අපි හැමෝම ආසයිනේ ෆැෂන් කරන්න. හැබැයි ඉතින් ෆැෂන් කිව්වහමත් ඔය ලක්ෂරි පන්නේ ෆැෂන් තියෙනවා. ඒ කියන්නේ ඔය බොහොම ඉහළ වටිනාකමක් තියෙන ඇඳුම් පැළඳුම් තියෙන්නේ. ඒවල වටිනාකම වගේම තමයි පෙනුමත්. ඒ කියන්නේ මිල අධික ඇඳුමක පැළඳුමක ඒ මිල අධිකයි කියන එක පේන්න තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ගණන් සෑහෙන්න අඩු ඇඳුම් වල පෙනුමත් ටිකක් බාලයි. කොලිටියත් බාලයි. කල්පැවැත්මත් බාලයි. හැබැයි අපිට සාමාන්‍ය ගාණකට හොඳ ඇඳුම් පැළඳුම් ගන්න පුළුවන්. ඉන් පස්සේ සල්ලි යන්නෙ නැති පොඩි ට්‍රික් එකකින්, දෙකකින් ඒ සාමාන්‍ය ඇඳුම් පැළඳුම් ඉහළ කොලිටියේ, මිල අධික ඇඳුම් පැළඳුම් වගේ පේන විදියට හදාගන්න, අඳින්න පළඳින්න පුළුවන්. ආන්න එහෙම ට්‍රික්ස් ටිකක් තමයි මේ!
1. බටන්ස්!
නිකමට බලන්න සාමාන්‍ය ෂර්ට් එකක තියෙන බට්න්ස් වල සහ සෑහෙන්න වටින ෂර්ට් එකක තියෙන බට්න්ස් වල වෙනස. වටින ෂර්ට් එකක තියෙන බට්න් හරි අන්කොමන් වගේම අමුතු ගතියක් තියෙනවා නේද? ආන්න ඒක එක වෙනසක්. සාමාන්‍ය ෂර්ට් එකක් සල්ලි දීලා ගත්තට පස්සේ, යන්න ඔය බොත්තම් අනං මනං විකුණන්න තියෙන කඩේකට. එහෙම කඩ ඕන තරම් තියෙනවා. දැන් බලන්න ඒ අය ගාව තියෙන ගණන් වැඩිම බොත්තම් කොහොමද කියලා. ඒ බොත්තම් වලින් අර උඩ කිව්ව වගේ අන්කොමන්, ලක්ෂරි පෙනුමක් තියෙන බට්න්ස් ගන්න. ඒවා කඩේ ගණන් වැඩිම බට්න්ස් වුනත්, අපිට ලොකු ගාණක් යන්නෙ නෑ. දැන් අර සාමාන්‍ය ෂර්ට් එකට ඔය අලුතෙන් ගත්තු බට්න්ස් අල්ලන්න. දැන් බලන්න වෙනස!
2. නිතර හේදිලි එපා!
අපිට ෂර්ට් එකක් දාඩිය ගෑවුණාට පස්සෙ නොසෝදා ඉන්න බැහැ නේද? සමහරු නම් ආයෙ ගලේ ගහලා, අපුල්ලලා හෝදන්නේ. අනික් අය වොෂින් මැෂින් දානවා. හැබැයි ඇත්ත කතන්දරේ මේකයි. නිතර නිතර ඇඳුමක් හෝදන එකෙන් ටික කාලයක් යනකොට ඒ ඇඳුමට පරණ පාටක් එනවා. අන්න ඒ නිසා පුළුවන් තරම් ට්‍රයි කරන්න ඇඳුම් හෝදන්නෙ නැතුව ඩ්‍රයි ක්ලීන් කරන්න. එක පාරක් ඇන්ද ගමන් නොසෝදා හුළඟෙන් වේලලා තව දවසක් අඳින්න. පැල්ලමක් තිබුණොත් මුළු ඇඳුමම නොසෝදා පැල්ලම විතරක් යවන්න. එතකොට දාඩිය ගඳයි නම් පොලිතින් බෑග් එකක දාලා ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඒක ඉතාම සාර්ථක ක්‍රමයක්!
3. ලයිනින්
මොනවද ලයිනින් කියන්නේ? අර ඇඳුමක් මහනකොට එකට මූට්ටු කරපු මැහුම් පාරවල්. සාමාන්‍යයෙන් චීප් ඇඳුමක ලයිනින් එහෙම හොඳට පේන්න තියෙනවා. ඒවා විශේෂයෙන්ම හංගන්න තරම් උනන්දුවක් නෑ චීප් ඇඳුමක් මහනකොට. කොහොමත් චීප් ඇඳුමක නීට් එක අඩුයිනේ. හැබැයි ගාණෙන් වැඩි ඇඳුමක වුවමනාවෙන් බැලුවත් ලයිනින් නොපෙනෙන තරම්. නීට් එකට මහලා තියෙනවා. ආන්න ඒ කොලිටිය තමයි අපි හොයන්න ඕන. සාමාන්‍ය ගාණක ඇඳුමක් ගන්න කොට වුනත් හොඳට බලන්න නීට් එකට, ලයිනින් එහෙම හංගලා මහල තියෙනවද කියලා.
4. ඇඳුම පරිස්සම් කරගන්න
මේක මොන ඇඳුමකට වුනත් අදාළ දෙයක්. දැන් හිතලා බලන්න අපි ඉස්කෝලෙ යන පොඩි එව්වෝ කාලෙ. ඒ කාලෙදි අපි විශේෂයෙන් ඇඳුම් ආරක්ෂා කරගත්තෙ නැහැ නේද? මඩ ගොඩේ නැටුවා, බිත්තියේ රළු කපරාරු වල හේත්තු වෙලා ඉඳලා ඇඳුම් වල නූල් ඇදුනා. කොහේ හරි ගහලා තියෙන ඇණේකට ඇඳුම් ඉරාගත්තා. ඒත් සාමාන්‍යයෙන් වැඩිමහලු මනුස්සයෙකුත් එහෙම වෙනවා නම් පොඩ්ඩක් අවුල්. ඒකට හොඳම දේ තමයි සිහිකල්පනාව. උදාහරණයක් විදියට ගත්තොත්, බස් එකකට නගින කොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න බස් එකේ තියෙන උල් දාර, එලියට පැනපු ඇණ වගේ දේවල් ගැන. බිත්තියකට හේත්තු වෙන්න කලින් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න රළු කපරාරුවකටද හේත්තු වෙන්න යන්නේ කියලා. ත්‍රීවිල් එකකට නැගලා කොණකට හේත්තු වෙන්න කලින් පොඩ්ඩක් බලන්න, ඇඳුම් වල නූල් ඇදෙන්න පුළුවන් රලු දාර තියෙනවද කියලා.
5. ස්ටීම් අයන්
සාමාන්‍යයෙන් ඇඳුමක් මිලෙන් වැඩිද, මිලෙන් අඩුද කියන එක පෙනුමෙන් තීරණය කරන්න පුළුවන් කියලා අපි කිව්වනේ. එහෙම පෙනුමෙන් ඒක තීරණය කරන්න පුළුවන් එක දෙයක් තමයි නීට් බව. එතනදිත් වැදගත් වෙන දෙයක් තමයි ඇඳුමේ රැලි තිබීම. ඒ කියන්නේ සමහරු කොයි තරම් රෙදි අයන් කළත්, කොහෙන් හරි රැල්ලක් දෙකක් තියෙනවා. ඒකෙන් දැනෙන්නේ ඇඳුම චීප් වගේ. ආන්න ඒ නිසා හොඳම ක්‍රමයක් තමයි ස්ටීම් අයන් එකක් ගන්න එක. ඒ කිව්වේ අර වතුර දාලා, ස්ටීම් එකෙන් අයන් කරන්න පුළුවන් අයන් එකක්. ස්ටීම් අයන් එකකින් ඇඳුමක් අයන් කරනකොට පේන පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ තමයි ඇඳුමට අමුතු නීට් ගතියක් එන එක,
6. තමන්ගේ සයිස් එක
ඇඳුමක් තමන්ගේ ඇඟට ෆිට් වෙනවද කියන කාරණාවත්, ඔය මිල අධික පෙනුමට බලපානවා. උදාහරණයක් විදියට ගත්තොත්, කෝට් එකක් මහනකොට මිලෙන් වැඩි, හොඳ කෝට් එකක් නම් ඒක තමන්ගේ ඇඟට ගාණට ෆිට් වෙලා තියේවි. හැබැයි මිලෙන් අඩු කෝට් එකක්, එහෙම නැති නම් රෙන්ට් එකට ගන්න තමන්ගේ ඇඟේ සයිස් එකට හරියටම නැති කෝට් එකක් පටස් ගාලා කැපිලා පේනවා. මොකද, ඒක තමන්ගේ ඇඟට ෆිට් නෑ. පොඩි පොඩි රැලි එහෙම එහෙන් මෙහෙන් තියෙනවා. ආන්න ඒ නිසා හොඳම දෙයක් තමයි තමන්ගේ ඇඳුම් මහනවා නම් ගාණ අඩු, හැබැයි සුපිරි වැඩකරුවෙක් හොයාගන්න එක. දෙවෙනියට, හෙට වෙඩිම කියලා අද ඇඳුම් මහන්න නොදී ඉන්න එක.
ඒ වගේම තමයි ඩෙනිමක් වුනත් ගන්නකොට ස්කිනි ෆිට් ඩෙනිමක් වගේ ගන්න එක වටිනවා. මොකද ගාණ සාමාන්‍ය වුනත්, ස්කිනි ෆිට් ඩෙනිමකින් පොඩි එක්ස්පෙන්සිව් ගතියක් සමස්ත ඇඳුමටම එනවා.
7. කළු වඩා හොඳයි
සාමාන්‍යයෙන් එක්ස්පෙන්සිව් පෙනුමක් මතු කරගන්න හොඳම වර්ණයක් තමයි කළු. ඒ කියන්නේ කළු පාට ඇඳුමක් සාමාන්‍ය මිලකට ගත්තත්, බොහොම පහසුවෙන් මිලෙන් අධික පෙනුමක් මතු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම රාත්‍රී සාදයකට එහෙම කළු පාට නියමෙට ගැලපෙනවා. විශේෂයෙන්ම ඇඳුමේ මැටීරියල් එක ඒ තරම් මිල අධික, ඉහළ කොලිටියේ එකක් නොවුනත්, කළු පාට තෝරාගත්තොත් ඇඳුම ඉහළ කොලිටියේ මැටීරියල් එකකින් මහලා නැහැ කියන එක ඒ තරම් පේන්නේ නෑ.
8. ගැලපෙන පැළඳුම්
ගෑණු ළමයෙක්ට නම් උඩ කියලා තියෙන විදියට ඇඳුමක් තෝරගත්තට පස්සේ, ලිප්ස්ටික් ටිකක් ගෑමෙන් සම්පූර්ණ පෙනුමටම වඩාත් එක්ස්පෙන්සිව් ලුක් එකක් ලබාදෙන්න පුළුවන්. එතකොට පිරිමි ළමයෙක්ට නම් උඩ තියෙන විදියට ඇඳුමක් තෝරගත්තට පස්සේ, ක්ලැසික් පෙනුමක් තියෙන ඔරලෝසුවක් පළඳලා තමන්ගේ සම්පූර්ණ ඇඳුමේම පෙනුම ඉහළ නංවා ගන්න පුළුවන්. දැන් තේරෙනවනේ ට්‍රික් එක. අලුතින් එන ලාබ ෆැෂන් වල ඇක්සසරීස් වලට යන්න එපා. ගණන් අඩු ක්ලැසික් දේවල්ම තෝරගන්න. ආන්න ඒකෙන් ඇඳුමේ මිල අධික, ඉහළ කොලිටියේ පෙනුම තව ඉහළ නංවා ගන්න පුළුවන්!
Leave a Reply