ලොව වෙනස් කළ මහා දාර්ශනිකයෝ

මීට වසර දහදාහකට පෙර කාලයේ මිනිසාට තිබුනේ සරල ප්‍රශ්​න කීපයකි. ආහාර නවාතැන් සහ ලෙඩදුක් වැනි අනෙක් සතුන්ට තිබෙන ගැටලු ආදිය ඒ කාලේ මිනිසාට තිබුනි. කාලය සමග මිනිස් සමාජය දියුණු විය. මිනිසාගේ මො​ළයේ ධාරිතාවය වැඩි විය. ඒ සමගම මිනිසුන්ට එදිනෙදා සරල ජීවන ගැටලු වලට අමතරව තවත් බොහෝ දේ ගැන අදහස් පහල වන්නට විය. මනුෂ්‍යයින් වශයෙන් විවිධ මට්ටමේ අදහස් අපි හැමෝටම තිබේ. ඒ අතර වඩාත් පොදු, සාධාරණ, විධිමත් සහ කාලයට සාපේක්ෂව ඉදිරිගාමී අදහස් දැක්වූ අයගේ අදහස් ලොව පතල විය.

 

ජීවය, දේශපාලනය, භෞතික පරිසරය, ඉතිහාසය, විද්‍යාව, ගණිතය, නීතිය ආදි දේ ගැන විවිධ දාර්ශනික අදහස් ප්‍රකාශ ක​ළ අය සිටියහ. ඔවුහු  මුලු මහත් ලෝකයේම මනුෂ්‍ය සමාජය​ට බලපෑම් ක​ළෝය. එවැනි මහා දාර්ශනිකයෝ රැසක් සිටින අතර එයින් කිහිප දෙනෙක් ගැන කරුණු ස්වල්පයක් අපි දැන ගනිමු.

 

1. කොන්ෆියුසියස්

ඇතැමුන් ආගමක් ලෙසද විශ්වාස කරන මුත් කොන්ෆියුසියස් විශාල පරාසයක වූ දැනුමක් ලෝකයට ලබාදුන් දාර්ශනිකයෙකි. ඇරිස්ටෝටල් බටහිර දර්ශනයට වැදගත් වන්නේ යම්සේද චීනය ප්‍රමුඛ ආසියානු සමාජයට කොන්ෆියුසියස් තුමාගේ දර්ශනය වැදගත් කාර්යභාරයක් ඉටු ක​ළේය. කොන්ෆියුසියස් තුමා වෘත්තියෙන් චීන අධිරාජයාට ද උපදෙස් දිය හැකි මට්ටමේ ප්‍රාන්​ත මහ ඇමතිවරයෙක් විය. සදාචාරාත්මක ප්‍රවේ​ශයක් තුලින් සමාජය සවිබල ගැන්වීම කොන්ෆියුසියස් තුමාගේ අදහස විය. ක්‍රි. පූ 551 දී උපත ලද කොන්ෆියුසියස් තුමා ක්‍රි.පූ 479 දී මිය පරලොව ගියේය. දැනට වර්​ෂ 2500කටත් වඩා වැඩි වුවත් අදද කොන්ෆියුසියස් තුමාගේ වචන විශ්වාස කොට ජීවිතයට එයින් ආලෝකය ලබාගන්නා පිරිස චීනය මෙන්ම අවට රටවල් වලද විසිරී පැතිරී සිටිති.

 

2. ඇරිස්ටෝටල්

අතීතයේ පහල වූ බටහිර දාර්ශනිකයන් අතරින් වඩාත් සාර්ථකම දාර්ශනිකයා ඇරිස්ටෝටල් යැයි කියවේ. ඇරිස්ටෝටල් තමුන්ගේ අදහස් විධිමත්ව කුඩා තිසීස ලෙස රචනා කර ඇත. මහා ඇලෙක්සැන්ඩර් රජතුමාට ගුරුවරයෙකු වූ ඇරිස්ටෝටල් ක්‍රිස්තු පූර්ව 384-322 කාලයේ වාසය කළා යැයි සැලකේ.  ප්​ලේටෝ සොක්‍රටීස් ආදීන් මෙන්ම සමකාලීන ග්‍රීසියේ දාර්ශනිකයෝ රැසක් වූහ. ඒ අතරින් විශාල වි​ෂය​ය සංඛ්‍යාවක් අර​බයා වඩාත් විධිමත් ආකාරයෙන් දාර්ශනික මත ප්‍රකාශ කිරීමට ​ඇරිස්ටෝටල් සමත් වී තිබේ. ඔහුගේ වි​ෂයයන් දේශපාලනය, ආණ්ඩුව, භෞතික විද්‍යාව, මනෝ විද්‍යාව, නාට්‍ය, භාෂාවන් නීතිය ආදී විශාල පරාසයක පැතිර පවතී. කාලයට සාපේක්ෂව දාර්ශනික හරය අතින් ඇරිස්ටෝටල් වර්​ෂ දහසක් පමණ ඉදිරියෙන් සිටිය පුද්ගලයෙකු යැයි සැලකේ. ඇරිස්ටෝටල් ට පසුව ඔහු හා සම මහා දාර්ශනිකයින් බිහිවන්නට ඉන් පසු වසර එක්දාස් පන්සි​යයකට වඩා කාලයක් ගත විය.

 

3. රබීන්ද්‍රනාත් තාගෝර්

ළමුන් සියලුම දෙනා එක සම වූ ඉලක්ක වලට දක්කන නූතන බටහිර අධ්‍යාපන ක්‍රමය 20 වන සියවස මුලදීම අසාර්ථක අධ්‍යාපන ක්‍රමයකැයි තාගෝර් දැක්කේය. එසේම ආසියානු පසුබිමේ ඉන්දියානු ගම ගෝලීයකරණය තුලින් තවත් උපනගරයක් වෙන ආකාරය මීට වසර සියයකට පෙර තාගෝර් විසින් දැක්කේය. ඉන්දියානු නිදහස් සටන හුදෙක් සුද්දන් වෙනුවට ස්වදේශිකයින් රට පාලනය කරන තත්ත්වයකට ගෙන ඒමෙන් වැඩක් නැතැයි තාගෝර් කීවේය. ඔහු ඉන්දියානුවන්ට ශතවර්​ෂ ග​ණනාවක් තිස්සේ හිමි වූ වටිනාකම් සහිත ජීවන රටාව දියුණු කරගැනීමට දැනුමෙන් උදව් ක​ළ යුතුයැයි විශ්වාස ක​ළේය. සංගීතය කලාව සහ භාෂාව ඉගැන්වීමට තාගෝර් විශ්ව භාරතී විශ්ව විද්‍යාලය පිහිටෙවුවේය. ගමේ සිටින මිනිස්සුන්ට දැනුම ලබාදීමටද තාගෝර් අලුතින් වැඩපිලිවෙල ආරම්භ ක​ළේය. නිදහස ලබාගැනීම තුල දේශපාලනික බලපොරයට එහා ගිය අර්ථවත් නිදහසක් ඇතිකරලීමට තාගෝර් ගේ මතවාද ඉන්දියාවට වැදගත් විය. 1913 දී සාහිත්‍ය නොබෙල් තෑග්ග දිනූ තාගෝර් 1941 දී මෙලොවින් සමුගත්තේය.

 

4. ප්ලේටෝ

සොක්‍රටීස්ගේ ගෝලයාද ඇරිස්ටෝටල් ගේ ගුරුවරයාද වන ප්ලේටෝ සිය දේශන ලේඛන ගත කිරීමට උනන්දුවක් දැක්වීය. සොක්‍රටීස්ගේ ඇතැම් අදහස් ​ලෙස දැක්වෙන බොහෝ අදහස්ද ප්ලේටෝගේ කාලයේදී ලේඛන බවට පත් වී අද දක්වා පැමිණ තිබේ. විධිමත් උසස් අධ්‍යාපන ආයතන ඇතිකිරීමේ මූලිකයා ලෙසද ප්ලේටෝ දැක්වේ. ගණිතය, දේශපාලනය දර්ශනය වැනි විෂයයන් අර​බයා ප්ලේටෝගේ අදහස් පැතිරී පවතී. ප්ලේටෝ පවතින යතාර්ථ ලෝකයට වඩා සංකල්පීය ලෝකයක් ගැන විශ්වාස ක​ළේය.

 

5. සොක්‍රටීස්

බුදුන් වහන්සේ, ජෛන මහාවීර ආදී මුණිවරයින් ඉන්දියාවේ වාසය කරන කාලේ ග්‍රීසියේ සොක්‍රටීස් වාසය ක​ළේය. සොක්‍රටීස් ගේ දාර්ශනික මතවාද වලින් ඉතිරිව ඇත්තේ ස්වල්පයකි. මන්ද ඔහු සිය දාර්ශනික අදහස් ලියා තැබුවේ නැත. කෙසේ වෙතත් සොක්‍රටීස්ගේ මෙම මතවාද එදා සමාජයේ ඇතැමුන්ට දිරවූයේ නැත. එනිසා සොක්‍රටීස්ට වස දී මරණය උරුම කිරීමට පාලකයෝ ක්‍රියා ක​ළෝය.සොක්‍රටීස් වස බඳුන ගෙන කිසිම චකිතයක් නොමැතිව එය පානය කොට මරු වැළඳ ගත් බව ඉතිහාසයේ දැක්වේ.

 

6. රෙනේ ඩෙකාර්ටේ

අනුමානය, පරිකල්පනය, බලාපොරොත්තු, සිහින මැවීම්, හේතු දැක්වීම් වලට අදා​ළ වන සිත නැමැති සාධකය සිරුරෙන් බැහැරව පවතින බවක් රෙනේ ඩෙකාර්ටේ පැවසීය. රෙනේ ඩෙකාටේ මනස සහ කය සම්බන්ධව වඩාත් ගැඹුරට ඒවායේ හැසිරීම විග්‍රහ ක​ළේය. 1596-1650 කාලයේ ප්‍රංශයේ ජීවත් වූ ඩෙකාර්ටේ ගණිතඥයෙකු සහ විද්‍යඥයෙකු ලෙසද හැඳින්වේ. 15 වන සියවසේ සිට 18 වන සියවස දක්වා වර්ධනය වූ විද්‍යාත්මක චින්තන ධාරාවේ මූලිකයෙක් ලෙස රෙනේ ඩෙකාර්ටේ දැක්වේ.

 

7. කාල් මාක්ස්

ජර්මනියේ උපත ලද කාල් මාක්ස් පවතින ක්‍රමය ගැන වඩාත්ම තියුණු විවේචන සැපයූවෙකි. ඔහුගේ මතය අනුව අනාගතයේ යන්ත්‍ර සූත්‍ර ඇතිවීම මත මිනිසුන් තනිවම කිසිවක් නිෂ්පාදනය කරන්නේ නැත. බඩුවක් නිෂ්පාදනය කරන මහා යන්ත්‍රයක එක බෙයාරිමක් සේ පීඩිත පන්තියේ සේවකයාට සිය ශ්‍රමය වැගිරවීමට සිදු වේ. අවසානයේ ලැබෙන භාණ්​ඩයට හෝ සේවාවට එය නිපදවීමට ශ්‍රමය වගුරුවන සේවකයාට අයිතියක් නැත.  පීඩිතයා දායක වී නිපදවන බඩු කොපමණ විකිණුනත් ඔහුගේ වැටුප වැඩි නොවේ. මේ ආදී වශයෙන් පීඩිත පන්තිය සහ ධනපති පංතිය ලෙස දෙකක් විග්‍රහ ක​ළ මාක්ස් සෑම විටම ධනපති පන්තිය විසින් පීඩිත පන්තියේ ශ්‍රමය සූරාකෑමට විවිධ ක්‍රමවේද පාවිච්චි කරන්නේ යැයි චෝදනා ක​ළේය.

 

කාල් මාක්ස් කියූ කාරණා සමාජය විනිවිද දැක්ක සත්‍ය කාරණාය. එහෙත් කාල් මාක්ස් ඒ අසාධාරණ වෙනුවෙන් විකල්ප මොනවාදැයි දැක්වූයේ නැත. පසුකලෙක රුසියාවේ ලෙනින්, කියුබාවේ කස්ත්‍රෝ ආදීන් සමාජවාදී ආකෘතිය තුලින් සැමට එක සමාන අවස්ථා ලබාදෙන්නට ගියත් ඒවා ද අසාර්ථක විය. ඉතා දුගී අඩියක සිටි කාල් මාක්ස්ගේ දුප්පත් කම නිසා ඔහුගේ දරුවන්ද විටෙක මිය පරලොව ගියේය. කෙතරම් ධනපති පංතිය විවේචනය කළත් පසුකලෙක කාල් මාක්ස් ගේ අදහස් පොත් වශයෙන් කල එලි බැස්සේ සුළු ධනපතියෙකු වූ එංගල්ස්ගේ මුදල් හරහාය.

 

ආගමික ශාස්තෘවරුන්ද යම්තාක් දුරකට දාර්​ශනික අදහස් ගෙන හැර පා තිබේ. ඒවාද එක්තරා අතකින් දාර්ශනික මතයන් වෙති. එහෙත් වඩාත් පුළුල් පරාසයක අදහස් දැක්වූ දාර්ශනිකයින් විද්‍යාත්මක ලෝකයේ දැනුම් සම්භාර වඩාත් පුළුල් කරන්නට දායක විය. දර්ශනය යනු කුමක්ද? ලෝකයේ පතල දාර්ශනිකයෝ කවුද? ඔවුන්ගේ දාර්ශනික මත මොනවාද? ඒවායේ වැදගත්කම කුමක්ද? යැයි සරලව අපේ පාසැල් සිසුන්ට පැහැදිලි කරදීම වටී. ආගම උගන්වා ඉන් පසු ලොකුම දාර්ශනිකයා අපේ ආගමික ශාස්තෘවරයානෝ යැයි කියනවාට වඩා සාර්ථක දාර්ශනිකයා යනු කවරෙක්දැයි අප රට සිසුන්ට අවබෝධ කරදෙන්නට හැකිනම් එය සිසුනගේ දැනුම පුළුල් වීමට හේතු වනු ඇත.