මොකද්ද මේ Financial Nirvana කියන්නේ? කොහොමද ඒක ලඟා කරගන්නේ?

සාමාන්‍යයෙන් නිර්වාණ කියපු ගමන් අපිට මතක් වෙන්නේ මොකද්ද? බෞද්ධයෙක් වුනත්, නැතත් නිර්වාණය කියන වචනේ ඇහුණු ගමන් අපිට දැනෙන්නේ අත්මිදීමක්, නිදහස් වගේ දෙයක්. නැද්ද? ඇත්තටම ගත්තොත් Financial Nirvana කියන එකෙන් කියවෙන්නෙත් එහෙම එකක් තමයි. මේ වචනෙන් අදහස් වෙන්නේ තමන්ගේ වියදම් සහ වෙනත් අවශ්‍යතාවයන් තමන්ට ලැබෙන ආදායමෙන් ස්ථිරවම කවර් කරගෙන, සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් හැකියාව කියන එක. වෙනත් විදියකට සරලව කිවුවොත්, මූල්‍යමය වශයෙන් සතුටෙන් ඉන්න පුළුවන්ය කියන එක. හැබැයි මෙතනදී කියන්නේ සල්ලිකාරයෙක් වෙනවා කියන එක, ධනවත් වෙනවා කියන එක නෙවෙයි. අපිට සල්ලි කෝටි සීයක් තිබ්බත් සමහරුන්ට ඒත් මදි. අන්න එතකොට එතන මූල්‍ය නිර්වාණයක් නෑ. හැබැයි තවත් සමහරු ඉන්නවා, රුපියල් විසිතිස්දාහක් මාසෙකට හම්බ කළත්, ඒකෙන් තමන්ගේ අවශ්‍යතා තමන්ගේ තෘප්තියට අනුකූලව ඉෂ්ට කරගෙන, හදිසියකට ගන්නත් කීයක් හරි ඉතුරු කරගෙන සැබෑ සතුටකින් ජීවත් වෙන අය. ආන්න ඒ අය ෆයිනෑන්ෂල් නිර්වාණය කියන තැනට ගිහින් තියෙන අය.

 

හරි, එහෙමනම් අපිත් බලන්න ඕන අපිට කොහොමද මේ මූල්‍ය නිර්වාණය නැතිනම් Financial Nirvana කියන තත්ත්වය ලඟා කරගන්න පුළුවන් කියන එක.

 

1. මොනවද තමන්ගේ ඇත්තම එදිනෙදා අවශ්‍යතා?

මෙන්න මේක ඉතාම වැදගත් මූල්‍ය නිර්වාණයට යන්න නම්. තමන්ට ඇත්තටම ඕන මොනවද කියන එක ගැන හොඳ දැනුමක් ලබාගන්න ඕන. ඒ කියන්නේ එදිනෙදා තමන්ට යන වියදම් ගැන දැනුවත් වෙන්න ඕන. එතනදී අනවශ්‍ය වියදම් මොනවද, ඒවා කපාහරින්න ඕනද කියන එක ගැනත් දැනුවත් වෙන්න ඕන. සමහර වෙලාවට අපිට වැඩිපුර සල්ලි ලැබෙනකොට වැඩිපුර අවශ්‍යතා මතුවෙනවා. ආන්න එව්වා ගැන පොඩ්ඩක් සිහිකල්පනාවෙන් හිතන්න ඕන. මොකද, එහෙම මතුවෙන වැඩිමනත් අවශ්‍යතා ඇත්තටම අනවශ්‍ය අවශ්‍යතා මිසක් අවශ්‍ය එව්වා නෙවෙයි. තමන්ට මූල්‍ය නිර්වාණය ලඟා කරගන්න නම්, ඇත්තටම තමන්ගේ අවශ්‍යතා මොනවද කියන එක අනාගතය දක්වා තේරුම් බේරුම් කරගන්න පුළුවන් වෙන්න ඕන.

 

උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ට අනාගතේදී දරුවන් ලැබුණොත්, ඒ අයට යන වියදම් වුනත් මේ තමන්ට ඕන මොනවද කියන එක ඇතුළට එන්න ඕන. ඒ ගැන හොඳ නිවැරදි බජට් එකක් හදාගන්න පුළුවන් වෙන්න ඕන.

 

2. සිහින අවශ්‍යතා!

මේවා හැම මනුස්සයෙක්ටම තියෙන, හැබැයි හැමෝටම සාක්ෂාත් කරගන්න වාසනාව නොලැබෙන දේවල්. ඒ කියන්නේ අපි කරන්න ආස කරන අපේ සිහින. හැබැයි එකක්: මේ සිහින කියලා අපි හිතාගෙන ඉන්නේ සමාජෙට ඕන දේවල් නම් වැඩේ හරියන්නෙ නෑ. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට කාර් එකක් ගන්න ඕන කියලා හිතෙන්නේ සමාජේ තත්ත්වෙට හරියන්න නම්, ඒක ඇත්තටම තමන්ගේ සිහිනයක් නෙවෙයි. හැබැයි ඔන්න ජර්මනියේ සංචාරෙක ගිහින් එන්න ආසාවක් තියෙනවා නම්, එහෙම නැතිනම් කිමිදෙන්න ඉගෙන ගන්න ආසාවක් තියෙනව නම් ඒක තමන්ගේ සිහිනයක් වෙන්න තියෙන ඉඩ වැඩියි. 

 

එතකොට මේ සිහින අවශ්‍යතා එක පාර සපුරා ගන්න බෑ. හොඳම දේ තමයි ඒකට වෙනම අරමුදලක් එකතුවෙන්න ඉඩ දෙන එක.

 

3. කොයි තරම් ලැබුණත් මදිද? 

මේක ඇත්තටම අර පළවෙනි කාරණාව එක්කත් බැඳෙනවා. ඒ තමයි, සමහරුන්ට කොයි තරම් සල්ලි ලැබුණත් මදි. අපි පටන් ගන්නකොටත් කියපු විදියට කෝටි සීයක් තිබ්බත්, තව කෝටි කීපයක් තිබ්බනම් කරන්න තියෙන වැඩ මතුවෙනවා. අන්න එතකොට නම් ඒක ෆයිනෑන්ෂලි විසඳගන්න බැහැ. ඒක තමන්ගේ ඇටිටියුඩ් එක, ආකල්පය ගැන ප්‍රශ්නයක්. තමන් ජීවිතේ ගැන හිතන පතන විදියේ ප්‍රශ්නයක්. සමහර වෙලාවට තමන්ගේ ජීවිතේ තියෙන ඇරියස් එක්ක එන ප්‍රශ්නයක්. අන්න ඒක එක්කෝ මානසික උපදේශකවරයෙක් එක්ක කතා කරලා හරි, තමන් හිතලා හරි විසඳගන්න ඕන.

 

4. ඉතුරු කරන්න, ආයෝජනය කරන්න

දැන් මේ හැම එකකටම සල්ලි හොයන්නෙ කොහොමද? සරලයි. සල්ලි හම්බු කරන්න වෙනවා. ඉතුරු කරන්න වෙනවා. ආයෝජනය කරන්න වෙනවා. හැබැයි එකක්. තමන් හොයන සල්ලි අවදානම් ආයෝජන වලට දාලා සල්ලිත් නෑ ලාබෙත් නැතිවුනොත්, මූල්‍ය නිර්වාණයත් කැලේ. ආන්න ඒ නිසා ඉතුරු කරන්න සහ ආයෝජනය කරන්න අවදානම් අධික කෙටි මං හොයන්න එපා. සිහිබුද්ධියෙන් සහ ඉවසිල්ලෙන් යුතුව ඉතුරු කරන්න, ආයෝජනය කරන්න.

 

5. ලෝන් අහිතකරයි!

ඇත්තටම අපි අද කාලේ විදියට ගත්තහම මැරෙන කල් ලෝන්, ලීස් ගෙවනවා. හැබැයි ඉතින් හරිම ෆයිනෑන්ෂල් නිර්වාණයකට ලඟා වෙන්න නම්, පුළුවන් තරම් ලෝන්, ලීස් එහෙම ගෙවිලා යන තරමට හොඳයි. ඇත්තටම ලෝන් එකක් තිබ්බා කියලා ෆයිනෑන්ෂල් නිර්වාණයට ලඟා වෙන්න බැරි කමකුත් නෑ, ඒක ආවරණය වෙන ආදායමක් ලැබෙනවා නම්. හැබැයි ඉතින් ලෝන්, ලීස් ගෙවලා ඉවර කළාට පස්සේ දැනෙන මානසික සැහැල්ලුව කියලා නිමකරන්නත් බෑ. මේකට ක්‍රෙඩිට් කාඩ් එකට තියෙන ණය එහෙමත් අදාළයි. හැබැයි මේකට පිළියම 8 වෙනි කාරණාව ඇතුළේත් තියෙනවා.

 

6. ඉමර්ජන්සි!

සමහර වෙලාවට අපි කොයි තරම් ප්ලෑන් ගහලා ඉතුරු කළත් වැඩක් නෑ, ඒ ඔක්කොම හුරස් වෙලා යන හදිසි අවස්ථා එනවා. ඒක අපි හෝ අපේ පවුලේ කෙනෙක් අසනීප වීමක් වෙන්න පුළුවන්. හදිසි ආපදාවක්, අනතුරක් වෙන්න පුළුවන්. මරණයක් වෙන්න පුළුවන්. අන්න ඒවාත් අපේ මූල්‍ය සැලසුමේ නැතිවුනොත්, ගොඩක් වෙලාවට අර ඉතුරු කරපු සේරම හබක් වෙන්න පුළුවන්. ආන්න ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ ඒ විදියේ අවදානම් වලට ඉමර්ජන්සි ෆන්ඩ් එකක් හෝ දෙකක් පවත්වාගෙන යන එක. ඒ කියන්නේ අර ඉතුරු කරන එකට අමතරව හදිසියකට ගන්න ගාණක් තියලා තියෙන එක. ඔය හදිසි ආපදාව සෞඛ්‍යය සම්බන්ධ ගැටළුවක් වුනොත්, ගොඩක් දුරට ඊලඟට කියන කාරණාවෙන් ඒකට සහනයක් ලැබෙයි.

 

7. ඉන්ෂුරන්ස්! පෙන්ෂන් ප්ලෑන්ස්!!

ඔව්. ඊලඟ කාරණාව මේක තමයි. හැබැයි එකක්. ඉන්ෂුරන්ස් සහ පෙන්ෂන් ප්ලෑන්ස් තෝරගන්න කොට හිතන්න ඕන දේවල් තියෙනවා. එකක් තමයි තමන් තෝරගන්න ආයතනය කොයි තරම් විශ්වාසවන්තද කියන එක. දෙවෙනි කාරණාව, අපි සේල්ස් රෙප්ලා මවන සුරංගනා කතන්දර වලට රැවටිලා ඒ අය කියන ප්ලෑන්ස් ගන්නවද, අපි හැම කරුණු කාරණාවම මනාව හොයලා බලලා අපිට ගැලපෙන ඉන්ෂුරන්ස් එකක්, පෙන්ෂන් ප්ලෑන් එකක් ගන්නවාද කියන එක.

 

8. මූල්‍ය විනය තියාගන්න

ෆයිනෑන්ෂල් නිර්වාණය ලඟා කරගන්න නම් කෙනෙක්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ තමයි හොඳ මූල්‍ය විනයක්. ඒ කියන්නේ දකින දකින දේ මිලදී ගන්න මනුස්සයෙක්ට, තමන්ගේ එදිනෙදා ආදායම් පිළිවෙලකට කරන්න බැරි මනුස්සයෙක්ට කවදාවත් මෙතනට යන්න බැහැ කියන එක තමයි අපි මේ කියන්නේ. ඇත්තටම මේ විදියේ හොඳ මූල්‍ය විනයක් තියෙනකොට අර ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් ගැන වුනත් බය වෙන්න දෙයක් නෑ. 

 

9. ස්ථාවර ආදායමක්, ඒකට බැකප් ප්ලෑන් එකක්!

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. උඩ කියලා තියෙන හැමදේම කරන්න අපි හම්බු කරන්න ඕන. අන්න ඒ හම්බු කිරීම රක්ෂාවක් කරලා කරන්නත් පුළුවන්, ව්‍යාපාරයක් කරලා කරන්නත් පුළුවන්. ඒ මොනදේ කළත්, ඒක ස්ථාවර කරගන්න ඕන. ඒක ස්ථාවර කරගන්න නම් තමන්ව වැඩිදියුණු කරගන්න, ගොඩනගාගන්න ඕන. පැහැදිලි මදිද? දැන් හිතමු රස්සාවක් කරන කෙනෙක් කියලා. එයා අවුරුද්දෙන් අවුරුද්දට අහුවෙන අහුවෙන රස්සා නොකර, හොඳ ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක එක දිගට වැඩ කරලා ප්‍රවීණයෙක් වෙනවා කියන්නේ, එයාට ඉන් පස්සේ ලැබෙන ආදායමත් වැඩියි. ඒ වගේම රැකියාවන්ට තියෙන ඉල්ලුමත් වැඩියි. එහෙම වෙනකොට ආදායමේ ස්ථාවරත්වයත් තියෙනවා. අන්න ඒ නිසා තමන් වෘත්තිමය වශයෙන් විශේෂඥයෙක් වීම සහ ස්ථාවර වීම මේකට වැදගත්.

 

දෙවෙනියට ඉතින් අනිවා තමන්ට බැකප් ප්ලෑන් එකකුත් තියෙන්න ඕන මේ කාලේ ආර්ථිකේ හැටියට. ඒ බැකප් ප්ලෑන් එක කුලියට දීපු ගෙදරක් වෙන්න පුළුවන්. සයිඩ් බිස්නස් එකක් වෙන්නත් පුළුවන්. ෂුවර් සයිඩ් ආයෝජනයක් වෙන්නත් පුළුවන්!

 

දැන් අපිත් මේ ෆයිනෑන්ෂල් නිර්වාණ ගැන හොයලා බලාගෙන යනකොට දකින්න ලැබුණු දේවල් තමයි මේ ලිව්වේ. හැබැයි අපිට තේරුණු දෙයක් තියෙනවා. ෆයිනෑන්ෂල් නිර්වාණ කියන එක එක රැයින් ලබාගන්න බෑ. නිසි සැලැස්මක් නැතුව ලබාගන්නත් බෑ. ඒ නිසා අදම වැඩේ පටන් ගත්තත් කමක් නෑ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *