ගොඩක් මිනිස්සු කිසිම හරයක් නැතුව, කිසිම තේරුමක් නැතුව ඔහේ කියන මොට්ට කතන්දර!

දැන් අපි හැමෝටම වගේ ඔපීනීයන් තියෙනවනේ. ඒ කියන්නේ ඕනම දෙයක් ගැන ගොඩක් අයට කියන්න දේවල් තියෙනවා. හරි, ඒකට කමක් නෑ. ඔපීනියන් කියන්නේ යම් කිසි දෙයක් ගැන තියෙන ඩිස්කෂන් එකක්, කතිකාවක් දියුණු කරන දෙයක්නේ. හැබැයි ඉතින් ඔය ගොඩක් දෙනෙක් සෝෂල් මීඩියා වල වුණත්, යාළුවෝ සෙට් වෙලා ඉන්න තැනකදී වුණත්, සබාවක් මැද්දේ වුණත් දෙයක් ගැන කතා කරනකොට කියන්නේ නිකම්ම කටට එන කතන්දර. ඒ කියන්නේ අර හැමෝම පට්ට ගහලා එපා වෙලා තියෙන, කම්මැලි කතන්දර. සහ එහෙම කියන දේවල් වල ඇත්තටම තේරුමක් ගොඩක් අයට දැනෙන්නෙත් නෑ, ඒ කතන්දර කියන අයට එහෙම එව්වා ගැන තේරුමක් දැනෙන්නෙත් නෑ. ඉතින් එහෙම කතන්දර කියන එකේ මොකද්ද තියෙන තේරුම?

 

ආන්න ඒ නිසා අපි හිතුවා මිනිස්සු එහෙම තේරුමක් නැතුව කටට ආවට කියන මොට්ට කතා කීපයක් ගැන කියන්න. අඩු තරමින් මීට පස්සේ එහෙම කතාවක් නොකියා ඉන්න හරි පුළුවන් නේ.

 

1. සතුට සල්ලි වලට ගන්න බෑ

කවුද කියන්නේ සතුට සල්ලි වලට ගන්න බැහැයි කියලා? ඇත්තටම මේක දාර්ශනික තලයේ, යම්තාක් දුරකට මතභේදකාරී කතාවක්නේ. හැබැයි මිනිස්සු නිකම්ම ඔහේ කියලා දාන ප්‍රමාණෙට ඇත්ත කතන්දරයක් නෙවෙයි. උදාහරණයක් විදියට අපි මෙහෙම හිතමු. අපිට සල්ලි දීලා සුවපහසුවෙන් ජීවත් වෙන්න හිසට වහළක් හදාගන්න බැරිද? ඒකම සතුටක් නෙවෙයිද? කෙනෙක් කියන්න පුළුවන්, බැංකුවකට ණය වෙලා මහ මන්දිරයක් හදාගත්තත්, ඊට පස්සේ ණය ගෙවනකොට ඒ සතුට ඉවරයි කියලා. ඒක සල්ලි වල වැරැද්ද නෙවෙයිනේ. ඒක සල්ලි කළමනාකාරණය ගැන ප්‍රශ්නයක්. තමන්ට සුවපහසුවෙන් ගෙවන්න පුළුවන් මට්ටමේ ණයක් අරගෙන, ඒ ණයේ ප්‍රමාණයට හොඳ ගෙයක් හදාගත්තහම සැනසිල්ලේ ඉන්න පුළුවන් නේ. හා බැරිද? එතකොට එතන සල්ලි වලට ලැබුණු සැනසිල්ලක්, සතුටක් නෙවෙයිද තියෙන්නේ?

 

2. සර්පයන්ගේ දළ වල විතරයි විස ඒත් මිනිස්සුන්ගෙ ඇඟ පුරාම විස

මේක ගොඩක් දෙනෙක් ඔය සත්තු එහෙම හරිම ෂෝයි කියන්න ඔහේ පාවිච්චි කරන කතන්දරයක්. දැන් එතකොට මනුස්සයගෙ විස තියෙන්නෙ කොහෙද? සියොළඟ. ඒ කියන්නේ මනුස්සයෙක් ගත්තහම අපිට හානියක් කරන්න පුළුවන් නරක අදහස්, සැලසුම් ඇඟ පුරාම තියෙනවා කියලනේ කියන්න ඕන. හැබැයි මෙහෙමයි. ඕක සුභාෂිතේ එන කවියක කෑල්ලක්නේ. එතකොට ඒ කවිපදේ කියන්නේ නපුරු දුදනන්ගේ, ඒ කියන්නේ නරක මිනිස්සුන්ගේ ඇඟ පුරා විස කියලා තමයි. ඉතින් එහෙම නම් කොහොමද හැම මනුස්සයම ඒ ගොඩට දාන්නේ? අනික ඔය නරක මිනිස්සුන්ගේ ගොඩට තමන් වැටෙන්නත් බැරිද? හැබැයි ඉතින් ඇත්ත. නරක මනුස්සයෙක් ලං කරගත්තට පස්සේ අපිට හානියක් කරනකල් දන්නෙ නෑ වෙන්න පුළුවන්. හැබැයි ඒකට කරන්න තියෙන්නේ සරල දෙයයි. තමන්ගේම ප්‍රතිපත්ති මාලාවක් අනුව, ඇස් කන් හොඳින් ඇරගෙන, තමන් අවට සිද්ධ වෙන්නේ මොනවද කියන එක ගැන හොඳ සෝදිසියෙන් ජීවත් වෙන එක.

 

3. අන්න අන්න ජීවිතේ විඳිනවා!

මේක ඔය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වගේ සමාජ මාධ්‍ය වල තියෙන ජනප්‍රියම ආතල් එකක්. ඒ කියන්නේ ජීවිතේ විඳින ආතල් එක. දැන් ඔන්න අපි බයික් එකේ ට්‍රිප් එකක් යනවා. යන ගමන් දවල්ට කන්න කියලා හිතාගෙන කොහේ හරි පාර අයිනේ පොඩි රොටී කඩයක් ගාව නවත්තනවා. දැන් ලුණුමිරිස් රොටී දෙකක් අරගෙන කනවා. එහෙම කනකොට තව එකෙක් ඕක ෆොටෝ එකක් අරගෙන ෆේස්බුක් දානවා ලස්සන කැප්ෂන් එකක් එක්ක. ඊට පස්සේ ඉතින් අර මළාට ට්‍රිප් එකක් යන්නෙ නැති හැත්ත බුරුත්ත ඇවිදින් වැළලෙන්න පටන් ගන්නවා අපි ජීවිතේ විඳිනවා කියලා. හරි, මාසයක් දෙකක් එක දිගට වැඩ කරල කරල අපි ජීවිතේ පොඩි ආතල් එකක් ගන්න වෙන්න පුළුවන් ට්‍රිප් එකක් යන්නේ. හැබැයි ඉතින් ඔය ෆේස්බුක් එකේ ඔය ෆොටෝ එක ෂෙයාර් කරන එවුන්ට තියෙන විදියේ ඇම්මකින් ගැම්මකින් නෙවෙයි පාර අයිනේ ඉඳලා රොටී කන්නේ!

 

4. අනේ ඒ ආදරේ!

මේකත් ඉතින් දෙයියනේ කියලා පේජ් කාරයෝ රීච් හදාගන්න පට්ට ගහන වදනක් තමයි. ආයෙ කෙල්ලෙක්ට තමන්ගේ මල්ලිගෙ හරි අයියගේ හරි අතින් අල්ලගෙන වුනත් පාරෙ යන්න හම්බෙන්නෙ නෑ. කොල්ලෙක් පාර පනින කොට පුරුද්දට තමන්ගේ නංගිගෙ අතින් අල්ල ගත්තත්, ඕක ෆොටෝ එකක් ගහලා ෆේස්බුක් පේජ් එකක දානවා “අනේ ඒ ආදරේ” කියලා තව හාට් හත අටකුත් එක්ක. සීයයි ආච්චියි ක්ලිනික් ඇවිත් තමන්ගේ වාරෙ එනකල් බංකුවේ වාඩි වෙලා හිටියත් ඒ සන්තෑසියම තමයි. කවුරුහරි ලස්සන ඈන්ගල් එකකින් ආච්චිවයි සීයවයි ෆොටෝ ගහලා, ඒකට හොඳ ෆිල්ටර්ස් එහෙම දාලා එඩිට් කරලා, “අනේ ඒ ආදරේ” කියලා ෆේස්බුක් දානවා. ඇත්තටම ඔය හැම එකක්ම සෑහෙන්න තදබල බැඳීම් ගැන කියවෙන තැන් වෙන්න පුළුවන්. ඒක නැහැයි කියලා අපි කියන්නෙ නෑ. හැබැයි “අනේ ඒ ආදරේ” කිය කියා ෆේස්බුක් එකේ හිටු ගෑවිල්ලේ ෂෙයාර් කරන අය ඕක රැල්ලට කියනවා මිසක්, එතන වෙන ඇති දෙයක් නෑ!

 

5. දුවන්න සිස් දුවන්න

මේ ආතල් එක නම් ගොඩක් වෙලාවට දකින්න තියෙන්නේ ඔය කාන්තාවන් තව සහෝදර කාන්තාවන්ට උපදෙස් දීගෙන ඉන්න කාන්තාවට පමණයි ගෘප් වල, එහෙම නැතිනම් ඔය තමන්ගේ ජීවිතේ ප්‍රශ්න කතා කරන ගෘප් වල එහෙම තමයි. දැන් ඔන්න එක ගෑණු ළමයෙක් ඇවිත් ඔය ගෘප් එකක කියනවා, ‘තමන්ගෙ හස්බන්ඩ්ට වෙනත් සම්බන්ධයක් තියෙනවා වගේ මට සැකයි’ වගේ කතාවක්. ආන්න එතකොට ඔය ගෘප් එකේ ඉන්න උපදෙස් දෙන ඩැනී ටයිප් අනික් කාන්තාවෝ ටික ඇවිත් එක හඬින් කමෙන්ට් කරනවා ‘දුවන්න සිස් දුවන්න’ කියලා. ඒ කියන්නේ ඔය කසාදේ කටුගාලා දාපං කියලා කියන්නේ. ඔන්න තව ගෑණු ළමයෙක් ඇවිත් කියනවා, ‘බෝයිෆ්‍රෙන්ඩ් දැන් දවස් කීපෙක තිස්සේ කතා කරන්නේ අඩුවෙන්ය, එයා ආදරේ නැද්ද කොහෙද’ කියලා. ඒකටත් අර සෙට් එක බැහැලා කියනවා ‘දුවන්න සිස් දුවන්න’ කියලා. දැන් වැරදිලා ඔය ගෘප් එකකට ගොඩ වෙන එකෙක්ට හිතෙන්නේ, මේ ගෘප් එක හදාගෙන තියෙන්නේ ඔන්ලයින් මැරතන් දුවන සෙට් එකකට චියර් කරන්න කියලා. මෙහෙමයි. සමහර ප්‍රශ්න තියෙනවා, ඒවා විසඳනවට වඩා හොඳ අයින් වෙන එක. හැබැයි ඉතින් ෆේස්බුක් එකේ ස්ටේටස් එකකින් දුක කියපු ගමන් ‘දුවන්න සිස් දුවන්න’ කියලා, ඒ කියන්නේ සම්බන්ධෙන් අයින් වෙන්න කියලා ගිරවු වගේ කෑ ගහන එක අමු ගොන්.

 

6. එළ කොල්ලෙක් ඔයා නම් බ්‍රෝ

දැන් සාමාන්‍යයෙන් ඔය කොල්ලො අතරේ තියෙනවනේ කොල්ලො කොල්ලො ගැට්ටක්. ඒ කියන්නේ ආයෙ මොන නසරාණියෙක් වුණත්, කොල්ලෙක්ව තව කොල්ලෙක්ට අලුතෙන්ම මුණගැහුණහම (ඒක ඔන්ලයින් වෙන්නත් පුළුවන්, සැබෑ ජීවිතේදී වෙන්නත් පුළුවන්) සෙට් වෙන්නෙම බොක්ක ලෙවල් එකෙන්. ඒ කියන්නේ ලකුණු සීයක් දීලා තමයි පටන් ගන්නේ. ආන්න ඒ නිසා තමයි මොකෙක් හරි ඇවිත් වැරදිලා අපිට කමෙන්ට් එකක් දාලා ගියත්, අපි බස් එකේ නගින්න ඉන්නකොට වැරදිලා හිනා වුණත් “එළ කොල්ලෙක් ඔයා නම් බ්‍රෝ” කියලා පටන් ගන්නේ. ඒක ඉතින් එක අතකට වැරදිත් නෑ. හැබැයි ඉතින් එහෙම අපි එළ කොල්ලෙක් කියලා හිතන එකෙක් අපිටම ෂොට් එක දීලා ගියහම තමයි හිතන්නෙ මතන්නෙ නැතුව ඌට එළ කොල්ලෙක් කියපු කට ගලක උලාගන්න හිතෙන්නේ!

 

7. අම්මෝ ඒක

මෙන්න මේක තමයි එක්කෝ මිනිස්සුන්ව අන්දන්න එන ගල් ආඳුන්ගේ නැතිනම් ඕනම කුණුගොඩකට සා වෑව් කියලා රැවටෙන ගොන් මැට්ටන්ගේ ජාතික වදන. “අම්මෝ ඒක”. ඇත්තටම ඔය ෆේස්බුක් එකේ කමෙන්ට්ස් වල එහෙමත් මේක තරම් අවභාවිතා වෙන වචනයක් තවත් නැතුව ඇති. ඒ තරමටම මිනිස්සු මේක කමෙන්ට් එකක් විදියට දානවා. ඇත්තටම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ කෙනෙක් “මාරම ෆනී දෙයක්”, “මාරම අර්ථවත් දෙයක්”, “මාරම වැදගත් දෙයක්” කිව්වා කියන එකනේ. හැබැයි ගොඩක් දෙනෙක් මේක වැඩිහරියක් දාන්නේ මෙලෝ රහක් නැති ස්ටේටස් වලට. විශේෂයෙන්ම ඔය ෆේස්බුක් සෙලිබ්‍රිටි කෙනෙක් ඇවිත් “අද රෑ වුණා” වගේ මෙලෝ එකක් නැති ස්ටේටස් එකක් දැම්මත්, දායක සභාව ඇවිල්ලා “අම්මෝ ඒක” කියනවා සත්තම සත්තයි!

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *