මේ ලක්ෂණ තියනවනම් ඔයත් සුපිරි බේබද්දෙක් තමයි!

ආටිකල් එකේ හෙඩිම දැක්ක ගමන් “මමත් සුපිරි බේබද්දෙක් තමයි ඩෝ!” කියලා ආඩම්බරෙන් ආවානම් පොඩ්ඩක් හෝව් කියලා තමයි කියන්න වෙන්නේ. මොකද හිත රිදෙන්න, හිත කැඩෙන්න පුළුවන්.

මෙහෙමයි, කෙනෙක් බොන එකට හෝ නොබොන එකට අපිට විශේෂයෙන් පාලනයක් දාන්න බැහැ. හැබැයි වගකීමකින් තොරව, සීමාව ඉක්මවලා මත්පැන් වගේ දේවල් බොනවනම් ඒක කෙනෙක්ගේ සෞඛ්‍යයට වගේම, එයාගෙ සමාජීය ජීවිතේටත් අහිතකර විදිහට බලපාන්න පුළුවන්. අන්න ඒ නිසා අපි මේ කියන බේබදු ලක්ෂණ ඔයාටත් තියනවනම් පොඩ්ඩක් බැරෑරුම්ව හිතන්න කියලයි අපි ඔයාට කියන්නේ.

 

හරි, අපි බලමු මොනවද මේ ලක්ෂණ කියලා…

 

1. දුකට, සැපට වෙනසක් නැතිව ඕනි වෙනවද?

හිතට මොකක් හරි අප්සෙට් එකක්, දුකක් ආපු ගමන් ඔයාට හිතෙන්නේ ඩ්‍රින්ක් එකක් දාලා ඒක ටිකක් සමනය කර ගන්නද? ඒ වගේම ජීවිතේ මොකක් හරි සතුටුදායක දෙයක් සිද්ධ වුණාම ඒක සෙලිබ්‍රේට් කරන්නේ මත්පැන් බීලාද? කම්මැලි හිතුනාම මූඩ් එක නග්ගලා ගන්න දෙකක් දාගන්න පුරුදු වෙලාද? අන්න එහෙනම් අපිට කණගාටුවෙන් වුණත් කියන්න වෙනවා ඔයා බේබදුකමට හුරු වෙලාය කියලා. ජීවිතේ උස්, පහත් ඕනෑම මානසික මට්ටමක් දරාගන්න ඔයාට මත්පැන් වල සහය හැමවෙලේම ඕන වෙනවා කියන්නේ හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි මේ කියන්නේ ඉඳලා හිටලා ජීවිතේ දෙයක් සමරන්න ඩ්‍රින්ක් එකක් දාන එක බේබදුකමක් කියලා නෙමෙයි, හැම සැමරීමකටම, හැම දුකකටම, කම්මැලිකමකටම මත්පැන් ගාවගන්න එක ගැනයි.

 

2. බීම මත පදනම් වුණු සම්බන්ධතාද වැඩිපුරම තියෙන්නේ?

ඔයාගේ යාළු මිත්‍ර සම්බන්ධතා තනිකර බෝතලේ මතද පදනම් වෙලා තියෙන්නේ කියලා විමසලා බලන්න. ඔයා ආශ්‍රය කරන යාළුවෝ වැඩි දෙනෙක්ව බොන ටේබල් එකකදී විතරද මුණ ගැහෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. එතනින් එහාට සාමාන්‍ය ජීවිතේ නොබී ගත කරලා, ඒ අයත් එක්ක ආශ්‍රය කරන අවස්ථා තියනවද කියලාත් හිතල බලන්න. ඉන්න තරමක් යාළුවෝ ඉන්නේ “සෙට් වෙමුද මචන්?” කියපු දවස්වලට විතරක් මුණ ගැහෙන අයනම්, තමන්ගේ බීම ගැන ටිකක් සීරියස්ව හිතන්න වෙනවා.

 

3. බොන තැනට මුල් තැන දෙනවද?

මඟුල් ගෙදරක, පාටියකට විතරක් නෙමෙයි, දානයකට ගියත් බොන්න දුන්නේ නැත්නම් මූණ කොරොස් වෙලා, කේන්ති යනවද? කොහෙන් හරි ගෙනැත් හරි බොන්න හිතෙනවද? ගමන් දෙකක් අතරින් එක ගමනක් තෝරගන්න කිවුවොත් එතනදී බොන්​න ලැබෙන ප්ලේස් එකට මුල් තැන දෙනවාද? අන්න එහෙමනම් ඒකත් බේබදු කමේ ලක්ෂණයක් තමයි යාළුවා. ඔයා යන ගමනක විනෝදය තියෙන්නේ මත් වෙන එකෙන් විතරයි කියලයි ඒකෙන් අපිට තේරුම් ගන්න වෙන්නේ.

 

4. නිතර බ්ලැකවුට් වෙනවද?

කොච්චර හොඳට බිව්වත් කලාතුරකින් හරි කට් වෙන්න වදින දවස් අපි කාටත් තියෙන්න පුළුවන්. මේ කියන්නේ ඒ ගැන නෙමෙයි. ඔයා තනියෙන් බිවුවත්, කට්ටිය එක්ක සෙට් වෙලා බිව්වත් ගොඩක් දවස්වලට බීලා අන්තිමට කරපු දේවල් පහුවදාට මතක නැත්නම්, එතන ලොකු අවුලක් තියනවා. ඒ කියන්නේ ඔයා නිතරම පමණ ඉක්මවලා බොනවා කියන එකයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ටීවී ෂෝ එකක්, චිත්‍රපටයක් බලන ගමන් බීපු පහුවදාට කතාව මතක​ද කියලා? එහෙම නැත්නම් කලින් දවසේ බීලා ගෙදර ආවේ කොහොමද කියලා මත​කද කියලා? නිතර නිතර එහෙම අමතකවීම් වෙනවනම් බීම ගැන සීරියස්​ව හිතන්න කාලෙ හරි.

 

5. කොච්චර බිවුවත් වදින්නේ නැතිද?

මේකත් අපේ උදවිය ලොකු කමකට හරවගත්ත එකක්. “මටනම් තුන් කාලක්වත් ඕන වෙරියක් දැනෙන්න”, “බෝතල් දෙකක් බීලත් අපි කෙලින්” වගේ ටෝක්ස් ඉෂූ කරනවා. සමහරු ‘අද ලාවට’ කියලා බෝතල් ගණන්වල ෆොටෝ ෆේස්බුක් දානවා. මේ විදිහට අරක්කු වදින්නේ නැහැ කියන්නේ හපන්කමකට වඩා සෞඛ්‍ය අවදානමකට ගන්න ඕන කාරණයක්. මොකද සමහරවිට කාල​යක් තිස්සේ නිතර නිතර විශාල ප්‍රමාණවලින් මත්පැන් ගැනීම නිසා ශරීරය මත්පැන් සැරට හුරුවෙලා නිසා අපිට වෙරි නොදැනෙන්න පුළුවන්. එහෙම වුණාම වෙන්නේ වෙරි වෙන්න කියලා ක්‍රම ක්‍රමයෙන් අපි ගන්නා මත්පැන් ප්‍රමාණය වැඩි කරන්න වෙන එකයි. ඒක හොඳද නරකද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද?

 

6. දුරස් වුණු අය ඉන්නවද?

බොන මේස කියන්නේ ඉතින් වලියක් දෙකක් ඇදෙන තැන් තමයි. ඉඳහිටක ඒ වගේ දෙයක් අපිට අසාමාන්‍ය කාරණාවක් කියලා හිතන්න බෑ. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ බීලා ඇති කරගත්ත බහින්බස්වීම්, ගැටුම් නිසා ඔයාගෙ යාළුවෝ, පවුලේ උදවිය, ආදරණීයයෝ ඔයාගෙන් ඈත්වෙලා ගිහින් තියනවද කියන එකයි. බීමත්කම නිසා වුණු සිදුවීම්වලින් ඔයාගෙ ජීවිතයෙන් ඈත් වුණු අය කීප දෙනෙක් හරි ඉන්නවනම්, ඔයා පොඩ්ඩක් බීමෙන් පස්සේ ඔයාගේ හැසිරීම සහ බීමේ පුරුද්ද ගැන නැවතත් අවංකව හිතලා බැලුවොත් හොඳයි.

 

7. වගකීම් පැහැර හැරෙනවද?

බොන්න කරන වියදමට මුල් තැන දෙන නිසා ගෙදර අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්න එක, ගෙදරට අවශ්‍ය අලුත්වැඩියාවන් කරන එක ​මග හැරෙනවද? නැත්නම් කල් යනවද? බීම නිසා කාර්යාලයේ වැඩ අතපසු වෙලා ගොඩ ගැහෙනවද? වැඩ කරන්න මූඩ් නැතිද? බිරිඳ හෝ පවුලේ අය තමන්ට කරන්නට කියලා මතක් කරන දේවල් නිතර මග හැරෙනවද? අමතක වෙනවද? එහෙනම් බොහෝවිට ඒ ඔයා ජීවිතේ වැඩි කොටසක් බීම වෙනුවෙන් කැප කරලා, බීමට මුල් තැන දීලා තියන නිසා වෙන්න පුළුවන්. ඒ ගැනත් හිතන්න.

 

හරි දැන් මේ කියන්නෙ බොන්න එපා කියලද? අපොයි නෑ. අපි කියන්නේ වගකීම් සහගතව තමන්ගේ බීම එන්ජෝයි කරන්න කියලයි. කොහොමද වගකීම් සහගතව බොන්නේ කියල දැනගන්න ඕන නම් පහත අපේ ලිපිය කියවන්න!

 

වගකීමෙන් බොන කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මේ ආටිකල් එක කියවලා දැනගන්න!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *