තමන්ගෙන් කන්‍යා භාවය බලාපොරොත්තු වෙන පාට්නර් කෙනෙක් එක්ක කටයුතු කරන්නේ මෙහෙමයි

දැන් කාලෙත් කන්‍යා භාවය කියන එක ගැන වදවෙන අය ඉන්නවද? අපොයි ඔව් ඉන්නවා. එතකොට දැන් කාලෙත් කන්‍යා භාවය කසාද බඳිනකල්ම තියෙන්න ඕනද? දන්නෙ නෑ, ඒක තමන්ට අදාළ කාරණයක් නේ. තමන් හිතනවා නම් කන්‍යා භාවය නැතිවෙන්න ඕන විවාහ වුණාට පස්සේ කියලා, කිසිම ගැටළුවක් නෑ. තමන්ට හිතෙනවා නම් කන්‍යා භාවය කියන එක තේරුමක් ඇති දෙයක් නෙවෙයි, බඳින්න කලින් සෙක්ස් කළත් කමක් නෑ කියලා, ඒකත් කිසිම ගැටළුවක් නෑ. ඒ කියන්නේ තමන්ට ඒ ගැන හරි දැක්මක් තියෙනවා නම් සහ තමන්ගේ දැක්ම වෙනුවෙන් පෙනී ඉන්න හයියක් තියෙනවා නම් කිසිම ගැටළුවක් නෑ. හැබැයි අපි ආයෙමත් කියනවා, මේක සම්පූර්ණයෙන්ම පුද්ගලානුබද්ධ දෙයක්. එක් එක් මනුස්සයාගෙන් මනුස්සයාට වෙනස් වෙන දෙයක්.

හරි, අපි කියමු අපි ගෑණු ළමයෙක් කියලා. අපි එක්කෝ ජීවිතේට සෙක්ස් කරලා නැති වෙන්න පුළුවන්. එක්කෝ සෙක්ස් කරලා තියෙන්න පුළුවන්. මෙතන සෙක්ස් කියන්නේ සම්පූර්ණ යෝනි සංසර්ගයට, හරිද. එහෙම නැතිනම් අපි සෙක්ස් නොකළත් අපිට කන්‍යා පටලය පිහිටලා තියෙනවද නැද්ද කියලා අපි හරියට නොදන්නවා වෙන්න පුළුවන්. ඇත්තටම ඒක කලින් දැනගන්න අමාරුයිනේ. හැබැයි ඔය මොකක් වුනත් අපි ආදරේ කරන කෙනා හෝ විවාහ වෙන්න යන කෙනා අපි කන්‍යාවක් වීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අපි මොකද කරන්නේ?

 

1. ඇත්තටම තමන්ගේ මතය මොකද්ද?

මුලින්ම හිතලා කල්පනා කරලා බලන්න ඕන දේ තමයි මේක. ඒ කියන්නේ වර්ජිනිටි එක ගැන තමන්ගේ මතය මොකද්ද කියන එක. තමන් හිතනවා නම් කෙල්ලෙක්ගේ පිරිසිදුකම තියෙන්නේ කන්‍යාභාවයේ කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක පුද්ගලික අයිතියක්. සමහර වෙලාවට බෝයිෆ්‍රෙන්ඩ් ඒක ගණන් ගන්නෙ නැති වුණත්, තමන්ට සෙක්ස් කරන්න අවශ්‍ය විවාහයෙන් පස්සේ නම්, ඒ තීරණයේ දැඩිව ඉන්න තමන්ට අයිතිය තියෙනවා. මෙතනදී ඇත්තටම එකිනෙකා එක්ක තියෙන විශ්වාසය තමයි මූලික වෙන්නේ.

එතකොට ඔයා කන්‍යා පටලය තමයි කන්‍යා භාවය කියලා හිතනවා නම්? අන්න ඒක පොඩ්ඩක් ප්‍රශ්නකාරී වෙන්න පුළුවන්. මොකද, අපි දන්නවා හැම කාන්තාවකටම කන්‍යා පටලයක් නොපිහිටන්න පුළුවන් කියන එක. සෙක්ස් ඇරෙන්න වෙනත් හේතු නිසාත් කන්‍යා පටලය කැඩී යන්න පුළුවන් කියන එක. ආන්න එතකොට කොහොමද ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්නේ? ඒකත් තමන් හිතලා බලන්න ඕන.

තුන්වනුව, තමන් කන්‍යා භාවය වගේ එව්වා ගණන් ගන්නෙ නැති කෙල්ලෙක් නම්, ඒකෙත් කිසිම ගැටළුවක් නෑ. ඒකත් තමන්ගේ අයිතිය. හැබැයි තමන්ට ඒ මතය ඩිෆෙන්ඩ් කරන්න ශක්තිය සහ ධෛර්යය තියෙන්නත් ඕන.

 

2. අතීතේ ගැන කෙලින් කතා කරමුද?

අපි හිතමු අපි වර්ජින් කෙනෙක් නෙවෙයි කියලා. ඒ කියන්නේ අපි කලින් සෙක්ස් කරලා තියෙනවා කියලා. හැබැයි අපේ බෝයිෆ්‍රෙන්ඩ්/හස්බන්ඩ් කන්‍යා භාවය ගැන හිතනවා. එහෙමනම් කරන්න ඕන මොකද්ද? ලව් කරන්න පටන් ගන්නකොටම තමන්ගේ අතීතය ගැන බොහොම විවෘතව කතා කරන එක තමයි කරන්න ඕන. අන්න එතකොට දෙන්නට දුරදිග යන්න කලින්ම තීරණයක් ගන්න පුළුවන් තමන්ට ඇත්තටම ඉස්සරහට යන්න පුළුවන්ද කියන එක ගැන. හැබැයි මේ කියන්නේ හම්බෙන ඕනම කොල්ලෙක්ට තමන් වර්ජින් කෙනෙක් නෙවෙයි කියලා කීම නෙවෙයි. ඇත්තටම ඒක පෞද්ගලික කාරණාවක්. මොකද, අද සමාජේ හැටියට ඕක කිව්වහම කොල්ලෙක් අපිව යූස් කරන්න හිතන්නත් පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවලින් ගැලවිලා ඉන්නත් අපිට මොලේ තියෙන්න ඕන.

හැබැයි තමන්ගේ අතීතය සහ වර්තමානය ගැන විවෘත කතාබහක් කරලා ආදරේ කරන එක කෝකටත් හොඳ දෙයක්.

 

3. තමන්ට කන්‍යා භාවයක් පෙන්නන්න නැති වුනොත්? හැබැයි කලින් සෙක්ස් කරලත් නැති නම්?

මේක ඉතින් වෙන්න පුළුවන් කියලා අපි උඩිනුත් කිව්වනේ. කෙනෙක් සෙක්ස් කරලා නැති වුණත්, එයාගේ කන්‍යා පටලය නැති වීම හෝ හානි වෙලා තිබීම වෙන්න පුළුවන්. ඉතින් ඒක මේ වෙනකොට ඕනම සාමාන්‍ය බුද්ධියක් තියෙන මනුස්සයෙක්ට තේරුම් ගන්න පුළුවන් විය යුතු, වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන කාරණාවක්. ඉතින් එතකොට කරන්න තියෙන්නේත් අර දෙවෙනියට කියපු කාරණාව තමයි. තමන්ගේ අතීතය ගැන පැහැදිලිව හා විවෘතව කතා කරන්න. දැන් එතකොටත් එයා ඒක පිළිගන්න ලැහැස්ති නැති නම්? එහෙමනම් එක්කෝ විවාහ සම්බන්ධ උපදේශකවරයෙක් එක්ක කතා බහ කරන්න පුළුවන්. එහෙමත් බැරි නම් ඉතින් හය වෙනි කාරණාවට තමයි යන්න වෙන්නේ.

 

4. ඉතින් ඔයත් වර්ජින්ද?

මේක බොහොම වලංගු ප්‍රශ්නයක්නේ. අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ කියන්නේ, පිරිමියෙක් තමන්ගේ කාන්තාව කුමරි බඹසර රැකගෙන ඉන්න කෙනෙක් වීම අපේක්ෂා කරනවා නම්, කාන්තාවටත් පුළුවන් තමන්ගේ පිරිමියා කුමර බඹසර රැකගෙන් ඉන්න කෙනෙක් වීම අපේක්ෂා කරන්න. ඔව්, ඒ කිව්වෙත් කන්‍යා භාවය ගැනම තමයි. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කෙල්ලෙක්ගේ කන්‍යා භාවය තීරණය වෙන්නේ කන්‍යා පටලයෙන් කියලා හිතන මනුස්සයෙක්ට තමන්ගේ කන්‍යා භාවය ගැන බොරු කියන්න වුනත් පුළුවන්. ආන්න එහෙමනම් ආයෙමත් යන්න දෙවෙනි කාරණාවට. එතන ඉඳන් පටන් ගන්න.

 

5. ආදරේට වර්ජිනිටි අදාළද?

හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම අපි ආදරේ කරනවා නම් එකිනෙකාට වර්ජිනිටි වගේ කතන්දර අදාළ වෙන්න විදියක් නෑ තමයි. හැබැයි ප්‍රශ්නේ මේකයි. ගොඩක් මිනිස්සු ආදරේ කරන්නේ යම් යම් සමාජ මතයන්, සම්ප්‍රදායන් ඉස්සර කරගෙන. සමහරු ඇත්තටම කරන්නේ ආදරයක්ද නැද්ද කියන එකත් උභතෝකෝටික ගැටළුවක්. මොකද, කෙනෙක් ආදරේ කරනවා කියලා හිතුවට, ඇත්තටම එයා හොයන්නේ සමාජෙට ඉදිරිපත් කරන්න බිරිඳක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, ඇත්තටම ආදරයක් තියෙනවද, ඒ ආදරේට කන්‍යා භාවය අදාළද කියන ප්‍රශ්නේ ගැන හිතුවට වරදක් නෑ. ඒ ප්‍රශ්නේ එයාගෙන් ඇහුවත් වරදක් නෑ.

 

6. ඉන්නවද? යනවද?

අවසානයට එක තැනකට එනවා නේද? ඒ කියන්නේ තමන්ගේ ශරීරය තමන්ගේ කියන තැන? එතකොට අපිට අනික් කෙනා ඒ ගැන දරණ මතයත් එක්ක දැඩි තීරණයක් ගන්න සිද්ධ වෙනවා නේද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි උඩින් දිගටම කිවුවේ තමන් වර්ජින් කෙනෙක් වීම වැදගත් වෙන පිරිමියෙක් එක්ක ඩීල් කරන්න පුළුවන් සහ ඩීල් කරන්න වෙන විදි ගැන. හැබැයි එක තැනකදී අපිට තීරණය කරන්න වෙනවා දෙන්නට දෙන්නා ඇත්තටම ගැලපෙනවද කියලා. ඒ කියන්නේ, තමන් වර්ජින් කෙනෙක් වීම බලාපොරොත්තු වෙන පිරිමියෙක්, ඒ වර්ජිනිටි එක කන්‍යා පටලයෙන්ම බලාපොරොත්තු වෙන පිරිමියෙක් එක්ක, කන්‍යා භාවය කියන එක කන්‍යා පටලයෙන් මනින්න බැහැයි කියලා හිතන ගැහැණියකට, එහෙම නැතිනම් කන්‍යා භාවය හෝ තමන්ගේ ශරීරය සම්බන්ධ ඕනෑම දෙයක් තමන්ගේ අයිතියක් කියලා විශ්වාස කරන ගැහැණියකට ඉන්න පුළුවන් වෙයිද?

ඉන්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒක දෙන්නගේ අවබෝධය තමයි. හැබැයි මොන තරම් අවබෝධයකින් වුනත් එකට ඉන්න බැරි නම්, දෙන්නට කණගාටුවෙන් වුනත් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අන්න එතනදී ඉන්නවද, යනවද කියන තීරණය හරියට හිතලා මතලා ගන්න වෙනවා. 

 

7. හදාගන්න බැරිද?

හරි. අපි කියමු අපි දන්නවා අපිට කන්‍යා පටලයක් නැහැ කියලා. ඒක සෙක්ස් කරපු හින්දම නෙවෙයි වෙන්න පුළුවන්, වෙන ඕනම දෙයක් නිසාත් වෙන්න පුළුවන්. හැබැයි අපිට ඒ ගැන විවෘතව හිතන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්/හස්බන්ඩ් කෙනෙකුත් නෑ. එයාට කන්‍යා භාවය කන්‍යා පටලයෙන්ම බලන්න ඕන. ඒත් එහෙමයි කියලා අපිට එයාට පයින් ගහලා එලවන්නත් බෑ. ඒකට මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන්. දැන් එතකොට ඊලඟට එන තැන තමයි කන්‍යා පටලය තිබ්බා වගේ පෙන්නන්න බැරිද කියන එක. ඒකටත් ඉතින් ඔය එක එක ක්‍රම පාවිච්චි වෙනවනේ. ඒ ඇරෙන්න සමහරු අහනවා කන්‍යා පටලයක් ආයෙ හදන්න පුළුවන්ද කියලා. ඇත්තටම බැරි නෑ. දැන් ඒක සුළු සැත්කමකින් කරන්න පුළුවන්. ඉතින් මේ කියපු විදියේ අවස්ථාවකදී අවසාන පිළියම ඒක වෙන්නත් පුළුවන්.  

 

දැන් අපි උඩින් කියපු කරුණු කාරණා එක්ක තවත් දෙයක් කියන්න ඕන. කන්‍යා භාවය වගේ ප්‍රශ්න විතරක් නෙවෙයි, තමන්ගේ ආදර ජීවිතයේ හෝ විවාහ ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයක් ගැන කතා කරන්න උපදේශන සේවා තියෙනවා. මැරේජ් කවුන්සිලින් තියෙනවා. දෙන්නත් එක්ක එහෙම මැරේජ් කවුන්සිලර් කෙනෙක් ගාවට ගිහින් කතා කරන එකෙන් බොහොම සාර්ථකව ප්‍රශ්නේ විසඳගන්න හැකියාවක් ලැබෙන්න පුළුවන්!