ඉතිහාසයේ ගින්නෙන් වරින් වර දැවෙමින්, ගොඩනැගෙමින් ආ ලෝවාමහාපාය

අපේ ප්‍රෞඩ ඉතිහාසය ගැන ලොවට කියාපාන ලෝවාමහාපාය කියන්නේ ලෝකයේ ඉදිකෙරුණු පළමු මහල් ගොඩනැගිල්ල බවටත් සමහරු විශ්වාස කරනවා. මෙය ඉදිකෙරුණු කාලයේදී ලෝකයේ වෙනත් මහල් ගොඩනැගිලි නොතිබුණු බවටයි ඔවුන් තර්ක කරන්නේ. එම තර්කවල සත්‍යාසත්‍යතාව කොහොම වෙතත් ලෝවාමහාපාය කියන්නේ අපිට ලොකු ආඩම්බරයක් ගෙන දෙන නිර්මාණයක්. අද අපි ඒ විශිෂ්ට නිර්මාණය ගැන කතාකරමු…

 

1. ඉතිහාසය

මේ පූජනීය ස්ථානය තියෙන්නේ අනුරාධපුරයේ බව අපි හැමෝම වගේ දන්නවානේ. මේ ලෝවාමහාපාය ඉදිකළේ දුටුගැමුණු රජතුමා. ඒ වගේම මේ පූජනීය ස්ථානය අනුරාධපුරයේ අටමස්ථාන අතරින් එකකුත් වෙනවා.

දුටුගැමුණු රජතුමා රජ වෙන්න කලින් තිබුණු සොළී ආක්‍ර‍මණ නිසා කාලයක් මුළුල්ලේ වල් වැදී තිබූ මහමෙවුනාව දුටුගැමුණු රජතුමාගේ කාලයේ යළි ප්‍රතිසංස්කරණය කරනු ලබනවා. එතකොට ඒ උයනේ තිබ්බ පොහොය ගෙය (මෙය දේවානම්පියතිස්ස රජු විසින් මිහිඳු මහරහතන් වහන්සේට පූජා කරන ලද්දක්) ලෝවාමහාපාය විදියට නම් කරලා මහල් නවයක ප්‍රාසාදයක් විදියට ගොඩනගන්න දුටුගැමුණු රජතුමා කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රාසාදය දිව්‍යලෝකයේ තව්තිසා දෙව්ලොවේ ‘භරණී’ නම් දිව්‍යාංගනාවගේ නවමහල් දිව්‍ය විමානයේ ආකාරයට කරවූ බවකුත් මහාවංසයේ සඳහන් වෙනවා.

 

2. නම ලැබුණ හැටි 

මේ ලෝවාමහාපාය එහෙම නැත්නම් ලෝවාමහා ප්‍රසාදයට මේ නම ලැබිලා තියෙන්නේ මේ ප්‍රසාදයේ සංයුතිය නිසාමලු. මොකද මේ ප්‍රසාදය කරලා තියෙන්නේ තඹ ලෝහයෙන්. ඒ වගේම මෙය උළු වලින් තනපු පියස්සකින් ආවරණය වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා මේ ගොඩනැගිල්ල ලෝවාමහාපාය විදියට හැඳින්වුවා කියලයි ඉතිහාස ලේඛනවල සඳහන් වෙන්නේ. ඒ වගේම මේ භූමියේ මායිම් ලකුණු කරලා තියෙන්නේ රිදියෙන් කරපු නගුලකින් කියලයි මහාවංසයේ තියෙන්නේ.

 

3. පිහිටීම

ලෝවාමහාපාය කියන පූජා භූමිය තියෙන්නේ අපි ඉහත කිව්වා වගේ අනුරාධපුරයේ මහමෙව්නා උයනේ. ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේත්, රුවන්වැලි මහා සෑයත් අතර ටිකක් නැගෙනහිර පැත්තට බර වෙලායි මෙය පිහිටා තියෙන්නේ. මෙම ස්ථානය මුලින්ම දේවානම්පියතිස්ස රජු වෙත පෙන්වා දී තිබෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් බවටයි ඉතිහාසගත තොරතුරු වල සඳහන් වෙන්නේ. 

 

4. ලෝවාමහාපායේ අංග

විශාල ගල් කුළුණු දහස් ගණනක් උඩ මහල් නවයකින් යුතුව එක් එක් මහලේ රිදියෙන් නිමවපු කුටීර 100ක් හා ගබඩා දහසකින් සමන්විතව රන් රිදී මැණික් ආදියෙන් දිව්‍ය ලෝකයකට සමානව මේ ප්‍රාසාදය නිම කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊට අමතරව කහවනු කෝටි තිහක් මේ ගොඩනැගිල්ල තනන්න වැය වෙලා තියෙනවා. 

එක් පෙළකට මහා ගල් කණු 40ක් බැගින් පේළි 40ක මුල් ගල් කණු සංඛ්‍යාව 1600ක් මේ ගොඩනැගිල්ල තනන්න භාවිතා කරලා තියෙනවා. ඒත් ඒවා දුටුගැමුණු රජතුමා කරපුවා නෙමෙයි, පසු කාලීනව මහා පරාක්‍රමබාහු රජතුමාගේ නියමය පරිදි කරවපුවා කියලායි සඳහන් වෙන්නෙ.

අඩි 1500ක් විතර උසකින්, දිගකින්, පළලකින් අතීතයේදි ලෝවාමහාපාය සමන්විත වුණා කිව්වත්, අද දකින්න තියෙන්නේ දිග, පළල අඩි 200 ක පමණ නටබුන් විතරයි. 

 

5. කලින් කලට ගිනිබත් වීම

සද්ධාතිස්ස රජුගේ කාලයේ මේ ප්‍රාසාදය ආලෝකවත් කළ පහනක් පෙරැළී ගිහින් ලෝවාමහාපාය ගිනිගත්තා කියලා සඳහන් වෙනවා. හැබැයි ඊට පස්සේ රජු විසින් එය සත්මහලක් කොට නැවත නිමකොට තිබෙනවා. ඊට අවුරුදු සීයකට පමණ පස්සේ භාතිකාභය රජුත් ලෝවාමහාපාය ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. අවාසනාවන්ත විදියට දෙවන සිරිනාග රාජ්‍ය සමයේ ද නැවතත් මෙය ගිනිගන්නවා. පස්සේ ජෙට්ඨතිස්ස රජු විසින් මෙය ප්‍රතිසංස්කරණය කරනු ලබනවා. 

 

6. මහසෙන් රාජ්‍ය සමයේදී සිදුවූ විනාශය

ක්‍රි.ව. 276-303 අතර කාලයේ රජකරපු මහසෙන් රජතුමා සිය පාලන සමයේ මුල් කාලයේදී මහායානික සංඝයා වහන්සේලා කියපු විදියට මේ ලෝවාමහාපාය විනාශ කරනවා. ඒ විතරක් නෙමෙයි, ඊටපස්සේ ඔහු එයට අයත් වෙච්ච ධනය අභයගිරි වාසී හිමිවරුන්ට ලබා දෙනවා. ගොඩනැගිල්ල තිබ්බ භූමිය නගුලකින් උඳු වවන්න පුළුවන් විදියට හදලා මේ භූමියේ උඳු වවලා තියෙනවා කියලත් මහාවංසයේ සඳහන්ව තියෙනවා.

 

7. ප්‍රතිසංස්කරණ 

කොහොමහරි මේ මහසෙන් රජතුමාගේ මල්ලි වුණු කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු මේ විනාශ වුණු ගොඩනැගිල්ල යළි ගොඩනංවනවා. ඉන්පසුව ධාතුසේන රජු ද, පළමුවන හා සිව්වන අග්‍රබෝධි රජවරුන් ද, මානවම්ම රජු ද, ලෝවාමහාපාය රැකගැනීමට කටයුතු කර තිබෙනවා. පළමුවැනි සේන රජුගේ කාලයේ දී මෙරට ආක්‍රමණය කරපු දකුණු ඉන්දීය පාණ්ඩ්‍යයන් නිසා ලෝවාමහාපාය නැවතත් විනාශ වුණත් දෙවන සේන රජු එය නැවතත් ප්‍රතිසංස්කරණය කර ඒ තුළ ස්වර්ණමය බුද්ධ ප්‍රතිමාවක් ද තැන්පත් කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊට පස්සේ පස්වන කාශ්‍යප රජු සහ සිව්වන මහින්ද රජු ද මේ භූමිය රැකගන්න ගොඩාක් දායක වෙලා තිබෙනවා. ඊට පස්සේ පොළොන්නරු යුගයේ රජ වුණු පරාක්‍රමබාහු රජතුමාත් මේ පුණ්‍ය භූමිය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දී තියෙනවා.

 

ඉතින් අදත් වෙනදා වගේම ඔයාලගේ දැනුමට මොනාහරිම දෙයක් එකතු වුණා කියලා හිතනවා ඉතින් මේ දේවල් ඔයාලගේ යාළුවොත් එක්ක බෙදාගන්නත් අමතක කරන්න එපා…

 

ශශින් ප්‍රබෝද් 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *