ඔයා වගකීමෙන් යුතුව මත්පැන් පානය කරන කෙනෙක්ද? කියලා අපි ඇහුවොත් බොහෝ දෙනෙක් කියයි, අපි කොච්චර බිව්වත් මීටර්, ආතල් එක අරන් ෂේප් එකේ එන හැටි අපි දන්නවා කියලා. හැබැයි වගකීමෙන් යුතුව මත්පැන් පානය කරන එක ඊට වඩා ලොකු පරාසයකට විහිදෙන දෙයක්. ඔයාගෙ සෞඛ්‍යය රැකගෙන, මත්පැන් වලට ඔයාව පාලනය කරන්න ඉඩ නොදී, සමාජයෙන් ඔයාට සිද්ධ වෙන්න පුළුවන් කරදරත් අවම කරන එක තමයි වගකීමෙන් යුතුව මත්පැන් පානය කරන එකෙන් සිද්ධ වෙන්නෙ.
හරි. අපි බලමු කොහොමද වගකීමෙන් යුතුව මත්පැන් පානය කරලා රෙස්පොන්සිබල් ඩ්‍රින්කර් කෙනෙක් වෙන්නෙ කියලා.
1. ලිමිට් එක ඇතුළේ ඉන්න බලන්න
ලිමිට් එක කියල කිවුවම මෙතනදී කියන්නෙ සිහිය විකල් වෙනකම් බොන්න එපා කියන එක නෙමෙයි. කෙනෙක්ගේ ශරීරයට හානිකර වෙන්න පුළුවන් මට්ටමකට මත්පැන් පරිභෝජනය කරන්න එපා කියන එකයි.
සාමාන්‍යයෙන් පිරිමි කෙනෙකුට දවසකට ඩ්‍රින්ක්ස් 4කුත් ගැහැණු කෙනෙක්ට දවසකට ඩ්‍රින්ක්ස් 3කුත් තමයි අවදානම් අඩු මට්ටමේ තියෙන්නෙ. සතියකට ගත්තහම පිරිමි කෙනෙක්ට ඩ්‍රින්ක්ස් 14කුත් ගැහැණු කෙනෙක්ට ඩ්‍රින්ක්ස් 7කුත් තමයි උපරිම සීමාව. දැන් මෙතන ඩ්‍රින්ක් එකක් කිවුවෙ මොකක්ද? එක ඩ්‍රින්ක් එකක ප්‍රමාණය ඒ ඒ ඇල්කොහොල් වර්ග අනුව වෙනස් වෙනවා. ලයිට් බියර් එකක් ගත්තොත් ඒකෙ මිලි ලීටර 300ක විතර ප්‍රමාණයක් තමයි 1 ඩ්‍රින්ක් එකක් හැටියට ගැනෙන්නෙ. 12% සැර වයින් නම් මිලි ලීටර 100ක් තමයි 1 ඩ්‍රින්ක් එකකට සමාන වෙන්නෙ. 40% සැර මධ්‍යසාර නම් මිලි ලීටර 30ක් 1 ඩ්‍රින්ක් එකකට සමාන වෙනවා.
2. උඩ ගාණ හදල බලල බොන්නද දැන් යන්නෙ? එහෙනම් පොඩ්ඩක් හෝව්
දැන් ඔයා පිරිමි කෙනෙක්නම් හිතන්න පුළුවන් ‘රයිට්. දවසට මිලි ලීටර 30 ෂොට් 4ක් ඕකේ නම් අවුලක් නෑ’ කියලා. හැබැයි එහෙමත් වැඩේ හරියන්නෙ නෑ. මොකද ඔයා දවසට ෂොට් 4 ගාණෙ ගැහුවොත් සතියට ඩ්‍රින්ක්ස් 28ක් සෙට් වෙනවා (4×7). එතකොට ඒ ගාන සතියකට ඔයා ඉන්න ඕනෙ උපරිම මට්ටමට (14ට) වඩා දෙගුණයකින් වැඩියි. ඒක සෞඛ්‍යයට අවදානමක්. ඒ නිසා ඔයා කරන්න ඕනෙ දවසට ඩ්‍රින්ක්ස් 4ට වැඩියෙන් නොගෙන, ඒත් එක්කම සතියක මුළු එකතුව ඩ්‍රින්ක්ස් 14 පන්නන්නෙ නැති මට්ටමක ඉන්න එකයි. උදාහරණෙකට ඔයාට පුළුවන් අවදානම් අඩු ලෙවල් එකෙන් දවස් 3ක් බොන්න (3×4).
3. ළඟ නවන්න එපා
ඇල්කොහොල් ලිමිට් පනින්න වගේම රුධිරයට වේගයෙන් ඇල්කොහොල් එකතු වෙන්නටත් බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ ළඟ නැවිල්ල. ඒ නිසා කල් වේලා අරගෙන, පුළුවන් නම් ඩ්‍රින්ක්ස් ගන්න අතරතුර ජලය එහෙම පානය කරමින් ඩ්‍රින්ක් එන එන්ජෝයි කරන්න. අනිත් කෙනා තමන්ට වඩා ගසයි කියල හරි, බෝතලේ ඉක්මනට ඉවර කරන්න හිතල හරි හදිස්සි වෙන්න එපා. අපි 1 වෙනි පොයින්ට් එකේ කිවුවනේ ස්ටෑන්ඩර්ඩ් ඩ්‍රින්ක් 1ක් එක එක ඇල්කොහොල් වර්ග අනුව එන හැටි. අන්න ඒ විදිහේ ඩ්‍රින්ක් 2කට වඩා පළවෙනි පැය ඇතුළත ගන්න එපා කියලයි වෛද්‍යවරු කියන්නෙ.
4. කන්ට්‍රෝල් නැත්නම් ස්ටොක් තියාගන්නත් එපා
දැන් සමහරු ඉන්නවා බොහොම ලස්සනට වෛවාරන්න වටිනා බෝතල් සහිත ලිකර් කැබිනට් එහෙම තියාගෙන ඉන්න. මේ අය ඒකෙන් බෝතලයක් කඩන්නෙ විශේෂ අවස්ථාවක විතරයි. අන්න එහෙම අයට මේක අදාළ නෑ. හැබැයි ලෝකෙම අරක්කු ඉවර වෙයි වගේ කියල හිතල සතියකට විතර බොන්න අරක්කු බියර් ගෙදර ගොඩ ගහගෙන ඉන්න අයත් ඉන්නවා. ඒ අතරින් සමහරුන්ට දෙක වදිද්දි දවසේ ප්‍රමාණය අමතක වෙලා සතියක බඩු දවස් දෙකෙන් ඉවර කරන අවස්ථා තියනවා. අන්න ඒ නිසා හොඳම දේ තමයි බොනවනම් එදා දවසට එන්ජෝයි කරන්න පුළුවන් ප්‍රමාණයට විතරක් මත්පැන් ගේන එක. එතකොට කාල බොන කෙනාට බාගෙ පෙවෙන්නත්, බාගෙ බොන කෙනාට බෝතලේ පෙවෙන්නත් තියන ඉඩ අඩුයි.
5. බීලා නොඑලවනු!
යාළුවෝ එක්ක බීලා ෆන් එකක් ගන්න හිතන් යනවනම් ගෙදර එන විදිහක් ගැනත් කල්පනා කරලම යන්න. බීලා ඩ්‍රයිව් කරන්නනම් හිතන්නවත් එපා. තමන්ට කරදරයක් නොවුනත් තමන් අතින් වෙන අනතුරකින් පාරේ තොටේ ඉන්න අහිංසක සතෙක්ටවත් කරදරයක් නොවිය යුතුයි. ඒ නිසා ඒ යන තැනට ඌබර් පික්මී ටැක්සියක්වත් ගෙන්න ගන්න පුළුවන්ද? රූට බස් තියනවද? ගෙනිහින් දාන්න යාලුවෙක් ඉන්නවද කියලා පොඩ්ඩක් හොයල බලල යන්න. බිවුවට පස්සෙ කෝච්චි වුණත් එළවන්න පුළුවන්, කොළඹ ඉඳන් පයින් ගාල්ලට වුනත් යන්න ගටක් එනවා. අන්න ඒ වගේ ආවේගවලට යට නොවෙන එක වගකීමෙන් යුතු කෙනෙක්ගේ ලක්ෂණයක් නෙමෙයි. ඒ නිසා කලින්ම යන විදිහක් ප්ලෑන් කරලා, එන්ජෝයි කරලා, නිවී සැනසිල්ලේ ගෙදර යන්න.
6. අප්සෙට් නම් මාරු වෙන්න
කොච්චර ලිමිට් පිට හිටියත් මත්පැන් අපේ ආවේග, සංවේදනා මතු කරන්න සමත් ය කියන එක බොරුවක් නෙමෙයි. මම දැන් ටිකක් වෙරි මතේය ඉන්නේ කියන එක පරිණත මත්පැන් ලෝලියෙක් අනිවාර්යෙන් තේරුම් ගත යුතු දෙයක්. ඒක නොතේරෙනවානම් එහෙම අය බොන එකත් අවදානම්. ඉතින් මේ හැඟීම් දැනීම් මතුවීම නිසා අපිට වෙලාවකට හිතට තරහ එන්න පුළුවන්, දුක හිතෙන්න පුළුවන්. අන්න ඒ වගේ හැඟීම් අපි වටේ ඉන්න පිරිස නිසා ඕනෑවට වඩා ඉස්මතුවේගෙන එනවනම්, ඒකෙන් අනවශ්‍ය ප්‍රශ්න මතුවෙන්න ඉඩ වැඩිනම්, වහාම එතනින් සුහදව සමු අරන් එන එක තමයි වඩා හොඳ. නැත්නම් අහක යන දේශපාලන වලි, ජාතිවාද ප්‍රශ්න, ලවු ඉලවු ගැන කතා කරලා මරාගෙන පහුවදාට නැගිටින්න වෙන්නෙ ජීවිතේම එපා වෙලා.
7. අනුන්ගෙ බල කිරීම්වලට යට නොවෙන්න
කොච්චර බොන පොරක් වුනත් තමන්ට ඒ දවසේ බොන්න මූඩ් නැත්නම් බලෙන් මූඩ් හදාගෙන බොන්න යන්නේ නැතිව ඉන්න පුළුවන් තරම් මානසික මට්ටමක් තියෙන්න ඕනෙ. බොන එක වීරකමක් නොවෙන වගත් වටහාගන්න ඕනෙ. ෂොට් එකක් දැම්මෙ නැත්නම් යාලුකම් අත අරිනවා කියල යාලුවෙක් ඇත්තටම කියනවනම් ඒ යාලුවෙක්වත් මාලුවෙක්වත් මොකෙක්වත් නෙමෙයි. වෙනත් අයව සතුටු කරන්න කියලා වක්කරලා දෙන ෂොට් එක වනාගන්න යන්නත් එපා. තමන්ට ඕනෙනම් විතරක් බොන්න. ඒ විතරක් නෙමෙයි, නොබොන අයට බොන්න බල කරන්නත් එපා. බීල ඇති නම් නවත්තන්න. බෝතලේ ඉවර කළේ නැහැ කියලා බෝතලේ තරහ වෙන්නේ නැති බව තේරුම් ගන්න.
Leave a Reply