ලොව සසල කළ දේශපාලන ඝාතන

එකෙකු පරෙයා අනෙකා නගින්නට වෙර දරන දේශපාලනය තුළ වෛරය යනු අලුත් දෙයක් නොවේ. එහෙත් පැරණි ගෝත්‍රවල මෙන් අනෙකාව මරා දැමීම නූතන දේශපාලනය හෙලා දකී. මෑත ලෝක දේශපාලන දේහය තුළ එවැනි ප්‍රබල ඝාතන රැසක් සිදුව තිබේ එයින් කිහිපයක් අපි සලකා බලමු. 

 

1. මහත්මා ගාන්ධි

මහත්මා ගාන්ධිතුමා උපවාසයක යෙදී සිටි අතරතුරදී කුඩා බෝම්බයක් පුපුරා ගියේ ය. අනතුරක් ගැන ඉව වැටුණු ආරක්ෂක අංශ ගාන්ධිතුමා වටා සිටින අය පරීක්ෂා කරන්නට සැරසුණු නමුත් ගාන්ධිතුමා එය වැළැක්වීමට කටයුතු කළේය. ගොඩ්සේ නාතුරාම් නැමැති ඝාතකයා ගාන්ධිතුමාගේ පා නමස්කාර කර නැගිටින විටම ගාන්ධිතුමාට වෙඩිපහර එල්ල කරන ලදී. එතුමා එයින් පසු බිම ඇද වැටුණි. ඉන්දීය නිදහස් සටනේදී විශේෂ කාර්ය භාරයක් සිදුකළ සර්දාර් පටේල් සහ නේරු අතර යම් විරසකයක් එවකට පැවතුණි. මෙය පටේල්ගේ වැඩක් විය හැකියැයි දේශපාලන වශයෙන් සැක කරන්නට විය. එහෙත් සැකකරුවන් දැඩි හින්දු අනුගාමිකයන් බව පරීක්ෂණ වලින් පසුව අනාවරණය විය.

 

2. ඒබ්‍රහම් ලින්කන් ඝාතනය

ඒබ්‍රහම් ලින්කන් ඇමරිකාවට මෙන්ම මුළු ලෝකයටම වැදගත් චරිතයක් විය. ලින්කන් ඇමරිකාවේ සිවිල් යුද්ධය නිමා කළේය. එසේම එවකට කළු ජාතිකයින්ට තිබූ අයිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කළේය. කළු ජාතිකයින්ට ඡන්ද බලය හිමිවිය. ලින්කන් ඝාතකයා සුදු ජාතික අන්තවාදී අදහස් දැරූ අයෙකු විය. ජෝන් විල්ක්ස් බූත් නම් වූ ඔහු ලින්කන් ජනපතිතුමා වේදිකා නාට්‍යයක් නරඹන අවස්ථාව එතුමා ඝාතනයට යොදාගත්තේය. බූත් එම රඟහලේ නළුවෙකු වූ නිසා කිසිවෙකුත් ඔහුව සැක කළේ නැත. එවකට නාටක වල වෙඩිතැබීම සහ ඝෝෂා සාමාන්‍ය වූ බැවින් එම අවස්ථාවේදී නාටකය නරඹමින් සිටි අයට එක්වරම කුමක් සිදුවීදැයි සොයාගන්නට නොහැකි විය. අවසානයේ බූත් වෙඩිතබා පලාගොස් තිබුණි. ඔහු පසුකලෙක අල්ලා ගන්නට තැත් කළ අතර එහිදී ඝාතකයා සියදිවි නසාගත්තේය. 

