ඇමරිකාවේ විදෙස් සම්බන්ධකම් වෙනස් ක​ළ ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමය

ඇමරිකාව නැවත නගා සිටුවීම, නැවත ඇමරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම ට්‍රම්ප් පාලනයේ එක් අරමුණක් වුණා. වඩාත් ජාතිකවාදී අදහස් සපිරි ට්‍රම්ප් නැවත ඇමරිකාව ලෝකේ අද්විතීය නායකයා විය යුතු බවට විශ්වාසය කළා. ඇත්තටම ට්‍රම්ප් කාලේ ඇමරිකානු ආර්ථිකය යම් දියුණුවක් දැක්කා. ඒ වගේම විරැකියාව යම් පමණකින් අඩු වුණා. කොහොම වුණත් ඇමරිකාව ට්‍රම්ප් යුගයේදී යුද්ධයකට ගියේ නැහැ. ඒත් ඉරානයේ හමුදා නායක සුලෙයිමානි වගේම අයිසිස් සංවිධානයේ අබු බකර් අල්බග්දාදි ඝාතනය වුණෙත් ට්‍රම්ප් යුගයේදී.

 

1. මුස්ලිම් අයට ට්‍රැවල් බෑන්

ට්‍රම්ප් කොහොමත් සුදු ජාතිකයින් හැර වෙනත් කළු සහ මුස්ලිම් ජාතිකයන් එක්ක තරහින් උන්න කෙනෙක්. 2017 ට්‍රම්ප් බලයට ආපු ගමන්ම මුස්ලිම් බහුතරයක් ඉන්න රටවල පුරවැසියන්ට ඇමරිකාවට ඇතුල්වෙන්න දවස් අනූවකට තහනම් කළා. ඒක ඇමරිකාවේ යුක්තිය පසිඳලන අධිකරණ වලටත් ගැටළු ඇතිකළ සිද්ධියක් වුණා. වොෂින්ටන් පෝස්ට් මාධ්‍යවේදී ජමාල් කශොගි ඉස්තාන්බුල් හි සෞදි කොන්සියුලර් කාර්යාලයේදී ඝාතනය වුණේ 2018 ඔක්තෝම්බර් වලදි. ඒකෙන් සෞදි අරාබිය සමග ඇමරිකානු සම්බන්ධතා වලත් යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා. 

 

2. මෙක්සිකෝව වෙන්කර තාප්පයක් ගැසීම

මෙක්සිකානුවන් ඇමෙරිකාවට ඇතුළු වීමට එරෙහිව උස තාප්පයක් ගහන බව ට්‍රම්ප්ගේ එක මැතිවරණ පොරොන්දුවක් වුණා. ඒ අනුව 2017 මුලදීම ඒ වැඩකටයුතු සඳහා අරමුදල් වෙන් කරගැනීම සිදුවුණා. මෙක්සිකෝ ඇමරිකානු බෝඩරය මෙක්සිකෝව හරහා ඇමරිකාවට පනින අයට දැඩිව අවහිර වෙන විදිහට සීමා කිරීම් සිදු වුණා. එහිදී දරුවන් 2,600ක් දෙමාපියන්ගෙන් වෙන් කර ඔවුන්ව කඳවුරු කරන්නත් දේශසීමා භාර ඇමරිකානු හමුදාවන් ක්‍රියා කළා. ට්‍රම්ප් පරිපාලනය විසින් අමතර හමුදා සෙබළුන් 5,000ක් බෝඩර් ආරක්ෂණ වැඩවලට අනුයුක්ත කළා.

 

3. සිරියාවට බෝම්බ දැමීම

බශර් අල් අසාද්ගේ දුර්දාන්ත පාලනය නිසා සිරියාව පසුගිය කාලේ යුධ ගැටුම් වලට දිගටම මුහුණ පෑවා. ඇමරිකාවේ ට්‍රම්ප් ගේ රජයත් අවස්ථා කිහිපයකදීම සිරියාවට එරෙහිව බෝම්බ හෙලුවා. සිරියානු හමුදා ඉලක්ක වලට එරෙහිව කෲස් මිසයිල එල්ල කළ ඇමරිකානු හමුදාවේ ක්‍රියාකලාපය ගැන රුසියාව නම් එතරම්ම කැමැත්තකින් හිටියේ නෑ. ප්‍රංශය, එක්සත් රාජධානිය එක්ක එකතු වෙලා කළ ගුවන් මෙහෙයුම් වලින් සිරියාවේ රජය සතුව තිබෙන රසායනික අවි පිටුදැකීම ඇමරිකාවේ අරමුණක් වුණා. ඒත් ට්‍රම්ප් යුගයේදී ඇමරිකානු හමුදාවන් ඇෆ්ඝන් සහ සිරියානු භූමි වලින් ඉවත් කරගන්න ට්‍රම්ප් පරිපාලනය ක්‍රියා කළා. 

 

4. ඉරානය සමග නොහොඳ නෝක්කාඩු

සෑම ඇමරිකානු ජනාධිපතිවරයෙක්ම කුමන හෝ රටක් සමග යුධමය තත්ත්වයකට එන ස්වභාවයක් පහුගිය කාලේ දකින්නට තිබුණා. ට්‍රම්ප් පරිපාලනයේදී ඒ ඇමරිකානු යුධ බලයට ඉරානය නතු වෙයි කියන ලොකු බයක් තිබුණා. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යන තෙල් නැව් වලට හිරිහැර කරන්නට ගත්තා. ඒ වගේම න්‍යෂ්ඨික අවි හරන වැඩ පිළිවෙළටත් ඉරානය සක්‍රීයව දායක වුණේ නැති නිසා ඇමරිකාව එම පරිමාණුක අවි සම්බන්ධ එකඟතා වලින් ඉවත් වුණා. කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනයේදී ඉරානයේ හමුදා නායකයා සුලෙයිමානිව ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය වුණා.

 

5. සම්මුතියෙන් ඉවත් වීම

ඔබාමා පාලනය විසින් සාකච්ඡා කළ පැරිස් දේශගුණික සම්මුතියෙන් ඉවත් වෙන්නට ට්‍රම්ප් තීරණය කළා. කාබන් නිදහස් වීම පාලනය කිරීම ඇතුළු බොහෝ නීති රෙගුලාසි ඇමරිකානු ආර්ථිකයට හානිකර බව ට්‍රම්ප්ගේ අදහස වුණා. ඇමරිකාව හිතුමතේම වගේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් එකෙන් ඉවත් වුණා. ඒ වගේම කොරෝනා වෛරසය පැතිරීමත් එක්ක ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද හිතුමතේ ඉවත් වුණා. ලෝකයේම සංවිධාන වල සිය අණසක පතුරුවාගෙන හිටි ඇමරිකාව ඒවායෙන් ඉවත් වීම ඇතැම් ඇමරිකානු ජ්‍යේෂ්ඨ දේශපාලකයින්ගේත් විමතියට හේතු වුණා.

 

6. සතුරු රටවල් මිතුරු කරගැනීම

ඔබාමා පාලනයෙන් තරමක් මිත්‍ර රටක් බවට පත් වෙලා තිබුණ කියුබාව ට්‍රම්ප් පාලනයේදී ඇමරිකානුවන්ට සංචාරක සහ වෙළඳ ගනුදෙනු කරන්න පුළුවන් රටක් බවට පත් වුණා. ඇමරිකාවෙන් ඈත් රටක් වුණු උතුරු කොරියාව එක්ක සම්බන්ධතා වැඩිදියුණු කරගන්න සාකච්ඡා වට කිහිපයක්ම ට්‍රම්ප් පරිපාලනයෙන් පැවැත්වුණා. ලංකාවටත් අවසාන කාලයේ ආපු මයික් පොම්පියෝ වගේම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද කිම් ජොන් අන් එක්ක සාකච්ඡා කළා. අවසාන එකඟතාවකට එන්නට බැරි වුණත්, උතුරු කොරියාවට යම් අවස්ථාවක් දෙන්නට ට්‍රම්ප් උත්සාහ කළා.

 

7. චීනයට එරෙහි බදු

විදෙස් වලින් එන නිෂ්පාදන වලට අමතර බදු එකතු කිරීම් ට්‍රම්ප් යුගයේදී සිදු වුණා. ඒ එක්ක චීනයට එරෙහිව නව බදු රැසක් එකතු වුණා. ඒ වගේම චීනයේ නිමවෙන නිෂ්පාදන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ වෙනත් නිෂ්පාදන ඇමරිකාවෙන් සැපයීමත් ට්‍රම්ප් පරිපාලනයෙන් සීමා කෙරුණා. ඒ එක්ක හුවාවේ ආයතනය වැනි ඒවා දැඩි පසුබෑමකට ලක් වුණා. ඇමරිකාව චීනයට හොඳ වෙළඳපොලක්. එක පැත්තකින් ඇමරිකානු වෙළඳපොල චීනයට සීමා වුණා. අනෙක් අතින් ඇමරිකානු වෙළඳ සමාගම් නිෂ්පාදන ජාල වලට වැට බැඳීමත් එක්ක චීනයත් ඇමරිකානු වෙළඳපොලෙන් එන බඩු වලට තවත් බදු එකතු කරන්නට ගත්තා. මේක ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය අමරිකානු චීන වෙළඳ යුද්ධය කියලාත් හැඳින්නුවා.

 

මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරුන් වූ බරක් ඔබාමා, ජෝජ් ඩබ්. බුෂ් සහ බිල් ක්ලින්ටන් යන තිදෙනාම දෙවැනි වරත් ජනාධිපති ධූරයට පත් වෙන්නට වාසනාවන්ත වුණා. ඒත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට දොස් නගමින් හෝ සිය පුටුවෙන් ඉවත් වෙන්නට සිදු වෙනවා. ආන්දෝලනාත්මක මත නිතරම ප්‍රකාශ කරමින් හිතුවක්කාරයෙකු ලෙස ක්‍රියාක​ළ, අමුතුම තාලේ ඇමරිකානු ජනාධිපතිවරයෙක් වසර හතරකින් පසු 2021 ජනවාරියේදී සමුගන්නවා. ඒත් ට්‍රම්ප් පාලනය තුළ විදෙස් රටවලට සිදුවූ අත පෙවීම් සාපේක්ෂව අඩු බවක් තමයි මැදහත් විචාරකයින්ගේ අදහස වෙන්නේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *