දැන් මේ කියන කිසිම ගැඹුරක් නැති, හරයක් නැති මනුස්සයෙක් කියන්නේ කවුද? හැම මනුස්සයෙක්ම ගැඹුරක්, හරයක් තියෙන කෙනෙක් වෙන්න ඕනෙද? මෙව්වා තමයි ප්‍රශ්න. හැබැයි ඇත්තටම අපි කියන්න යන්නේ බොහොම වැදගත් කාරණාවක් ගැන.
ගැඹුරක් තියෙන, හරයක් තියෙන මනුස්සයෙක් කියන්නේ ඉහළටම ඉගෙන ගත්තු මනුස්සයෙක්, උපාධි පිට උපාධි ගහපු මනුස්සයෙක් කියන එක නෙවෙයි. ඊට වඩා ලෝකේ දේවල් වල මතුපිට විතරක් නොදකින, ලෝකේ දේවල් වල හරි මනුස්සයන්ගේ හරි ගැඹුරක් දකින, ඕනෑම කෙනෙක්ට හෝ ඕනෑම දේකට දිය යුතු නිසි ගෞරවය ලබාදෙන, වගකීම් සහගත මනුස්සයෙක් කියන එක.
දැන් එතකොට අවබෝධ කරගන්න පුලුවන්නේ ගැඹුරක් හෝ හරයක් නැති මනුස්සයෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. එහෙම කෙනෙක්ට පුද්ගලයන්ගේ හෝ ජීවිතේ හරි වටිනාකම් ගැන අවබෝධයක් නෑ. එහෙම කෙනෙක්ට තමන්ගේ ජීවිතේට ඇත්තටම වැදගත් දේවල් ගැන අවබෝධයක් නෑ. එහෙම කෙනෙක්ට ජීවිතේ දේවල් ගැන බුද්ධිමත්ව බලන්න හැකියාවක් එහෙමත් නෑ. ඉතින් එහෙම කෙනෙක්ව එහෙමයි කියලා අපි තේරුම් ගන්නේ ඇයි? ඒ ගැන අපි අන්තිමටම කියනවා. ඊට කලින් අපි බලමු එහෙම හරසුන්, නොගැඹුරු මනුස්සයෙක්ව අඳුනගන්නේ කොහොමද කියලා!
01. මිනිස්සුන්ට ගරුත්වයත් මතුපිට දේවල් වලට තමයි!
ගැඹුරක් නැති, හරයක් නැති මනුස්සයෙක් ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ට ගරු කරන්නෙත් ගැඹුරක් හෝ හරයක් නැති වටිනාකම් වලට තමයි. ඒ කියන්නේ මනුස්සයෙක් උසස් කියලා මේ විදියේ අය සලකන්නේ එක්කෝ සල්ලි හොඳට තියෙන, එක්කෝ රූපය ගොඩක් තියෙනවානම් තමයි. ඒකේ එතකොට අනික් පැත්තේ ප්‍රශ්නය වෙන්නේ, එක්කෝ සල්ලි නැති, එහෙම නැතිනම් බලය නැති, ලොකු ලස්සනක් නැති මනුස්සයෙක්ව මේ අය ගණන් නොගන්න එක. ඒ වගේ අයට ගරු නොකරන එක. ඒ වගේම, ගැඹුරක් නැති, හරයක් නැති මනුස්සයෙක් පක්ෂපාතී වෙන්නෙත් ඒ විදියේ මතුපිට දේවල් වලටම වෙන්න පුලුවන්. නිදසුනක් විදියට කිව්වොත්, තමන්ට ආදරේ කරන ඒ තරම් සල්ලි බාගේ නැති මනුස්සයෙක්ව අත ඇරලා, තමන්ට ආදරේ නැතිවුණත් වටිනා කියන තෑගි ලබාදෙන තාවකාලික ලව් එකක් හොයාගෙන යන්න මෙහෙම කෙනෙක් පෙළඹෙන්න පුලුවන්.
02. ගොසිප්!
දැන් ඔය ඕපදූප කතා කරන එක, එහෙම නැතිනම් ගොසිප් කියන්නේ නරක දෙයක් ද? ඒ ගැන අපි දැන් කතා කරන්නෙ නෑ. අපි කලින් ගොසිප් කතා කිරීම ගැන කියලා තියෙන නිසා. හැබැයි තමන්ගේ ජීවිතේ ප්‍රධාන දෙයක් බවට ඕපාදූප සහ ඩ්‍රාමා පත් කරගෙන තියෙන කෙනෙක් ඉන්නවා නම්, ගොඩක් දුරට එයා ගැඹුරක් හෝ හරයක් නැති කෙනෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි. මේ අය හැම මොහොතකම තමන්ගේ වටේ ඉන්න, තමන් ආශ්‍රය කරන අය විතරක් නෙවෙයි, තමන් එක්ක ලඟ සම්බන්ධකම් නැති එකට වැඩ කරන අය ගැන පවා ඕපාදූප හොයන්න, ඒ අයගේ ජීවිත වල මොනවද වෙන්නේ කියලා දැනගන්න හරිම ආසාවක් දක්වන්නේ. ඒ විතරක් නෙවෙයි. මේ අය ඔහොම ඕපාදූප එක් රැස් කරගෙන නිකම් ඉන්නෙත් නෑ. ආයෙ ගොසිප් හබ් වගේ ඒ ඕපාදූප අනික් හැමෝම අතරෙත් බෙදාහරිනවා බොහොම ආසාවෙන්!
03. ඩ්‍රාමා!
ඔය අපි සමහර මිනිස්සු ගැන කියන දෙයක්නේ හෙනම ඩ්‍රාමා කින්ග් ලා නැතිනම් ඩ්‍රාමා ක්වීන් ලා කියලා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ වැඩි හරියක්, සිද්ධ වෙන දේවලින් වැඩි ප්‍රමාණයක් ආයෙ සිද්ධ වෙන්නේ තමන්ට විතරයි විදියට තමයි මේ අය රඟදක්වන්නේ. ඒ කියන්නේ, තමන් ඔෆිස් එනකොට නවත්තලා තියෙන බස් එකක දණහිස ඇනිලා රිදුණොත්, ආයෙ කකුල කැඩුණට හපන් විදියට හැසිරෙන්නේ. තමන් එක්ක දවසක් කතා කරපු මනුස්සයෙක් දෙවෙනි දවසේ කෝල් නොකළොත්, අවුරුදු හතක රිලේශන්ෂිප් එකක් කැඩුණු විදියට තමයි හැසිරෙන්නේ. මෙහෙම මේ ඩ්‍රාමා කින්ග් ලා සහ ඩ්‍රාමා ක්වීන් ලා තමන්ගේ ජීවිතේම ඩ්‍රාමා එකක් විදියට රඟ දැක්වුවට, ඇත්තටම මේ අයට අනික් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් සංවේදනා නම් දැනෙනවා හොරයි. මේ අයට දැනෙන්නේ හරියට ලෝකේ කැරකෙන්නේ තමන්ගේ වටේ කියලා. ඉතින් මේ අයත් ජීවිතේ කිසිම ගැඹුරක් හෝ හරයක් නැති කාණ්ඩෙට තමයි අපිට දාන්න වෙන්නේ.
04. වැඩියෙන්ම ආසත් භෞතික දේවල් වලට තමයි!
මේ අපි කතා කරන විදියේ කිසිම ගැඹුරක් හෝ හරයක් නැති සමහර අයගේ තියෙන තවත් ලක්ෂණයක් තමයි භෞතික දේවල් වලට තියෙන අසීමිත ආශක්ත භාවය. ඒ කියන්නේ, මේ අය ගොඩක් වෙලාවට තමන්ගේ අතේ ගිය අවුරුද්දේ ගතපු හොඳටම වැඩ කරන ස්මාට්ෆෝන් එකක් තිබුණත්, මේ අවුරුද්දේ එන අලුත්ම ස්මාට්ෆෝන් මොඩ්ල් එක ගන්න උත්සාහ කරනවා. ඇත්තටම තමන්ගේ අතේ සල්ලි තියෙනවා නම්, තමන්ට සල්ලි වලින් අඩුපාඩුවකුත් නැති නම්, එහෙම මාසෙට එක ස්මාට්ෆෝන් එක ගාණේ ගත්තත් කිසිම ගැටළුවක් නෑ. හැබැයි ඇත්තටම මේ විදියේ අය මෙහෙම ස්මාට්ෆෝන් එකක් ගන්නේ ඒකේ තියෙන උපයෝජ්‍ය වටිනාකම හිතලම නෙවෙයි. ඊට වඩා ඒකෙන් තමන්ට ලොකු තත්වයක් එනවා කියලා තමයි මේ අය හිතන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කිසිම භෞතික දේකින් තෘප්තිමත් වෙන්න අමාරු ගතියකුත් මේ විදියේ අය ගාව තියෙනවා. එතකොට මේ අය අනික් අයව මනින්නෙත් තමන්ගේ මිම්මෙන්ම තමයි. උදාහරණයක් විදියට ගත්තොත්, ටිකක් පරණ ෆෝන් එකක් අතේ තියෙන කෙනෙක් දිහා මේ අය ටිකක් පහළට දාලා තමයි බලන්නේ. අපි පළවෙනියටම කියපු කාරණාවට ඒකත් අදාළයි.
05. සම්බන්ධකම් කැරකෙන්නෙත් තමන්ගේ වටේ!
අපි තුන්වෙනි පොයින්ට් එකේදී කිව්වනේ මේ විදියේ ගැඹුරක් හෝ හරයක් නැති කෙනෙක්ගේ තියෙන ඩ්‍රාමා ක්වීන් හෝ ඩ්‍රාමා කින්ග් ගතිලක්ෂණ ගැන. ඒ වගේම ඒ විදියේ අය ගොඩක් වෙලවට හිතාගෙන ඉන්නේ ලෝකේ කැරකෙන්නේ තමන් වටේ කියන එක. මෙන්න මේ කතාව මේ අයගේ රිලේශන්ෂිප් වලදී, ඒ කියන්නේ සමාජ සම්බන්ධතා වලදිත් ලොකු වෙනසක් නෑ. උදාහරණයක් විදියට, මේ වගේ කෙනෙක් කවුරුහරි එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා නම්, ඒ ප්‍රේම සම්බන්ධතාවය ගොඩක් වෙලාවට කේන්ද්‍රගත වෙන්නේ මේ කෙනා වටේ විතරයි. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධතාවයකදී ලබාදීම සහ ලබාගැනීම කියන එක, ෂෙයාර් කරගැනීම කියන එක මේ අයට ඒ තරම් තේරෙන්නෙ නෑ. ඒ වෙනුවට ගොඩක් වෙලාවට මෙහෙම කෙනෙක් ප්‍රේම සම්බන්ධතාවය ඇතුළේ තනිකරම ලබාගැනීම තමයි කරන්නේ. එයාලා හිතනවා තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය මේ අයට දෙවියෝ වගේ සැලකිය යුතුයි කියලා. තමන්ට එහෙම සැලකුම් ලබන්න අයිතියක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා, මේ වගේ කෙනෙක් සම්බන්ධතාවයක් ඇතුළේ කරන්නේ තමන්ගේ අවශ්‍යතා පිරිමහගන්න එක විතරයි. අනික් කෙනාට මොකද වෙන්නේ, අනික් කෙනා වෙනුවෙන් තමන්ගෙන් කෙරෙන්න ඕන මොනවද වගේ කාරණා මේ අයට අවබෝධ වෙන්නෙ නෑ!
06. විනිශ්චය කරන සුළුයි! සවන් දීම අඩුයි!
මේ කාරණාව නම් ඉතින් උඩ කියපු කාරණා දිහා බැලුවහම අවබෝධ වෙන්න ඕන දෙයක්. අපි මුලින්ම කිව්වනේ ගැඹුරක් හෝ හරයක් නැති කෙනෙක් අනික් අයට ගරු කරන්නෙත් බාහිර දේවල් සලකලා බලලා විතරයි කියලා. ඒකත් එක්කම එන දෙයක් තමයි ජජ්මෙන්ටල් වීම. ඒ කියන්නේ ඕනම දෙයක් ගැන, ඕනම කෙනෙක් ගැන මතුපිටින් බලලා විනිශ්චය කරන ගතිය. මෙහෙම කෙනෙක් ගාවට ඒ තරම් ජැන්ඩියට ඇඳ පැළඳ නොගත්ත කෙනෙක් ආවොත්, මේ විදියේ ගැඹුරක් හෝ හරයක් නැති කෙනෙක් එතරම් දුර නොහිතාම තීරණය කරනවා මේ මනුස්සයා එක්කෝ රස්තියාදුකාරයෙක් වෙන්න ඇති, එහෙම නැතිනම් හරි උගත් කමක් හෝ වත්කමක් නැති, වටිනාකමක් නැති කෙනෙක් වෙන්න ඇති කියලා. එතනින් නතර වෙන්නෙ නෑ. මේ විදියේ
ගැඹුරක් හෝ හරයක් නැති කෙනෙක් රටේ වැදගත්ම කාරණයක් වෙන ඡන්දය ප්‍රකාශ කරන්න ගියත් ඡන්දෙ දෙන්නේ කෙනෙක්ගේ බාහිර දේවල් හෝ කෙනෙක් දෙන්න පොරොන්දු වෙන බාහිර දේවල් දිහා බලලා. ඉතින් මේ වගේ අය රැවටෙන්න තියෙන ඉඩත් ඉතාම වැඩියි!
ඒ විදියටම තව දෙයක් තියෙනවා. මේ අය බාහිර දේවල් වලට ප්‍රමුඛ තැන දීම සහ තමන්ටම ප්‍රමුඛ තැනක් දීම හින්දම, මේ අයට තවත් කෙනෙක්ට සවන් දෙන්න එහෙම තියෙන හැකියාව බිංදුවයි!
07. අනිවාර්යයෙන්ම ඔබට ද්‍රෝහී වෙන්න තියෙන ඉඩ වැඩියි!
අපි කිව්වනේ ගොඩක් වෙලාවට ගැඹුරක් හෝ හරයක් නැති කෙනෙක් කිසිම කෙනෙක් එක්ක ප්‍රබල මානසික සම්බන්ධතා හදාගන්න තියෙන ඉඩ අඩුයි කියලා. සමහර විට තමන්ට දේවතාවියකට හෝ දේවතාවෙකුට වගේ සලකන කෙනෙක් එක්ක එහෙම සම්බන්ධතාවයක් හැදෙන්න පුලුවන්. හැබැයි එහෙම වුණත් ඒ සම්බන්ධතාවය පවා ගොඩක් වෙලාවට මේ කෙනාට තමයි කේන්ද්‍රගත වෙන්නේ. මොකද, ගැඹුරක් හෝ හරයක් නැති කෙනෙක් ගේ ලෝකේ කැරකෙන්නේ තමන්ගේ වටේ විතරයි. ඒ අයට අදාළ තමන්ගේ පැවැත්ම සහ තමන්ගේ සුබසිද්ධිය විතරයි. ආන්න ඒ නිසාම, එහෙම කෙනෙක් අපිත් එක්ක කොයි තරම් කිට්ටුවන්තයි කියලා පෙන්නගෙන හිටියත්, ඒ කෙනා අපිට ඕනම මොහොතක ද්‍රෝහී වෙන්න තියෙන හැකියාවත් සෑහෙන්න වැඩියි. සමහර වෙලාවට මේ අයගේ ඕපදූප වලට සහ ඩ්‍රාමා වලට තියෙන නැඹුරුතාවය නිසාත් මේ ද්‍රෝහීකම ඇතිවෙන්න පුලුවන්. එතකොට වෙන කාටත් වඩා තමන්ගේ පැවැත්ම ගැන තියෙන අවශ්‍යතාවය නිසාත් මේ ද්‍රෝහීවීම ඇතිවෙන්න පුලුවන්. කොටින්ම කියනවා නම්, මේ විදියේ ගැඹුරක් හෝ හරයක් නැති කෙනෙක් එක්ක හොර වැඩක් එහෙම නම් කරන්න හිතන්නවත් හොඳ නෑ. හැරිලා බලනකොට පාවා දීලා තියෙයි!
08. බුද්ධි මට්ටමෙනුත් පොඩ්ඩක් අඩුයි!
මේකත් ඉතින් මේ විදියේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් තත්වයක්නේ, හා නැද්ද. දැන් දැනුම සහ බුද්ධිය ලබාගැනීම කියන කාරණාවෙදී, එකක් තමන්ව කේන්ද්‍ර කරගන්නවා, තමන්ටම දේවත්වයෙන් සලකනවා වෙනුවට, එතැනින් එහාට ලෝකයක් තියෙනවා කියලා පිළිගැනීම සහ ඒ ලෝකය ගවේෂණය කරන්න අවශ්‍යතාවයක් තිබීම අවශ්‍ය වෙනවා. ඒ වගේම, දැනුම සහ බුද්ධිය ලබාගැනීම කියන කාරණාවෙදී, මතුපිට දේවල් දිහා නොබලා, එතනින් ගැඹුරට තියෙන දේවල් නිරීක්ෂණය කරන්න, අවබෝධ කරගන්න හැකියාවක් වුවමනා වෙනවා. ඉතින් ගැඹුරක් සහ හරයක් නැති, බාහිර සහ මතුපිට දේවල් වලට විතරක් අවධානය යොමු කරන කෙනෙක්ට එතකොට දැනුම සහ බුද්ධිය ලබාගන්න, ලෝකය දකින්න සහ ලෝකය ඉගෙන ගන්න, අවබෝධය සහ ඥාණය ලබාගන්න පුලුවන් වෙයිද? අන්න ඒක නම් ටිකක් සැක සහිතයි!
හරි අන්තිමටම වැදගත් කාරණාව. අපි හරසුන්, නොගැඹුරු මනුස්සයෙක්ව අඳුනගන්නේ මොකටද? අඳුනගෙන දුරින් දුරු කරන්න ඕන නිසාද? නෑ. ඇත්තටම අපි හරයක්, ගැඹුරක් තියෙන මනුස්සයෙක් නම්, හරසුන්, නොගැඹුරු, දේවල මතුපිට විතරක් දකින කෙනෙක්ව කොන් කරන එක නෙවෙයි කරන්න ඕන. එයත් මනුස්සයෙක් විදියට සලකලා, නිසි ගෞරවය ලබාදෙන එක. පුළුවන් නම් අපිට පුලුවන් ඒ කෙනාට ජීවිතේ හැබෑ වටිනාකම්, හැබෑ ගැඹුර වටහාගන්න උදව් කරන්න. හැබැයි එහෙම කෙනෙක් නිසා අපේ ජිවිතේ නාස්ති කරගන්න නම් හොඳ නෑ!
Leave a Reply