කිරුළ අහිමි වුණු රජවරු

විසිවැනි සියවසේ දී රටවල් වේගයෙන් ප්‍රජාතන්ත්‍රවාදය කරා නැඹුරු වෙද්දී ඒ දක්වා රාජාණ්ඩු වෙලා තිබ්බ බොහෝ රටවල් තමන්ගේ රජවරු බලයෙන් පහ කරලා දැම්මා. සමහර රජවරුන්ගේ බලය කඩදාසියකට විතරක් සීමා කළා. යුරෝපයේ අද වෙද්දි රජවරු, රැජිනියෝ ගණනාවක් හිටියත් ඔවුන්ට බලයක් හිමි වෙන්නේ නැහැ. හැබැයි ඒ අය වාසනාවන්ත වෙන්නේ ඒ අයට රජකම අහිමි නොවීම නිසා. අපි අද කතා කරන්න යන්නේ තමන්ගේ රටවල් වල ඇති වෙච්ච වෙනස්කම් නිසා කිරුළ අහිමි වුණු රජවරු කීපදෙනෙක් ගැන.

 

1. ගයනේන්ද්‍ර රජු 

සියවස් ගණනාවක් තිස්සේ රාජාණ්ඩුවක් බවට පත් වෙලා තිබ්බ නේපාලය සමූහාණ්ඩුවක් බවට පත් කරන්න එරට පාර්ලිමේන්තුව තීරණය කළා. එහි ප්‍රතිඵලය වුණේ එරට රජ කළ ෂා රාජවංශයට බලය අහිමි වීම. මේ වෙද්දි එරට අවසන් රජ වුණු ගයනේන්ද්‍ර රජු තමන් පාලනය කරපු රටේම සාමාන්‍ය පුරවැසියෙක් බවට පත්වෙලා ඉවරයි. නේපාලයේ හිටපු රජු වූ බීර් බික්‍රම් ෂා රජුගේ සහෝදරයා වන ගයනේන්ද්‍රට කිරුළ හිමි වුණේ නේපාල රජ පවුලේ රජු ඇතුළු ප්‍රධාන පෙළේ සාමාජිකයන් ගණනාවක් කිරුළ හිමි කුමාරයා අතින් ඝාතනය වීමත් එක්ක. නමුත් අවසානයේ අවාසනාව ගයනේන්ද්‍ර කරාත් ගියා.

 

2. දෙවැනි ෆුවාඩ් රජු 

1952 වසරේ දී ඇතිවුණු ඊජිප්තු විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට ඒ දක්වා එරට රජ කළ ෆාරුක් රජු සිංහාසනය අත් හැරීමට කටයුතු කළා. ඉන්පසු රජු බවට පත් වුණේ ඔහුගේ මාස කීපයක් වයසැති පුත් කුමරා වන ෆුවාඩුයි. නමුත් මෙම ළදරු කුමරාට රජකම් කිරීමට ලැබුණේ වසරකටත් වඩා අඩු කාලයක්. ඊජිප්තුව සමූහාණ්ඩුවක් බවට පත්වුණු අතර ෆුවාඩ්ගේ දෙමව්පියන් විසින් ඔහුව ස්විස්ටර්ලන්තයට රැගෙන ගියා. මීට වසර දහයකට පමණ පෙර නැවතත් ඔහුට ඊජිප්තු පුරවැසිභාවය හිමි වීමෙන් පසුව තම මව් රටට වරින් වර පැමිණියත්, ඔහුගේ නිත්‍ය වාසස්ථානය වන්නේ යුරෝපයයි.

 

3. දෙවන කොන්ස්ටන්ටයින් 

තම රටේ ඇති වුණු හමුදා කුමන්ත්‍රණයකට විරුද්ධව කටයුතු කිරීම නිසා කොන්ස්ටන්ටයින් රජුට ආරක්ෂාව පතා යුරෝපය වෙතට පළා යාමට සිද්ධ වුණා. ඒ අතරතුරේදී හමුදා පාලකයන් විසින් ජනමත විචාරණයකින් අනතුරුව රාජාණ්ඩුව අහෝසි කරනු ලැබුවා. එම ජනමත විචාරණය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ලෙස පැවතුණු බව කියවෙනවා. හමුදා පාලනය පෙරලා දැමීමෙන් පසුව තිබූ ජනමත විචාරණය මගිනුත් ග්‍රීක ජනතාව රාජාණ්ඩුවකට ප්‍රිය නොවන බව තහවුරු වුණා. එම ප්‍රතිඵලය පිළිගත් කොන්ස්ටන්ටයින් රජු මේ වන විට මහා බ්‍රිතාන්‍යයේ වාසය කරනවා. නමුත් ග්‍රීක ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් විවිධ සත්කාරක ව්‍යාපෘති දියත් කිරීමටත් ඔහු අමතක කරන්නේ නැහැ.

 

4. දෙවන සයිමන් රජු 

තම පියා වූ තුන්වැනි බොරිස් රජුගේ හදිසි මරණයෙන් පසුව බල්ගේරියාවේ සිහසුනට පත්වන විට සයිමන්ගේ වයස අවුරුදු හයක් පමණයි. දෙවැනි ලෝක යුද්ධයේ ජර්මානු මිතුරු කඳවුරක් ලෙස කටයුතු කිරීම නිසා සෝවියට් රුසියාව විසින් බල්ගේරියාව ආක්‍රමණය කළ අතර ඔවුන් විසින් පවත්වන ලද ජනමත විචාරණයකින් රාජාණ්ඩුව අහෝසි කරනු ලැබුවා. පළමුව ඊජිප්තුව කරා පළා ගිය බල්ගේරියානු රජපවුලට පසුව ස්පාඤ්ඤය විසින් දේශපාලන රැකවරණය ලබා දෙනු ලැබුවා. කොමියුනිස්ට්වාදී පාලන තන්ත්‍රය පෙරළීමෙන් පසුව යළිත් බල්ගේරියාවට පැමිණි සයිමන්, 2001 වසරේදී මැතිවරණයකට ඉදිරිපත් වී එරට අගමැතිවරයා බවට පත් වුණා. පසුව විවිධ දේශපාලන හැලහැප්පීම් නිසා ඔහුගේ පක්ෂය පරාජය වීමෙන් පසුව ඔහු දේශපාලනයෙන් සමු ගත්තා.

 

5. ජන්හිඩ් බින් අබ්දුල්ලා

මහා බ්‍රිතාන්‍යය විසින් සැන්සිබාරය සඳහා නිදහස ලබා දෙන ලද්දේ අබ්දුල්ලා  රජු යටතේම ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් සඳහා පසුබිම සකස් කරමින්. නමුත් කොමියුනිස්ට් හිතවාදීන් පිරිසකගේ මූලිකත්වයෙන් සැන්සිබාර් විප්ලවය ඇති වුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස අබ්දුල්ලා රජු ඕමානය වෙත පළා ගියා. පසුව සැන්සිබාරය අසල්වැසි ටැංගනිකාව සමග එක්වී ටැන්සානියාව නමින් නව රාජ්‍යයක් බවට පත් වුණා.

 

6. දෙවැනි ගහාලීබ් 

අද වන විට යේමනයේ කොටසක් බවට පත්ව ඇති ක්වාටි නම් කුඩා රාජ්‍යයේ අවසාන සුල්තාන්වරයා වූ ගහාලිබ්, මේ වන විට වාසය කරන්නේ සෞදි අරාබියාව තුළයි. රටේ පැවති තත්ත්වය අනුව  ඔහුගේ පියාද කිරුළ හැරීමට කටයුතු කළ අතර අවසානයේදී රාජ්‍ය විරෝධීන් විසින් ගහාලීබ්වද සිහසුනෙන් නෙරපා හරිනු ලැබුවා.

 

7. දලයි ලාමාතුමා 

චීන ආක්‍රමණය දක්වාම ටිබෙට් රට තුළ පැවතියේ වෙනස්ම ක්‍රමයක රාජාණ්ඩුවක්. ටිබෙට් වැසියන් විසින් තම රජු ලෙස සලකන ලද්දේ ලාමා වරයෙක්. දලයිලාමා ලෙස හැඳින්වුණු මෙම ලාමා වරයා සෑම භවයකදීම  එරට ආධ්‍යාත්මික නායකයා වන බව ඔවුන් විශ්වාස කළා. චීන ආක්‍රමණයත් සමඟ දලයි ලාමාවරයා ඉන්දියාව කරා පළා ගිය අතර, අද දක්වා ටිබෙට් වැසියන්ට නායකත්වය ලබා දෙමින් එතුමා ධර්මශාලා නගරයේ වාසය කරනවා.

 

එහෙම නම් නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *