දැන් අපි ඔය රෙස්‍ටුරන්ට් එකකට ගිහින් කෑමක් බීමක් කන්නේ හැමදාම නෙවෙයිනේ. ඒක පොඩි වෙනසක්. හැමදාම ගෙදරින් ගේන කෑම එක හරි, ඔෆිස් එක පහල හෝටලෙන් කන කෑම එක වෙනුවට පොඩි වෙනසක් දැනෙන්න ඉහළ පෙළේ රෙස්‍ටුරන්ට් එකකින් කෑමක් කාලා බලන්න පුළුවන්. හැබැයි ඔන්න ප්‍රශ්නයක්. මොන රටේ කෑම තියෙන රෙස්‍ටුරන්ට් එකකටද යන්නේ? කොළඹ රටේ ඇත්තටම ලෝකේ විවිධ රටවල් බොහෝමයකට ආවේණික කෑම බීම ලබාදෙන රෙස්‍ටුරන්ට් තියෙනවා. මේ ගොඩක් රෙස්‍ටුරන්ට් වල ඒ ඒ රටවලටම ගිහින් කෑවා වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් තරමට කෑම බීම කොලිටි!
1. Dindigul Thalappakatti Restaurant
දින්දිගුල් තලප්පකට්ටි රෙස්‍ටුරන්ට් කිවුවහම නිකං අමුතු නමක් වගේද? මෙහෙමයි. දින්දිගුල් කියන්නේ තමිල් නාඩු ප්‍රාන්තයේ තියෙන නගරයක්. එතකොට තලප්පකට්ටි කියන්නේ අර හිසේ බඳින තලප්පාවට. දැන් එතකොට මොකද්ද මේ කියන්නේ? තලප්පාව බැඳපු නාගස්වාමි නායිදු දින්දිගුල් වල පටන් ගත්තු රෙස්‍ටුරන්ට් එකක් ගැන. මීට සියවස් භාගෙකටත් වැඩි කාලෙකදී ඉන්දියාවේ දින්දිගුල් වල පටන් ගත්තු මේ රෙස්‍ටුරන්ට් එකේ ශාඛා ඉන්දියාව පුරා තියෙනවා. ඔන්න ශ්‍රී ලංකාවේත් දැන් දින්දිගුල් තලප්පකට්ටි රෙස්‍ටුරන්ට් එකේ ශාඛාවක් තියෙනවා.
සාමාන්‍යයෙන් හුරුපුරුදු උතුරු ඉන්දියානු වගේම දකුණු ඉන්දියානු ආහාර පානත් මෙතනින් ලබාගන්න පුළුවන්. හැබැයි ලේසියෙන් අනික් ඉන්දියන් රෙස්‍ටුරන්ට් වල දැකලා නැති කෑම බීමත් සමහර වෙලාවට දකින්න පුලුවන් වෙයි. තමන්ට ආවේණික විශේෂ ආහාර වට්ටෝරු තියෙන මේ අයගේ කෑම බීම වල අමුතු රසවත් කමකුත් තියෙනවා කිව්වොත් වැරදි නෑ.
තැන මෙතන:
2. TACOCAT
මෙක්සිකන් කිවුව ගමන් මතක් වෙන්නේ ටාකෝ. එතකොට ලංකාවේ ටාකෝ කිවුව ගමන් අපිට මතක් වෙන්නේ ටාකෝ බෙල්. ඔව්, ඇමරිකාවේ තියෙන මෙක්සිකන් ෆුඩ් චේන් එකේ ලංකාවේත් ශාඛාවන් දැන් තියෙනවා. හැබැයි ඉතින් නියම මෙක්සිකන් කෑම වේලක රස බලන්න හිතන කෙනෙක් ටාකෝ බෙල් ගිහින් වැඩක් නෑ. මොකද ඒක අවන්හල් දාමයක ශාඛාවක්. ආන්න ඒ නිසා නියම මෙක්සිකන් කෑමක රස බලන්න යන්න පුළුවන් තැනක් තමයි “ටාකෝ කැට්” කියන්නේ!
ටාකෝ කැට් ඇත්තටම නියම මෙක්සිකන් කෑමක් රස විඳින්න අවස්ථාව දෙන අතරේම, ඒකට අවශ්‍ය නම් පොඩි ශ්‍රී ලංකන් ගතියකුත් එකතු කරලා දෙන්න ලෑස්තියි. ඒක තමන්ගේ කැමැත්ත. ඒ කියන්නේ අපිට ඕන විදියට කියලා ටාකෝ එකක් වුනත්, බරීතෝ එකක් වුනත් හදාගන්න පුළුවන් විදියට තමයි එතන ඔපරේෂන් එක වෙන්නේ!
තැන මෙතන:
3. Bavarian German Restaurant
කොළඹ ක්‍රෙස්කැට් එකට පොඩ්ඩක් එහායින් තියෙන බැවේරියන් රෙස්‍ටුරන්ට් එක අනාදිමත් කාලයක් තිස්සේ ඔතන තියෙනවා කියලා තමයි අපිට මතක තියෙන්නේ. කොළඹ ජර්මන් කෑම කිවුවොත් මුලින්ම මතක් වෙන නමත් බැවේරියන්. එතකොට රෙස්‍ටුරන්ට් එක ඇතුළට ගියහමත් අපිට අර ලී මේස පුටු, උස බාර් කවුන්ටරේ සහ උස පුටු එක්ක අඳුරු පසුතලයත් එක්ක දැනෙන්නේ ජර්මානු පබ් එකක තියෙන ගතිය තමයි. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි, අවුරුදු ගණනාවක් ගත් වෙලාත් බැවේරියන් එකේ කෑම වල කොලිටිය තවමත් කිසිම විදියකින් අඩු වෙලා නැහැයි කියන එක. මෙතන බොන්න තියෙන්නේ බියර් විතරක් නෙවෙයි. සැර බීම වගේම ඕනම විදියක කොක්ටේල් එකක්, මොක්ටේල් එකක් එහෙමත් මෙතනින් ගන්න පුළුවන්. ඕනම කෑම ජාතියක් කන කෙනෙක්ට ගැලපෙන මෙනු එකක් මෙතන තිබුණත්, මස් කන උන්දැලාට නම් මෙතන නත්තල් තමයි! ගාණ ඉතින් සූට්ටක් සැරයි.
තැන මෙතන:
4. Kuuraku Colombo
කොළඹ අවට ජැපනීස් රෙස්‍ටුරන්ට් නම් කීපයක්ම එදා ඉඳන් තිබුණා. අලුතෙනුත් ජැපනීස් රෙස්‍ටුරන්ට් කීපයක්ම ඇරුණා, වැහුණා අපි දැක්කා. කොහොම වුනත් අවුරුද්දකට දෙකකට විතර කලින් පටන් ගත්තු කූරකු ජැපනීස් රෙස්‍ටුරන්ට් එක මේ වෙනකොටත් ගොඩක් දෙනෙක්ට හුරු නමක් නෙමෙයි. ඒකට හේතුවක් තියෙනවා. ජැපනීස් කෑම විතරක් තියෙන රෙස්‍ටුරන්ට් එකකට යන්නේ ජැපනීස් කෑම ලෝලියෙක් විතරයි. එහෙම නැතුව ඕන කඩේකට ගිහින් බර්ගර් හොයන අය කූරකු රෙස්‍ටුරන්ට් ගැන නොදන්න එක සාධාරණයි.
සාමාන්‍යයෙන් ජැපනීස් කෑම සංස්කෘතියේ තියෙන හැම අංගයක්ම වගේ මෙතන මෙනු වල තියෙනවා. යකිටොරි මෙනු එකක් පවා මේ අය ගාව තියෙනවා. සාමාන්‍යයෙන් ජපන් කෑම ටිකක් ගණන්. හැබැයි මෙතන ජපන් කෑම එක්ක බලනකොට සාපේක්ෂව දරන්න පුළුවන් මිලකට රසවත් ජපන් ආහාර පාන ලබාගන්න පුළුවන්.
තැන මෙතන:
5. Giovanni’s Pizza
තිඹිරිගස්යායේ තියෙන ජියෝවානිගේ පීසා කඩේ දන්නෝ දන්නවා. දන්නෝ ආයෙ ආයෙත් යනවා. නොදන්න එවුන් ඉතින් යන්නෙ නෑනේ. හැබැයි ඉතාලි පීසා ගැන පොඩි හරි ඇල්මක් තියෙනවා නම් අපි එක සිතින් රෙකමදාරු කරන තැනක් තමයි මේ. ඇත්තටම ජියෝවානිස් එකේ දිමුතුගේ නියම ඉතාලි පීසා එකක රහ බලපු දාට ඔය පීසා හට්, ඩොමිනෝස් පීසා දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ.
ජියෝවානිස් එක අරින්නේ හවස හයට. ඉස්සර පටු පඩිපෙළකින් උඩට නැගලා, අර ලී වලින් හදපු ඒ තරම් එළිය නැති නියම ඉතාලි රෙස්‍ටුරන්ට් එකක වගේ පෙනුම තියෙන උඩ තට්‍ටුවේ තමයි කෑම කන්න තිබුණේ. හැබැයි දැන් පහළ තට්‍ටුවේ ඉඩ පහසුව තියෙන තව ඩයිනින් හෝල් එකක් තියෙනවා. වයින් බෝතලේකුත් අරගෙන ගියා නං, කට්ටියට වයින් එක්ක නියම ඉතාලි පීසා එකක රහ බලලා එන්න පුළුවන්.
තැන මෙතන:
6. Royal Thai
තායි කෑම කියන්නේ ලංකාවේ ඉස්සර ඉඳලම තිබුණු ආහාර වට්ටෝරු සම්ප්‍රදායක්. හැබැයි ඉතින් ගොඩක් තායි කෑම ලංකාවේ විදියට මිසක් නියමම තායි විදියට නෙවෙයි තියෙන්නේ. කොහොම වුනත් සිනමන් ලේක්සයිඩ් හෝටලේ තියෙන රෝයල් තායි එක මේ දවස් වල කොළඹ තියෙන සුපිරිම තායි කෑම ගන්න පුලුවන් රෙස්‍ටුරන්ට් එකක් කියලා බය නැතුව කියන්න පුළුවන්. හැබැයි ඉතින් හොටෙල් එක සිනමන් ලේක්සයිඩ් නිසාද කොහෙද ගාණ නම් පොඩ්ඩක් සැරයි. ඒ නිසා ඔය දෙන්නත් එක්ක ඇනිවසරිය සමරන්න, අවුරුද්දකට පාරක් දෙපාරක් ආසාවට නියම තායි ඩිෂ් එකක රස බලන්න වගේ දේකට රෝයල් තායි එකට සෙට් වුනාට අවුලක් නෑ. කොහොමත් මෙතන පසුතලයත් නියම තායි විදියට නිර්මාණය කරලා තියෙනවා විතරක් නෙවෙයි, කෑම වලත් රස ගැන සහතිකයක් බය නැතුව දෙන්න පුළුවන්. ඉතින් මෙතන කෑම ටිකක් ගණන් වුනත් වටිනවා!
තැන මෙතන:
7. Monsoon
කොහොමත් ඔය ගිණිකොණදිග ආසියාතික රටවල්, ඒ කිව්වේ වියට්නාම්, ඉන්දුනීසියානු, මැලේසියානු, සිංගප්පූරු වගේ රටවල කෑම බීම ලංකාවේ හොයාගන්න එක ටිකක් අමාරුයි. හැබැයි ඉතින් මොන්සූන් වගේ රෙස්‍ටුරන්ට් එකකට ගියහම ඒක ප්‍රශ්නෙකුත් නෙවෙයි. ගොඩක් වෙලාවට මොන්සූන් එකට යන්න කලින් සමහරු කරන වැරැද්දක් තමයි මොන්සූන් එක කියන්නේ තව එක චයිනීස් එකක් කියලා වරදවා වටහාගෙන අත් ඇරලා දාන එක. ආන්න ඒක අපරාදේ. මොකද ගිණිකොණදිග ආසියාතික රටවලට ආවේණික වුණු විවිධ ආහාර වට්ටෝරු සෑහෙන්න, ඉතාම හොඳ ගුණාත්මක තත්ත්වයකින් මේ අය ඉදිරිපත් කරන්වා. ඒ වගේම තමයි මිල ගණන් වුනත් සාපේක්ෂව බොහොම අඩුයි. ඔය උඩින් කියපු රටවල ස්ට්‍රීට් ෆුඩ් එහෙම ලංකාවේ ඉඳලම ට්‍රයි කරන්න ආසයි නම් මොන්සූන් තමයි තැන!
තැන මෙතන:
Cover Image Source – matadornetwork.com
Leave a Reply