දැන් ඔය වංචා කියන්නේ ඉතින් සමහර වෙලාවට ලෝකේ පටන් ගත්තු කාලේ ඉඳලම තියෙන දෙයක් වෙන්නැති. අපිට ඉතින් ඔය වංචා ගොඩක් වෙලාවට නවත්තන්න පුළුවන් කමකුත් නෑ. මොකක් හරි නීතිවිරෝධී වංචාවක් නවත්තන්න ක්‍රමයක් හොයාගත්තත්, ඊට වඩා ඇඩ්වාන්ස් වෙන වංචාවක් තව තැනකින් පටන් ගන්නවා කවුරු හරි. ඕක තමයි ලෝකේ හැටි. හැබැයි ඉතින් එහෙමයි කියලා මොනවා හරි සිද්ධ වෙන වංචාවකට අහුවෙන්නත් බැහැනේ. මොකද, ගොඩක් වෙලාවට ඔය වංචා වලට අහුවෙලා අපිට නැති වෙන්නේ අපි දාඩිය මහන්සියෙන් හම්බු කරන සල්ලි. ආන්න ඒ නිසා, ගොඩක් වෙලාවට වංචාවක් ගැන කලින්ම දැනගෙන හිටියොත්, ඒකට අහු නොවී බේරෙන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි හිතුවා ඉස්සරත් තිබුණු දැනුත් තියෙන වංචා, එතකොට දැන් අලුතින් කරන වංචා කීපයක් ගැන කියන්න. අඩු තරමින් ඒ වගේ වංචාවක් තමන්ට සිද්ධ වෙන්න ගියොත් බේරෙන්න හරි පුළුවන් වෙයිනේ!
1. මොබිටෙල් ජයග්‍රාහකයා!
ඔන්න කෝල් එකක් එනවා මොබිටෙල් නොම්බරේකින්. “මිස්, අපි මොබිටෙල් එකෙන්, මොබිටෙල් කෑෂ් බොනැන්සා මෙවර ජයග්‍රාහකයා වෙලා තියෙන්නේ මිස්. මිස්ට එස්එම්එස් එකක් ආවේ නැද්ද?” එතකොට මෙහෙන් කියනවා එස්එම්එස් එකක් ආවෙ නැහැ කියලා. එතකොට එහෙන් කියනවා මෙහෙම. “මිස් දැන් දවස් දහයක් ගිහින් මිස් ජයග්‍රහණය කරලා, මිස්ට එස්එම්එස් එකක් එවලා තියෙන්නේ, ඒක මිස් වෙන්න ඇති. හරි කමක් නෑ, මිස් ලක්ෂ විසිපහක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒක අදම ගන්න ඕන, අද තුනට කලින්, එහෙම නැතිනම් කැන්සල් වෙනවා.” එතකොට ඔන්න මෙහෙන් පැනික් වෙනවා. ඇයි, කෝල් එක එන්නෙත් හවස දෙකහමාරට. හැබැයි ඒ පැත්තෙන් ඔන්න ඒකටත් විසඳුමක් දෙනවා. “මිස් ගැටළුවක් නෑ, අපිට පුළුවන් මිස්ගේ බැංකු ගිණුමට ඒ සල්ලි බැර කරන්න. හැබැයි වෙන කිසිම කෙනෙක්ට මේ ගැන කියන්න එපා, මොකද මේක ලොකු ගාණක් නිසා. මිස් බැංකුව ගාවට ගිහින් ආයෙමත් මේ අංකෙට කෝල් කරන්න” කියලා. අනේ ඉතින් ලක්ෂ විසිපහක හීනෙත් එක්ක මේ පැත්තේ ඉන්න මිස් දුවනවා බැංකුවට. එතනින් එහාට සීන් එක සරලයි. ලක්ෂ විසිපහ බැංකුවට දාන්න නම් අපි රුපියල් දහදාහක, පහළොස් දාහක වගේ ඩිපොසිට් එකක් තියන්න ඕන. එහෙම නැතිනම් වෙන ඒ වගේ අපේ අතින් සල්ලි කැපෙන සීන් එකක් කියනවා. එතනින් එහාට ඉතින් ලක්ෂ විසිපහක් නෑ, අතින් කයිට් කරන් ගෙදර එන්න වෙන්නේ!
මේක ඇත්තටම මොබිටෙල් විතරක් නෙවෙයි, වෙන ඕනෙම දිණුම් වැඩසටහනක් ගැන කියලා කරන්න පුළුවන්!
2. මම රුවන්ඩා වල කුමාරිකාවක්!
මේක නං ඉතින් ඊමේල් එකක් හදපු කාලේ ඉඳලා එන වංචාවක්. අපි පිරිමි නම් මේ ඊමේල් එක එන්නේ ගෑණු නමකින්, අපි ගැහැණු නම් ඊමේල් එක එන්නේ පිරිමි නමකින්. මුලින් කියන්නේ එයා කොහේ හරි ප්‍රශ්න තියෙන රටක කුමාරියක් හරි හිටපු ජනාධිපතිගේ පුතෙක් හරි ඔන්න ඔහොම එකක් කියලා. මුලින් ලස්සන ෆොටෝස් එහෙමත් එවනවා. ඒකට අපි රිප්ලයි කළොත් ඔන්න කියනවා එයාගේ තාත්තා එයාගෙ නමට කෝටි සීයක් බැංකුවක හංගලා තියෙනවාය, එයා ඉන්නේ අනාථ කඳවුරකය, ඒ නිසා ඒ සල්ලි ගන්න නම් පිටින් කෙනෙක් සම්බන්ධ වෙන්න ඕනය කියලා. ඒකට උදවු කරන්න අපිව තෝරගත්තේ අපි විස්වාසවන්තයි කියලා පේන නිසාය කියලත් කියනවා. එහෙම කිව්වහම අපිත් පොඩ්ඩක් චූන් වෙනවනේ. ඊට පස්සේ කියනවා එයා ඒ සල්ලි වලින් 10% ක් අපිට දෙන්න ලැහැස්තිය, ඒ සල්ලි අපේ එකවුන්ට් එකට අරගෙන, ඉන් පස්සේ ඔය කුමාරයව හරි කුමාරිව හරි අපේ රටට ගෙන්න ගන්නය, ඊට පස්සේ ඕන නම් අපිව කසාද බඳින්න වුණත් කැමතිය කියලා. හරිනෙ ඉතින්! රුපියල් කෝටි දහයක් එක්ක සෙක්සි කෙල්ලෙක්ව/කොල්ලෙක්ව කසාද බඳින්නත් හම්බුවෙනවය කියන්නේ! ඉතින් ඔන්න අපිත් රිප්ලයි කරනවා. හැබැයි අපේ බෑන්ක් ඩීටේල්ස් අනං මනං ඔක්කොම ඉල්ල ගත්තට පස්සේ කියනවා, මොකක් හරි ෆී එකක් ගෙවන්න තියෙනවා කියලා. ඕක රුපියල් දහපාළොස් දාහක ඉඳලා ලක්ෂ ගණන් වෙන්නත් පුළුවන්. ඉතින් අර කෝටි දහයයි කසාදෙයි ගැන හීන මවන උන්දැලා එහෙම සල්ලි දානවා! එච්චර තමයි ඉතින්!
3. ඔයාට අඩු ගාණට PS5 එකක් ඕනෙද?
