වික්ටෝරියා රැජනගේ දරු මුණුපුරන්

සයිබර් අවකාශය තුළ වැඩියෙන්ම අවභාවිතා වෙච්ච වචනයක් තමයි වික්ටෝරියානු සුචරිතවාදය කියන වචනය. හැබැයි අපි අද කතා කරන්න යන්නේ ඒ සුචරිතවාදය ගැන නම් නෙමෙයි, ඒ සුචරිතවාදයට නම දුන්න වික්ටෝරියා ගැන. හරියටම කිව්වොත් වික්ටෝරියා ගේ දරු මුණුබුරෝ ගැන.

ඇත්තටම කියනවා නම් මේ ආටිකල් එක අපේ තවත් ආටිකල් සීරිස් එකක පළවෙනි කොටස. මොකද අපේ බලාපොරොත්තුව තමයි වික්ටෝරියා රැජිනගේ දරුවන්ගෙන් පටන් අරගෙන අද වෙනකොට යුරෝපයේ රජ කරන රජ පවුල්වල පරම්පරා කථාව කෙටියෙන් ඔබ වෙත ගෙන එන්න.

තව වැඩිපුර කතා බතා නැතුව මාතෘකාවට ගියොත් වික්ටෝරියා රැජින සිහසුනට පත් වෙන්නේ 1837දී. ඒ වෙනකොට ඇයට වයස අවුරුදු 18 පිරුණා විතරයි. වයස අවුරුදු විසි එකේදී ඇය තමන්ගේ මවගේ සහෝදරයෙකුගේ පුතෙකු වන සැක්සේ කෝබර්ග්හි ඇල්බර්ට් කුමරු සමග විවාහ වෙනවා. මේ විවාහයෙන් ඔවුන්ට දරුවන් නම දෙනකු ලැබෙනවා.

 

1. වික්ටෝරියා කුමරිය 

1840 දී වික්ටෝරියා සහ ​ඇල්බට් යුවලට ලැබෙන පළමු දරුවා දියණියක්. බ්‍රිතාන්‍ය රජ පවුලේ සම්ප්‍රදාය අනුව රජ පවුලේ වැඩිමහල් දියණියට හිමිවන Princess Royal නම් ගෞරව නාමය ඇයට හිමි වුණා. ජර්මනිය රටක් වශයෙන් එක්සත් වීමට පෙර තිබූ ජර්මානු රාජ්‍යයන් අතරින් ප්‍රබලතම රාජ්‍යය වන ප්‍රශියාවේ ඔටුන්න හිමි කුමරා වූ ෆ්‍රෙඩ්රික් සමග විවාහ වූ ඇය ජර්මානු අධිරාජනිය බවටත් පත් වුණා. නමුත් ඇයගේ වැඩිමහල් දරුවා නිසා ඇගේ ඥාතීන් පමණක් නොව සමස්ත යුරෝපයම අර්බුදයක් කරා ගියා. ඒ ගැන අපි ඉදිරි ආටිකල් එකකදී සවිස්තරව කියන්නම්.

 

2. ඇල්බට් එඩ්වඩ් කුමරු

 

වික්ටෝරියා රැජනගෙන් පසුව හත්වැනි එඩ්වඩ් නමින් ප්‍රධාන කිරුළට හිමිකම් කියූ ඇල්බට් එඩ්වඩ් කුමරු ඉපදුණේ 1841 දී. වේල්සයේ කුමාර පදවිය දැරූ කාලය සහ කිරුළ හිමි කුමරු ලෙස කටයුතු කළ කාලය සලකා බැලීමේදී ඔහු දෙවැනි වන්නේ වර්තමාන වේල්සයේ කුමරු වන චාල්ස් කුමරුට පමණයි. ඩෙන්මාර්ක රජපවුලේ ඇලෙක්සැන්ඩ්‍රා කුමරිය සමග විවාහ වූ හත්වැනි එඩ්වඩ්ගේ දරු මුණුබුරන්ගෙන් වර්තමාන බ්‍රිතාන්‍ය රජ පවුල සහ නෝර්වේ රජ පවුල පැවත එනවා.

 

3. ඇලිස් කුමරිය 

1878 දී ඉපදුණු ඇලිස් කුමරිය තම පවුලේ සාමාජිකයන් පිළිබඳව අතිශයින් සැළකිල්ලක් දැක්වු තැනැත්තියක්. වික්ටෝරියා රැජන සිය මවගේ සහ සැමියාගේ වියෝව නිසා අතිශයින් සංවේගයට පත්ව සිටි කාලය තුළ ඇයව රැකබලා ගත්තේත් ඇල්බට් එඩ්වඩ් කුමරු රෝගාබාධයක් නිසා මරණාසන්නව සිටි අවස්ථාවේදී  උපස්ථාන ආදිය සිදු කළේත් ඇය විසින්. ජර්මනියේ තවත් රාජ්‍යයක් වූ හෙසහි මහා ආදිපාද ධූරයට පත් වීමට සිටි හතරවෙනි ලුවී සමඟ විවාහ වූ ඇය 1878 දී වසංගත රෝගයක් නිසා මිය ගියා. ඇයගේ දියණියන් දෙදෙනකුට අවාසනාවන්ත ඉරණම් වලට මුහුණදීමට සිදුවූ අතර ඒ ගැන අපි ඉදිරියේදී ඔබට කියන්නම්

 

4. ඇල්ෆ්‍රඩ් කුමරු 

1844 දී උපන් ඇල්ෆ්‍රඩ් කුමරු රුසියානු රජ පවුලෙන් විවාහයක් කරගත් ප්‍රථම සහ එකම බ්‍රිතාන්‍ය රාජකීයයායි. දෙවැනි ඇලෙක්සැන්ඩර් රජුගේ දියණිය වන මාරියා ඇලෙක්ඩ්‍රොව්නා සමග විවාහ වූ ඔහු පසු කලෙක සිය පියාගේ උරුමය නිසාම සැක්සේකෝබර්ග්හි ආදිපාදවරයා බවටත් පත් වුණා. රුමේනියාවේ රැජින බවට පත් වූ මේරි කුමරිය ඔහුගේ වැඩිමල්ම දියණියයි.

 

5. හෙලේනා කුමරිය 

වික්ටෝරියා සහ ඇල්බට් යුවළගේ තුන්වෙනි දියණිය සහ පස්වැනි දරුවා ලෙස 1846දී හෙලේනා උපත ලැබූවා. ඒ තරම් ධනවත් නොවූ මෙන්ම ඇයට වඩා අතිශයින්ම වැඩිමහල් ෂෙල්ස්වීග් -හෝල්ස්ටයින්හි ක්‍රිස්ටයින් නම් ජර්මන් කුමරා සමග ඇය විවාහ වීමට තීරණය කළේ සිය මවගේ බලපෑම මතයි. සිය සැමියා මිය යෑම නිසා අතිශයින් හුදකලා ජීවිතයකට ප්‍රිය කළ වික්ටෝරියා රැජින වැඩිමහල් දියණියන් දෙදෙනාගෙන් පසුව අනිකුත් දියණියන් විවාහයෙන් අනතුරුව විදේශ රටවල පදිංචියට යෑම අනුමත නොකිරීම ඊට හේතුවයි.

 

6. ලුයිස් කුමරිය

1848 යුරෝපය පුරාම විවිධ රාජ්‍ය විරෝධී අරගල ඇති වූ වසරක්. එම වර්ෂයේදී උපන් ලුයිස් කුමරියත් විප්ලවකාරී චරිතයක් වනු ඇතැයි ඇගේ දෙමව්පියන් අනුමානය කළා. ලිබරල් චින්තනයකින් යුතු වූ ඇය රජ පවුලේ සාමාජිකයන් සමග සමීපව කටයුතු කළත්, විවිධ අවස්ථාවල ඔවුන් සමග වාද විවාදවලට ප්‍රිය කළා. වික්ටෝරියා රැජිනගේ දරුවන් අතරින් බ්‍රිතාන්‍ය රටවැසියෙකු සමඟ විවාහ වූ එකම දරුවා ඇයයි. කෙසේවෙතත් ඇග්‍රිල්හි ආදිපාදවරයා බවට පත්වූ ජෝන් කැම්බෙල් සමග සිදුවූ එම විවාහයෙන් එම යුවළට දරුවන් ලැබුණේ නැහැ. 

 

7. ආතර් කුමරු 

වික්ටෝරියා රැජිනගේ පුතුන් අතරින් ඇය අතිශයින්ම ප්‍රිය කළ පුත්‍රයා වන ආතර් කුමරු ඉපදුණේ 1850 වර්ෂයේදී. ප්‍රශියාවේ ලුයිස් මාග්‍රට් කුමරිය සමග ඔහුගේ විවාහයෙන් දරුවන් තිදෙනෙකු ලැබුණු අතර එම දියණියන් දෙදෙනා එවකට යුරෝපයේ සිටි අතිශයින්ම සුන්දර කුමරියන් දෙදෙනෙකු ලෙස සැලකුණා. ඉන් එක් දියණියක් පසුව ස්වීඩනයේ ඔටුන්න හිමි කුමරිය බවටත් පත් වුණා.

 

8. ලියෝපෝල්ඩ් කුමරු 

වික්ටෝරියා රැජිනගේ දරුවන් අතරින් අතිශයින්ම බුද්ධිමත් තැනැත්තා ලෙස ලියෝපෝල්ඩ් කුමරු සැලකෙනවා. නමුත් 1853දී උපන් ඔහුගේ ජීවිත කාලය හිමෝෆීලියාව නිසා වසර තිහකට පමණක් සීමා වුණා. වැල්ඩෙක් සහ පීර්මොන්ට්හි හෙලේනා ෆ්‍රෙඩ්‍රිකා කුමරිය සමඟ විවාහ වූ ඔහුට දරුවන් දෙදෙනෙකු ලැබුන අතර ඔහු මිය ගියේ බාල දරුවා මව් කුසේ සිටින විටයි.

 

9. බ්‍රියට්‍රිස් කුමරිය

වික්ටෝරියා සහ ඇල්බට් යුවළගේ අවසාන දරුවා වන බියට්‍රිස් කුමරිය වික්ටෝරියා රැජිනගේ සමීපතම දරුවා බවට පත් වුණා. මේ නිසාම මුල් කාලයේ දී ඇයට විවාහයක් කර දීමට පවා වික්ටෝරියා රැජින උනන්දුවක් ගත්තේ නැහැ. කෙසේ වෙතත් අවසානයේදී බැටන්බර්ග්හි හෙන්රි කුමරු සමග ඇය විවාහ වූ අතර එම විවාහයෙන් ලැබුණු එකම දියණිය පසුකාලෙක ස්පාඤ්ඤයේ රැජින බවට පත්වුණා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. ආරම්භයේදී සඳහන් කළා වගේම මේ ආටිකල් එකට ලැබෙන ප්‍රතිචාර උඩ අපි මේ ආටිකල් සීරිස් එක ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *