හදිසිය නිසා ඔන්න රෑ නිදිමරාගෙන වැඩ කරනවා. හැබැයි ඉන් පස්සේ දෙවෙනි දවසේ ෆුල් එනර්ජි එකෙන් වැඩ කරන්න බැහැ දෙවෙනි දවසෙදී නිදාගන්නමයි හිතෙන්නේ. නොකා නොබී වැඩ කරනවා කියන්නෙත් ඒකම තමයි. කන්න බොන්න යන පැයක් වෙනුවට, අපේ කාර්‍යක්ෂමතාවය පහළ බැස්සහම පැයෙන් කරන්න පුළුවන් වැඩේට පැය තුනක් යයි. වැඩේ කොලිටිය වුනත් අප්සට් යයි.
4. වැඩේට යන කාලය වෙනුවට වැඩේ කොලිටිය
අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ වැඩකට යන කාලයෙන් වැඩේ මනින්න. ඒ කියන්නේ වැඩේට පැය තුනක් ගියා නම් මාර බරපතල වැඩක් තමයි ඒක කියලා හිතන්න අපේ මනස පුරුදු වෙලා තියෙනවා. අනික උදේ වැඩට ආවට පස්සේ පහට තමයි වැඩ ඉවර කරන්න තියෙන්නේ කියන මානසිකත්වයම අප්සෙට්. ඒකෙන් අපිට ජොබ් එක එපා වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා වැඩේ කොලිටියට ඉවර කරන්නත්, පුළුවන් අඩුම කාලයකින් ඉවර කරන්නත් තමයි ෆෝකස් වෙන්න ඕන. මේක ඇත්තටම මනසින් හදාගන්න ඕන දෙයක්. බරපතල ප්‍රොජෙක්ට් රිපෝට් එකක් කරනකොට ඕන නම් අපිට පුළුවන් සම්පූර්ණ ප්‍රොජෙක්ට් රිපෝට් එක එක වර කරගෙන යනවා වෙනුවට, ඒක කොටස් වලට වෙන් කරලා කොටස් කොටස් ඉවර කරන්න. හැබැයි ඉතින් එක කොටසකට අනවශ්‍ය විදියට දීර්ඝ කාලයක් ගන්න එකෙනුත් වෙන්නේ අපි ෆේල් වෙන එක. ඒ ගැන අපි ඊලඟට කථා කරනවා.
5. පොමොදෝරෝ ක්‍රමේට වැඩ
මේක බොහොම සරල වැඩ ක්‍රමයක්. ඔන්න අපි විනාඩි විසිපහක් එක දිගට වැඩ කරනවා. ඒ විනාඩි විසිපහ තනිකරම වැඩ විතරයි. ඒ වෙලාවට ෆේස්බුක් යන්නේ, අල්ලපු සීට් එකේ එකා එක්ක චැට් දාන්නේ නෑ. ඉන් පස්සේ විනාඩි පහක් විවේක ගන්නවා. ඒ විනාඩි පහේදී නැගිටලා පොඩ්ඩක් ඇවිදලා, අත් පය හිරි ඇරලා එන්න පුළුවන්. ආයෙමත් විනාඩි විසිපහක් වැඩ කරනවා. ආයෙමත් විනාඩි පහක් විවේක ගන්නවා. ඔන්න ඔය විදියට විනාඩි විසිපහේ එව්වා හතරක් ගියාට පස්සේ පැය කාලක බාගෙක දිග බ්‍රේක් එකක් ගන්නවා. ඔන්න ඕකට තමයි කියන්නේ පොමොදෝරෝ ටෙක්නික් කියලා. මේ විදියට වැඩ කරනකොට ඇත්තටම අපේ වැඩ වඩාත් කාර්‍යක්ෂම වෙනවා කියලා අපිටම දැනෙයි.
6. ‘ඕක හරියන්නෙ නෑ’ විදියේ සිතුවිලි එපා!
මෙන්න මේක ඉතාම වැදගත් කාරණයක්, ස්මාට් විදියට වැඩ කරන්න. ඒ තමයි සෘණාත්මක සිතුවිලි දුරු කරන එක. මූලිකවම අපි ආස කරන විදියේ වෘත්තියක් තෝරගන්න එක වටිනවා. එහෙම ආස කරන දෙයක් හම්බුණේ නැතිනම්, එක්කෝ කරන දේට ආසාව ඇතිකරගන්න වෙනවා. එහෙම නැතිනම් ආස කරන දේකට යොමුවෙන්න ක්‍රම ක්‍රමයෙන් පාර හදාගන්න වෙනවා. ඊලඟට ‘ඕක හරියන්නෙ නෑ’ කියලා හැමතිස්සෙම කණට කොඳුරන චව් චව් ලාව ඈත් කරන්න. ඊලඟට වැඩේ විතරක් කරලා ගෙදර යනවය කියන ආකල්පයෙන් ඈත් වෙන්න. මෙතනදී කියන්නේ අනුන්ගේ වැඩත් එක්ක කරන්න කියන එක නෙවෙයි, පටලවා ගන්න එපා. මෙතනදී කියන්නේ ‘ප්‍රෝඇක්ටිව්’ වෙන්න කියන එක. ඒ කියන්නේ බොස් දෙයක් කිව්වහම ඒ දේ විතරක් කරලා ඉන්නේ නැතුව, බොස්ට වුනත් අදහස් යෝජනා අරගෙන එන්න කියන එක. තමන්ගෙන් කෙරෙන ජොබ් එකට අදාළව අලුතින් මොනවද කරන්න පුළුවන් කියලා හිතන්න. ඒ දේවල් යෝජනා කරන්න. අලුත් දේවල් කරන්න මූලිකත්වය ගන්න. හැමදෙයක්ම දිහා සුබවාදීව බලන්න!
7. සන්නිවේදනේ වැදගත්
දැන් කාලේ ඔෆිස් ඉස්සර වගේ නෙවෙයි. දැන් ඔෆිස් වල සන්නිවේදනය වඩාත් පහසුයි. ඊමේල්ස් වලින් සෑහෙන්න වැඩ කෙරෙනවා. සමහර ඔෆිස් වල ‘ස්ලැක්’ වගේ සොෆ්ට්වෙයාර් එහෙමත් සන්නිවේදනය වෙනුවෙන්ම භාවිතා වෙනවා. අපි ඔෆිස් එකක වැඩ කළත්, ගෙදර ඉඳන් වැඩ කළත් හැමතිස්සේම සන්නිවේදනය සිදුවෙන්න ඕන. ඒක ඊමේල් එකක් දැක්කහම ‘නෝටඩ්’ කියලා රිප්ලයි කරන එකේ ඉඳන්, මොකක් හරි තමන්ට තේරෙන්නෙ නැති දෙයක් බොස් කිවුවොත්, ඒක බය නැතුව ආයෙමත් මොකද්ද කියලා අහන එක දක්වා සිද්ධ වෙන්න ඕන. තමන්ගේ වැඩ කරන අවකාශය ඇතුළේ, වැඩ කරන අය අතර නිරන්තරයෙන්ම වැඩ සම්බන්ධයෙන් සන්නිවේදනයක් තිබීම ඔස්සේ වැරදි වැටහීම්, වැරදි තොරතුරු සන්නිවේදනය වීම් වැළැක්වෙනවා. ඒ වගේම වැඩත් කාර්‍යක්ෂම වෙනවා.
8. මල්ටිටාස්කින් එපා!
අපි හිතාගෙන ඉන්නේ අපිට මල්ටි-ටාස්කින් පුළුවන් කියලනේ. හැබැයි ඒක සියේට සීයක් හරි නෑ. විශේෂයෙන්ම ඔෆිස් වැඩ වගේ දේවලදී මල්ටි-ටාස්කින් කියන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා අපි අර ප්‍රමුඛත්වය අනුව හදාගත්තු ලිස්ට් එකෙන් එක් එක් වැඩ කොටස ඉවර කරන්න උත්සාහ කරන්න. අරකත් කරන අතරේ මේකත් කරන්න උත්සාහ ගන්න එපා. ඒකෙන් අරකයි මේකයි දෙකම ඇනෙන්න පුළුවන්. එක වැඩක් ඉවර කරලා ඉන්න.
හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. එක වැඩක් කරන අතරේ අපිට වෙන වැඩක ප්‍රතිඵල ගැන ආයෙමත් හොයා බලන්න, කාට හරි කථා කරන්න වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරන්න වැඩේ ඉවර කරනකල් හිටියොත් ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ දේවල් වලට හොඳම දේ තමයි තාක්ෂණය පාවිච්චි කරන එක. ඔය සිහිකැඳවීම් වලට තියෙන ඇප් එකක්, සොෆ්ට්වෙයාර් එකක් එහෙම පාවිච්චි කරලා, ඒ වගේ හොයලා බලන්න තියෙන දේකට රිමයින්ඩර් එකක් දාගන්න.
9. අන්තිම තත්පරයේ වැඩ කලින් කරන්න
ඔන්න අපිට රිපෝට් එකක් ලියන්න මාසෙයක් ඉස්සරහට ඩෙඩ්ලයින් තියෙනවා. අපි මාසෙම නට නටා ඉඳලා රිපෝට් එක මතක් වෙන්නේ අන්තිම සතියේ. ඔන්න පස්ස රත් වෙනවා. හැබැයි ඒත් වැඩේට අත තියන්නේ අන්තිම දවස් තුනේදී. ඒත් දිඩි බිඩි ගාලා රිපෝට් එක දවස් තුනෙන් ගොඩ දානවා. කොලිටියට අවුලක් වෙලාත් නෑ. මෙන්න මේ හැකියාව සමහරුන්ට තියෙනවා. එතකොට අපි අන්තිම තත්පරය වෙනකල් වැඩ කරන්න ඉන්න එක ඕකේද? නැහැ. හැබැයි අපිට අන්තිම තත්පරයේ දිඩි බිඩි ගාලා වැඩේ කොලිටියට ගොඩදාන්න පුළුවන් නම්, අපි ඒක අපේ වාසියට හරවගමු. මාසයක් ඩෙඩ්ලයින් එකට තියෙනවා නම් අපි අපිටම සතියක ඩෙඩ්ලයින් එකක් දාගමු. දැන් වැඩේට බහින්න කම්මැලිකමේ, හිස් වර්ඩ් ෂීට් එකකුත් ඕපන් කරගෙන එක එක විකාර කර කර ඉන්න අතරේ කෙලින්ම වැඩේට බහිමු. සතියෙන් වැඩේ කොලිටියට ඉවර කරලා තියමු. ඔන්න සති තුනක්ම අපිට ඉතුරුයි!
Leave a Reply