දැන් කාලේ ඔය කොන්සෝල් ගේමින් සීන් එකේ ඉන්න අයගේ හීනයක් තමයි අලුත්ම PS5 එකක් ගැනීම. හැබැයි අවුරුද්දකුත් ගිහින් තාමත් PS5 එකක් ලක්ෂ දෙක පැනලා මෙහෙට එනකොට. ඒ මදිවට ලේසියෙන් ගෙන්නන්නෙත් නෑ කවුරුවත්. ඉතින් හැබෑ නොවුණු PS5 සිහිනෙත් එක්ක විරෝපට්ටං ගහගෙන ඉන්නකොට ඔන්න ඔය ගේමින් ගෘප් එකක එකෙක් කියනවා එක් ලක්ෂ හතළිස් දාහකට PS5 විකුණනවා කියලා. ඇමරිකන් කොම්පැණියක්. ෂිපින් ෆ්‍රී! හැබැයි ඉතින් ස්පෙෂල් ඕඩර් වලට විතරයිලු යවන්නේ. අපිත් ඉතින් පැනලා චැට් එකට සෙට් වෙනවා. ඒ පැත්තෙන් මෙසේජ් කරන ඇමරිකන් කාරයා PS5 ලොට් එකකුත් පෙන්නනවා. තව ලියකියවිලිත් පෙන්නනවා. දැන් අපිට පොර විශ්වාසයි. ඉතින් ඔන්න ඕඩරේ දානවා. හැබැයි පොඩි කොස්සක්. පොර කියනවා ඒකට අපි කලින් ගෙවන්න ඕනය කියලා. සමහරු කියනවා ගාණෙන් කොටසක් ගෙවන්න ඕනය කියලා. විශ්වාස කරන්න, එක්ලක්ෂ හතළිස් දාහම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ගෙවන එවුනුත් ඉන්නවා. අන්න එතකොට සමහර වෙලාවට එහෙන් කියනවා ෂිපින් කොස්ට් තව වැඩි වෙලා, බඩු එවන්න තව විසිදාහක් එවන්න කියලා. ඒ විතරක් නෙවෙයි, නැව්ගත කරන ලියකියවිලි පවා ෆොටෝ ගහලා එවනවා. ඉතින් එක්ලක්ෂ හතළිස් දාහක් දාපු එකේ ආයෙ තව විසිදාහකුත් දානවා. තව ඉල්ලුවොත් ඒත් දානවා. හැබැයි ටික දවසක් යනකොට සුද්දා මිසින්. PS5 එකත් මිසින්!!
4. ඔයාගෙ නමට පාර්සලයක් තිබේ!
මේක නං බොහොම සරල, සුලභ ස්කෑම් එකක්. එක්කෝ අපිට ඊමේල් එකක් එවනවා, නැතිනං එස්එම්එස් එකක් එවනවා අපේ නමට පාර්සලයක් තියෙනවා කියලා. සමහර වෙලාවට රේගුවෙන් හරි කොළඹ පෝස්ටල් එක්ස්චේන්ජ් එකෙන්, එහෙමත් නැතිනම් මොකක් හරි ඩිලිවරි සර්විස් එකකින් කියලා කෝල් කරන වෙලාවලුත් තියෙනවා. පිට රටින් අපේ නමට ලොකු පාර්සලයක් එවලලු. ඉතින් අපි හිතනවා කවුද බොලේ අපිට පිටරට ඉඳන් පාර්සල් එවන්නේ කියලා. අපි අනුමාන කරලා අහනවා ලන්ඩන් වල ඇල්බට් අංකල් ද කියලා. එතකොට එක්කෝ ඒ පැත්තෙන් ඔව් කියයි, නැතිනම් දන්නෑ කියයි. ඒක කොහොම කිව්වත් ඒ පැත්තෙන් සහතික කරනවා අපිට පාර්සලයක් තියෙන බව. දැන් කාලේ නම් සමහර වෙලාවට අපේ නමයි නොම්බරෙයි ගහපු පාර්සලේක ෆොටෝ එකකුත් එවයි. අපි හිතනවා නිකං දෙන රටින් එන පාර්සලයක් නං බින් ලාඩන් ගෙන් ආවත් මොකැයි කියලා. හැබැයි ඉතින් පොඩි කොස්සක් තියෙනවා. ඒක ක්ලියර් කරගන්න සූටි ගාණක් ගෙවන්න වෙනවා. අපිත් ඉතින් රටින් ආපු පාර්සලේ හීනෙන් කියන ගාණ ගෙවනවා. එතනින් එහාට හම්බුවෙන පාර්සලයක් නෑ ඉතින්!
5. අඩුම ගාණකට විකුණන්න තියෙන බඩු!
මේකත් සුලභ වංචාවක්. දැන් සෑහෙන්න ඔන්ලයින් බඩු ඩිලිවරි කරන සේවාවන් තියෙනවනේ. ටීවී, ෆ්‍රිජ් වල ඉඳන් ෆෝන්, කැමරා දක්වා ඕනම බඩුවක් දැන් ඔන්ලයින් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නීත්‍යානුකූලව මෙහෙම බිස්නස් කරන අය තමන්ගේ විශ්වාසවන්ත භාවය සනාථ කරන්න විවිධ ක්‍රම සහ විධි අනුගමනය කරනවා. ඔන්ලයින් පේමන්ට්, එස්ක්‍රෝ පේමන්ට්, කෑෂ් ඔන් ඩිලිවරි වගේ විවිධ ක්‍රම සහ විධි. හැබැයි ඔන්න එක පාරටම අපිට සෙට් වෙනවා රුපියල් පනස් දාහක ෆෝන් එකක් රුපියල් විසිදාහකට වගේ විකුණන සීන් එකක්. කොම්පැණියෙන්ම ගන්න නිසාලු එච්චර අඩු. හැබැයි ඉතින් කෑෂ් ඔන් ඩිලිවරි එහෙම සීන් නෑ. කෙලින්ම බැංකුවට සල්ලි දාන්න ඕනේ. එතකොට දවස් දෙකක් ඇතුළත බඩු එනවලු. අපිත් ඉතින් පනස්දාහේ බඩුව විසිදාහට හම්බුවෙන ආතල් එක පිට සල්ලි දානවා. එතනින් එහාට ඉතින් එන බඩුවක් නෑ ඉතින්!
6. මේ පොලිසියෙන් කතා කරන්නේ!
මේක නං සල්ලි වංචා වලට වඩා අපේ පුද්ගලික තොරතුරු හොරකම් කරන එක ටාගට් කරලා කරන වංචාවක්. ගොඩක්ම වට්ස්ඇප්, ඉමෝ වගේ මැසෙන්ජර් පාවිච්චි කරන අය ඉලක්ක කරලා තමයි මේක වෙන්නේ. ඔන්න කවුරුහරි කෝල් එකක් දීලා පොඩ්ඩක් සැරට කියනවා එයා ඕඅයිසී කොඩිතුවක්කුය, එයා කතා කරන්නේ එක්කෝ අහවල් පොලිසියෙන්, නැතිනම් අපරාධ විමර්ෂණ එකෙන්, අපේ ෆෝන් එකෙන් එයාගේ ෆෝන් එකට කෝල්ස්, මැසේජස් ඇවිල්ලා තියෙනවා කියලා. අපිත් ෆුල් අන්දොස් වෙලා දහාතේ දිවුරනවා අපි එහෙම එකක් ගැන දන්නෙ නෑ කියලා. ඊට පස්සේ ඒ කෙනා කියනවා හරි එහෙනම් අපේ ෆෝන් එක හැක් වෙලා වෙන්නැති, අපේ ෆෝන් එකට දැන් කෝඩ් එකක් එයි, ඒ කෝඩ් එක එයාට කියන්න කියලා. ආයෙ ඉතින් පොලිසියෙන් කතා කරලනේ කෝඩ් එක ඉල්ලන්නේ. අපි දෙපාරක් නොහිතා ෆෝන් එකට එන වෙරිෆිකේෂන් හරි ඕතන්ටිකේෂන් හරි කෝඩ් එක කතා කරන උන්දැට දෙනවා. ආන්න එතනින් පස්සේ තමයි හැක් එක පටන් ගන්නේ. අපේ ෆෝන් එකේ අදාළ මැසෙන්ජර් ඇප්ස් වලට කතා කරපු කෙනාට ඉන් පස්සේ ඇක්සස් ලැබෙනවා. උන්දැ පොලිසියේ නෙවෙයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!
7. මට ලොකු කරදරයක් මචං!
මේක නම් සෑහෙන්න ප්ලෑන් කරලා සිද්ධ වෙන වැඩක්. ඔන්න හදිසියේ අපිට ඊමේල් එකක් එනවා අපි හොඳට දන්න අඳුනන කෙනෙක්ගෙන්. ගොඩක් දුරට ඒ කෙනා ඉන්නේ විදෙස්ගත වෙලා, එහෙම නැතිනම් විදේශයක පදිංචි වෙලා. ඊමේල් එකෙන් කියන්නේ එයා අප්‍රිකාවට ගියාය, එහෙදි හෝටලේදී එයාගෙ බඩු ඔක්කොම අස්ථාන ගත වෙලාය, එහෙම නැතිනම් හොරකම් කරලය, දැන් එයාට කර කියා ගන්න දෙයක් නැතිය, අන්න ඒ නිසා පහත දැක්වෙන බැංකු එකවුන්ට් එකට ඩොලර් සීයක් හරි පන්සීයක් හරි දාන්නය කියලා. එයා ලංකාවට ආවහම හරි තමන් ඉන්න රටට ගියාම හරි දෙන්නං කියලා. ගොඩක් වෙලාවට ඊට අඩු ගාණක් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට ඊමේල් එකත් ෂුවර් නිසා ඔන්න අපි සල්ලි දානවා. එතනින් එහාට ඉතින් සද්දයක් නෑ. අපි අර දන්න කියන කෙනාගෙන් ටික දවසක් ගිහින් කන්ටැක්ට් කරගෙන අහලා බැලුවහම ඒ මනුස්සයා එහෙම එකක් දන්නෙත් නෑ. හැබැයි ඉතින් අපි හොඳට බැලුවොත් පේනවා අර ඊමේල් එක ඇත්ත එකක් නෙවෙයි කියලා. අපි දන්න අඳුනන කෙනාගේ ඊමේල් එඩ්රස් එක [email protected] නං, අර අපිට සල්ලි ඉල්ලලා එවපු ඊමේල් එක එවපු එඩ්රස් එක තියෙන්නේ [email protected] කියලා. අපිට ඉතින් හදිසියට මීටර් වෙනවද එක i අකුරක් වැඩියෙන් තියෙන ඊමේල් එකකින් මේක ආවේ කියලා. නැහැනේ. ආන්න ඒක තමයි වංචාව!
මේ කිව්වේ මේ දවස් වලත් ජනප්‍රිය වංචා කීපයක්. හැබැයි ඉතින් මේ වංචා ඇරෙන්න තව ඕන තරම් වංචාවන් මේ ලෝකේ සිද්ධ වෙනවා. හෙටත් අලුතින් වංචා ලෝකෙට ඒවි. හොඳම උදාහරණයක් තමයි දවසින් දවස් අලුත් වෙන පිරමිඩ වංචා! ඉතින් මේ විදියට තියෙන, අපිව අහුවෙන්න නියමිත වංචා වලින් බේරිලා ඉන්න නම් කරන්න තියෙන්නේ එක දෙයයි. ඇස් ඇරගෙන අවධානයෙන් ජීවත් වෙන එක. ලේසි සල්ලි හොයන ක්‍රම වලින්, අපිට සල්ලි දෙන්න හදන අයගෙන් ඈතින් ඉන්න එක!
Leave a Reply