 

3. ජෝන් එෆ් කෙනඩි ඝාතනය 

ජොන් එෆ් කෙනඩි ඇමරිකාවේ සිටි ජනප්‍රියම ජනාධිපතිවරයෙක් විය. එහෙත් එවකට ටෙක්සාස් ප්‍රාන්ත ජනතාව කෙනඩි සමග එතරම් හොඳ හිතක් පවත්වාගත්තේ නැත. එම නිසා කෙනඩි ටෙක්සාස් වැසියන් හමුවන්නට තීරණය කළේය. එදින වාහනයෙන් ගමන් කරමින් ජනතාවගේ හරසර බුහුමන් විඳින්නට වූ කෙනඩි, වාහනයේ ආරක්ෂක වීදුරු පහත් කරන්නට ද අණ දුනි. කෙනඩි වෙතට පැමිණි ලී හාවි ඔස්වල්ඩ් නැමැත්තා කෙනඩිට වෙඩි තබන්නට විය. එයින් කෙනඩිගේ දිවි ගමන නිමාවිය. කෙනඩි ඝාතකයා ඩලස් නගරවාසීන් විසින් අල්ලාගන්නා ලද අතර ඒ සැනෙකින්ම ජැක් රූබි නැමැත්තකු විසින් ඔහුව වෙඩිතබා ඝාතනය කරන ලදී. මේ සිදුවීම් මාලාවම ලොව පුරා රූපවාහිනියෙන් විකාශය කෙරුණි. කෙසේ වෙතත් ඝාතකයා එවෙලේම මරා දැමීම යම් කුමන්ත්‍රණයක්ද යන්න පිළිබඳව තවමත් මත පළවෙමින් තිබේ. 

 

4. ඊජිප්තු ජනපති අන්වර් අල් සදාත් ඝාතනය 

 අරාබිකරයේ සිටි ප්‍රගතිශීලී නායකයකු වූ අන්වර් අල් සදාත් ඔහුගේම හමුදා අතින් ඝාතනයට ලක් වීම ලොව කැළඹූ සිදුවීමක් බවට පත් විය. අන්වර් අල් සදාත් ඝාතනය වූයේ හමුදා උත්තමාචාර පෙළපාලියක් අතරතුරදීය. හමුදා පෙළපාලියේම සිටි හමුදා සාමාජිකයන් අන්වර් අල් සදාත්ගේ ආරක්ෂකයින් මග හැර විත් ඔහුට වෙඩි පහර එල්ල කරන ලදී. මුලින්ම බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඝාතකයින් පසුව ප්‍රභූන් සිටින පීඨිකාව ඉදිරියටම පැමිණ ඔවුන් ඉලක්ක කර වෙඩි තබන්නට විය. මෙයින් අන්වර් අල් සදාත් ජනාධිපති ඇතුළු ප්‍රභූන් 11ක් ඝාතනය විය. මෙය ඉතිහාසයේ හමුදා පෙළපාලියක් අතර සිදුවූ කෲරතරම ඝාතනයක් ලෙස සැලකේ. 

 

5. මාටින් ලූතර් කිං ඝාතනය 

මාටින් ලූතර් කිං යනු ඇමරිකාවේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටි ජනතා නායකයෙකි. ලූතර් කිං ඝාතනය වන්නේ ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයක බැල්කනියේදීය. අර්ල් රේ නැමැති සුදු ජාතික ඝාතකයාගේ රයිෆල වෙඩි පහර මාටිං ලූතර් කිංගේ මුහුණ පසාරු කරගෙන ගොස් තිබුණි. අර්ල් රේ ප්‍රකට අපරාධකාරයෙකු වූ අතර කළු ජාතිකයින් සමග බද්ධ වෛරයකින් පෙළුණු පුද්ගලයෙක් විය. අර්ල් රේ කළු ජාතිකයින් සමග වෛරයකින් සිටියත් මේ ඝාතනය සිදුකළ සූක්ෂම විදිහ අනුව එයට වෙනත් බලවේගයක සහාය ලැබෙන්නට ඇති බව ලූතර් කිංගේ අනුගාමිකයින් විශ්වාස කළහ. 

 

6. ඉන්දිරා ගාන්ධි ඝාතනය 

සික් ජාතික අන්තවාදීන් මර්දනයට ඉන්දීය හමුදා යෙදවීම නිසා සික් ජාතිකයින් ඉන්දිරා සමග අමනාපයෙන් පසු වූහ. එම නිසාම ඉන්දිරා ගාන්ධිගේ ආරක්ෂක බලකායේ සිටි සික් ජාතිකයින් සේවයෙන් ඉවත් කර තිබුණි. එහෙත් ඝාතනය සිදුවන දිනයේ උදේ 9 ට වැසිකිළියක් තුළ ආයුධ සමග සැඟව සිටි ඝාතකයින් උදෑසන 9.16 ට ඉන්දිරා ගාන්ධිට වෙඩි තබන්නට වූහ. එම අවස්ථාවේදී රුසියානු මාධ්‍යවේදියෙක් ඉන්දිරා ගාන්ධි පැමිණෙන තෙක් එම ස්ථානය අසල සිටි අතර ඔහු සිතා ඇත්තේ එම ශබ්ද වාහනයක ටයර් පිපිරීමක් වැනි යමක් නිසා ඇති වන්නට ඇති බවය. කෙසේ වෙතත් සික් ජාතිකයින් සේවයෙන් පහ කර සිටියදීත් නැවත ඉන්දිරා ගාන්ධිගේ ආරක්ෂක වළල්ලට පැමිණ ඇයට වෙඩි තැබීම නිසා එය ආන්දෝලනාත්මක ඝාතනයක් ලෙස ලොව පතල විය. 

 

7. ආර්. ප්‍රේමදාස ඝාතනය 

ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ඔසී අබේගුණසේකර, ලක්‍ෂ්මන් කදිරගාමර් වැනි එක්තරා යුගයක දේශපාලකයින් රැසක් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් බිල්ලට ගනු ලැබීය. ඇතැමුන්ගේ අදහස වන්නේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සියල්ලටම වැරදිකරුවන් වුවත් ඒවා දේශපාලන කුමන්ත්‍රණ වලම අතුරුඵල විය හැකි බවයි. කෙසේ වෙතත් රාජ්‍ය නායකයාව සිටියදීම ඝාතනය වූ ආර්. ප්‍රේමදාස ඝාතනය ලංකාවේ දේශපාලනයේ නොමැකෙන අඳුරු සිදුවීමකි. මැයි රැලියකට සහභාගී වෙමින් සිටි ආර්. ප්‍රේමදාස මහතාට බාබු නැමැති එල්.ටී.ටී.ඊ කාඩරයෙකුගේ බෝම්බයට හසු වන්නට සිදු වූයේ ආමර් වීදියේදීය. බාබු නැමැත්තා කලින් ප්‍රේමදාස මහතා සමග ගනුදෙනු තිබූ අයෙකු බවටත් ඇතැම් කටකතා පැතිරුණි. මෙම ඝාතන සිදුවීම ලංකාවේ මාධ්‍යවල ප්‍රේමදාස මහතා ලේන්සුවක් වනන දසුනින් නතර වුවද එයින් අනතුරුව දේහයට බෝම්බ ප්‍රහාරය වදින ආකාරයද විදෙස් මාධ්‍යවල විකාශය වී තිබුණි. 

 

දේශපාලනයේ නිරත වීම ඝාතනය වීමට හේතුවක් නොවිය යුතුය. එහෙත් මේ විරුද්ධවාදී සැහැසිකම් නිසාම අද දේශපාලකයින්ට මහජනයා කෙලින්ම හමුවීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබේ. දේශපාලකයින් යන එන තැන්වලට දැඩි ආරක්ෂාවක් ලැබෙන අතර සාමාන්‍ය ජනතාවට දැඩි පරීක්ෂා කිරීම් වලට ලක්වීමට සිදුවේ. මේ නිසාම දේශපාලකයින් මහජනතාව නියෝජනය කළද මහජනයාගෙන් ඈත් වීමට ඔවුන්ට සිදුව තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *