අපේ රටේ දේශපාලකයෝ ගැන කතා කරොත් අපේම කට්ටිය “නූගත්, මෝඩ, මන්ද බුද්ධික” වගේ විශේෂණ පද පාවිච්චි කරනවා. හැබැයි අපේ අයටම අමතකයි, ඒ අයව පත් කරගත්තෙත් අපිම තමයි කියලා. මේ නිසාම දේශපාලකයෝ කියන්නේ පොත් පෙරලන පිරිසක් කියන මානසිකත්වය අපිට ඇතිවෙලා තියෙන්නේ. හැබැයි අපි අද කතා කරන්න යන්නේ නම් පොත් පෙරලපු දේශපාලකයෝ ගැන නම් නෙමෙයි. අපේ රටේ “පොත් ලියපු දේශපාලකයෝ” ගැන. මේ වගේ දේශපාලකයන්ට එතකොට අර ඉස්සෙල්ලා පාවිච්චි කරපු “නූගත්, මෝඩ, මන්ද බුද්ධික” වගේ විශේෂණ පද සුදුසුද? නෑ මිත්‍රවරුනි නෑ… ඒ විශේෂණ පද ගැන අපි අන්තිමට කතා කරමු. දැන් අපි ඒ කට්ටිය ගැන කතා කරලා ඉමු.
1. ටී. බී ඉලංගරත්න
අපේ රටේ පොත් ලියපු ජනප්‍රියම දේශපාලකයා තමයි ටිකිරි බණ්ඩාර ඉලංගරත්න සූරීන්. දේශපාලකයෙක් විදිහට එතුමා අපේ රටට, ජනතාවට සුවිශාල මෙහෙයක් කළ පුද්ගලයෙක්. කොටින්ම කියනවා නම් “පැය අටේ සේවා කාලය, සේවක අර්ථ සාධක අරමුදල” වගේ අද දක්වාම අපේ රටේ මිනිස්සු ප්‍රතිලාභ ලබන සංකල්පවල නිර්මාතෘවරයා එතුමා. “මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඛනිජ තෙල් සංස්ථාව” වගේ ආයතන පිහිටුවන්නත් මූලිකත්වය ගන්නේ එතුමා. එතුමා දේශපාලනයට පිවිසෙන්න කලින් ඉඳන් වේදිකා නාට්‍ය රචකයෙක්, වේදිකා නාට්‍ය නළුවෙක් සහ ගත් කතුවරයෙක් විදිහට ප්‍රසිද්ධ වුණා. සරල කතා තේමාවක් එක්ක සුගම බස්වහරකින් ලියවුණු පොත්වලට පාදක වුණේ උඩරට ගැමි ජීවිතය. අපි පොඩි කාලේ කියවපු, ඒත් අද වුණත් කියවන්න ආස “අඹ යාළුවෝ” පොත ලියන්නේ ටී. බී ඉලංගරත්න මහත්මයා කියන එක අපි හැමෝම දන්නවා. ඊට අමතරව එතුමා පොත් විශාල ගණනක් ලියලා තියෙනවා. “විලම්බීත, තිලක, තිලක සහ තිලකා, ළසඳා, මංගලා, නයනා, දායාදය, නෑදෑයෝ” වගේ තවත් දිග ලැයිස්තුවක් අපිට කියාගෙන යන්න පුළුවන්. මේ නවකතා අතරින් ළසඳා, මංගලා වගේ නවකතා කීපයක් ජනප්‍රිය චිත්‍රපටි බවට පත්වුණා. අඹ යාළුවෝ, අම්බලම වගේ නවකතා ටෙලි නාට්‍යයට නැඟුණා.
2. අයි. එම්. ආර්. ඒ ඊරියගොල්ල
ඉමියා මුදියන්සේලාගේ රෆායෙල් අබේවංශ ඊරියගොල්ල අපේ රටේ හිටපු විචිත්‍ර දේශපාලන චරිතයක්. දණ්ඩගමුව ආසනයේ මන්ත්‍රීවරයා වශයෙනුත්, පසුව කුලියාපිටිය ආසනයේ මන්ත්‍රීවරයා විදිහටත් එතුමා වයඹ පළාතට විශාල සේවයක් කළ කෙනෙක්. ඒ වගේම අධ්‍යාපන ඇමතිවරයෙක් විදිහටත් එතුමා රටටම සේවය කළා. නමුත් එතුමා අනුගමනය කරපු ගුරුමාරු ප්‍රතිපත්තිය වගේ දේවල් නිසා ජනතා අප්‍රසාදයටත් ලක් වුණා. එතුමා ලේඛකයෙක් විදිහට ගත්තොත් වඩාත් ප්‍රසිද්ධ වෙන්නේ අනුවර්තකයෙක් විදිහට. මංජුල බවට පත්වෙන ජනවර්ජන, ජන්තු වගේ චරිත හමුවෙන මනුතාපය එතුමාගේ අනුවර්තන කෘතීන් අතරින් ජනප්‍රියතම කෘතිය විදිහට හඳුවන්න පුළුවන්. ප්‍රංශ ගත්කතුවර වික්ටර් හියුගෝගේ “ලේ මිස්රාබ්ලේ” තමයි මනුතාපය වෙන්නේ. “ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පෙයි” කෘතිය එතුමා අතින් අනුවර්තනය වෙන්නේ “දේවතාපය” විදිහට. “අනංගයාගේ දුන්න, වහලාගේ සිහිනය” එතුමා අතින් ලියවුණු පද්‍ය ග්‍රන්ථ. සුදර්ශනය සහ පූර්ණ විප්ලවය( බිරිඳ සමග) එතුමාගේ දේශපාලන දර්ශනය හෙළි කරන පොත්. එතුමාට එතුමාගේ බිරිඳ මුණ ගැහෙන්නෙත් ලේඛන කලාව නිසා. කෙටිකතා තරගයකට රාණි ගුණසේකර කියන ලේඛිකාව ලියන කතාවක් ඊරියගොල්ල මහතා සිංහලයට පරිවර්තනය කරලා පළ කරනවා. ඇය මේකට විරුද්ධව නඩු පවරන්න කටයුතු කරනවා. මේ නඩුව ගොඩින් බේරගන්න ඇගේ නිවසට යන ගමන් නතර වෙන්නේ රාණි ගුණසේකර සමග ඊරියගොල්ල තරුණයා විවාහ වීමෙන්.
3. එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක
1956 දී මේ රටේ ඉරණම සම්පූර්ණයෙන් වෙනස් කරපු පුද්ගලයා තමයි, එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මහත්මයා. ලංකාවේ එතෙක් මෙතෙක් අගමැතිකම්, රාජ්‍ය නායකකම් කරපු අයගෙන් ලේඛන කලාවට වැඩිපුරම නැඹුරු වූ පුද්ගලයා විදිහටත් බණ්ඩාරනායක මහතාව හඳුන්වන්න පුළුවන්. නමුත් මේ සියලුම දේ එතුමා ලියන්නේ ඉංග්‍රීසියෙන්. මොකද කිව්වොත් එතුමා චතුර සිංහල කථිකයෙක් වුණාට එතුමාගේ නිවසේ කුඩා කල ඉඳන්ම භාවිතා වුණු භාෂාව වුණේ ඉංග්‍රීසි. එතුමා ලියපු බොහෝ නිර්මාණ පළ වුණේ ඉංග්‍රීසි පුවත්පත්වල. එතුමා මුලින්ම ලිව්ව කෙටිකතාව විදිහට සැලකෙන්නේ “The Kandy Perahera”ඊට පස්සේ එතුමා නවකතා දෙකක් පුවත්පත්වලට ලියනවා. “The mystery of missing candidate” සහ “The horror of Mahahena” මේ විදිහට ලියවෙන නවකතා දෙකක්. මේ නවකතා පස්සේ කාලෙක “අතුරුදහන් වූ අපේක්ෂකයා” සහ “මහ හේනේ රීරි යකා” නම්වලින් සිංහලයට පරිවර්තනය වෙනවා වගේම මහ හේනේ රීරි යකා සිනමාවටත් නැගෙනවා.
4. රණසිංහ ප්‍රේමදාස
රණසිංහ ප්‍රේමදාස මහතා තරම් පොත් කියවපු සහ පොත් ලියපු පුද්ගලයෙක් අපේ ජනාධිපති පුටුවේ වාඩිවෙලත් නෑ. වාඩි වෙන එකකුත් නෑ. හැබැයි මේ කතාව බොහෝ දෙනෙක් පිළිගන්නේ නෑ. ඒ අය නම් කියන්නේ ප්‍රේමදාස මහත්තයා කළේ නම දාගන්න එක විතරයි අරිසෙන් අහුබුදු, ඩෝල්ටන් අල්විස් වගේ ලේඛකයෝ කීප දෙනෙක් තමයි මේ පොත්වල සැබෑ අයිතිකාරයෝ කියලා. මේ නිසා තාම අපේ රටේ ලේඛන කලාවේ වැඩිපුරම යෙදුණු අගමැතිවරයා විදිහට සලකන්නේ බණ්ඩාරනායක මහතාව. ප්‍රේමදාස මහතාගේ මුල්ම නවකතාව වෙන්නේ “රන්මිණිමුතු” ඊට පස්සේ “හිතවතිය, පෙම්වතිය, ජීවන කඳුළු, ගොළු මුහුද” වගේ පොත් එතුමා අතින් ලියවෙනවා.
5. සරත් අමුණුගම
සරත් අමුණුගම මහතා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම දේශපාලකයෙක්. පේරාදෙණි සරසවියේ ඉගෙනගන්නා කාලේ ඉඳන් කලාවට ලැදියාවක් දක්වපු සරච්චන්ද්‍ර මහතාගේ වේදිකා නාට්‍යවල පවා රඟපෑ කෙනෙක්. ඒ වගේම කවියෙක්. එතුමා ඉංග්‍රීසි සිංහල දෙබසින්ම ලියන ලේඛකයෙක්. ඒ අතරින් කීපයක් ගැන කතා කළොත් ලංකාවේ වාමාංශික ව්‍යාපාරය ගැන ලියවුණු “අන්තිම සටන”, මනමේ නාට්‍යය ගැන තමන්ගේ අදහස් පළ කරමින් ලියූ “මනමේ මතක් වී”, අනගාරික ධර්මපාලතුමා පිළිබඳව අධ්‍යනයක් වුණු “The Lion’s Roar” විශේෂයි.
6. ටී. බී ඒකනායක
ටී. බී ඒකනායක මහතා වයඹ පළාත නියෝජනය කරන ප්‍රධාන පෙළේ දේශපාලකයෙක්. එතුමාත් නාට්‍ය නළුවෙක් විදිහටත් ප්‍රසිද්ධයි. එතුමා මල්වතු විහාරයේ මහා නායක පදවිය දැරූ හිමිවරුන් පිළිබඳව ලියූ “මල්වතු මහාවිහාරවංශ නායක හිමිවරු” කෘතිය නිසා එතුමාට “කීර්තී ශ්‍රී ජනරංජන” ගරු නාමය මල්වතු විහාරය මගින් පුද කළා.
7. පාඨලී චම්පික රණවක මහතා
ෆේස්බුක් එක ඇතුළේ රණවක මහතාගේ විරුද්ධවාදීන් වැඩි වශයෙන් භාවිතා කරන වචනයක් වෙන්නේ “ආලපාලුවා” ඒකට හේතුව වුණේ එතුමා පසුගිය මැතිවරණ සමයක ලියපු “ආලපාලු ආර්ථිකය” කෘතිය. ඊට අමතරව එතුමා ලියපු “බලය සහ බලය” කෘතියට රාජ්‍ය සම්මානත් ලැබුණා. කොටි විනිවිදීම, අල් ජිහාඩ් අල් කයිඩා එතුමාගේ තවත් අධ්‍යනයන් දෙකක්. “පටිසෝතගාමීව තිස් වසක්” එතුමාගේ ස්වයංලිඛිත චරිතාපදානය. . .
අපි මේ ආටිකල් එක ආරම්භ කරද්දි කිව්වා, මේවගේ පොත් ලියන දේශපාලකයෝ වෙනුවෙන් භාවිතා කරන විශේෂණ පද ගැන අන්තිමට කතා කරනවා කියලා. හැබැයි දැන් ඔයා ඒ වගේ දේශපාලකයෝ හත් දෙනෙක් ගැන දන්න නිසා පාවිච්චි කරන්න ඕන විශේෂණ පද කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාටම ලියන්න අපි අවස්ථාව දෙනවා. ආහ් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply