ස්මාට් විදියට සුපර් මාර්කට් එකේ ෂොපින්ග් කරන්නේ මෙහෙමයි!

සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු ගන්න එකේ අමුතු කතන්දරයක් තියෙනවද? නෑනේ. ගියා, බඩු ගත්තා, ආවා. එහෙමනේ හිතන්නේ? හැබැයි ඇත්තටම සුපර් මාකට් එකකට ගිහින් බඩු ගන්න එක ඊට වඩා සංකීර්ණයි. සුපර් මාකට් එකක ඇතුළු වෙන තැන ඉඳන් රාක්ක වල බඩු අහුරලා තියෙන එක දක්වා සැලසුම් කරලා තියෙන්නේ පාරිභෝගිකයාට වුවමනා නූවුමනා හැම බඩුවක්ම ගන්න පෙළඹවීමක් ඇති කරන්න. ආන්න ඒ නිසා ස්මාට් විදියට වෙළෙඳ ප්‍රචාරණය සිද්ධ වෙන සුපර් මාකට් එකකට ගිහිල්ලා අතේ තියෙන කීය හරි කුඩු කරගන්නෙ නැතුව අවශ්‍ය බඩු ටික ගන්න නම් පාරිභෝගිකයාටත් සුපර් ස්මාට් වෙන්න වෙනවා. මේ කියන්න යන්නේ එහෙම සුපර්මාකට් ගිහින් බඩු ගන්න ප්‍රයෝජනවත් වෙන ටිප්ස් කීපයක් ගැන.

 

1. මීට කලින් බඩු ලැයිස්තුවක් දැකල නැද්ද?

Image Source – rrcapital.com

ඉස්සර ටවුමේ කඩේට ගිහිල්ලා බඩුමුට්ටු ගන්නකොට අපේ අම්මලා තාත්තලා දිග බඩු ලැයිස්තුවක් ලියපු තුණ්ඩු කෑල්ලක් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඒක කඩේ වැඩකරන කොළුවට දෙනවා. කොළුවා ඒ බඩු ටික බලලා දාලා දෙනවා. හැබැයි දැන් සුපර් මාකට් යන අපි එහෙම බඩු ලැයිස්තු අරගෙන යන්නෙ නෑ. අපි කරන්නේ ට්‍රොලිය තල්ලු කරගෙන සුපර් මාකට් එකේ රාක්ක අතර ඇවිදිනවා. එතකොට අපිට පේන බඩු වලින් අරකත් ඕනෑ, මේකත් ඕනෑ කියලා ට්‍රොලියට දාගන්නවා.

එහෙම නැතුව ආයෙමත් බඩු ලැයිස්තු හදන පුරුද්ද ඇතිකරගමු. ගෙදරදී තීරණය කරමු ගෙදරට ගේන්න වුවමනා බඩු මොනවද කියලා. දැන් ඒ ටික ලියාගමු ඕන ප්‍රමාණයන් එක්කම. දැන් සුපර් මාකට් එකට ගිහිල්ලා ලිස්ට් එකේ පිළිවෙලට බඩු ටික අරගමු.

 

2. ස්පෙෂල් ඔෆර්ස්!

Image Source – supershoppingmasala.blogspot.com

දැන් ඔය සුපර් මාකට් යන ස්පෙෂල් පීපල්ස්ලා ඉන්නවනේ. ඒ කියන්නේ ලෝයල්ටි කාඩ් තියෙන අය. අහවල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් තියෙන අය. අහවල් මොබයිල් කනෙක්ෂන් එක පාවිච්චි කරන අය වගේ. ඔන්න ඔය වගේ එක එක ස්පෙෂල් අයට එක එක ස්පෙෂල් ඔෆර්ස් සාමාන්‍යයෙන් සුපර් මාකට් වල තියෙනවා. ඒ වගේම මස් වලින් අච්චරක් ගත්තොත් මෙච්චරක් ඩිස්කවුන්ට්. මේ බඩු කෑලි තුන ඇතුළත්ව දෙදහක බඩු ගත්තොත් මෙච්චරක් ඩිස්කවුන්ට් වගේ සීනුත් නිතරම තියෙනවා.

දැන් ඔය ඩිස්කවුන්ට් වලින් උපරිම ඵල නෙලාගන්න හිතුවට කමක් නෑ. හැබැයි තමන්ගේ අවශ්‍යතාවය ගැනත් හිතන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, එළවළු රුපියල් දෙදාහක ගත්තොත් සියේට දහයක් ඩිස්කවුන්ට්. හැබැයි ගෙදර ඉන්නෙ දෙන්නයි. දැන් දෙදාහක එළවළු ගෙදර ගෙනිහින් ප්‍රයෝජනයක් තියෙයිද? ඒකෙන් පන්සීයකවත් එළවළු පරණ වෙලා විසික්කා කොරන්න වෙයිද? එතකොට අර රුපියල් දෙසීයේ ලාබේ ප්‍රයෝජනයක් තියෙයිද? මෙන්න මේවා කල්පනා කරන්ඩ ඕන පොයින්ට්!

 

3. කෑම බීම

Image Source – cassie.net

සාමාන්‍යයෙන් සුපර් මාකට් එකක තියෙන කෑම බීම වර්ග අහුරලා තියෙන්නේම අපේ ආහාර රුචිය වර්ධනය කරන විදියට. ගොඩක් වෙලාවට රිදෙන්න ෂොපින් කරන්න එන මනුස්සයෙක්, සුපර් මාකට් එකකින් නොයෙක් කෑම වර්ග බීම වර්ග අරගෙන ට්‍රොලියට දාගන්න එක පුරුද්දක්. සමහර වෙලාවට මේ ඩයට් කරන අයියලත් චොකලට්, බිස්කට් වගේ අනං මනං අරගන්නවා. ඒකට හේතුව සරලයි. අපිට කෑම කියන්නේ ජීවිතේ පවත්වා ගන්න ගන්න ඕන දෙයක් විතරක් නෙවෙයි. කෑම වලින් හිතත් පිරෙනවා. අන්න ඒ නිසා අපි විශේෂයෙන්ම සුපර් මාකට් එකකදී වුවමනා නූවුමනා කෑම ජාති සෑහෙන ප්‍රමාණයක් ගන්න පෙළඹෙනවා. ඒකට ප්‍රතිකර්මයත් සරලයි. අර උඩින් කියලා තියෙන බඩු ලිස්ට් ක්‍රමය තමයි ඒ. ගෙදරට ඕන කරන බිස්කට් අනං මනං වුනත් ලිස්ට් එකේම තියෙනවා නම්, ලිස්ට් එකෙන් පිට පැනලා ටොෆියක්වත් නොගන්න හිත පාලනයක් තියාගන්න පුළුවන් නම් හරි.

 

4. තල්ලු කරන ට්‍රොලියක්ද අතේ ගෙනියන කූඩයක්ද?

Image Source – turbosquid.com

ඔය සුපර් මාකට් එකකට යන ගොඩක් දෙනෙක් ඇත්තටම යන්නේ බඩු වර්ග පහක් හයක් වගේ ගන්න හිතාගෙන. හැබැයි ඒකට අතේ එල්ලගෙන යන කූඩයක් ගන්නෙ නෑ. ඒක බරක් නිසා, ඒකට වඩා ලේසියට තල්ලු කරගෙන යන ට්‍රොලියක් ගන්නවා. දැන් බොහොම සන්තෝසෙන් ට්‍රොලිය තල්ලු කරගෙන එහා මෙහා යනවා. ඔහොම යනකොට ට්‍රොලියේ ඉඩ තියෙන හින්දම මොන මොනවා හරි ගන්න හිතෙනවා. දන්නෙම නැතුව ට්‍රොලිය පිරෙනවා. ගන්න ආපු බඩු වගේ තුන් ගුණයක් බඩු අරගෙන අපි ගෙදර යනවා!

අන්න ඒ නිසා පොඩි බඩු කෑල්ලක් දෙකක් ගන්න සුපර් මාකට් එකට ගොඩවැදුණු වෙලාවක කෙලින්ම තමන්ට වුවමනා දේ අතේ අරගෙන එන්න. බඩු කෑලි පහක් හයක් ගන්න වෙලාවක ට්‍රොලි හොයන්නෙ නැතුව කම්මැලි කම් නොබලා කූඩයක් අරගෙන යන්න.

 

5. හැම ඔප්ෂන් එකම චෙක් කරන්න!

Image Source – turbosquid.com

සාමාන්‍යයෙන් ඔය සුපර් මාකට් වල බඩු අහුරන  සාස්තරයක් තියෙනවා කියලා එක්ස්පර්ට්ලා කියනවා. ඒ කියන්නේ ඇස් මට්ටමෙන් තියන්නේ යම් කිසි භාණ්ඩයක වඩාත් මිලෙන් වැඩි බ්‍රෑන්ඩ් ලු. වෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ කියන්න යන්නේ ඊට සමාන, වඩා සාර්ථක කතාවක් ගැන. දැන් අපි කියමු අපිට කෝපි එකක් ගන්න ඕනය කියලා. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් හුරු වෙලා ඉන්න කෝපි බ්‍රෑන්ඩ් තියෙනවා. එතකොට සුපර් මාකට් එකේ කෝපි තියෙන රාක්කේ ගාවට ගිහිල්ලා මුලින්ම චෙක් කරන්නේ අර හුරු කෝපි බ්‍රෑන්ඩ් එක තියෙනවද කියලා. හැබැයි සමහර වෙලාවට ඔතන තියෙනවා ගාණෙන් වඩාත් අඩු කෝපි බ්‍රෑන්ඩ්. ඕන නම් අපිට ටෙස්ට් රන් එකක් විදියට එයින් පැකට් එකක් අරගෙන යන්න පුළුවන්. දැන් ඒ ලාබ කෝපි බ්‍රෑන්ඩ් එක මෙලෝ රහක් නැත්තං, ඒකට වියදම් කරපු ගාණ අයියෝ සල්ලි තමයි. ඒත් ඒ ලාබ කෝපි බ්‍රෑන්ඩ් එක උපරිම රසයෙන් යුක්ත නම් අන්න දීර්ඝකාලීන ලාබයක් එතන තියෙනවා.

ඉතින් කොටින්ම කියනවා නම්, සුපර් මාකට් එකකින් බඩු ගන්නකොට, අත මානයේ තියෙන, ඇස් මානයේ තියෙන බඩුව අරගෙන කූඩෙට ඔබාගන්න එපා. ඒ බඩුවම ගන්න තව තියෙන ඔප්ෂන් මොනවද කියලා පොඩ්ඩක් බලන්න.

 

6. බඩගින්නේ යන්න එපා, සුපර් මාකට් එකේ කොෆී ෂොප් එකට රැවටෙන්න එපා!

Image Source – dissolve.com

මෙන්න මේකත් එක්ස්පර්ට්ලා සුලභව දෙන ඔවදනක්. ඒ තමයි සුපර් මාකට් එකක ෂොපින් කරන්න හිස් බඩ යන්න එපා කියන එක. ඒ කියන්නේ බඩගින්නේ ෂොපින් ගියොත් වෙන්නේ අපිට කෑම ජාති බීම ජාති අනං මනං ගන්න හිතෙන එක. ආයෙමත් කියවන්න තුන් වෙනි පොයින්ට් එක. ඇත්තටම බඩගින්නේ ෂොපින් කරන්න ගියපු වෙලාවකදී අපිට බිස්කට් තුනකින් නිවන්න පුළුවන් බඩගින්න වෙනුවෙන්, බිස්කට් පැකට් කීපයක්, ජූස් පැකට් එකක්, මුරුක්කු මික්ස්චර් පැකට් එකක්, චොකලට් එකක් වගේ මෙකී නොකී කෑම ජාති ගණනාවක්ම ගන්න හිතෙනවා. ඒක තමයි ලෝක සොබාවේ. ආන්න ඒ නිසා ඒ ලෝක සොබාවට නතු වෙලා සල්ලි කුඩු කරගන්න එපා.

ඒ වගේම සුපර් මාකට් හැම එකකම වගේ දැන් කාලේ තියෙන කොෆී ෂොප් වල ඩිස්ප්ලේ එකේ දාලා තියෙන, පේන පේන හැම පේස්ට්‍රියම ගන්න හදන්න එපා. විශේෂයෙන්ම කොෆී ෂොප් එකෙන් ගෙදර ගිහින් කන්න දෙයක් ගන්නකොට වැඩිපුර දේවල් ගන්න හිතෙන ඉඩ වැඩියි. ඒ නිසා ගෙදර ඉන්න අයට අවශ්‍ය ප්‍රමාණයට විතරක් කොෆී ෂොප් එකෙන් ගන්න දෙයක් ගන්න.

 

7. කම්මැලි කම නිසා සල්ලි නාස්ති නොකරන්න

Image Source – comics212.net

ඇත්තටම පොදුවේ ගත්තහම දැන් කාලේ මිනිස්සු මාර කම්මැලියි. ඒක බොරුවක් නෙවෙයි. ඉතින් එදිනෙදා අපි අත්විඳින ගොඩක් දේවල් නිර්මාණය කරලා තියෙන්නෙත් මේ කම්මැලිකම පෝෂණය කරන්න. සුපර් මාකට් එකකත් එහෙමයි. උදාහරණයක් විදියට ගත්තොත්, දැන් කාලේ ගොඩක් සුපර් මාකට් වල පළතුරු තියන අංශයේ හොඳට පේන්න තියලා තියෙනවා කෑලි කපලා ලුණු ගම්මිරිස් දාපු පළතුරු සලාදයක් හදලා. ගොඩක් දෙනෙක් මේවා ගන්නේ පැනලා. හැබැයි ගණන් හදලා බැලුවොත් තේරෙයි, අපි ඇපල් ගෙඩියක් දෙකක් අරගෙන ගෙදර ඇවිත්, ලුණු ගම්මිරිස් දාලා හදලා ගන්න එක ඇත්තටම අරකට වඩා ලාබයි කියලා.

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි කියමු අපිට එක ඇපල් ගෙඩිය වැඩියි කියලා. හැබැයි අර ලුණු ගම්මිරිස් දාලා සීල් කරලා තියෙන පැක් එකේ එන ඇපල් ගෙඩි බාගේ තමයි ෂේප්. අන්න එහෙමනම් ඒක ගත්තට කමක් නෑ. හැබැයි සාපේක්ෂව ඒක පාඩුයි.

ඕකම තමයි සීනි, පරිප්පු වගේ දේවලටත් බලපාන්නේ. සුපර් මාකට් එකේ මේ දේවල් කිරලා ගන්න පුළුවන්. ඕන නම් පැකට් විදියටත් ගන්න පුළුවන්. පැකට් එකක් අරගෙන කූඩේ දාගෙන යන එක ලේසියි. හැබැයි ඒකේ පැකින් වලටත් රුපියල් පහක් හයක් අල්ලලා තියෙන්නේ!

මේ විතරක්ම නෙවෙයි. අතේ තියෙන සල්ලි ටික නාස්ති කරගන්නෙ නැතුව සුපර් මාකට් වල ෂොපින් කරන්න තව ටැක්ටික්ස් ඕන තරම් තියෙනවා. ඉතින් ඔයාලාගේ ඒ වගේ ටැක්ටික්ස් තියෙනවා නම්, කමෙන්ට් එකක් දාලා අපි එක්කත් බෙදාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *