කරුණාසේන ජයලත් සහ සිනමාව

කරුණාසේන ජයලත් ගැන අපේ පරම්පරාවේ බොහෝ දෙනෙක් දන්නෙ නවකතාකරුවෙක් විදිහට විතරයි. හැබැයි ඔහු ලංකාවේ සිනමාවත් එක්ක අතිශයින් සමීපව කටයුතු කළ පුද්ගලයෙක් කියන එක බොහෝ දෙනෙක් දන්නෙ නැහැ. අපි අද උත්සාහ කරන්නේ කරුණාසේන ජයලත්  සහ සිනමාව සම්බන්ධ කතා කීපයක් ඔබ වෙත ගෙන එන්නයි. 

 

1. ජයලත්ගේ රඟපෑමේ පිස්සුව

පාසල් කාලයේ දී දැඩි ලෙස චිත්‍රපටයක රඟපෑමට ආසාවෙන් සිටි කරුණාසේන ජයලත් දිගින් දිගට බී ඒ ඩබ්ලිව් ජයමාන්න වෙත ලිපි ලියමින් තමාව චිත්‍රපටයකට සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලීම් කරමින් සිටිනවා. අවසානයේ දී ඔහුව පානදුර ප්‍රදේශයේ නාට්‍යයක් අතරතුර මුණගැසිලා යළිත් වරක් එම ඉල්ලීම ඔහු කරනවා. ඒ වෙලාවෙදි ජයමාන්නගේ පිළිතුර වුණේ ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉවර වෙමු කියන එකයි. එක කාලෙකදී “උමතු විශ්වාසය” සඳහා ජයලත්ව සම්බන්ධ කර ගන්නා බවට ජයමාන්න කඩවුණු පොරොන්දුවක් දීලා තියෙනවා.

 

2. හින්දි සිනමාවට සම්බන්ධ වෙන්න හිතපු හැටි

පුවත්පත් කලාවේදියෙක් බවට පත්වුණ ජයලත්ට තමන්ගේ සිනමා ආදරය අමතක කරන්න බැරි වුණා. මේ කාලයේදී ඔහු හිතාගෙන හිටියේ කොහොමහරි ඉන්දියාවට ගිහිල්ලා හින්දි සිනමාවට සම්බන්ධ වෙනවා කියලා. මේ නිසා ඔහු ඩී.බී ධනපාලට අස්වීමේ ලිපිය දෙනවා. ධනපාල කිසි වෙනසක් නැතුව තමනුත් ජයලත්ගේ ඉන්දියා ගමනට උදව් කරන්නම් කියල ජයලත්ව වෙන වෙන දේවල්වලට යොමු කරනවා. ඒ අතරතුරේදී ජයලත්ගේ යාළුවෝ හරහා ඔහු කරන්න යන දේ ඵල රහිත වැඩක් යැයි ජයලත්ට ඔහු කියලා දෙනවා. අවසානයේදී ජයලත් යථාර්ථය වටහා ගෙන තමන්ගේ ඉල්ලා අස්වීම ඉල්ලා අස් කරගන්නවා.

 

3. දිලිප් කුමාර් මුණගැසීම

ආන් නම් චිත්‍රපටය දෙමළ බසින්  හඬ කවා තිරගත කිරීම නිමිත්තෙන් දිලිප් කුමාර් සහ නිම්මි ඇතුළු සිනමාකරුවන් පිරිසක් ලංකාවට පැමිණිලා තියෙනවා. ඒ අවස්ථාවේදී ඩී.බී ධනපාල අනිවාර්යයෙන්ම ජයලත්ව මේ පිරිසට මුණගැහෙන්න යැවිය යුතුයි කියලා තීරණය කරලා තියෙනවා. බොල්ගොඩ ගඟ ආශ්‍රිත නිවාඩු නිකේතනයක මේ පිරිස මුණගැසුණු ජයලත්, සිනමාව ගැන ඔවුන් සමග දීර්ඝ පිළිසඳරක යෙදෙන්න සමත්වෙනවා. ඒ අතරතුරේදී දිලිප් කුමාර්ට සිගරට්ටුවක් දල්වා ගන්න ගිනිපෙට්ටියක් ඕන වෙනවා. ජයලත් තමන්ගේ ගිනිපෙට්ටිය දෙන්නෙ ඒකෙ තියෙන්නේ එක ගිනිකූරක් කියලා. එක ගිනිකූරකින් මුළු ලෝකෙම ගිනි තියන්න ප්‍රමාණවත් කියලා සිනාවෙන දිලිප් කුමාර් තමන්ගෙ සිගරැට්ටුවක් දල්වා ගන්නවා .

 

4. නළු නිළි ක්‍රිකට් තරඟයේ රහස

1954 දී පමණ නාර්ගීස්, රාජ් කපූර්, ශම්මි කපූර් ඇතුළු නළු නිළියන් විසිගණනක් ලංකාවට පැමිණ ලංකාවේ නළු නිළියන් සමඟ ක්‍රිකට් තරඟයක නිරත වුණා. මේ සඳහා ජයලත් ඇතුළු පුවත්පත් කලාවේදීන් සුවිශාල ප්‍රචාරයක් ලබා දෙනු ලැබුවා. එකල පුවත්පත් සියල්ලම පාහේ මුල් පිටු සැරසූයේ මේ පිළිබඳ තොරතුරු වලින්. නමුත් පසුව හෙළිවූයේ එම ක්‍රිකට් තරඟය පැවැත්වෙන අතරතුර ඉන්දීය වතු කම්කරුවන් පිළිබඳව සාකච්ඡා කෙරුණු ලංකාවට අතිශය අවාසිදායක නේරු කොතලාවල ගිවිසුම අත්සන් තැබුණු බවයි. මේ පිළිබඳව කැළඹීමක් රට තුළ ඇති නොවනු පිණිස ඉන්දීය සහ ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන් සිදුකළ උපක්‍රමයක් විදිහටයි මෙම ක්‍රිකට් තරඟය පැවැත්වීමට සැලසුම් කරලා තියෙන්නේ 

 

5. රේඛාව ගැන ජයලත්ගේ විචාරය 

රේඛාව චිත්‍රපටය පිළිබඳව එවකට ලංකාවේ සිටි සිනමා විචාරකයන් මෙන්ම පුවත්පත් කලාවේදීන් පවා ප්‍රශංසා මුඛයෙන් කතා කළත් කරුණාසේන ජයලත් මධ්‍යස්ථ විචාරයක් කළා. එහිදී එම ප්‍රයත්නය අගය කළ ඔහු ඊට අමතරව තමන්ට පෙනුණු ආකාරයට රේඛාව චිත්‍රපටයේ ඇති දුර්වලතා කිහිපයක් පිළිබඳව ද සඳහන් කළා. මේ විචාරය පිළිබඳව අතිශයින් පැහැදීමට පත් ලෙස්ටර් ජේම්ස් පීරිස්, කේ. ඒ. ඩබ්ලිව් පෙරේරා මගින් පණිවිඩයක් යවලා ජයලත්ව මුණගැසීමට තමා කැමති බව දන්වා සිටියා. ඉන් අනතුරුව දෙදෙනා කතාබහ කොට ජයලත් සමගම යළිත් වරක් සිනමාහලකට ගොස් රේඛාව නැරඹීමට තරම් ලෙස්ටර් ජේම්ස් පීරිස් නිහතමානී වෙලා තියෙනවා.

 

6. බෝතල් පත්තරකාරයාට ගිය දරු දුක

 

එඩී ජයමාන්න සහ රුක්මණී දේවියගේ පවුලේ සමීපතමයෙකු වූ කරුණාසේන ජයලත්, රුක්මණී දේවිය මවගේ චරිතයටත් ඇගේ සොහොයුරිය වූ සරෝජිනී දුවගේ චරිතයටත් යොදාගෙන දරු දුක නමින් චිත්‍රපට තිරනාටකයක් රචනා කළේ එම පවුලේ සාමාජිකයන්ගේම අර්ථපතීත්වයෙන් එය චිත්‍රපටියක් බවට පත්කිරීමේ කල්පනාව සහිතවයි. නමුත් විවිධ හේතූන් මත එය සිදු නොවූ අතර පසුව හර්බට් එම්. සෙනෙවිරත්න එම චිත්‍රපටිය නිර්මාණය කිරීමට දායක වන බව පවසා ඩබ්ලිව්. ඒ. සිල්වාගේ හඳපාන ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය කළා. මෙයින් අතිශයින් කනගාටුවට පත්වූ ජයලත් දරුදුක තිරනාටකය බෝතල් පත්තරකාරයෙකු වෙත ලබාදී තිබෙනවා.

 

7. දරුදුක වෙනුවට සෙනෙහස

කෙසේ වෙතත් දරුදුක චිත්‍රපටයේ කැප්ටන් රණබාහු නම් චරිතය තුළින් තමන්ට සම්මානනීය නළුවෙකු විය හැකි බව හර්බට් එම්. සෙනෙවිරත්න දැඩි ලෙස විශ්වාස කර තිබෙනවා. ප්‍රතිඵලය වූයේ යළිත් ජයලත්ගෙන් දරු දුක  තිරනාටකය ඔහු විසින් ඉල්ලා සිටීමයි. ඊට අත් වූ ඉරණම ගැන දැඩි ලෙස කණගාටු වූ ඔහු නැවත වතාවක් එම තිර නාටකය ලියන ලෙස යළි යළිත් ජයලත්ගෙන් ඉල්ලා සිටියා. අවසානයේදී  ඔහුගේ බල කිරීම මත සෙනෙහස තිර නාටකය ජයලත් අතින් රචනා වුණා. හර්බට් එම්. සෙනෙවිරත්න බලාපොරොත්තු වූ පරිදිම සරසවිය චිත්‍රපට උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය සෙනෙහස චිත්‍රපටියේ කැප්ටන් රණබාහුගේ චරිතය රඟපෑම නිසා ඔහුට ලැබුණා.

 

එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *