කදිම කතාබස් ඇත්තෙක් විදියට තමන්ව වර්ධනය කරගන්න උපදෙස් කීපයක්!

දැන් අපි කදිම කතාබහ කියලා කිව්වට, සුද්දගේ භාෂාවෙන් නම් මේකට කියන්නේ articulate (ආටික්‍යුලේට්) කියලා තමයි. ඒ කියන්නේ බොහොම ව්‍යක්ත විදියට, ගලාගෙන යන විදියට, කෙනෙක්ගේ හිත ඇදගන්න විදියට කතා කරන්නේ කොහොමද කියන එක ගැන තමයි. ඇත්තටම සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා කිව්වට, ඇත්තටම කතාවෙන් මනුස්සයෙක්ගේ අධ්‍යාපන මට්ටම, බුද්ධි මට්ටම, ශිෂ්ට සම්පන්න මට්ටම වගේ දේවල් මැනගන්න පුළුවන්. එකම දේ කතාවෙන් මනුස්සයාගේ හැසිරීම, වැඩ කිඩ, ගුණාංග මනින්න යන එක ගැටළුවක් වෙන්න පුළුවන්. එච්චරයි. කොහොම හරි, අපි ආයෙමත් කතාවට ආවොත්, ව්‍යක්ත විදියට සහ ශිෂ්ට සම්පන්න සහ විනීත විදියට වගේම හොඳ ගලායෑමක් තියෙන විදියට කතාබහ කරන්න හුරු වෙන එක ඇත්තටම අපේ වෘත්තිය ජීවිතයටත් වැදගත් වෙනවා. දැන් කාලේ ජොබ්ස් වලට ගන්නකොට බලන සොෆ්ට්ස්කිල්ස් වලටත් ඕක අදාළයි. ආන්න ඒ නිසා, කොහොමද ආටික්‍යුලේට් වෙන්නේ කියන එකට අදාළ ටිප්ස් කීපයක් දැන ගැනීම, ඒවා ප්‍රගුණ කිරීම අපිට හැම අතින්ම වැඩදායකයි!

 

1. තමන්ගේ කතාවට සවන් දෙමු

තමන්ගේ කතාබහ කදිමව ගලාගෙන යන විදියට හැඩගස්වා ගන්න හොඳම ක්‍රමයක් තමයි, තමන්ගේම කතාවට ඇහුම්කන් දෙන එක. දැන් කාලේ අපේ අතේ තියෙන ඕනම ෆෝන් එකක රෙකෝඩර් ඇප් එකක් තියෙනවනේ. ආන්න ඒක පාවිච්චි කරලා, තමන් සාමාන්‍ය ජීවිතේදී කතා කරන විදිය, ප්‍රොෆෙෂනල් ලෙවල් එකේදී කතා කරන විදිය වගේ විවිධ තැන්වල කතා කරන විදිය පොඩ්ඩක් රෙකෝඩ් කරගන්න. ඇත්තටම විනාඩි කීපය ගාණේ කතාබහ රෙකෝඩ් වුණත් ඇති. දැන් ඒ රෙකෝඩින් එක නිවීසැනසිල්ලේ අහලා බලන්න, කොහොමද තමන් කතා කරන විදිය කියලා. ඒ කතාවේ හදාගන්න ඕන තැන්, වැඩිවර්ධනය කරගන්න ඕන තැන් මොනවද කියලා බලන්න. එතකොට උච්ඡාරණය එහෙම හදාගන්න ඕන තැන් මොනවද කියලා බලන්න. මෙන්න මේ එක්සයිස් එක, කදිම කතාබහක් තමන්ට නිර්මාණය කරගැනීම සඳහා ඉතාම ප්‍රයෝජනවත්.

 

2. කතාවේ වේගයත් වැදගත්

ගොඩක් වෙලාවට කෙනෙක් කොයි තරම් ව්‍යක්ත විදියට කතා කරන්න උත්සාහ කළත්, එයා කතා කරන වේගය වැඩිවෙනකොට ඒ කතාව අහගෙන ඉන්න අමාරු වෙනවා. අපිට ඒ කතා කරන වේගයට කතා කරන දේ තේරුම් ගන්න අමාරු වීම සහ අහගෙන්න ඉන්න අමාරු වීම විතරක් නෙවෙයි සිද්ධ වෙන්නේ, කතා කරන කෙනාටත් ව්‍යක්ත විදියට හොඳ ගලායෑමක් සහිතව කතා කරන්න අමාරු වෙනවා වේගෙන් කතා කරනකොට. ආන්න ඒ නිසා, හොඳම දේ තමයි උඩ කියපු විදියට තමන් කතා කරන දේවල් රෙකෝඩ් කළාට පස්සේ, තමන්ගේ කතාවේ තියෙන්න අවශ්‍ය වේගය හරිහැටි හදාගන්න එක. සාමාන්‍යයෙන් සංවාදයකදී වගේ කතා කරනකොට කෙනෙක්ට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්, අහගෙන ඉන්න හිතෙන කතා කරන ස්පීඩ් එක වෙන්නේ විනාඩියකට වචන 120-150 ත් අතර ප්‍රමාණයක් තමයි. මේ ප්‍රමාණය තමන්ගේ කතාබහේ තියෙනවද කියලා, ස්ටොප් වොච් තියලා පොඩ්ඩක් ගණන් කරලා බැලුවට කමක් නෑ. එතකොට අපිට පුළුවන් ක්‍රමයෙන් වැඩි ස්පීඩ් එකකින් කතා කරනවා නම්, ඒ ස්පීඩ් එක ක්‍රමිකව අඩු කරගන්න. ඒ ඇරෙන්න, අවශ්‍ය ප්‍රමාණෙට වඩා අඩු ස්පීඩ් එකකින් කතා කරනවා නම් ඒකත් මේ විදියටම හදාගන්න පුළුවන්. 

 

3. අනවශ්‍ය වචන

අපි කතා කරනකොට ඔය එක එක ෆිලර් වර්ඩ්ස් කියලා කියන වචන නොදැනුවත්වම පාවිච්චි වෙනවනේ. ෆිලර් වර්ඩ්ස් කියන්නේ අපි හිතමින් කතා කරනකොට, මැද්දේ හිඩැස් පුරවන්න භාවිතා වෙන වචන. “අම්”, “ඒ කියන්නේ”, “like”, “okay” වගේ වචන මේ ෆිලර් වර්ඩ්ස් විදියට පාවිච්චි වෙනවා. ඒක ස්වභාවිකයි. හැබැයි මේ කතා කරන දේට හරයක් එකතු නොකරන ෆිලර් වර්ඩ්ස් අපේ කතාව ඇතුළේ වැඩි වෙන්න වැඩි වෙන්න අහගෙන ඉන්න කෙනාට තමයි ඒක අමාරු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපි කතා කරන විලාසය ලස්සන වෙන්නෙත් නෑ. අපේ ආත්ම විශ්වාසයත් අඩුයි වගේ තමයි එතකොට පේන්නේ. අන්න ඒ නිසා, මුලින් කතා කරන්න ඕන දේ ක්ෂණිකව අවබෝධ කරගෙන, ෆිලර් වර්ඩ්ස් හැකිතාක් අඩු කරගෙන කතා කරන්න උත්සාහ කරමු. ෆිලර් වර්ඩ්ස් අඩු වෙන තරමට ආටික්‍යුලේට් විදියට කතා කරන්න පුළුවන්.

 

4. හරි තැන්වල නවත්තන්න

දැන් අපි මොනවා හරි දෙයක් ලියනකොට, නැවතීම් සලකුණු නැතුව එක දිගටම ලියාගෙන ගියහම මොකද වෙන්නේ? ඒක අච්චාරුවක් වෙනවා, හා නැද්ද? ආන්න ඒ වගේ තමයි, අපි කතා කරනකොටත් කිසිම නැවතීමක් නැතුව, කිසිම හඬ හැසිරවීමක් නැතුව කතා කරගෙන යනකොටත්. ඒක සමහර වෙලාවට අහගෙන ඉන්න කෙනාට තේරෙන්නෙත් නැතුව යනවා. අන්න ඒ නිසා තමයි, කතා කරනකොට අපි නවත්තන්න ඕන තැන්, ඒ කියන්නේ තත්පරේක වගේ නැවතීමක් තියන්න ඕන තැන් ගැන දැනුවත් වෙන්න අවශ්‍ය. ඒ වගේම, අවධාරණයෙන් හඬ බර කරලා කියන්න ඕන තැන් ගැනත් ඒ වගේම අවබෝධයක් තියෙන්න ඕන. අන්න එහෙම අවශ්‍ය තැන්වල නවත්තමින්, අවශ්‍ය තැන් අවධාරණය කරමින් කතා කරනකොට තමයි ඒක අහගෙන ඉන්න ආස හිතෙන, කෙනෙක්ගේ ඔළුවට කියන දේ යන කතාවක් වෙන්නේ.

 

5. පිච් එක කොහොමද

මේක නම් ගොඩක් අයට පාලනය කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ තමන් කතා කරන හඬේ තියෙන තාරතාවය තමන්ට පාලනය කරගන්න පුළුවන්ද? ඇත්තටම කිව්වොත් පුළුවන්. සම්පූර්ණයෙන්ම නොවුණත්, හොඳ මට්ටමකට පුළුවන්. දැන් අපිට සමහර වෙලාවට ඇහිලා තියෙනවා නේද, කෙනෙක් ඉමෝෂනල් වුණහම, තරහ ගියහම එහෙම එයා සාමාන්‍යයෙන් කතා කරන මට්ටමට වඩා හයි පිච් එකකින් කතා කරනවා? ඇත්තටම අපේ ඉමෝෂන්ස් එක්ක අපි කතා කරන තාරතාවය වෙනස් වෙනවා සමහර වෙලාවට. ඒක ඉතින් අහගෙන ඉන්න එක නම් ගැටළුවක්. ඒ විතරක් නෙවෙයි, අපි කතා කරද්දී එකම පිච් එකක එක දිගටම කතා කරනවා කියන්නෙත් කෙනෙක්ට අපේ කතාව නීරස වෙන්න හේතුවක්. අන්න ඒ නිසා, අපි මුළින්ම කියපු ක්‍රමය අනුගමනය කරලා, තමන්ගේ කතාව මධ්‍යස්ථ තාරතාවයක තියාගන්නත්, ඒ වගේම කතාව අතරවාරයේදී පිච් එක කියන දේ අනුව උස් පහත් කරන්නත් ඉගෙන ගන්න එක වැදගත්.

 

6. කතා කරන්න අවශ්‍ය හඬ ප්‍රමාණයත් වැදගත්

ඇහිලා තියෙනවද සාමාන්‍ය දෙයක් කියන්න වුණත් මහ හයියෙන් කෑ ගහන මිනිස්සුන්ව? ඒ අය ගැන එතකොට අපිට හොඳ හැඟීමක් ඇතිවෙලා තියෙනවද? නෑ නේද? එතකොට ඇහිලා තියෙනවද, කණට ඇහෙන්නෙ නැති තරම් හෙමිහිට කොඳුරන මිනිස්සුන්ව? ඒ අය එක්ක කතා කරන්න ගියහමත් එපා වෙන්නෙ නැද්ද? ආන්න ඒක නිසා තමයි, අපි කතා කරන දේක වොලියුම් එක, ඒ කියන්නේ විපුලතාවය කියන එක ගැනත් අවධානය යොමු කළ යුත්තේ. ඇත්තටම ඒ කතා කරන්න අවශ්‍ය හඬ ප්‍රමාණය වෙනස් වෙනවා අපි කතා කරන තැන එක්ක. උදාහරණයක් විදියට ගත්තොත්, සාමාන්‍ය සංවාදයකදී එතන ඉන්න එක්කෙනාට දෙන්නට ඇහෙන ප්‍රමාණෙකට කතා කළහම ඇති. කෙනෙක් එක්ක සමීපව කතා කරනකොට ඊටත් වඩා ටිකක් අඩු හඬ ප්‍රමාණයක් තිබුණට කමක් නෑ. හැබැයි පිරිසක් අමතනවා නම් වඩා උස් හඬින් කතා කළ යුතුයි.

 

7. උච්ඡාරණයත් වැදගත්

මෙන්න මේක නම් ඉතාම වැදගත්. ඒ කියන්නේ කදිම කතාබහක් තියෙන කෙනෙක් වචන උච්ඡාරණය කරන විදියෙන්, ඒ කෙනාගේ අධ්‍යාපන මට්ටම, බුද්ධි මට්ටම විතරක් නෙවෙයි, සමාජ තත්ත්වය පවා මැනගන්න පුළුවන්. උදාහරණයක් විදියට ගත්තොත්, සාමාන්‍ය කතාබහේදී යෙදෙන “උද්ධමනය” වගේ වචනයක් පවා හරි විදියට, පැහැදිළිව උච්ඡාරණය කරගන්න කෙනෙක්ට බැරි වෙනවා කියන්නේ, එයාගේ භාෂා දැනුමේ ගැටළුවක්. අන්න ඒ නිසා, වචන වල පැහැදිලි උච්ඡාරණය ඉගෙන ගන්න ඕන. ඇත්තටම තමන්ට හුරුපුරුදු නැති භාෂාවක නම් උච්ඡාරණය කරන්න අසීරු වචන තියෙන්න පුළුවන්. හැබැයි තමන්ට හුරු භාෂාවෙත් උච්ඡාරණය කරන්න අසීරු වචන නිතරම අහුවෙනවා නම් ඒක ගැටළුවක්. මේ උච්ඡාරණය හදාගන්න හොඳම ක්‍රමයක් තමයි පොතක තියෙන පාඨයන් හඬ නගා කියවීම. ඕන නම් ඒකත් රෙකෝඩ් කරලා අපේ උච්ඡාරණයේ තියෙන වැරදි හදාගන්න පුළුවන්. 

 

අපි මීට කලිනුත් කියලා තියෙනවා නිකම්ම ටෝක්ස් දෙන්නෙ නැතුව ආකර්ෂණීය විදියට, පැහැදිලි විදියට සහ අපේ පෞරුෂත්වය ඉස්මතු වෙන විදියට කතාබහ කරන්නේ කොහොමද කියන කාරණාව ගැන. ඒ කියලා තියෙන කරුණු ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කළාට කමක් නෑ!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *