පොෂ් වෙන්නේ මෙහෙමයි!

How to be a posh person

ඔය පොෂ් කියන එක සෑහෙන්න අපිට අහන්න ලැබෙන වචනයක්නේ. සමහරු පොෂ් පීපල්ස් කියලා තව කෙනෙක්ට බයිට් එකටත් කියනවා. එතකොට ඔය දේශීය බව උස්මුරුත්තාවට ගියපු අය පොෂ් එවුන් කියලා තවත් මිනිස්සුන්ව අපහාසෙට ලක් කරනවා දකින්නත් පුලුවන්. හැබැයි ඔය අතරේ ගොඩක් දෙනෙක්ගේ උපහාසයට සහ අපහාසයට බඳුන් වෙන “වෙන්ඩ පොෂ්” කැටගරියකුත් තියෙනවා. අපි ඔය වෙන්ඩ පොෂ් ඩයල්ස් දාන ඇම්බැක්කෙත් නැති කැටයම් ගැන කලින් කතා කරලත් තියෙනවනේ. හැබැයි ඔය ඔක්කොම අතරේ, ඇත්තටම පොෂ්, එහෙම නැත්තම් ඇත්තටම පොෂ් වෙන්න වුවමනාවක් තියෙන අයත් ඉන්නවා.

 

ඇත්තටම පොෂ් මනුස්සයෙක් වෙනවා කියන්නේ අපහාසෙට වත්, උපහාසෙට වත් ගන්න ඕන දෙයක් නෙවෙයි. ඒක එක අතකට පුද්ගලික සංවර්ධනයක්. තමන්වම යම් ලෙවල් එකකට දියුණු කර ගැනීමක්. හැබැයි ඇත්තටම පොෂ් වෙන එක, ‘වෙන්ඩ පොෂ්’ වෙනවට වඩා, ඒ කියන්නේ පොෂ් කියලා පෙන්නන්න යනවට වඩා අමාරුයි. ඒත් ඒ ලෙවල් එකට යන එක වටිනවා. පොෂ් වෙන්න ගලන්න සල්ලි වත්, කුරුඳුවත්තෙන් පැවත එන පවුල් පසුබිමක් වත් ඇත්තටම අවශ්‍ය නෑ. පොෂ් මනුස්සයෙක් වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ, ස්මාට්, ෆැෂනබල්, සහ එක්ස්පෙන්සිව් මනුස්සයෙක් වෙන එක තමයි, ඩික්ෂනරියේ විදියට. තවත් විදියකට කිව්වොත්, වෙනම ක්ලාස් එකකට අයත් වීම කියන්නත් පුලුවන්.

 

ඉතින් කොහොමද හැබෑවටම පොෂ් මනුස්සයෙක් වෙන්නේ? ආන්න ඒකට ගැලපෙන ටිප්ස් ටිකක් තමයි මේ.

 

01. ආචාරශීලීත්වය

How to be a posh person

ආචාරශීලීත්වය කියන එක අපි සෙල්ෆ් හෙල්ප් ආටිකල් ලියනකොට ගොඩක් වෙලාවට සඳහන් කරන කාරණයක්. ඒකට එක හේතුවක් තමයි, මේ කාලේ ආචාරශීලීත්වය ගැන මෙලෝ අදහසක් නැති ගොඩක් පිරිසක් මේ ලෝකේ ජීවත් වීම. හැබැයි දැන් මේ ආචාරශීලී වීම කියන්නේ දකින දකින හැම තැනම හැමෝටම උදව් කරන්න දඟලන එක, පාපිස්සක් වෙන්න ට්‍රයි කරන එක නම් නෙවෙයි. ඒ වෙනුවට පොෂ් මනුස්සයෙක් ආචාරශීලී වීම කියන එක එයාගේ ඇතුළාන්තයෙන්ම එන දෙයක්. සරල උදාහරණ වලින් කිව්වොත්, ඕනම අවස්ථාවකදී “කරුණාකරලා”, “ස්තුතියි” නැතිනම් “ප්ලීස්”, තෑන්ක් යූ”, “එක්ස්කියුස් මී” වගේ වචන පාවිච්චි කරන එක, ආචාරශීලීව හැසිරෙන එක වගේ හොඳ මැනර්ස් එක්ක හැසිරෙන එක. එතකොට කතාබහේදී කාරුණිකව, කෙනෙක්ව පහත හෙලන්නෙ නැතුව, ප්‍රියමනාපව කතාබහ කරන එක. අනවශ්‍ය පුද්ගලික ප්‍රශ්න එහෙම නාහා ඉන්න එක. එතකොට ඔය කාන්තාවක් එක්ක යනකොට එයාට මුල් තැන දෙන එක, දොරවල් ඇරලා දෙන එක පවා ඒ විදියේ හොඳ ලක්ෂණ. ඒ විතරක් නෙවෙයි, කෑම මේසෙට වාඩිවුණහම ෆොන් එක ඔබ ඔබා ඉන්නෙ නැති එක වගේ සුළු සුළු දේවල් පවා හොඳ මැනර්ස් විදියට ගන්න පුලුවන්.

 

එහෙම ආචාරශීලී කතාබහ, ඉරියව් වගේම ආචාරශීලී ආකල්පයත් මෙතනදී වැදගත් වෙනවා. ඒ කියන්නේ ඕනම තත්වයක ඉන්න ඕනම කෙනෙක්ට සම තත්වයෙන්, කාරුණිකව සලකන එක, කිසිම කෙනෙක්ව කොන් නොකරන එක වගේ ආකල්පමය දේවලුත් මේ පොෂ් මනුස්සයෙක්ගෙන් දකින්න ලැබෙන ආචාරශීලීත්වයට ඇතුළත් වෙනවා.

 

02. දැනඋගත්කම, විචක්ෂණත්වය

How to be a posh person

මේකත් කතාබහේදී එහෙම විශේෂයෙන්ම පොෂ් මනුස්සයෙක්ගෙන් දකින්න පුලුවන් දෙයක්. ඒ කියන්නේ හොඳ දැනඋගත්කමක් තියෙන, ඇසූ පිරූ තැන් තියෙන, ලෝකයට විවෘත වුණු, ලෝකයට නිරාවරණය වෙලා තියෙන මනුස්සයෙක් කතාබහ කරනකොට පාවිච්චි කරන වචන පවා වෙනස්. ඒ කියන්නේ බර වචන වලින් කතා කරන එක නෙවෙයි. දැනුවත් භාවයකින්, හොඳ, ප්‍රියමනාප වචන භාවිතයෙන්, ප්‍රියමනාප ස්වරයකින් කතා කරන එක දැනඋගත්කමත් එක්කම එන දෙයක්. ඔය හොඳ ඇක්සන්ට් එකක් කියන්නේ, අන්න ඒක. පොෂ් මනුස්සයෙක්ට ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම පුලුවන් වෙන්න ඕනැද? එහෙමම කියන්න බෑ. හැබැයි තමන්ගේ මවුබස හැරෙන්න තව භාෂාවක් දෙකක් දැනගෙන ඉන්න එක ප්‍රයෝජනවත්. එතකොට ලංකාවේ අපිට නම් ජාත්‍යන්තර භාෂාව විදියට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඉංග්‍රීසි දැනගෙන ඉන්න එක.

 

ඒ ඇරෙන්න ලෝකේ මොනවද වෙන්නේ කියලා දන්න එක, පොත් පත් කියවන, හොඳ චිත්‍රපටි බලන, සංගීතය අහන මනුස්සයෙක් වෙන එක ඇත්තටම පොෂ් කියන එක පේන්න වැදගත් වෙනවා. කොටින්ම ඇසූ පිරූ තැන් ඇති මනුස්සයෙක් කියන එක, කෙනෙක් එක්ක කතාබහ කරනකොට අපිට දැනෙන දෙයක්නේ. ආන්න එහෙම වෙන්න ඕන පොෂ් මනුස්සයෙක් වුණහම.

 

03. ස්ටයිල් සෙන්ස් එකක්

How to be a posh person

සාමාන්‍යයෙන් පොෂ් කියලා අපිට දකින්න පුලුවන් ඕනම කෙනෙක් හොඳට ඇඳ පැළඳලා ඉන්නවා කියන එක දකින්න ලැබිලා තියෙනවද? ඇත්තටම, පොෂ් මනුස්සයෙක් විදියට පේන්න හොඳට ඇඳලා පැළඳලා ඉන්න එකත් අදාළ වෙනවා. හැබැයි මේ කියන්නේ ලක්ෂ විස්සේ තිහේ ඔරලෝසු දාලා. ලක්ෂ පහක හයක සපත්තු දාලා ඉන්න එකට නෙවෙයි. ගාණ මොකක් වුණත්, තැනට ගැලපෙන විදියට, පිළිවෙලට අඳින්න පුලුවන් වීම පොෂ් මනුස්සයෙක්ගේ ලක්ෂණයක්. කොටින්ම කියනවා නම්, පොෂ් කියලා පේන මනුස්සයෙක්ගේ ඇඳුම කොයිම මොහොතකවත් එයාට නොගැලපෙනවා කියලා හිතෙන්නෙ නෑ. ඔය අතරෙම, පොෂ් පෙනුමක් ලැබෙන විදියට අඳින්න පළඳින්න හොඳ ටිප් එකක් තමයි හැකි සෑම අවස්ථාවකදීම බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් භාවිතා කරන එක. ඒ කියන්නේ දරන්න බැරි මිලක් තියෙන ඇඳුම් පැළඳුම් නෙවෙයි. ඊට වඩා, සාමාන්‍යයෙන් ගන්න තියෙන ඇඳුම් වලට වඩා ටිකක් මිල වැඩි, ඒත් හොඳ බ්‍රෑන්ඩ් එකකින් එන ඇඳුම් පැළඳුම්. ඒකට හිතනවට වඩා වැඩි මිලක් වියදම් වුණාට, ඒක ආයෝජනයක්. මොකද, එකක් බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් වලින් ලැබෙන ලුක් එක වෙන විදියකට ලබාගන්න බෑ. අනික, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැළඳුම් වල කල්පැවැත්මත් සාපේක්ෂව වැඩියි.

 

04. පිරිසිදු, ආකර්ෂණීය පෙනුමක්, හොඳ ආත්ම විශ්වාසයක්

How to be a posh person

මේකත් ඇත්තටම සත පහක වියදමක් නැතුව ලබාගන්න පුලුවන් දේවල් ටිකක්. දැන් තමන්ගේ අත්පා වල නියපොතු එහෙම ගාණට කපලා, සුද්ධ කරලා ඉන්න වියදමක් යනවද? ඉඳලා හිටලා මැනික්‍යු, පෙඩික්‍යු එකක් කරන්න නම් ගාණක් යයි. හැබැයි ඒ ඇරෙන්න තමන්ව ගාණට පොලිෂ් කරගෙන ඉන්න වියදමක් යන්නෙ නෑ. ඒකට තමන්ගේ පුද්ගලික ස්වස්ථතාව ගැන අවධානය යොමු කරන එක, සමබර ආහාර වේලක් එක්ක ශාරීරික ව්‍යායාම නිරන්තරයෙන් පිළිපදින එක, කොණ්ඩේ රැවුල ගාණට කපලා පිළිවෙලට ඉන්න එක ප්‍රමාණවත්.

 

ඒ වගේම, තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන එකත් හොඳ පොෂ් පෙනුමක් තියෙන මනුස්සයෙක් වෙන්න වටිනවා. තැනකට ගියහම කාගෙත් අවධානය සහ ආකර්ෂණය තමන් වෙත නතු වෙන්න ස්ටයිල් එකට ඇඳලා පැළඳලා පොලිෂ් වෙලා ඉන්න එක එක්කම, හොඳ ආත්ම විශ්වාසයක් තියෙන එකත් අත්‍යවශ්‍යයි. මොකද, ඒ ආත්ම විශ්වාසය පිටතට පේන්න තියෙන නිසා.

 

05. සිග්නේචර් එකක් තියෙන මනුස්සයෙක්

How to be a posh person

මේ කියන්නේ තමන්ගේ අත්සන ගැනද? එක විදියකට. දැන් හිතලා බලන්න ගොඩක් දෙනෙක්ගේ අත්සන් අපිට දැක්කට මතක හිටිනවද කියලා? නෑ. හැබැයි සමහර අත්සන් තියෙනවා, දැක්ක ගමන් මතක හිටිනවා. ආන්න ඒ විදියට, තමන්ව කොමන් මනුස්සයෙක් නැතුව අන්කොමන් බවක් තියෙන, ඒ කියන්නේ සීයක් අතරින් ගත්තොත් ඒ සීයටම වඩා වෙනස් සහ විශේෂයි කියලා කැපිලා පේන මනුස්සයෙක් වෙන එකත් පොෂ් වීමට හොඳ උදව්වක්. එතනදී කරන්න පුලුවන් එක දෙයක් තමයි, තමන්ගේම සිග්නේචර් ස්ටයිල් එකක් සහ සෙන්ස් එකක් තියාගැනීම. ඒකට අපි උඩිනුත් කියපු විදියට ලක්ෂ ගණන් වියදම් කරලා ස්ටයිල් කරන්න ඕන නෑ. හොඳ සෙන්ස් එකක් තමයි ඕන. උදාහරණයක් විදියට කිව්වොත්, එක වතාවකට රුපියල් පනස් දාහක් ලක්ෂයක් දීලා විවිධ විදියේ සුවඳවල් තියෙන පර්ෆියුම් පාවිච්චි කරන කෙනෙක්ගේ සුවඳ ඒ තරම් මතක හිටින්නෙ නෑ. මොකද, සුවඳ හැම වෙලේම මාරු වෙන නිසා. හැබැයි ඉතාම හොඳ, ක්ලාස්, බ්‍රෑන්ඩඩ්, තමන්ට ගැලපෙන පර්ෆියුම් එකක් තෝරාගෙන, ඒක දිගටම පාවිච්චි කරන මනුස්සයෙක්ට, ඒ සුවඳ එයාගේ සිග්නේචර් එකේ කොටසක් වෙනවා.

 

06. වගකීම් සහගත වීම

How to be a posh person

මේකත් ඇත්තටම පොෂ් මනුස්සයෙක් වෙන්න හිතන කෙනෙක්ගේ ආකල්පය සම්බන්ධ දෙයක්. ඒ තමයි, තමන්ගේ වචනය රැකීම, ප්‍රමාදයෙන් වැළකීම, තමන් කරන කියන දේක වගකීම ගැනීම වගේ දේවල්. එහෙම මනුස්සයෙක් මත විශ්වාසය තබන්න පුලුවන් කියලා අනික් අයට දැනෙනවා, හිතෙනවා. අන්න ඒ කොලිටි එක තියෙනකොට, මනුස්සයෙක්ගේ ආකර්ෂණයත් සෑහෙන්න වැඩි වෙනවා. ඒකත් පොෂ් මනුස්සයෙක් වෙන්න අත්‍යවශ්‍ය කාරණයක් ඒ නිසා.

 

07. හොඳ මූල්‍ය සැලසුමක්

How to be a posh person

ඉස්සර අපේ අම්මලා තාත්තලාගේ කාලේ ඒ අය ගොඩක්ම වෙලාවට කරන්නේ එක ජොබ් එකයිනේ. හැබැයි දැන් වෙනකොට ඒ තත්වය වෙනස් වෙලා. ජොබ් දෙකක් විතර, ඒ කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රධාන ජොබ් එක සහ සයිඩ් ජොබ් එකක් කරන එක මේ වෙනකොට සාමාන්‍ය දෙයක් වෙලා. ඇත්තටම, පොෂ් මනුස්සයෙක් වෙන්න අවශ්‍ය කරන තව එක දෙයක් තමයි, සාර්ථක වුණු හෝ සාර්ථකත්වය වෙත යමින් එන්න මනුස්සයෙක් වෙන එක. උඩ කියපු දේවල් බලනකොට පේන්න ඕන, ජීවිතේ නොමැරී ඉන්න උත්සාහ කරන මනුස්සයෙක්ට වඩා, ජීවිතේ විඳින ගමන් ජීවත් වෙන මනුස්සයෙක්ට පොෂ් වෙන්න පහසුයි කියන එක. අන්න ඒකට හොඳ මූල්‍ය සැලසුමකුත් තියෙන්න ඕන. ඒකට ජොබ් දෙකක් කරන එක විතරක් නෙවෙයි අවශ්‍ය. ජොබ් කරන ගමන් තමන්ගේ වයස කීයක් වුණත්, නිරන්තරයෙන්ම අලුතෙන් දේවල් ඉගෙන ගන්න එක, නිරන්තරයෙන්ම තමන්ව සංවර්ධනය කරගන්න එක පවා අවශ්‍යයි.

 

හැබැයි එකක්. පොෂ් මනුස්සයෙක් වෙනවා කියන්නේ පුද්ගලික ජීවිතයක් නැතුව දිවා රෑ වැඩ කරන්න මහන්සි වෙන එක නෙවෙයි. බැලන්ස් එකකින් යුතුව වෘත්තිය ජීවිතය සහ පුද්ගලික ජීවිතය පවත්වා ගන්න එක. ඇත්තටම ජොබ් දෙකක් නෙවෙයි තුනක් කළත්, ඒ බැලන්ස් එක තියෙන්න ඕන පොෂ් මනුස්සයෙක් වෙන්න නම්.

 

දැන් මෙතනදී තව දෙයක් කියන්න ඕන. ඔයාලා Lifie.lk එක්ක නිරන්තරයෙන්ම රැඳෙන පාඨකයෙක් නම්, ඔයාලට පේනවා ඇති මේ පොෂ් මනුස්සයෙක් වෙන්න කියලා අපි උඩින් කියලා තියෙන ටිප්ස් හැම එකක්ම වගේ, අපි ලියලා තියෙන විවිධ සෙල්ෆ් හෙල්ප් ආටිකල් වලදී කතා කරලා තියෙනවා කියන එක. ඒකෙන් මොකක්ද කියවෙන්නේ? ඒකෙන් කියන්නේ පොෂ් මනුස්සයෙක් කියන්නේ අමුතුවෙන් වෙන්න ඕන අඟහරු ලෝකෙන් ආපු ප්‍රාණියෙක් නෙවෙයි කියන එක. ඊට වඩා, තමන්ගේ සංවර්ධනය ගැන හිතන ඕනම කෙනෙක්ට ලඟා කරගන්න පුලුවන් දෙයක් කියන එක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *