ජීවිතේට ඉලක්කයක් හදාගමුද? ස්මාට් විදියට ඉලක්ක හදාගන්නේ කොහොමද කියලත් දැනගනිමුද?

ඇත්තටම අපි පුංචි කාලේ ඉඳලම තමයි මේ ජීවිතේට ඉලක්ක තියාගැනීම, ඒ ඉලක්ක හඹා යෑම වගේ කාරණා ගැන ඉගෙන ගන්නේ. හැබැයි ඉතින් එව්වා ගොඩක් වෙලාවට එහෙම අපි ලොකුවට ගණන් ගන්න, හිතට ගන්න එව්වා නෙවෙයිනේ. අර හොඳ පුරවැසියෝ වෙමු කියලා ඉගෙන ගත්තා වගේ තමයි. ඊට පස්සේ ඉතින් ගොඩක් මිනිස්සු කරන්නේ ජීවිතේ යන විදියට තමනුත් ඔහේ පාවෙලා යන එක. කිසියම් ඉලක්ක ඇතුව, ඒ ඉලක්ක වලට යන්න සැලසුම් ඇතුව වැඩ කරන මිනිස්සු බොහෝම අඩුයි.

 

හැබැයි අපිට අද ඉඳන් වුනත් පටන් ගන්න බැරිද? Lifie.lk එකෙන් අපි කලිනුත් කියලා තියෙනවා ජීවිතේ අරමුණු/ඉලක්ක දිනන්න නම් කොහොමද වැඩ කරන්න ඕනෙ කියන එක ගැන. හැබැයි අපි අද කියන්න යන්නේ ඊටත් කලින් කරන්න ඕන දේ. ඒ තමයි ස්මාට් විදියට ජීවිතේ ඉලක්ක සෙට් කරගන්න එක සහ ඒ ඉලක්ක වලට යන්න සැලසුම් කරන එක.

 

 

1. මොනවද හැබෑටම ලයිෆ් ගෝල්ස්?

 

හොඳට මතක තියාගන්න. ලයිෆ් ගෝල්ස් කියන්නේ බකට් ලිස්ට් ගැන නෙවෙයි. ඒ කියන්නේ අපි මැරෙන්න කලින් කරන්න ආසාවෙන් ඉන්න එව්වා නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත්, කවදාහරි එවරස්ට් නගිනවා කියන්නේ බකට් ලිස්ට් අයිටම් එකක් මිසක් ලයිෆ් ගෝල් එකක් නෙවෙයි. හැබැයි කෙනෙක්ගේ ලයිෆ් ගෝල්ස් බකට් ලිස්ට් එකට ඇතුළත් වෙන්නත් පුළුවන්.

 

ඊලඟට හොඳට මතක තියාගන්න, ලයිෆ් ගෝල්ස් කියන්නේ අපිට ජීවත් වෙන්න කරන්න සිද්ධ වෙන දේවලුත් නෙවෙයි. උදාහරණයක් විදියට කිවුවොත්, හොඳ රස්සාවක් හොයාගන්නවා කියලා හිතන එක ලයිෆ් ගෝල් එකක් නෙවෙයි.

 

ඉදිරි වසර දෙක ඇතුළත සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනගා ගන්නවා කියන එක ලයිෆ් ගෝල් එකක්. මාස්ටර්ස් ඩිග්‍රිය ඉදිරි වසර දෙක තුළ සම්පූර්ණ කරනවා කියන එක ලයිෆ් ගෝල් එකක්. ඉදිරි වසර දෙක තුළ පොතක් ලියනවා කියන එක ලයිෆ් ගෝල් එකක්. දැන් පැහැදිලියිනේ?

 

 

2. හව් ලෝන්ග්?

 

මෙන්න මේක ටිකක් හොඳින් හිතලා මතලා බලන්න ඕන දෙයක්. ඇත්තටම අපි ලයිෆ් ගෝල්ස් හදාගත්තට වැඩක් නැහැ ඩෙඩ්ලයින් එකක් නැතුව. ඒ කියන්නේ, අපි නිශ්චිත කාලයකදී සම්පූර්ණ කරන්න ඕන කියන අදහස නැතුව නිකං බකට් ලිස්ට් එකක් වගේ ජීවන ඉලක්කයන් තියාගන්නවා කියන්නේ, ගොඩක් දුරට ඕවා නොවෙන පැත්තට තමයි බර. මොකද ගොඩක් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි lethargy හෙවත් උදාසීන කුසීත කම. අන්න ඒකත් එක්ක ඔය ලයිෆ් ගෝල්ස් වලට තියා මොනම දෙයක්වත් සම්පූර්ණ කරගන්න අමාරුයි. අන්න එතකොට ඒ කුසීත කම ජයගන්නත් හොඳම ක්‍රමයක් තමයි ලයිෆ් ගෝල්ස් එක්ක ඩෙඩ්ලයින් තියාගන්න එක. ඒ කියන්නේ මොකක් හරි ලයිෆ් ගෝල් එකක් සම්පූර්ණ කරන්න යන කාලය හරියට ගණනය කරලා ඒකත් ඉලක්කය එක්ක තියාගන්න එක. මෙතනදී පුළුවන් තරම් යතාර්ථවාදී වෙන්න ඕන. උදාහරණයක් විදියට මාසයක් ඇතුළත පොතක් ලියනවා කියලා ඉලක්කයක් තියාගත්තට, ඒක සාර්ථක වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි. අනික් පැත්තට යම් ඉලක්කයකට ඕනෑවට වඩා කාලයක් ඩෙඩ්ලයින් එක විදියට දෙන්නත් එපා. ජීවිතේ කෙටියි, යන්න තියෙන ඉලක්කයන් බොහෝයි!

 

 

3. ඩිකොන්ස්ට්‍රක්ෂන්!

 

ඔව්, ඒ කිව්වේ, අපිට පුළුවන් අපේ ඉලක්කයක් පොඩි පොඩි අනු ඉලක්කයන් බවට කඩාගන්න. උදාහරණයක් විදියට තමන්ගේ සයිඩ් බිස්නස් එකක් අවුරුදු දෙකක් ඇතුළත සාර්ථකව ස්ථාපනය කරනවා කියලා ගෝල් එකක් තියෙනවා නම්, අපිට පුළුවන් ඒකට කරන්න ඕන දේවල්, පොඩි පොඩි කොටස් වලට කඩාගන්න. මේ අනු ඉලක්ක වලටත් ඩෙඩ්ලයින් ඕන. වැඩේ පටන් ගන්න අවශ්‍ය කරන දේවල් මාසයක් ඇතුළත කරනවා, හෝම් ඔෆිස් එකක ඉඳලා වැඩේ පටන් අරගෙන ප්‍රොෆිට් එන මට්ටමට මාස හතරක් ඇතුළත ගේනවා, ඊලඟ මාස තුන ඇතුළත ව්‍යාපාරය රෙජිස්ටර් කරනවා. අවුරුදු එකහමාරකින් ෂෝරූම් එකක් අරින්න ලෙවල් එකකට එනවා. මේවා මේ විදියටම වෙන එකක් නෑ. යතාර්ථවාදී විදියට ඉලක්ක හදනකොට මෙව්වා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ කිව්වේ උදාහරණයක්.

 

හැබැයි එකක්, මේක ලයිෆ් ගෝල් එකක් වෙන්නේ අර මුලින්ම කියපු විදියට මේක තමන්ගේ පැවැත්මට සෘජුවම අත්‍යාවශ්‍ය දෙයක් නොවෙයි නම් තමයි. ඒ කියන්නේ මේක සයිඩ් බිස්නස් එකක් විදියට ගත්තොත් හරියට හරි.

 

 

4. හිතේ තියාගෙන ඉඳලා බෑ

 

ගොඩක් මිනිස්සුන්ගේ හිත් වල ජීවන ඉලක්කයන් තිබුණත්, ඒවා ගොඩක් වෙලාවට සාක්ෂාත් නොවෙන්න තියෙන ප්‍රධාන හේතු අතර එකක් තමයි. ඔය ජීවන ඉලක්කයන්, ඒවා කරන්න ඕන කාලය අනං මනං ගැන හිතලා, එව්වා හිතේම තියාගෙන ඉන්න එක. හිතේ තියාගෙන ඕක කරන්න බෑ. මොකද, අපේ මොළය කොයි තරම් ප්‍රබල යන්ත්‍රයක් වුණත්, මෙහෙම සැලසුම් හිතේම තියාගෙන ඉන්න එක සාර්ථක නෑ.

 

හොඳම දේ තමයි මේවා ලියන එක. සිතියම් කරන එක. ඒ කිව්වේ මෙහෙමයි. එක්කෝ අපේ ලයිෆ් ගෝල්ස් සහ ඒවාට නියම කරපු ඩෙඩ්ලයින් ටු-ඩූ-ලිස්ට් එකක් වගේ ලියාගන්නත් පුළුවන්. එහෙම නැතිනම්, වඩාත් කාර්යක්ෂම විදියට අපි උඩින් කියපු විදියට විසංයෝජනය කරපු ඉලක්කයන්, ඒවා සාක්ෂාත් කරගත යුතු ආකාරය, පිළිවෙල වගේ දෙවල් ගාණට සිතියම් ගත කරන්න පුලුවන්. අන්න ඒක වඩාත් සාර්ථක වෙන්නත් පුළුවන්.

 

 

5. ප්‍රමුඛතාවයන් හදාගන්න

 

අපිට ඉලක්ක ලියන්න කිවුවොත් ආයෙ ගමකට ලියන්න පුළුවන්, හා නැද්ද? හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ඒ හැම එකක්ම තියා එක ඉලක්කයක්වත් සාක්ෂාත් කරගන්න බැරි වෙන්නත් හැකියාවක් තිබීම. ආන්න ඒකට කරන්න පුළුවන් දේවල් තියෙනවා. එකක් තමයි තමන්ගේ ජීවිතේට අදාළ ඉලක්කයන් විතරක් තියාගන්න එක. ඒ කියන්නේ රැල්ලට අරක කරනවා, මේක කරනවා කියලා හිතුවට, ඒවා තමන්ගේ ජීවිතේට කිසිසේත්ම අදාළත්වයක් හෝ පලක් ඇති දේවල් නොවෙන්න පුළුවන්. මතක තියාගන්න, ජීවිතේ කෙටියි!

 

ඊලඟ සහ ප්‍රධානම කාරණාව තමයි, ප්‍රැක්ටිකල් සහ සීමිත ඉලක්ක ප්‍රමාණයක් යම් කිසි කාලයක් ඇතුළත තබාගැනීම. උදාහරණයක් විදියට කිවුවොත්, ඉදිරි අවුරුදු දෙක ඇතුළත මම ඩිග්‍රියත් කරනවා, භරත නාට්‍යම් ක්ලාසුත් යනවා, කම්පියුටර් ලැන්ග්වේජ් එකකුත් ඉගෙන ගන්නවා, චීන බාසාවත් ඉගෙන ගන්නවා කියලා ලස්සනට ජීවන ඉලක්ක සෙට් එකක් ලියන්න පුළුවන්. ප්‍රායෝගිකව ඔතනින් එකක්වත් හරියට කරගන්න පුළුවන් වෙයිද? අන්තිමට වෙන්නේ එකක්වත් කෙරෙන්නේ නැති එක. හැබැයි අපිට පුළුවන් ප්‍රමුඛතාවයන් අනුව මේවා ලැයිස්තුගත කරන්න. ඩිග්‍රිය ඉදිරි අවුරුදු දෙක ඇතුළත රිපීට් නොවී කරගෙන යනවා, ඒ අතරේ ද්විතීයිකව චීන බාසාවත් ඉගෙන ගන්නවා. අනික් ඒවා ප්‍රමුඛතාවයක් නැතිනම් පස්සට දාන්න පුළුවන්.

 

 

6. රිවෝඩ් සිස්ටම් එකක්

 

ඇත්තටම අපි කරන දේවලට තෑගි ලැබෙනවට අපි පුංචි කාලේ ඉඳලම හරිම ආසයිනේ. සත්තු වුනත් එහෙමයි. ඉතින්, ලයිෆ් ගෝල්ස් වලටත් එහෙම ත්‍යාග ලැබෙන සිස්ටම් එකක් හදාගත්තොත් මොකද? උදාහරණයක් ගමු. ඔන්න අපි ආස කරන ස්මාට් ටීවී එකක් තියෙනවා. ටිකක් ගණන්. ඒ එක්කම අපිට ලයිෆ් ගෝල් එකකුත් තියෙනවා සයිඩ් එකෙන් කෑම බිස්නස් එකක් කරලා, අතට අමතර ගාණක් හොයාගන්න. දැන් අපේ ඔය බිස්නස් ගෝල් එකේ සියලු වියදම් අතෑරලා ශුද්ධ ලාභය අහවල් ගාණක් හොයනවා කියන උප-ඉලක්කය තියෙනවනේ. ආන්න ඒකෙන් ඔය ස්මාට්‍ ටීවී එක ගන්න පුළුවන් නම්, එහෙම අරගෙන සැලකිය යුතු ගාණක් ඉතුරුත් වෙනවා නම්, අන්න අවදානමක් නොගෙනම ඉලක්කයට ගිහින් ආස කරන දෙයක් ගන්න පුළුවන්. එහෙම තෑග්ගක් නැතිනම් කැරට් අලයක් තියෙන නිසා, ඉලක්කයට යන්න අමතර පෙළඹවීමකුත් ලැබෙනවා.

 

 

7. ගෝල් මැපින් ඇප්ස්

 

අපි තුන් වෙනි සහ හතර වෙනි කොටස් වලදී කිව්වනේ ඉලක්ක හරියට උප කොටස් වලට කඩාගන්න ඕනය, ඒවා ඔලුවේ තියාගෙන ඉන්නෙ නැතුව සටහන් කරගන්න, සිතියම්ගත කරගන්න ඕනය කියලා. ආන්න ඒ වැඩේට ඩිජිටල් ටූල්ස් එහෙමත් තියෙනවා. දැන් කාලේ හැමදෙයක්ම ඩිජිටල් නිසා ඔව්වා තමන්ගේ ස්මාට්ෆෝන් එකේ වුනත් සටහන් කරගන්න පුළුවන්.

 

දැන් අපි ඔය ගෝල්ස් සටහන් කරගන්නේ ටු-ඩූ-ලිස්ට් එකක් විදියට නම්, Google keep, Evernote, Google tasks වගේ ඕනෑම එකක සටහන් කරගන්න පුළුවන්. Google task වගේ ඇප් එකක් පාවිච්චි කරන එකේ අමතර වාසියක් තියෙනවා. ඒ තමයි, යම් කිසි ඉලක්කයකට යන්න දිනපතා හෝ සතිපතා හෝ මාස්පතා හෝ යම් කාර්ය කොටසක් කරන්න තියෙනවා නම්, ගූග්ල් කැලැන්ඩර් එකත් එක්ක එකතු වෙලා ඒක ස්වයංක්‍රීයව අපිට සිහිකැඳවන්න මේ ඇප් එකට පුළුවන් වීම.

 

එහෙම නැතුව අපි වඩාත් සංකීර්ණ විදියට අපේ ගෝල්ස් මැප් කරන්න, ඒ කිව්වේ ඉලක්ක සිතියම් ගත කරන්න යනවා නම්, ඒකටත් ටූල්ස් තියෙනවා.

 

 

 

දැන් පැහැදිලියිනේ. එහෙමනම්, දැන් තියෙන්නේ කුසීත කම අතෑරලා, පැයක් හෝ දෙකක් අරගෙන මේ විදියේ ප්‍රායෝගික, ස්මාට් ජීවන ඉලක්ක ටිකක් නිර්මාණය කරගන්න එක. ඊට පස්සේ, ඒ ජීවන ඉලක්ක ගැන හිතන එක සහ ඒවලට වැඩ කරන එක දෛනික පුරුද්දක් කරගන්න එක. අන්න එතකොට ජීවිතේ වැඩක් කරගෙන, අනුන්ටත් වැඩක් කරලා, ආතල් එකත් අරගෙන මැරෙන්න පුළුවන්!

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *