වැඩි දෙනෙක් නම අහලවත් නැති යුරෝපා රටවල් 7ක්

අපේ රටේ බොහෝ දෙනෙක්ගේ හීනය තමයි යුරෝපා රටක පදිංචියට යන එක. හැබැයි අපේ ඔළුවේ රැඳිලා තියෙන යුරෝපා රටවල් ගණන සීමිත ප්‍රමාණයක්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ප්‍රධානම හේතුව වෙන්නේ මේ රටේ අධ්‍යාපන ක්‍රමය සහ ජනමාධ්‍ය තුළ කතාබහට ලක්වෙන්නේ යුරෝපා රටවල් අල්පයක් වීම. හැබැයි මේ පිළිබඳව සමීක්ෂණය කරපු ආයතනවල වාර්තාවලට අනුව මේ තත්ත්වය මුළු ලෝකය පුරාම දකින්න ලැබෙනවා. සමහර මිනිස්සු ඇතැම් යුරෝපා රටවල් ගැන අහලාවත් නැහැ. අපි අද කතා කරන්න යන්නේ අපි වැඩි දෙනෙක් අහලා නැති යුරෝපා රටවල් කීපයක් ගැන.

 

1. ඇන්ඩෝරා (Andorra) 

ස්පාඤ්ඤය සහ ප්‍රංශය අතර පිරනීස් කඳුවැටිය ආශ්‍රිතව පිහිටා ඇති මේ කුඩා රට යුරෝපයේ ඇති අතිශයින්ම සුන්දර ස්ථානයක් ලෙස සැලකෙනවා. භූ ගෝලීය ස්වභාවය නිසා අනෙකුත් යුරෝපීය රටවල් වලට සාපේක්ෂව වැඩි කාලයක් හිම පතනය සිදු වීම නිසා සංචාරකයන් විශාල පිරිසක් හිම ක්‍රීඩා කිරීම සඳහා ඇන්ඩෝරාව වෙත පැමිණෙනවා. ඊට අමතරව මේ රට බදු වලින් නිදහස් නිසා බොහෝ අයට මිල අධික සන්නාම ඉතා අඩු මිලකට එරට තුළදී මිලදී ගැනීමේ හැකියාව ලැබෙනවා.

 

2. ලෙක්ටෙන්ස්ටයින් (Liechtenstein) 

යුරෝපයේ හතරවෙනියට කුඩාම රට ලෙස සැලකෙන මෙම රට ලෝකය පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ රටෙහි නම උච්චාරණයට අපහසු රටක් ලෙසටයි. ඔස්ට්‍රියාවට සහ ස්විස්ටර්ලන්තයට මායිම්ව පිහිටා ඇති මෙම රටෙහි භූමි ප්‍රමාණය අයර්ලන්ත අගනුවර වන ඩබ්ලින් නගරයට වඩා වැඩි වන්නේ කුඩා වර්ග කිලෝමීටර් ප්‍රමාණයකින්. කුමාරයෙකු විසින් පාලනය කරනු ලබන එරටත් ඇන්ඩෝරාව සේම හිම ක්‍රීඩා සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනු ලබනවා.

 

3. උතුරු මැසිඩෝනියාව (North Macedonia) 

 

පැරණි යුගොස්ලෝවියාවේ සාමාජික රාජ්‍යයක් ලෙස පැවතුණු මැසිඩෝනියාව ඉතා මෑතකදී තම රටෙහි නම උතුරු මැසිඩෝනියාව ලෙස වෙනස් කරනු ලැබුවා. මෙම නම වෙනස් කිරීම හරහා වාර්ගික ගැටුම් සහ යුද්ධවලට මැදි වූ එරට ඛේදජනක ඉතිහාසය මතකයෙන් බැහැර කිරීමේ මානසික මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවත් පැවසෙනවා. ඒ කෙසේ වෙතත් ඒ රට තුළ නවීනත්වය සහ සාම්ප්‍රදායිකත්වය මිශ්‍ර නොවී පැවතීම උතුරු මැසිඩෝනියාව වෙත සංචාරකයන් ආකර්ෂණය වීමට ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා තියෙනවා.

 

4. ජෝර්ජියාව (Georgia) 

ජෝර්ජියාව කියද්දී බොහෝ දෙනෙක්ගේ සිහියට එන්නේ රටකට වඩා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක්. නමුත් මේ යුරෝපා රටේ ඉතිහාසය අවුරුදු දහස් ගණනක් දක්වා ඈතට දිව යනවා. නමුත් සාර් සමයේ පටන් කොමිනිස්ට් පාලනය දක්වාම රුසියාවේ බලපෑමට නතුවීම නිසා බොහෝ දෙනෙක්ට මෙවැනි රටක්  ලෝක සිතියමේ තිබුණාද යන්න පවා අමතක වී තිබුණා. කෙසේ වෙතත් රුසියාවේ බිඳවැටීමෙන් පසුව කෙමෙන් කෙමෙන් නවීකරණය වෙමින් පවතින ජෝර්ජියාව අනෙකුත් යුරෝපා රටවල්වලට  සාපේක්ෂව බොහෝ අභියෝග වලට  මුහුණ දුන් රටක්.

 

5. ලක්සම්බර්ග් (Luxembourg) 

මහා ආදිපාදවරයෙකුගේ පාලනය යටතේ රාජාණ්ඩු ස්වභාවයෙන් පාලනය වන ලක්සම්බර්ග් පිහිටා තිබෙන්නේ බෙල්ජියම, ප්‍රංශය සහ ජර්මනිය යන රටවලට මායිම්වයි. යුරෝපා සංගමයේ එක් අගනුවරක් ලෙස ලක්සම්බර්ග් සිටි ලෙස හැඳින්වෙන එරට අගනුවර නම් කොට තිබෙනවා. ලක්ෂ 7කට ආසන්න ජනගහණයක් වෙසෙන ලක්සම්බර්ග් යුරෝපයේ අඩුම ජනගහණයක් වෙසෙන රට වෙනවා.

 

6. සැන් මැරීනෝ (San Marino) 

ඉතාලිය තුළ පවතින සැන් මැරීනෝ ලෝකයෙහි ඇති කුඩාම රටක් වනවා. වර්ග කිලෝමීටර හැට එකක පමණ භූමි ප්‍රමාණයක් හිමිකර ගන්නා මෙම රට පිහිටා ඇත්තේ ඇපිනයින් කඳුවැටිය ආශ්‍රිතවයි. ලෝකයේ ඇති පැරණිතම ව්‍යවස්ථාවක් සහිත සමූහාණ්ඩුව වීමේ ගෞරවය සැන් මැරීනෝ රාජ්‍යය විසින් හිමිකර ගනු ලබනවා. කැප්ටන් රීජන්ට් යන නාමයෙන් හඳුනාගනු ලබන එරට පාලනය කිරීම සඳහා සමාන බලතල සහිත රාජ්‍ය නායකයන් දෙදෙනෙක් සෑම මාස හයකට වරක් එරට පාර්ලිමේන්තුව මගින් තෝරාගනු ලබනවා. යුරෝපයේ ඇති ධනවත්ම රටක් වන සැන් මැරීනෝහි ඒක පුද්ගල ආදායම අතිශය ඉහළ අගයක් ගන්නවා.

 

7. මොන්ටේනීග්‍රෝ (Montenegro) 

උතුරු මැසිඩෝනියාව සේම පැරණි යුගොස්ලෝවියාවේ සාමාජික රටක්වූ මොන්ටේනීග්‍රෝ රාජ්‍යයේ ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට යනවා. අනෙකුත් බෝල්ටික් රාජ්‍යවල ඉතිහාසයට සමාන වන අයුරින් ඔටෝමන් අධිරාජ්‍යයේ කොටසක් බවට පත්ව තිබූ මොන්ටේනීග්‍රෝව රාජාණ්ඩුවක් ලෙස නිදහස ලබා ගත්තා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුගොස්ලෝවියාව ලෙස මොන්ටේනීග්‍රෝව සහ අසල්වැසි බෝල්ටික් රටවල් එක්වූ අතර එම එකතුව බිඳවැටීමෙන් පසුවත් සර්බියාව සහ මොන්ටේනීග්‍රෝව ෆෙඩරේෂණයක් ලෙස කටයුතු කිරීමට උත්සාහ කළා. නමුත් 2006 පැවති ජනමත විචාරණයකින් අනතුරුව මොන්ටේනීග්‍රෝව නිදහස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

 

සමහර විට මේ රටවල් ගැන ඔබ අහලා තියෙනවා වගේම මේ රටවල් වලට ඔබ ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ ගැන ඔබේ අදහස් කමෙන්ට් එකක් විදිහට පළ කරන ගමන් මේ ආටිකල් එක වෙනදා වගේම ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *