නිවසට සැළසුමක් අඳින්න කලින් හිතන්න ඕන කාරණා මේවා තමයි

ගෙයක් දොරක් කියන්නෙ කාගෙත් හීනයක්. හැබැයි හැබෑ කරගන්න ලේසි නොවෙන හීනයක්. අද කාලේ වියහියදම් එක්ක ගෙවල් හදනව කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසාම ගෙයක් දොරක් හදනකොට හිතන්න දේවල් සෑහෙන්න තියෙනව. හදපු ගෙයක් මිලදී ගන්නෙ නැතුව තමන්ට ආස විදිහට ගෙයක් හදන්න තීරණය කරන කෙනෙක්නම් ඉස්සෙල්ලම ඒ නිවසට සැළසුමක් නිර්මාණය කරගෙන ඉන්න ඕනනේ. ඉතින් අපි අද කතා කරන්නෙ එහෙම අදහසක් හිතේ තියෙන කෙනෙක් ඒ සැළසුම අඳින්න කලින් හිතල බලන්න ඕන කාරණා කිහිපයක් ගැනයි. මේ මූලිකම කාරණා හිතේ තියාගෙන වැඩේ පටන් ගත්තොත් අඳින සැළසුම ගැන සැකයක් හිතේ තියාගන්න ඕන වෙන එකක් නැහැ.

 

1. ඉඩමේ ස්වභාවය

ඉඩම් කියන්නෙ එක එක විදිහයි. හැඩය, ප්‍රමාණය, පසේ සංයුතිය වගේ විවිධ කාරණා වලින් ඉඩමකට තවත් ඉඩමක් වෙනස් වෙනවා. ඉතින් සැළසුමක් අඳිනකොට අනිවාර්යයෙන්ම මේ සියළු කරුණු සලකා බලන්න ඕන. ඉඩමට එන මාර්ගය, වාහනයක් ඇතුල් කරන්න පුළුවන් කොහොමද, ඉඩමේ ප්‍රමාණය අනුව නිවසේ විශාලත්වය කොච්චර වෙන්න ඕනෙද වගේම පසේ සංයුතිය අනුව පදනම යොදන්න ඕන විදිහත් තීරණය වෙනවා. මේ දේවල් නොසළකා හිතුමතේ ගෙයක් හැදුවොත් පහුකාලීනව කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා.

 

2. ඔබේ ජීවන රටාව

සැළසුමක් ඇඳීමේදී ගෙදර ජීවත්වෙන අයගේ ජීවන රටාව ගැනත් සළකා බලන්න ඕන. නිවසේ වැඩිපුර රැඳෙන අයද, වැඩිපුර පිටත රැඳෙන අයද කියන එක වගේම ගෙයි ඇතුළෙම රැඳෙන අයද, එහෙමත් නැත්තම් එළිමහනේ රැඳෙන අයද කියන එක. ගේ ඇතුළේ වැඩිපුර රැඳෙන පොත් පත්, චිත්‍රපටි වගේ විනෝදාංශ වල නිරතවෙන අයනම් ඉඩකඩ ඇති, ආලෝකය, වාතාශ්‍රය හොඳින් ඇති කාමර ඕනෙ. ඒ වගේම ගෙදර අයගේ මල් වැවීම, එළවළු වැවීම, සෙල්ලම් කිරීම වගේ විනෝදාංශ, ඒවාට අවශ්‍ය ඉඩකඩ ගැනත් හිතන්න ඕන. එළිමහනට ආස අය ඉන්නවනම් මිදුල ටිකක් ඉඩ තියෙන්න ඕන. ගෙදර ඉඳගෙන රාජකාරී කටයුතු කරනවනම් ඒකට වෙන්වුණු කාර්යාල කාමරයක් තියෙන එක හොඳයි. ඒ වගේ දේවල් කලින්ම සැළසුම් කරන්න. ගෙවල් හැදුවට පස්සෙ ආයේ වෙනස්කම් කරන්න බැහැනේ.

 

3. වියදම් කළ හැකි මුදල

මේකනම් ඉතින් කියන්න තරම් දෙයකුත් නෙමෙයි. අතේ ඇති, දරන්න පුළුවන් මුදලට එපැයි සැළසුම් කරන්න. ලොකු ප්ලෑන් ඇඳගත්තට හදලා ඉවරකරගන්න සල්ලි නැත්තම් වැඩක් නැහැ. හැමදාම බාගෙට හදපු ගෙවල් වල ඉන්න හිතාගෙන නම් ප්ලෑන් අඳින්න එපා. ඒ නිසා දරන්න පුළුවන් වියදමකට සරිලන සැළසුමක් මුලින්ම ඇඳගන්න. පස්සේ ලොකුවට හදන්න හිතන් ඉන්නවනම් ඒ ගැනත් සැ​ළසුම් නිර්මාණකරුට කියලා පියවර කිහිපයකට සැළසුම නිර්මාණය කරගන්න. එතකොට බාගෙට හදපු ගෙයක් වගේ හැමදාම පේන්නෙ නැහැනේ.

 

4. අවශ්‍ය නිමැවුම

ඕනම කෙනෙකුගේ හිතේ තියෙනවනේ මේ වගේ ගෙයක් තිබ්බනම් හොඳයි කියල ලස්සන රූපයක්. ඒ රූපය බය නැතුව සැළසුම් නිර්මාණ ශිල්පියාට කියන්න. ගෙයක් හදන්න හිතෙන මුල්ම කාලේ ඉඳලා ලස්සන ගෙවල් වල පින්තුර එකතු කළත් කමක් නැහැ. මොකද කොයිතරම් වියදම් කරල හැදුවත් නිමාවට තමන් කැමති නැත්තම් ඒ ගෙදර ජීවත්වෙන්න ආස හිතෙන්නෙ නැහැනේ. ඒ නිසා වියදම් කරන එකේ හිතේ තියෙන ගේම සැළසුම් කරගන්න අමතක කරන්න එපා.

 

5. නීතිමය තත්ත්වයන්

සැළසුම් අනුමත කරනකොට ඒ ඒ රාජ්‍ය ආයතන වල එක එක නීතිමය තත්ත්වයන් තියෙනවා. ඒවා ගැනත් සැළකිලිමත් වෙන්න ඕන. සැ​ළසුම් අනුමත නොකර ගෙයක් හැදුවොත් පස්සෙ කාලෙක ඕන උනත් බැංකු ණයක්වත් ගන්න බැහැ. ඒ නිසා නීතියට ගැලපෙන්න හරියට සැළසුම ඇඳලා අනුමත කරවගන්න අමතක කරන්න එපා. මේ තොරතුරු සැ​ළසුම් නිර්මාණ ශිල්පියාගෙන් වගේම අදාළ ආයතන වල තාක්ෂණ නිලධාරීන්ගෙනුත් ලබාගන්න පුළුවන්.

 

6. නිවසේ ජීවත්වන පිරිස

කොයිතරම් පිරිසක් නිවසේ දැනට ඉන්නවද, ඉදිරියේදී එකතුවෙන්න ඉන්න පිරිස කොච්චරද කියලත් හිතල තමා ගෙයක් හදන්න ඕන. මොකද ගෙයක් හදන්නේ මාසෙකින් දෙකකින්, අවුරුද්දකින් කඩල දාන්න නෙමෙයි, පරම්පරාවක්, දෙකක් මේ ගෙදර ජීවත් වෙන්න ඕන. ඒ නිසා ටිකක් ඉදිරියට පවුල සැ​ළසුම් කරගෙනම ගෙදර සැළසුමත් ඇඳගත්තනම් තමයි වැඩියෙන්ම හොඳ. නැත්තම් පවුලට අලුත් සාමාජිකයින් එකතු වෙද්දී, දරු මල්ලෝ ලොකු වෙද්දී නිදාගන්න කාමර, ඉන්න ඉඩකඩ මදිවෙන එක කරදරයක්.

 

7. වටපිටින් එන කරදර

ගේ සැළසුම් කළාට විතරක් මදිනේ. හදල ඒ ගෙදර ජීවත් වෙන්නත් ඕන නිසා වටපිට අය ගැන ටිකක් කලින්ම හොයල බලන්න. ගෙවල් හදද්දී වගේම හදල ඉවර උනහමත් වටපිටෙන් කරදර එන්න පුළුවන්. ඒවා ටිකක් කලින් හොයල බලල සැළසුම් ඇඳගත්තනම් හොඳයි. කරදරකාර මායිම් එහෙම තියෙනවනම්, එහෙමත් නැත්තම් ආරක්ෂාව මදියි කියල හිතෙන පැත්තක්නම් ඒ පැත්තට බ්ලයින්ඩ් වෝල් එකක් වගේ ඩිසයින් කරලා ගැටළුව විසඳගන්න පුළුවන්. වටපිට කරදර වලින් බේරෙන්න ඒ වගේ සරළ ක්‍රම ඕන තරම් තියෙනවා. ඕන වෙන්නේ හරියට සැළසුම් කිරීම විතරයි.

ඉඩමක සැලසුමක් කිව්වම අපි පුරුදුවෙලා ඉන්නෙ සාමාන්‍ය draftsman කෙනෙක් ඒ කියන්නෙ සැළසුම් ශිල්පියෙක් ලවා සැ​ළසුම් ඇඳගන්න. හැබැයි ඔය උඩින් කියපු ඔක්කොම කාරණා හොඳටම සළකල බලල හැම අතින්ම හොඳ සැළසුමක් නිර්මාණය කරගන්නනම් ඔබ මුණගැහෙන්න ඕන ගෘහ නිර්මාණ ශිල්පියෙක්වයි. මොවුන්ගේ මිල ගණන් නම් ටිකක් ඉහළයි, ඒත් ගෙවන මුදලට කවදාවත් පාඩුවක්නම් වෙන්නෙ නැහැ. ඒ වගේම ඔහු විසින් නිර්මාණය කරන සැලසුම ව්‍යුහාත්මක ඉංජිනේරුවරයෙක් ලවා පරීක්ෂා කරගත්තොත් වැඩේ තවත් ෂුවර්. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *