දැන් ඔය පරිණත මනුස්සයෙක් කියන එක විවිධ අය විවිධාකාරයෙන් අරුත් ගන්වා ගන්නවනේ. හැබැයි අපිට මේ ආටිකල් එකේදී පොදුවේ පරිණත මනුස්සයෙක් කියන එක ගන්න පුළුවන්, වයසින් තිහ පැන්න, ඒ එක්කම යම් යම් ගුණාංගයන්ගෙන් මුහුකුරා ගිය මනුස්සයෙක් විදියට. Lifie.lk අපි මීට කලිනුත් කියලා තියෙනවා පරිණත වෙන්න නම් අවුරුදු විසි ගණන් වලදී අත් හැර ගන්න ඕන පුරුදු වගේම, අවුරුදු තිහ පැන්න මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන්න ඕන ගතිගුණ සහ ප්‍රතිපත්ති ගැන. ඒ වගේම අපි කියලා තියෙනවා දකින අය පිස්සු වැටෙන ගෑණියෙක් විදියට වගේම පිරිමියෙක් විදියට පරිණත වෙන්නේ නැතිනම් වයසට යන්නේ කොහොමද කියන එක ගැනත්.
හරි. මේ හැම දෙයක් එක්කම තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි පරිණත මනුස්සයෙක් වෙන්න තියෙන්න ඕන පරිණත ආකල්ප. ගොඩක් වෙලාවට මේ ආකල්ප අවුරුදු තිස් ගණන් වෙනකොටවත් මනුස්සයෙක්ගේ ජිවීතේට ඇතුළු වෙනවා නම්, උඩ කියපු විදියට හරි විදියට පරිණත වෙන්න, මුහුකුරා යන්න පුළුවන්. ඉතින් කියවලා බලන්න මේ පරිණත ආකල්ප තමන් ගාවත් තියෙනවද කියලා!
1. රෙස්පෙක්ට්
පරිණත මනුස්සයෙක් හැමෝටම රෙස්පෙක්ට් කරනවා කියන එක බොහොම පැහැදිලිවම දකින්න පුළුවන් දෙයක්. එතකොට, කිසිම භේදයක් නැතුව ඕනම කෙනෙක්ට ගෞරව කරන්න, ඕනම කෙනෙක් සමානයෙක් විදියට සලකන්න හැකියාවක් ලැබෙනවා. පරිණත මනුස්සයෙක් අපහාසය සහ උපහාසය අතර වෙනස දන්නවා, විවේචනය සහ විචාරය අතර වෙනස අඳුනනවා. ඇත්තටම, ඒ නිසාම මෙහෙම මනුස්සයෙක් බොහොම ගරු කටයුතුයි කියලා අනෙක් අයටත් පේනවා.
2. වළං කඩේට පැන්න ගොනා නෙවෙයි!
දැකල තියෙනවද සාමාන්‍යයෙන් ඔය ෆේස්බුක් එකේ එහෙම අපි දකින බහුතරයක් උන්දැලා තර්ක විතර්ක කරන්නෙ කොහොමද කියලා? කෙලින්ම වළං කඩේට පැන්න ගොනා තමයි. කිසිම ඉවසිල්ලක් නෑ, ඇහිල්ලක් බැලිල්ලක් නෑ. ආන්න ඒක ඔය වගේ මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවිතයේ, ජීවන ආකල්පයේ ලක්ෂණයක්. එහෙම අය අඩු තරමින් ගැටුම් නිරාකරණය වගේ සංකල්ප ගැනවත් දන්නෙ නෑ. හැබැයි පරිණත මනුස්සයෙක් බොහොම ඉවසිලිවන්තයි සහ ප්‍රවේසම් සහගතයි. ප්‍රශ්නයක් වුනත් විසඳන්නේ කරුණු සාධක හොයලා, ප්‍රශ්නේ හැම පැත්තම දැකලා තමයි.
3. වැඩක් නැති මිනිස්සු වැඩක්ම නෑ!
ඔව්, පරිණත ආකල්පයක් තියෙන මිනිහෙක්ට හෝ ගැහැණියකට යාලු මිත්‍රයෝ සිය ගණන් නෑ. ෆේස්බුක් එකේ ඉන්න දාහක් දෙදාහක් මිනිස්සු හැමෝම යාලුවෝ කියලා බාරගන්නෙත් නෑ. ඇත්තටම පරිණත වෙනකොට මනුස්සයෙක් තමන් වටේ ඉන්න, තමන් ආදරය කරන, තමන් සමීපව ඉන්න අයව තෝරා බේරාගන්න උත්සාහ කරනවා. තමන්ගේ යහපත අවංක හිතින් ප්‍රාර්ථනා නොකරන, තමන්ගේ ජීවිතයට අදහසකින් හෝ වැඩක් නොවෙන, ආත්මාර්ථය හෝ අවස්ථාවාදය උදෙසා තමන්ව පාවිච්චි කරන කෙනෙක් හලලා දාන්න පරිණත ආකල්පයක් තියෙන මනුස්සයෙක් දෙපාරක් හිතන්නෙ නෑ. ඒ වගේම පරිණත ආකල්පයක් තියෙන මනුස්සයෙක් හැමදේටම එහෙයි කියන, තමන්ව ගණන් ගත්තත් නොගත්තත් හැමෝටම උදවු කරන්න හදන පාපිස්සක් වෙන්නෙත් නෑ.
4. ඇහුම්කන් දෙන තරමට ඉවසිලිමත්
මේ කලිනුත් කියපු ඉවසිලිවන්තකම කියන එක පරිණත ආකල්පයක ලක්ෂණයක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. පරිණත මනුස්සයෙක්ගේ තියෙන ඉවසිලිවන්තකම බොහෝමයක් තැන්වලින් එලියට එනවා. උදාහරණයක් විදියට ගත්තොත්, කෙනෙක්ට බොහොම ඉවසිල්ලෙන් ඇහුම්කන් දෙන්න පුළුවන් කම මේ ඉවසීම එක්ක ලැබෙනවා. වැඩිපුර කතා කිරීම වෙනුවට සාවධානව සවන් දෙන්න සහ අවශ්‍ය දේ පමණක් කතා කරන්න පරිණත ආකල්පයකින් ඉඩ ලැබෙනවා.
5. විවෘත මනසක්!
පරිණත මනුස්සයෙක්ගේ සිතීම පුද්ගල මට්ටමේ හෝ ප්‍රජා මට්ටමේ නෙවෙයි තියෙන්නේ. තමන්ගේ රටෙනුත් එහාට ගිහින් ගෝලීයව හිතන්න පුළුවන් කම පරිණත මනුස්සයෙක්ට තියෙනවා. ආන්න ඒ නිසාම ඕනම ගැටළුවක් ගැන වඩාත් විවෘතව හිතන්න පුළුවන් පරිණත චින්තනයක් සහ ආකල්පයක් එහෙම මනුස්සයෙක්ට ලැබෙනවා. ඒ නිසාම ඔය ඕන වෙලාවක ප්‍රශ්නයක් කතා කරනකොට මිනිස්සු ඉස්සරහට දාගන්න සංස්කෘතිය වගේ තමන්ටත් නොතේරෙන පන්ච් ලයින් පරිණත ආකල්පයක් තියෙන, ඒ නිසාම විවෘත මනසක් තියෙන කෙනෙක් යොදාගන්නෙ නෑ. ඊට වඩා පුළුල්ව, සමාජ විද්‍යාත්මකව, කරුණු කාරණා සහිතව, සමබරව දෙයක් දිහා බලන්න හැකියාවක් ලැබෙනවා.
6. පොසිටිව් තින්කින්!
සාමාන්‍යයෙන් පොසිටිව් තින්කින් කියලා දෙන්න වැඩමුළු පවා තියෙනවා. හැබැයි වයස අවුරුදු තිහ පනිනකොටවත් මනුස්සයෙක්ට ජීවිතේ දිහා, දේවල් දිහා ධනාත්මකව බලන්න හැකියාවක් ලැබෙන්න ඕන. මේ ධනාත්මක චින්තනය කියන්නේ හැම වෙලේම හැම දේම හොඳායි කියාගෙන ඉන්න එක නෙවෙයි. එහෙම ඉන්න අමාරුයි ජීවිතේ තියෙන ප්‍රශ්න ගැටළු එක්ක. හැබැයි ඒ මොන දේ වුනත්, කොයි තරම් කලකිරුණත් සුභවාදී හිතීමකට එන්න පුළුවන් කම, බැහැයි කියන තැන නැතුව පුළුවන් කියන තැන ඉන්න පුළුවන් වීම, තමන්ට සෘණාත්මක සිතුවිලි සහ ආකල්ප ආවත්, මානසික ව්‍යාකූලතාවන්, අවපීඩනයන් ආවත් ඒ සම්බන්ධ පුහුණු වෘත්තිකයන් මුණගැහිලා හරි ආයෙමත් සුභවාදී ආකල්පයකට එන්න ඕන කියලා හිතීමත් පරිණත ලක්ෂණයක්.
7. සෘජු භාවය
සෘජු, අවංක සහ අකුටිල භාවය කියන්නේ පරිණත මනුස්සයෙක්ගේ ජීවිතයේ තියෙන්න ඕන ලක්ෂණ. සාමාන්‍යයෙන් පරිණත ආකල්පයක් තියෙන මනුස්සයෙක් කෙලින් කතා කරනවා, හැබැයි ඒ කෙලින් කතා කියන්නේ රළු කතාවට, ගොරහැඩි ආකල්පයකට නෙවෙයි. කොටින්ම කියනවා නම්, පරිණත ආකල්පයක් තියෙන මනුස්සයෙක් කෙලින් අදහස් ප්‍රකාශ කළත්, මිනිස්සුන්ගේ හිත් රිද්දන්නෙ නෑ.
8. නිදහසට කරුණු
සාමාන්‍යයෙන් ඔය නිදහසට කරුණු කීම කියන්නේ අඳ බාලයෙක්ගේ ලක්ෂණයක්. ඒ කිව්වේ මෙහෙමයි. අපිට වරදින්න, අතපසු වීම් වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි ඒ වැරැද්දෙන් ගැලවෙන්න නැතිනම් වගකීමෙන් ගැලවෙන්න නිදහසට නොයෙකුත් කරුණු කියනවා. ඔය සමහරු ඉන්නේ, මොන දේ වුනත් ඒකට කියන්න දෙයක් තියෙන. මේ ආකල්පයේ භයානක බව මේකයි. මෙහෙම නිදහසට කරුණු කියන අය තමන්ගේ කොයි දේත් සාධාරණීකරණය කරගන්න, වගකීමෙන් ගැලවෙන්න තමන්ටමත් නිදහසට හේතු හදාගන්න එක. හැබැයි මුහුකුරා ගියපු ආකල්පයක් තියෙන මනුස්සයෙක් ඊට වෙනස්. එයා ගාව නිදහසට කරුණු නෑ. තමන්ගේ වැරදි හෝ අතපසු වීම් වලට වගකීම ගැනීම සහ ඒවා පහුකරලා ජීවිතේට මුහුණ දීම තමයි පරිණත අය කරන්නේ.
9. ලෙමන් වලින් ලෙමන් ජූස්
ජීවිතේ කියන්නේ සේද වලාවන්ගෙන් හැදුණු සුන්දර සුගම මාවතක් නෙවෙයි. ජීවිතේ පාර රළුයි. හැබැයි පරිණත ආකල්පයක් මිනිහෙක්ට හෝ ගැහැණියකට ලැබෙනකොට, මේ ජීවිතේ රළු බව වුනත් සමාදරයෙන් පිළිගන්න සහ කොයි තරම් ජීවිතේ රළු වුනත් තමන්ගේ ගමන යන්න පුළුවන් වෙනවා. එහෙම පරිණත ආකල්පයක් හිමි මනුස්සයෙක් කංකෙඳිරි ගගා ඉන්නෙ නෑ. ඒ වගේම හැම වෙලේම හොඳ සැලසුමක් එක්ක ජීවිතේට මූහුණ දීලා, තමන්ට වැඩක්, වාසියක් කරගන්න ශක්තිය ඒ ආකල්පයත් එක්ක එනවා. කොටින්ම කිවුවොත් ජීවිතේ මේ වගේ මනුස්සයෙක්ට ලෙමන් වලින් ගහනකොට, ඒ ලෙමන් අහුලලා ලෙමන් ජූස් හදාගන්න ටයිප් එකේ ආකල්පයක් ගැන මේ කියන්නේ.
ඉතින් එහෙමනම් හිතලා බලමු. ඔබත් පරිණත ආකල්ප තියෙන මනුස්සයෙක්ද?
Leave a Reply