2020 වසරේ ලොව වටිනාම සන්නාම දහය අතුරින් පළවෙනි ස්ථානය හිමිකරගත්තු (ෆොර්බ්ස් සඟරාව අනුව) ඇපල් සමාගම ගැන අහල නැති කෙනෙක් නැති තරම්. ඇපල් කියන්නෙ ඒ තරමට ලෝකයේ හැම දෙනා අතරම ඉතාම ජනප්‍රිය සන්නාමයක් වගේම හැම දෙනාම තමන්ට මිලදී ගන්න අපේක්ෂා කරන බ්‍රෑන්ඩ් එකක්. ඔවුන්ගේ නිෂ්පාදන අතර ඇපල් දුරකථන, ඇපල් පරිගණක, අයි පොඩ්, අයි පෑඩ්, ඇපල් වොච්, ඇපල් ටීවී සහ ඒ ආශ්රිත මෘදුකාංග තමයි ගොඩක්ම ජනප්‍රිය. නමුත් තවත් බොහොමයක් දේවල් ඇපල් ආයතනය මඟින් නිපදවනවා, ලංකාවේ ඒ තරම් ජනප්‍රිය නැති. ඉතින් හිතාගන්න පුළුවන් නේද ඇපල් සමාගමේ විශාලත්වය ගැන. ඉතින් ඇපල් ආයතනය තමන්ගේ නව ප්‍රධාන කාර්යාලය තමන්ගේ තත්ත්වෙට නොදෙවැනි වෙන්න නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ ගැන තොරතුරු කිහිපයක් ගැන තමයි අපි අද කතා කරන්නෙ.
1. කොහෙද තියෙන්නෙ?
ඇපල් සමාගමේ කලින් තිබුණු ප්‍රධාන කාර්යාලය තිබුණෙත්, මේ අලුතින් ඉදිකරපු ප්‍රධාන කාර්යාලය තියෙන්නෙත් ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කුපර්ටිනෝ කියන නගරයේ. කලින් කාර්යාලයට ඉතාම ලඟින් තමයි අලුතින් ඉදිකරපු කාර්යාලයත් තියෙන්නෙ. මේකට දාලා තියෙන නම තමයි ඇපල් පාර්ක් (Apple Park).
2. සැලැස්ම සහ ඉදිකිරීම්
මුලින්ම මේ සැලසුම සම්බන්ධව අදහස් ඉදිරිපත් කරන්නෙ ස්ටීව් ජොබ්ස් විසින්. ඒ 2006 දී. මේ සඳහා තෝරගත්තු ඉඩම අක්කර 175ක පමණ විශාල භූමියක්. මේ ඉදිකිරිම සඳහා ගෘහනිර්මාණ ශිල්පියා විදිහට තෝරාගන්නේ නෝර්මන් ෆොස්ටර් කියන ලෝක ප්‍රසිද්ධ ගෘහනිර්මාණ ශිල්පියාව. 2013 අවුරුද්දේදී තමයි මූලික වැඩ ආරම්භ වෙන්නෙ. මුලින් මේ වෙනුවෙන් ඇස්තමේන්තු කරන්නෙ ඩොලර් මිලියන 500 උනත් සම්පුර්ණ වැඩ අවසන් වෙද්දී ඩොලර් බිලියන 5ක් මේ වෙනුවෙන් වියදම් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ගොඩනැගිල්ල සම්පුර්ණ වෘත්තයක් විදිහට තමයි සැලසුම් කරන්නෙ. ඒ නිසාම spaceship කියල අන්වර්ථ නාමයක් මේ ඉදිකිරීමට ලැබිල තියෙනවා. අවසානයේ මේ නිර්මාණය අවසන් කරන්න හැකිවෙලා තියෙන්නෙ 2017 අප්‍රේල් මාසයේ. මේ සම්පුර්ණ ගොඩනැගිල්ල පමණක් ඇමරිකානු පෙන්ටගන් ගොඩනැගිල්ලටත් වඩා විශාලයි.
3. ප්‍රධාන ගොඩනැගිල්ල
මේ සම්පුර්ණ ඉදිකිරීමේ තියෙන ප්‍රධානම විශේෂත්වය වෙන්නෙ සම්පුර්ණ වෘත්තයක් ලෙස නිම වුණු ප්‍රධාන ගොඩනැගිල්ලයි. එම වෘත්තයේ විෂ්කම්භය මීටර් 461ක් විතර වෙනවා. හිතාගන්න පුළුවන්නේ විශාලත්වය. මේ ගොඩනැගිල්ල ඉතාම නවීන තාක්ෂනය එකතු කර නිර්මාණය වුණු අතිවිශිෂ්ට නිර්මාණයක්. ඊට අමතරව තවත් වෘත්තාකාර ගොඩනැගිල්ලක් මේ භුමියේ තියෙනවා. ඒ තමයි ඇපල් සමාගමේ පුරෝගාමියා වුණු ස්ටීව් ජොබ්ස් නමින් නම් කරන ලද තියටර් එක. මෙය ආසන 1000 ක් සහිත ඉතා විශාල තියටර් එකක්. මේ තියටර් ඒකෙ තමයි iPhone 8 එළිදැක්වීම කළේ.
4. බලශක්ති භාවිතය
මේ සම්පුර්ණ සැලැස්ම තුළ තිබුණු ප්‍රධාන අරමුණක් තමයි Green Concept කියන සංකල්පය. හරිත සංකල්පය කියන්නෙ ඒකට තමයි. ඒ අනුව මේ ඉදිකිරිම නිසා පරිසරයට වෙන අයහපත් බලපෑම හැකි තාක් අඩු කරන්න තමයි සැලසුම් වෙලා තයෙන්නේ. මේ ඉදිකිරීම ලෝකයේ තිබෙන බලශක්ති කාර්යක්ෂමතාවයෙන් ඉහළම ගොඩනැගිලි අතරින් එකක්. විශේෂයෙන් මේ තුළ බලශක්ති උත්පාදනය කරන්නෙ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන්. ඒ කියන්නෙ හිරු එළිය, සුළඟ වගේ ප්‍රභවයන්ගෙන්. මෙහි සවිකර ඇති Solar Panel වලින් මෙගාවොට් 17ක විදුලියක් ජනනය කෙරෙනවා. එය මේ මුළු පරිශ්‍රයේ අවශ්‍යතාවයෙන් 75% පමණ වෙනවා. මේ පැනල ලෝකයේ ඇති විශාලම සුර්ය පැනල පද්ධති වලින් එකක්.
5. ප්‍රවාහන කටයුතු
මේ පරිශ්‍රය තුළට ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරිය විසින් ප්‍රවාහන සේවාවන් සපයනු ලබනවා. ඒ සඳහා මේ පරිශ්‍රය තුළ නැවතුම්පොළ දෙකක් පිහිටුවා තියෙනවා. ඒ වගේම පුද්ගලික වාහන නැවත්වීම සඳහා වාහන 14,200ක් නැවතිය හැකි ඉතා විශාල රථ ගාල් සකස් කොට තිබෙනවා. ඒ වගේම මේ භුමිය තුළ ගමනාගමනය වෙනුවෙන් බයිසිකල් 1,000 ක් පමණ යොදවා තිබෙනවා. ඉතින් මේ පරිශ්‍රය ඇතුළේ ගමන් බිමන් කටයුතු වෙනුවෙන් ඒ බයිසිකල් භාවිතා කරන්න පුළුවන්.
6. අමුත්තන්ගේ ලොබිය
මෙහි පැමිණෙන අමුත්තන් වෙනුවෙන් තට්ටු දෙකක, වර්ග අඩි 20,135ක ඉඩක් වෙන් කොට තිබෙනවා. මේ ඉඩකඩ සමන්විත වෙනවා ඇපල් අලෙවිසැලකින් (වර්ග අඩි 2386) (විශේෂයෙන් මේ තුළ ඇති ඇපල් අලෙවිසලේ අලෙවි කරන්නේ සාමාන්‍ය ඇපල් අලෙවිසැල් වල අලෙවි නොකරන ටී ෂර්ට්ස්, හිස්වැසුම්, බෑග් වගේ දේවල්), කැෆේ එකකින්, ප්‍රදර්ශන ශාලාවකින් සහ Roof terrace එකකින්. මේ පරිශ්‍රය සඳහා ඩොලර් මිලියන 80ක් පමණ වියදම් වෙලා තියෙනවා. මේ සම්පුර්ණ භුමිය තුළ සංචාරකයින්ට නැරඹීමට අවසර ලබාදී තියෙන්නෙ මෙන්න මේ අමුත්තන්ගේ ලොබිය පමණයි.
7. උද්‍යානය
මේ භූමිය ඇපල් සමාගම මිලදී ගන්න කලින් ජෝන් ලෙනාර්ඩ් නමැති පුද්ගලයෙකුට අයිතිව තිබුණු භුමියක්. ඒ භුමියේ ඔහු විසින් පවත්වාගෙන යනු ලැබූ ගොවිපොළක් අදටත් දකින්නට තියෙනවා. ඒ ගොවිපොළ 1916 තරම් ඈත කාලෙක ඉඳන් කරගෙන ආපු ගොවිපොළක්. ඒ නිසා ඊට ඓතිහාසික වටිනාකමක් පවා තිබිල තියෙනවා. ඒ හේතුව නිසා අදාල නගරයේ ඉතිහාසය සම්බන්ධ රජයේ ආයතනය සහ ඇපල් ආයතනය අතර සාකච්ඡා පවා ඇතිවෙලා තිබෙනවා එම ගොවිපොල සම්බන්ධයෙන් කුමක් කළයුතුද යන්න ගැන. ඒ සාකච්ඡා වලදී ඇපල් ආයතනය පසුව එකඟ වෙලා තියෙනවා ඒ ගොවිපොළ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්න. නමුත් ඉදිකිරීම් කටයුතු වලදී මෙය වෙනත් ස්ථානයකට ගෙනයන්න ඇපල් සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ගොඩනැගිලි වලින් බාහිර පරිසරය ඉතාම පරිසර හිතකාමී අයුරින් පවත්වාගෙන යන්නත් ගස්වැල් වලින් පිරි වටපිටාවක් කරන්නත් ඇපල් සමාගමකටයුතු කරලා තියෙනවා.
Leave a Reply